කුමන්ත්‍රණකරුවන්ගේ “අතකොළු”


බුද්ධ රක්ඛිතගේ නිර්දෝෂිභාවයත්, ඔහු වරදකරුවෙකු වුවද ඔහුට මරණ දඬුවම නියම කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ඔප්පු කිරීම පිණිස රාජ නීතිඥ ඊ. ජී. වික්‍රමනායක මහතා දින 16ක් පුරා කරුණු 48ක් ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ සිය සේවාදායකයා වෙනුවෙන් සටන් කළේය. වික්‍රමනායක මහතා සිදුකරන ලද එම දේශනය තරම් දීර්ඝ දේශනයක් මෙරට අධිකරණ ඉතිහාසයේ  ඉන් පෙර සිදු නොකෙරුණි.


ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි අධිනීතිඥ එච්. එම්. කුමාර කුලසිංහ මහතා කරුණු 45ක් පදනම් කර ගනිමින් දින තුනක් සිය දේශනය සිදු කළේය.


එසේම ලූෂියන් ජී. විරමන්ත්‍රී අධිනීතීඥතුමා සෝමාරාමගේ නිදහස උදෙසා දින පහක් කරුණු 60ක් පදනම් කර ගනිමින් තර්ක විතර්ක  කළේය.


විත්ති පාර්ශ්වයේ තර්කවලට පිළිතුරුදීමට පැමිණිලි පාර්ශ්වයේ රාජනීතීඥ ජී. ඊ. විට්ටි මහතාට දින හතරක් ගතවිය. 


ඇපැල් පෙත්සම් විභාගය ආරම්භ වූයේ 1961 ඔක්තෝබර් මස 30 වැනි දින දීය. එය අවසන් වූයේ දෙසැම්බර් මස 15 වැනි දින දීය. 1962 ජනවාරි 15 වැනි දින ඇපැල්  අධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි.


ඇපැල් අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ප්‍රකාශය වෙනස් කළේය. ඒ අනුව බුද්ධරක්ඛිත සහ එච්. පී. ජයවර්ධනට පනවා තිබූ මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය. එහෙත් සෝමාරාමට නියම වූ මරණ දඬුවම ඇපැල් අධිකරණය ද අනුමත කර තිබුණි. එය ඒකමතික තීන්දුවක් විය.


ගරු අග්‍ර විනිශ්චයකාර රාජනීතීඥ හේමබස්නායක මහතා කතා කරමින් විත්තිකරුවන්ගේ දේශපාලනමය සහ පුද්ගලික සබඳකම් පිළිබඳ විස්තරාත්මක ප්‍රකාශයක් සිදු කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සමීප සබඳකම් තිබූ බුද්ධරක්ඛිත, ජයවර්ධන සහ සෝමාරාම මෙන්ම නඩු විභාගයේ දී සාක්‍ෂි දුන් සමහර අයගේ සබඳකම් සහ ව්‍යාපාරික අර්බුද ගැන ද අනතුරුව බුද්ධරක්ඛිත සහ ජයවර්ධන අගමැතිවරයා සමග භේදබින්න වී වෛර බැඳගත් ආකාරය ද ඒ අනුව අගමැතිවරයාගේ ජීවිතයට හානි කිරීම සඳහා කුමන්ත්‍රණය කළ ආකාරය ද පැහැදිලි කළේය.


අනතුරුව බුද්ධරක්ඛිත අගමැතිවරයා ඝාතනය කිරීම සඳහා ක්‍රියා කළ ආකාරය සහ සෙසු විත්තිකරුවන්ගෙන් එයට ලැබුණු දායකත්වය පිළිබඳවද අවධාරණය කර සිටියේය. අමරසිංහ සහ නිව්ටන් පෙරේරා මෙම කුමන්ත්‍රණයට සම්බන්ධවී සිටි මුත් ඔවුන් පැවසූ දෑ සත්‍ය නම් ඒ අනුව ක්‍රියා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමා ජුරියට දී තිබු උපදෙස් වැරදි නොවන බවද හේමබස්නායක විනිශ්චයකාරතුමා ප්‍රකාශ කර සිටියේය.


අගමැතිවරයා සමග කිසිදු අමනාපයක් නොතිබූ බව සෝමරාම විසින් අධිකරණයේදී කර තිබූ ප්‍රකාශය අනුව වටහාගත හැක්කේ ඔහු කුමන්ත්‍රණකරුවන්ගේ අතකොළුවක් වූ බවය. එසේම අමරසිංහගේ සාක්‍ෂිවලින් හෙළිවූ පරිදි සෝමාරාම වෙඩි තැබීමට පුහුණු වූ ආකාරය මත ඔහු අගමැතිට වෙඩි තැබිමේ වගකීම ඔහුටම පැවරෙන බව ද කියා සිටියේය. 
අග්‍රවිනිශ්චයකාරතුමාගේ  දීර්ඝ සාක්‍ෂි සම්පිණ්ඩනය අවසානයේ පළමුවන සහ දෙවන විත්තිකරුවන්ගේ මරණ දඬුවම ඉවත්කර ඒ වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළ අතර හතරවැනි විත්තිකාර තල්දූවේ සෝමාරාමට දී තිබූ මරණ දඬුවම ස්ථිර කර සියලුම විත්තිකරුවන් ඉදිරිපත් කර තිබූ ඇපැල් පෙත්සම් නිශ්ප්‍රභ කරන ලද්දේය. ඒ අනුව ඇපැල් විභාගය අවසන් විය. 


1970 ජුනි මස පවත්වන ලද මහ මැතිවරණයේ දී බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂය ආසන 8කට සීමා කරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සම සමාජ පක්‍ෂය සහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගනිමින් සමගි පෙරමුණ රජය පිහිටුවා ගත්තේය.


මැතිවරණ සමයේදී සමගි පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශනයෙන් ජනතාවට  පොරොන්දුවක් දෙමින් තමන් බලයට පත්වූ පසු එතෙක් මෙරට පැවති සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරන  බවටත් රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා  වන අන්දමට රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවටත් සහතික දී තිබුණි.


ඒ අනුව 1970 ජුලි මස 19 වන දින නව රඟහලේ දී රැස්වූ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයත් බවට පත්විය. 1972 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිවිය. නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තුරු මෙරට අධිකරණයකින් ලැබෙන තීන්දුවකින් අතෘප්තියට පත්වන ඕනෑම පුරවැසියෙකුට බි්‍රතාන්‍යයේ රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කිරීමේ  අයිතිය හිමිව තිබුණේය.


මෙරට ඇපැල් අධිකරණයෙන් දී තිබූ තීන්දුව අභියෝගයට ලක් කරමින් බුද්ධරක්ඛිත, ජයවර්ධන සහ සෝමාරාම යන තිදෙනා එංගලන්තයේ  රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර සිටියහ. ඒ අනුව පැමිණිලි පාර්ශවය ද රාජාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. මෙම සංසිද්ධිය ඉතා කලාතුරකින් සිදුවන්නකි.


බි්‍රතාන්‍යයේ සුප්‍රසිද්ධ නීතිඥ සමාගමක් වන ඩාර්ලි කම්බර්ලන්ඞ් නීතිඥ සමාගමේ සහාය ලබාගනිමින් රාජ නීතිීඥ ඊ. ජී. වික්‍රමනායක මහතා එරටට ගොස් නීතීඥ ඩික්ටැවරන් මහතා සමග එක්වී බුද්ධරක්ඛිත සහ ජයවර්ධන වෙනුවෙන් ඇපෑල් විභාගයට පෙනී සිටියේය.


අධිනීතිඥ ඇනස්ලි පෙරේරා  ලෝකයේ ඉතා ප්‍රසිද්ධියක් ඉසිලූ රාජනීතීඥ ඩිංගල් පුට් මහතා සමග සෝමාරාමයේ අයිතිවාසිකම් වෙනුවෙන්  පෙනී සිටියේය. ඩිංගල් පුට් මහතා එම මෙහෙවර උදෙසා කිසිදු සේවා ගාස්තුවක් අය නොකරමින් පෙනී සිටීම මෙහි දී විශේෂත්වයක් විය.


මෙරට රජය වෙනුවෙන් විල්සන්ස් නීතීඥ සමාගමේ සහය මත රාජනීතීඥ නීල්ලෝසන් සමග රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඇල්. බී. ටී. ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය. රාජාධිකරණයට ඇපැල් ගැනීමට අවසරය ඉල්ලා සිටින පෙත්සම විභාගයට ගන්නා ලද්දේ 1962 මැයි මස 11 වැනි දින මකර් සාමිවරයාගේ ප්‍රධානත්වයෙනි. මකර් සාමිවරයාට අමතරව එවර්ෂෙඞ්, පියර්ස් සහ මොරිස් යන සාමිවරු සහ මහාමාන්‍ය එල්. එම්. බී ද සිල්වා මහතා රාජාධිකරණයේ විනිශ්චය සභාවේ සෙසු විනිසුරුවරුන් වූහ. 


ප්‍රථමයෙන් විභාගයට ගන්නා ලද්දේ බුද්ධරක්ඛිත සහ ජයවර්ධනගේ පෙත්සම් දෙකය. එහිදී එම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි රාජ නීතීඥ ඊ. ජී. වික්‍රමනායක මහතා කරුණු දක්වමින් බුද්ධ රක්ඛිත රිවෝල්වරයක් සොයා දෙන ලෙස නිව්ටන් පෙරේරාගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ ජයවර්ධන ද එහි සිටි  බව පැමිණිල්ල කියා සිටී. නිව්ටන් පෙරේරා රිවෝල්වරයත් ලබාගත්තේ ඔසී කොරයාගෙනි. සෝමාරාම අගමැතිට වෙඩි තබන ලද්දේ රිවෝල්වරයෙනැයි පැමිණිල්ල කීය.


නඩු විභාගයේ දී රිවෝල්වරයත් උසාවියට ඉදිරිපත් කෙරුණි. එය පොයින්ට් 450 වර්ගයේ එකකි. රජයේ රස පරීක්‍ෂක තැන එම රිවෝල්වරයෙන් පොයින්ට් 450 සහ 455 උණ්ඩ යොදා වෙඩිතබා පෙන්වීය. මෙය එක් අතෙකින් අවුල් සහගත තත්ත්වයක් ඇති වූ බවද වික්‍රමනායක මහතා කියා සිටියේය.


එහිදී ටකර් සාමිවරයා සිය අදහස් දක්වමින් රිවෝල්වරය හඳුනා ගැනීමේ ගැටලුව ගැන ජූරි සභාව  විසින් තීරණයක් දිය යුතුව තිබූ බව පැවසීය.


එම අවස්ථාවේ රාජනීතිඥ ලෝසන් මහතා සිය අදහස් දක්වමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද රිවොල්වරය පොයින්ට් 455ක් එකක් වූ අතර එහි අයිතිකරු වූ ඔසී කොරයා සාක්‍ෂි දෙමින් කියා සිටියේ තමා නිව්ටන් පෙරේරාට දුන්නේ පොයින්ට් 450 රිවෝල්වරයක් බවත් සෝමාරාම අගමැතිට වෙඩි තබා තිබුණේ ඔසී කොරයා දුන් පිස්තෝලයෙනි.


එහෙත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රිවෝල්වරය පොයින්ට් 450 වර්ගයේ එකක් බවට පොලිස් නිලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණි. 


කෙසේ නමුත් පොයින්ට් 450 සහ 455 උණ්ඩ පළලින් එක සමාන බවත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ රිවෝල්වරයට එම පතරොම් දෙකම භාවිත කළ හැකි බවත් සනාථ කරනු පිණිස රජයේ රස පරීක්‍ෂක තැන ජුරි සභාව ඉදිරියේ වෙඩි තබා පෙන්වන විට විත්තිය ඒ ගැන නිහඬව සිටි  බවත් ලෝසන් මහතා පෙන්වා දුන්නේය. සෝමාරාම වෙනුවෙන් පෙනී සිටි රාජනීතීඥ ඩිංගල් පුට් මහතා සිය මතය දක්වමින් පැමිණිලි පක්‍ෂයේ සාක්‍ෂිවලට සෝමාරාම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරන ලද පාපොච්චාරණය ඇතුළත් කිරීම නුසුදුසු බවත් එම ප්‍රකාශය කැමැත්තෙන් කළ බව ඔප්පු කළ යුත්තේ පැමිණිලි පාර්ශ්වය බවත් කියා සිටියේය. එම ගැටලුව සම්බන්ධ නඩුව විභාග කළ විනිශ්චයකාරතුමා ජුරිය නොමග යවා විත්තියට ඉතා වැදගත් වූ කරුණු වසං කිරීම තුළින්  විත්තියේ කරුණු සලකා බැලීමට ඇපල්  අධිකරණය අසමත් වී තිබෙන බව ද ඩිංගල් පුට් මහතා කීය.


තවදුරටත් සිය අදහස් දක්වමින් ඩිංගල් පුට් මහතා කියා සිටියේ වෙඩි වැදීමෙන් පසු අගමැතිවරයාට පැය කිහිපයක් යනතුරු සිහි කල්පනාව තිබුණි. තමාට වෙඩි තැබූ පුද්ගලයාගේ නමක් සඳහන් නොකර ඔහු සහාසිකයා ගැන කතාකර තිබුණි. සෝමාරාම වෙඩි තැබීම සිදු කළේ නම් අගමැති ඔහුගේ නම සඳහන් කළ යුතුව තිබුණි. අගමැතිවරයා සෝමාරාම හොඳින් හඳුනන්නෙකි. වෙඩි තැබීම සිදුකර  ඇත්තේ වෙනත් අයෙකි. අගමැතිවරයාට වෙඩි තැබූ පුද්ගලයා ද සිවුරක් හැඳ සිටි අයෙකි. ඔහු කවරෙක් හෝ වේවා හැඳ සිටි සිවුර ගලවා බිම දමා තාප්පයෙන් පැන පලා ගියේය. යන තර්කය ද ඉදිරිපත් විය. අගමැති නිවසේ බිම සිවුරු තුනක් වැටී තිබි හමුවිය. එම අවස්ථාවේ දී අගමැති නිවසේ 35කට වැඩි පිරිසක් රැස්ව සිටි නමුත් ඇසින් දුටු සාක්‍ෂි වශයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ තිදෙනෙකු බව ඩිංගල් පුට් නීතීඥ මහතා කියා සිටියේය.


රාජනීතීඥ ඩිංගල් පුට් මහතාගේ දේශනයෙන් පසු රජ පස් කට්ටුව ස්වල්ප වේලාවක් සාකච්ඡාවක නිරත වූහ. අනතුරුව ටකර් සාමිවරයා පස් කට්ටුවේ මතය දක්වමින් ප්‍රකාශ කර සිටියේ විත්ති පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ ඇපැල් පෙත්සම් දෙකටම අවසර දිය නොහැකි බවය.


ඒ අනුව මෙරට අපරාධ ඇපැල් අධිකරණය විසින් දී තිබූ තීන්දුව ක්‍රියාත්මක කිරීමට බාධාවක් මතු නොවීය. බුද්ධරක්ඛිත සහ ජයවර්ධනට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවූ අතර සෝමාරාමට මරණීය දඬුවම හිමි විය.

 

 

 

 

 

 

 

 

ප්‍රේමලාල් රණවිළ