වැව් බැඳි රාජ්‍යය සශ්‍රීක කළ මහසෙන් රජු කෙතරම් ගොවි ජනතාවගේ හද ඇද බැඳ ගත්තාදයත් එතුමාගේ මරණයෙන් පසුව දේවත්වයෙහිලා සැලකීමටද ඔවුහු පෙළඹුණහ. මෑත දේශපාලන ඉතිහාසයෙහි වැව් බැඳි රාජ්‍යයක් වන අනුරාධපුරය වැව් බඳවා සශ්‍රීකත්වයට පත්කළ නිහඬ ක්‍රියාශීලී දේශපාලන චරිතයක් අපට සිහිවෙයි.
ඒ අනුරාධපුරයේ මැදවච්චිය තම නිජබිම මෙන්ම ජයබිමද කරගෙන හත්වතාවක් මැතිසබය නියෝජනය කළ නායකයෙකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය දක්වා පියවර එසවූ පක්ෂ නායකත්වය හෝ ජනනායක ධුරය ලබාගැනීමට අවස්ථාව ගිලිහුණු මේ රජරට පුත්‍රයා මෛත්‍රීපාල සේනානායකය.
මහකනදරා ව්‍යාපෘතිය පදවිය හා හුරුළුවැව යෝජනාක්‍රම ගෙන ආ වාහල්කඩ ප්‍රතිසංස්කරණය කර උඩරට සහ දකුණේ ඉඩම් නොමැති ජනතාව පදිංචිකරවා ගොවිතැන් කරවූ මෛත්‍රීපාලයන්ට එම පුද සැලකිලි ලැබිණ.
1916 ජූලි 17 වැනිදා මැදවච්චිය කුංචුට්ටු කෝරළේ කිවුලේකඩ ගමේ ගොවි පවුලක උපන් මෛත්‍රී අනුරපුර ශා. ජෝශප්, යාපනය ශා. ජෝෂප් හා කොළඹ නාලන්දා යන විදුහල්වල අධ්‍යාපනය ලැබුවේය. එනිසා ප්‍රධාන භාෂා තුනම හසළව හැසිරවීමට ඔහු සමත්විය.
1947 මහ මැතිවරණයට රජරට කොල්ලෙක් ඉදිරිපත් කිරීමට ඩී. ඇස්.ට වුවමනා විය. දුෂ්කර පළාත්වල කෘෂිකර්මය පිළිබඳ දියුණුව පැතූ ඩී. ඇස්.ට උසස් පෙළ සමත්ව ගොවිකම් නිලධාරියකු ලෙස කටයුතු කළ මෛත්‍රීගේ නම යෝජනා විය. ඔහු වගාලාප දොඩන්නකු නොව ක්‍රියාකාරී තරුණ නායකයකු බව ගමේ සාමාජිකයෝ ඩී. ඇස්.ට කීහ.
මෛත්‍රීගේ පළමු දේශපාලන අත්දැකීමම සාර්ථක විය. ස්වාධීනව තරග කළ ආරිය පතිරණ ඩබ්ලිව්. තෙන්නකෝන්, මඩුකන්ද යන තිදෙනා අබිබවා වැඩි ඡන්ද 1879 කින් මැදවච්චිය දිනා රජරට ඉසුරු පුරවරයක් කිරීමට ඩී. එස්.ට සහය දුන්නේය. 1952 දී මෛත්‍රී යළි මැතිවරණ සටනට මුහුණ දුන්නේය. ස්වාධීන අපේක්ෂක ආරිය පතිරණ සමඟ පැවැති ද්විත්ව සටනින් වැඩි ඡන්ද 6073 කින් ජයගත්තේ මෛත්‍රීය.
ඩඞ්ලි සේනානායක ආණ්ඩුව යටතේ ස්වදේශ කටයුතු උප ඇමැති ධුරය මෛත්‍රීට හිමිවිය. 1953 දී ජේ. ආර්. මුදල් ඇමැතිවරයා ශත 25ට තිබූ සහල් සේරුව ශත 70ට නැංවීම නිසා ඊට විරෝධය පෑ මෛත්‍රී ඇමැති ධුරයෙන් පමණක් නොව පක්ෂයෙන්ද ඉල්ලා අස්විය.
බණ්ඩාරනායක මැතිඳුන්ගෙන් ශ්‍රීලනිප සාමාජිකත්වය ලැබූ මෛත්‍රී ශ්‍රීලනිප මහජන එක්සත් පෙරමුණු සුසංයෝගය යටතේ 1956 මහ මැතිවරණයට ඉදිරිපත් වී යූ.ඇන්.පී. පතාක යෝධයකු වූ ඇස්. එච්. මහදිවුල්වැව වැඩි ඡන්ද 9560කින් පරදවා තුන්වැනි වරටත් මැතිසබයට පිවිසුණේය.
බණ්ඩාරනායක ආණ්ඩුවේ ගමනාගමන හා රජයේ වැඩ ඇමති ධුරයට මෛත්‍රී පත්විය. දේශපාලන ලෝකය මහත් ආන්දෝලනයකට පත්කරමින් ජනසතු ව්‍යාපාර ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නේ මෛත්‍රීය.
පෞද්ගලික අංශයේ බලකඳවුරක්වූ බස් සමාගම් ජනසතු කෙරිණ. වරාය ජනසතුවිණ.
සී. පී. ගේ නායකත්වය යටතේ 1960 මාර්තු මහ මැතිවරණ සටන ඇරඹිණ. යූඇන්පී අපේක්ෂක මහදිවුල්වැව වැඩි ඡන්ද 7342 කින් පරදවා මෛත්‍රී මැදවච්චිය ජයගත්තේ ජනකිරුළ ඔහුම බව සනාථ කරමිනි. ඒ පස්වන ජයග්‍රහණයයි.
තුන්මස් ආණ්ඩුව බිඳ වැටුණු පසු එම වසරේම ජූලි මාසයේ පැවති මහමැතිවරණයේදීද මැදවච්චියට ඉදිරිපත්වූ මෛත්‍රීට නවක අපේක්ෂක බී. කේ. පියදාස අබිබවා ඡන්ද 7298කින් මැදවච්චිය ජය ගැනීමට හැකිවිය.
බණ්ඩාරනායක අගමැතිනිය මෛත්‍රීට මෙවර භාරදුන්නේ වෙනස්ම ඇමැති ධුරයකි. ඒ කෘෂිකර්ම විෂය නොව කර්මාන්ත විෂයයි. ඊට අමතරව ස්වදේශ හා සංස්කෘතික අමාත්‍යාංශ දෙකද පැවරිණ. භාරගන්න ඕනෑම අමාත්‍යාංශයක ජීවනාලිය ලෙස අභියෝග භාරගත් මෛත්‍රී දේශීය කර්මාන්තයේ දියුණුව සියරට දේ සිරි සැපදේ මාතෘකාව ලෙසම ඔප් නැංවීය.
1965 දී ආර්ථික අර්බුදයකට මෙන්ම ආහාර අර්බුදයකටද මුහුණ දුන් ශ්‍රීලනිප රජය බිඳ වැටිණ. එම වසරේ පැවැති තීරණාත්මක මැතිවරණයට නොබියවම තම ජන්ම භූමිය නියෝජනය කළ රජරට පුත්‍රයා යූඇන්පී අපේක්ෂක ඩී. ඇම්. ආරියදාස ඇතුළු ප්‍රතිමල්ලවයන් පරදා හයවන වතාවටත් වැඩි ඡන්ද 4731 කින් ජය ලැබීය.
ජයග්‍රාහක හත්හවුල් රජය නොයෙකුත් හැලහැප්පීම් මත විසිරී ගියේ 1970 දී මෛත්‍රී වැඩි ඡන්ද 9598 කින් මැදවච්චිය යළි හිමිකර දෙමින්ද මැතිනිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව ආණ්ඩුවක් පිහිටුවීමේ ජනවරම ලබාදෙමිනි. ඒ මෛත්‍රීගේ 07 වන ජයග්‍රහණයයි.
මෛත්‍රීට මෙවර හිමිවූයේ වගකිවයුතු ඇමැති ධුර තුනකි. වාරිමාර්ග, විදුලිබල සහ මාර්ග අමාත්‍යාංශවලට අමතරව සභානායක ධුරයද ඔහුට පැවරිණ. එසේම මැතිනිය විදෙස් ගතවූ වාර රැසකම එම ධුරයේ වැඩ බැලුවේ මෛත්‍රීය.
1977 මහ මැතිවරණයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් ආණ්ඩුවේ සෝදාපාළුවයි. යූඇන්පීයට හයෙන් පහක බලය ලැබුණු මෙම මැතිවරණයේදී ශ්‍රීලනිපයට හිමිවූයේ ආසන 08ක් පමණි.
ජේ. ආර්.ගේ ක්‍රමවේදය අනුව විශිෂ්ට ජයග්‍රහණයක් යූ.ඇන්.පී.ය ලැබුවේ මැතිනියගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරුන් ගෙදර යවමිනි. කැබිනට් මණ්ඩලයෙන්ම ආසන බේරාගත්තේ අගමැතිනියත් මැදවච්චිය වැඩි ඡන්ද 366 කින් ජයගත් මෛත්‍රීපාල සේනානායකත් පමණි. එහිදීත් මෛත්‍රීට ඡන්දය දීමට 14,228 දෙනෙක් සැදී පැහැදී වුන්හ.
1989 පෙබරවාරි 15 වැනිදාද මහ මැතිවරණයක් පැවැත්විණ. ඒ කොට්ඨාස ක්‍රමයට නොව සමානුපාතික නියෝජන ක්‍රමයටය. දිගින් දිගටම මෛත්‍රීට පැරදුණු යූ.ඇන්.පී. අපේක්ෂකයා වූ ඩී. ඇම්. ආරියදාස අනුරාධපුර ලැයිස්තුවෙන් තරග වැදී මැති සබයට තේරී පත්විය.
මෛත්‍රී ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවෙන් යළි මන්ත්‍රී ධුරය රැකගත්තේය. ඒ මැදවච්චිය අසුනින් නොවේ. මෛත්‍රී තමන් අතගැසූ සෑම කාර්යයකට දක්ෂයකු වුවද දෛවය ඔහුට අග්‍රාමාත්‍ය ධුරය අහිමි කළේය. පරාජයේ වේදනාව නොවිඳි වාසනාවන්ත ජන නියෝජිතයකු ලෙස සැලකිය යුතු මෛත්‍රීගේ දේශපාලන දිවිය ඉන් අවසන් නොවීය.
1994 බණ්ඩාරනායක අගමැති යුවළගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනි යටතේ 1994 උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධුරයේ වගකීම මෛත්‍රීට පැවරිණ.
ඔහුගේ යුගදිවියද ඉතා සාර්ථක වූ අතර රංජි හැන්ඩි මහත්මිය ඔහුගේ බිරිඳ වූවාය. 1998 ජූලි 12 වැනිදා මෛත්‍රීපාල සේනානායක නමැති රජරට පතාක යෝධයා 82 වියේදී ලක් මවගෙන් සමුගත්තේය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි