නිලය නිසා තමා බැබළෙන දේශපාලනඥයන් සුලබ අප රටේ පුද්ගලයා නිසා නිලය මෙන්ම පක්ෂය ද බැබළුණ දුර්ලභ අවස්ථා නැතුවා නොවේ. ඊට කදිම උදාහරණයකි අවිවාහකව මුළු දිවියම සමාජ සුබ සිද්ධිය තකා කැප කළ දැදිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය දැරු හිටපු අමාත්‍ය ධර්මසිරි සේනානායක මැතිඳු, ගම්පහ මිනුවන්ගොඩ ගොවි පවුලක උපත ලැබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියෙන් පිදුම් ලැබූ ඔහු පොදුජන අරගලවලට ශිෂ්‍ය නායකයකු ලෙස මහත් දායකත්වයක් දුන්නේය. යන්තම් දැළි රැවුල ආදා පටන් තම දියුණුවට වඩා ගැමි ජනයාගේ අභිවෘද්ධියට ඉදිරිපත් වූ ඔහුට ගැමි ජනතාව ‘පුංචි මහත්තයා’ යැයි ඇමතූහ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ ධර්මසිරි තරුණයා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දී 1970 තෙක් කෑගල්ලේ සේවය කළේය.
ප්‍රවීණ මාධ්‍යවේදියකු හා ව්‍යක්ත කථිකයකු වූ රත්න දේශප්‍රිය සේනානායක නමැති තම සොහොයුරා සමග මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු ශ්‍රීලනිප දේශපාලන ධාරාවට එක්වූයේ ජනතාවගේ බලවත් කැමැත්තත් අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ගෞරවනීය ඇරයුමත් නිසාය.
“සේනානායකලා පරාජය කිරීමට අපෙනුත් සේනානායක කෙනෙක් දානවා.” දැදිගම අලි බළකොටුව බිඳ දැමීමට එතුමාට සහයෝගය දෙන්න මැතිනිය ජනතාවට කීවාය.
ඒ අනුව එවකට එක්සත් ජාතික පක්ෂයේ දැදිගම බළකොටුව නියෝජනය කළ ඩඞ්ලි සේනානායකයන්ට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැමූ ධර්මසිරි සේනානායක එම අසීරු ඉලක්කය ජය ගැනීමට උපරිම උත්සාහයක් දැරීය. කෙසේ වෙතත් 1970 මහ මැතිවරණයෙන් ඩඞ්ලි තම අසුන බේරා ගත්තේ පූරුවේ වාසනාවකටය.
තම නිර්ව්‍යාජ සිනාව හා හැඟීම්බර වාග් ශෛලිය නිසා ස්වදේශිකයන් ඇද බැඳගත් ධර්මසිරි 1970 දී බලයට පත් සමඟි පෙරමුණු රජයෙන් පිරිනැමුණු ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති ධුරයේ වගකීම අකුරටම ඉටු කළ බව සංචාරකයන්ගේ විශ්වාසය හා ආදරය දිනාගැනීම තුළින් සනිටුහන් වේ.
1970 - 77 අතර මෙම කාලය මෙරට සංචාරක ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විණ. දැදිගම ඇතුළු කෑගලු දිස්ත්‍රික්කයේ විශාල පිරිසකට ඔහු නිසා සංචාරක ක්ෂේත්‍රයේ රැකියා ලැබූ අන්දම අද ද ඔවුහු බැතිබරව සිහිපත් කරති.
ධර්මසිරි සේනානායකයන්ගේ මුව රැඳි නිර්ව්‍යාජ සිනහරැල්ල ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේ දී නොවෙනස්ව පැවතිණි.
“රටට සේවයක් කරන්න දිනන්නම ඕනැ නැහැ. පාලකයොයි ජනතාවයි සහයෝගය හරි හැටි දෙනවා නම් දක්ෂයාට තනතුරු ඕනෑ නෑ. දේශපාලනේ කියන්නෙ පිරුවටයක් විතරයි.” ධර්මසිරිගේ මුව රැඳුණේ එවන් අදහස්ය.
කෙසේ වෙතත් 1980 මහ මැතිවරණය දිනා හා හා පුරා කියා පාර්ලිමේන්තුවේ අසුන් ගන්නට ඔහු සමත් විය. ඔහු දෙපිටකාට්ටු දේශපාලනඥයකු නොවූ අතර පාර්ලිමේන්තුව තුළ යමක් කියා ගමට ගොස් වෙනෙකක් කියන්නෙකු නොවීය. ශ්‍රීලනිපයේ අභ්‍යන්තර හා බාහිර මත ගැටුම් අසමගි කම් පවුලේ ආරවුල් ආදිය නිසා බෙදී වෙන්වීමට ඉඩ නොදී පක්ෂය තුළ සමගිය හා ගුණාත්මකභාවය දියුණු කරමින් ප්‍රගතිශීලී ජනතාවගේ ඉමහත් ආදර ගෞරවය දිනා ගන්නට ධර්මසිරි සේනානායකයෝ සමත් වූහ.
1989 වන විට ශ්‍රීලනිපයේ සහකාර ලේකම් මෙන්ම පක්ෂයේ නීතිමය විදේශ කටයුතු මෙන්ම වෘත්තිය සමිති පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් ධුර ධර්මසිරි සේනානයකයන් වෙත පැවරිණ. ‘දෙයක් වේ නම් යම් සුදුස්සාට ම ලැබිය යුතු’ යනුවෙන් හුණුවටයේ කතාව නාට්‍යයේ කීවා සේ වැඩි කල් නොගොස් ඔහුට ශ්‍රීලනිපයේ මහ ලේකම් ධුරය ද පිරිනැමිණ.
1994 දී පැවති මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස යළි පාර්ලිමේන්තුවට පිවිසි මෙම මානවවාදියා දැදිගම සංවිධායක ධුරය අත් නොහැරියේය.
පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ජනමාධ්‍ය සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් පිදුම් ලත් ඔහු මියයන තුරුම එම ධුරය දැරීය.
අද ද ලේක් හවුස් ආයතනය, ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනි සංස්ථාව, එයාර් ලංකා ආයතනය, ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ අධිකාරිය, රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව වැනි ආයතන රැසකට එතුමන් ලබා දුන් ජනතා ශ්‍රම දායකත්වය හා අනුග්‍රහය ගැන ජනතා කතා බහ නිම වී නැත.
ක්‍රිකට් වගේම දේශපාලනයත් ආවාට ගියාට කරන්න බෑ. මේ දෙකම මහත්වරුන්ගේ ක්‍රීඩායි.
ධර්මසිරි සේනානායකයෝ පැවසූහ. දේශපාලනඥයන්ගේ කොමිස් ගැහිල්ල, දූෂණ වංචාව නාස්තිය රජයේ මුදල් අපහරණය කිරීම, වාචාල කතා ඔහුට පේන්නට බැරි විය.
නුවර-කොළඹ ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නගරයේ වාහන තදබදයට පිළියමක් ලෙස අතුරු මාර්ගයක් සැකසීමට යෝජනා විය. රජයේ නිලධාරීහු ඊට සැලසුම් සැකසු නමුතු් එහිදී නවීන දෙමහල් ගොඩනැගිල්ලක් ඉවත් කිරීමට සිදුවන බව පෙනිණ.
ඉංජිනේරු මහත්තයෝ පොඩි කොස්සක් තියෙනවා නේද? මේක වටිනා ගොඩනැගිල්ලක් නොවැ. අයිතිකාරයගේ පක්ෂය හොයන්න එපා. මේක කඩා දාන එක අපරාධයක් බව පේනවා. ඒ නිසා පාරේ අනිත් පැත්තට බර කරලා වෙල පොඞ්ඩක් පුරවන්නකො. වැඩි ගාණක් යන්නෙත් නෑනේ. රජයේ නිලධාරීන් සමග කඹ ඇදීම වෙනුවට කාරුණිකව කරුණු පැහැදිලි කිරීම නිසා එම සැලසුම සාර්ථක විය. කොළඹ නුවර අතුරු මාර්ගයේ එම ගොඩනැගිල්ල අද ද දිස් වෙයි.
‘අයිසෙ මිනිසුන්ගේ කිරිපල්ල අත ගාලම බලන්න ඕනෑ නෑ. මනුස්සකම සලකලා අවශ්‍ය දෙයක් නම් කරලා දෙනව’ ධර්මසිරි අමාත්‍යතුමා නිතරම කාර්ය මණ්ඩලය දැනුම්වත් කළේය. ඒනිසා පක්ෂ භේදයකින් තොරව තම දුක්ගැනවිලි හා යෝජනා චෝදනා ද එතුමන් වෙත ඉදිරිපත් කිරීමට ජනතාවත් දේශපාලනඥයනුත් පෙළඹුණෝය.
හාස්‍යෝත්පාදක කථනයෙහි ධර්මසිරි මැතිඳුන් තරම් සමතෙකු මෑත දී නොවීය. වරක් ඔහුට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ප්‍රධාන ආරාධිත දෙසුම කිරීමට ඇරයුම් ලැබිණ.
‘දම්සිරි මැතිඳුන් දැකුමෙන්
අපි පින් කළ බව දැනුනි’ යැයි බාලිකාවෝ ගී ගයමින් ඔහු පිළිගත්හ.
රූමත් ගුරුවරියෝ ද නව යොවුන් පාසල් යුවතියෝ ද ඔහු දෙස නෙත් විහිදා බලා සිටියෝය. එහෙත් කථික ආසනයට ඔහු ළං වුවා පමණි. උස පුද්ගලයකු නොවූ අමාත්‍යවරයාගේ මුහුණ සම්පූර්ණයෙන්ම මල් කළඹින් වැසී තිබිණ. අපහසුතාවට පත් අමාත්‍යවරයා දුටු සංවිධායකයෝ වහා මල් කළඹ ඉවත් කළෝය.
‘අහා! දැන් තමයි විදුහල්පතිතුමියනි මා පින්කළ බව තේරුණේ’ සභාව දෙස බැල්මක් හෙළා ඔහු පැවසූ විට ගුරුවරියෝ, බාලිකාවෝ මහ හඬින් සිනාසුණහ.
වරක් එක්සත් ජාතීන්ගේ සමුළුවට යාමට ලන්ඩන් සිට නිව්යෝර්ක් නුවර දක්වා කොන්කෝඞ් ගුවන් යානාවකින් ධර්මසිරි ඇතුළු ප්‍රභූවරු ගමන් ගත්හ.
යානය තිබුණේ අඩි දසදහසක් ඉහළිනි.
‘පෘථිවිය ගෝලාකාර ද කියලා දැක ගන්න ඕනෑ නම් ඔය කවුළුවෙන් පහළ බලන්න’
ගුවන් නියමුවා නිවේදනය කළේය.
අමාත්‍යවරයා එම අත්දැකීම බාලිකාවියන්ට මෙසේ විස්තර කළේය.
‘ඇත්තමයි මටත් සැකයත් තිබුණා පෘථිවිය ගෝලාකාරද කියලා. ඒ වුණාට බලන්න ලජ්ජයිනේ කොහොම හරි රාත්‍රියේ මගීන්ට නින්ද ගිය අතරේ මං හීන්සීරුවට ජනේලෙ ළඟම කිට්ටු වෙලා බැලුවා. අම්මාපල්ලා විදුහල්පතිතුමියනි පෘථිවිය ගෝලාකාරයි නොවැ. මං මගේ ඇස් දෙකටම දැක්කා’ මුළු සභාවම සිනාගන්වමින් කීය.
‘හැබැයි අපේ ගමේ ගුණපාල නම් ඒක විශ්වාස කරන්නෙ නෑ. එයා මෙහෙම කියාවි’
‘අතේ නිකං ඉන්න පුංචි මහත්තයා අපට බොරු නොකර. ඉස්සර නම් ඔහොම නෑනෙ. හොඳයි මේ ලෝකේ ගෝලාකාර නම් කොහොමද අපි ගෙවල් හදාගෙන ඉන්නේ. පොළොව කියන්නේ සමතලා තැනක් තේරුණාද?’
එබැවින් පටු අදහස්වලින් මිදි ලෝකය ගැන යථා තත්ත්වය අවබෝධ කරගෙන ගුණධර්ම වඩවාගෙන ජීවත් විය යුතු බවට අමාත්‍යවරයා නව පරපුරට අවවාද දුන්නේය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි