හියු ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කලක් කටයුතු කළ කතානායකවරයා වන්නේය. කතානායක තනතුරේ ගෞරවය, අභිමානය රැක ගැනීමට සැමවිටම කටයුතු කළ හියු ප්‍රනාන්දු මහතා තම හෘද සාක්කියට අනුව කටයුතු කළ අභීත කෘතහස්ත දේශපාලකයෙක් විය.
මැති ඇමැතිකම මෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වූ කතානායක තනතුරු පවා එම තනතුරු හොබවන කාලයේ සිට මිය යන තෙක්ම සාමාන්‍ය ජනතාව සමග නිරන්තරයෙන් ගැවසෙමින් සාමාන්‍ය ජීවිතයක් ගත කළ මහත්මා දේශපාලනඥයෙකි.
වෙන්නප්පුවේ පමණක් නොව අවට ප්‍රදේශවල ඔහු ගැන දන්නා වැඩිහිටියන් ඔහුගේ ගුණ අදටත් කතා කරන්නේ ගෞරවයෙනි.
විදේශයන් කිහිපයකම හියු ප්‍රනාන්දු මහතා මහ කොමසාරිස් ධුරය දරමින් ශ්‍රී ලංකාව හා එම රටවල් අතර මනා ලෙස රාජ තාන්ත්‍රික සම්බන්ධතා ගොඩනංවාගෙන තිබේ.
හියු මහතාගේ පියා වර්ණකුලසූරිය ස්ටීවන් ප්‍රනාන්දු මහතා වූ අතර ඔහු පොලිස් මුලාදෑනියෙක් ලෙස රාජකාරී කර ඇත.
යටත්විජිත සමයේ පොලිස් මුලාදෑනි නිලය ඉහළම පිළිගැනීමක් ඇති ගෞරවාන්විත තනතුරක් විය.
හියු මහතාගේ මව වර්ණකුලසූරිය තෙරේසා තමෙල් නම් වූවාය.
ස්ටීවන් ප්‍රනාන්දු යුවළට පුතුන් තිදෙනෙකු සහ දියණියන් තිදෙනෙකු සිටි අතර හියු ප්‍රනාන්දු ඒ යුවළගේ දෙවැනි පුතා විය.
ඔහු උපත ලැබුවේ 1916 වසරේ නොවැම්බර් මාසයේ 17 වැනිදාය.
වෙන්නප්පුව, නයිනමඩම ගමේ ඉස්කෝලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ හියු ප්‍රනාන්දු මහතා වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත්තේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙනි.
මාරිස්ටෙලා විද්‍යාලයේ සෑම අතින්ම කැපී පෙනුණු දීප්තිමත් සිසුවෙක් වූ හියු ප්‍රනාන්දු මහතා පාසල් අධ්‍යාපනය නිමාකිරීමෙන් පසු මීරිගම ඉංග්‍රීසි ගුරු විද්‍යාලයේ පුහුණුව ලබා අවසන් කර වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත්වීම් ලබා පැමිණියේය.
සමූහයක් සිසු දරුවන්ගේ ඥානය පෑදීමට ගුරුවරයකු ලෙස සුවිශේෂ මෙහෙවරක් කරමින් සිටි අතරවාරයේ හියු ප්‍රනාන්දු මහතා දේශපාලනයට පිවිස ඇත්තේ නාත්තන්ඩිය මැතිවරණ කොට්ඨාසයෙන් ස්වාධීනව තරග කළ පීටර් පෙරේරා මහතාගේ ප්‍රබල ආධාරකරුවෙකු වශයෙනි.
ඒ 1947 පැවති මහ මැතිවරණයේදීය.
හියු ප්‍රනාන්දු මහතා සහය දැක්වූ පීටර් පෙරේරා මහතා 1947 මහ මැතිවරණයේදී පරාජයට පත්වූයේ නාත්තන්ඩිය ආසනයෙන් තරග කළ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතාටය.
ඇල්බට් එෆ්. පීරිස් මහතා තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙනි. 1951 වසරේ පෙබරවාරි මාසයේදී නයිනමඩම කම්මල්පත්තු ගම් සභාවේ සභාපති ධුරයට හියු මහතා තේරී පත්වූයේ ඒ වෙනුවෙන් පැවැති ඡන්දයේදී ජනතාවගේ වැඩිම ඡන්ද ලබා ගනිමින්ය.
නයිනමඩම ගම් සභාවේ සභාපති තනතුර හොබවමින් හියු මහතා විශාල ජනතා මෙහෙවරක් ඉටුකර තිබෙන බව ගමේ සිටින පැරැන්නෝ පවසති. හියු ප්‍රනාන්දු මහතාගේ මහගෙදර පිහිටා තිබෙන්නේ මීගමුව හලාවත ප්‍රධාන මාර්ගයට මායිම්ව වෙන්නප්පුව නයිනමඩම ප්‍රදේශයේය.
වර්තමානයේ ඒ නිවසේ පදිංචිව සිටින්නේ හියු මහතාගේ සහෝදරියක් වන කෙන්සි ප්‍රනාන්දු මහත්මියගේ පුතෙකු වන ටේරවින් ප්‍රනාන්දු මහතාය.
ටේරවින් ප්‍රනාන්දු මහතා වයඹ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වන අතර ඔහු ඊට පෙර වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් කටයුතු කර ඇති ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසාදයක් දිනාගත් දේශපාලනඥයෙකි.
“මම පදිංචිවෙලා ඉන්න මේ මහ ගෙදරට ඒ කාලයේ අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්, එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන සහ කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු ජනනායකයන් ගණනාවක්ම නිතර ආගිය තැනක්. ඒ වගේම ඒ කාලයේ මේ නායකයෝ හියු ප්‍රනාන්දු අපේ මාමා එක්ක එකතුවෙලා වැදගත් දේශපාලන තීන්දු තීරණ ගත්තු තැනක් වශයෙනුත් හඳුන්වන්න පුළුවනි” යැයි වයඹ පළාත් සභා මන්ත්‍රී ටේරවින් ප්‍රනාන්දු මහතා කීය.
පසු කාලයක හියු ප්‍රනාන්දු මහතා නයිනමඩම තණතොටුපොළ ආසන්නයේ පිහිටි කතෝලික සුසාන භූමිය ආසන්නයේ පිහිටි නිවසකට පදිංචියට ගොස් ඇති අතර මියයන තෙක්ම ඔහු පදිංචිව සිට ඇත්තේ එම නිවසේය.
හියු ප්‍රනාන්දු මහතා විවාහ වූයේ නෝරා ප්‍රනාන්දු මහත්මිය සමගය.
විවාහය සිදුවී ඇත්තේ 1942 වසරේ දෙසැම්බර් මාසයේ 29 වැනිදාය.
ඒ විවාහයෙන් ඔවුන් දෙපොළට එක් දියණියක් හා පුතුන් දෙදෙනෙක් සිටිති.
අයි. වී. ප්‍රනාන්දු මහත්මිය පවුලේ වැඩිමලා වූ අතර දෙවැනියා වූයේ ලෙස්ටර් ප්‍රනාන්දු මහතාය.
පවුලේ බාලයා රියෙන්සි ප්‍රනාන්දු වන්නේය.
ප්‍රනාන්දු මහත්මිය උපාධිධාරී විශ්‍රාමික ගුරුවරියක් වන අතර ලෙස්ටර් ගුවන් සමාගමක විධායක ශ්‍රේණියේ රැකියාවක් කර ඇත.
පවුලේ බාලයා රියෙන්සි ව්‍යාපාරික කටයුතුවල නියලී සිටී.
හියු ප්‍රනාන්දු මහතා 1952 වසරේ පැවැති මහ මැතිවරණයට තරුව ලකුණ යටතේ ස්වාධීනව නාත්තන්ඩිය ආසනයට තරග කරද්දී එක්සත් ජාතික පක්ෂයෙන් එම ආසනයට තරග වැදී ඇත්තේ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතාය.
ඒ මැතිවරණයේදී හියු ප්‍රනාන්දු මහතා ඇල්බට් එෆ්. පීරිස් මහතාට පරාජයවී ඇත්තේ ඡන්ද 306කින්ය.
නාත්තන්ඩිය ආසනයට 1956 මැතිවරණයේදී ස්වාධීනව තරග කළ එජාපයේ පතාක යෝධයෙක් ලෙස සැලකූ ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා පරාජය කරනු ලැබුවේ ඡන්ද 3500කට වැඩි සංඛ්‍යාවක් ලබාගෙනය.
ජෝශප් වාස් ගුරු මණ්ඩලය.
1956 වසරේදී බලයට පත්වූ මහජන එක්සත් පෙරමුණු රජයේ අග්‍රාමාත්‍ය පදවිය එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතානන් දැරූ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පිලිප් ගුණවර්ධන මහතා ද කෘෂිකර්ම උප ඇමැතිවරයා ලෙස හියු ප්‍රනාන්දු මහතා ද පත්වූහ.
මෙරට අඳ ගොවීන්ට විශාල සෙතක් සහනයක් ගෙනදුන් 56 කුඹුරු පනත ගෙන ඒමට මූලිකත්වය ගෙන ලොකු කාර්යභාරයක් කර ඇත්තේ පිලිප් ගුණවර්ධන හා ඔහුගේ උප ඇමැතිවරයාව සිටි හියු ප්‍රනාන්දු මහතාය.
නියෝජ්‍ය කතානායක ධුරය ද උසුලමින් සිටි අතරවාරයේ හියු ප්‍රනාන්දු මහතා කතානායක ධුරයට පත්වූයේ කතානායකවරයාව සිටි නාවලපිටිය මන්ත්‍රී ආර්. එස්. පැල්පොල මහතාගේ අස්වීමෙන් පසුවය. හියු ප්‍රනාන්දු මහතාගේ බාල පුත්‍රයා වන රියෙන්සි ප්‍රනාන්දු මහතා පවසන ආකාරයට සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන්ම චතුර ලෙස කතා කළ හැකි කතානායකවරයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ තම පප්පාය.
ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමේ පත්තර පනත සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමයේ 1964 දෙසැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ගෙනවිත් ඡන්දයක් විමසූ අවස්ථාවේ එයට පක්ෂව හා විපක්ෂව සමාන ඡන්ද සංඛ්‍යාවක් ලැබුණු අවස්ථාවේ තීරණාත්මක ඡන්දය වූ කතානායකවරයාගේ ඡන්දය හියු ප්‍රනාන්දු මහතා පාවිච්චි කළේ පත්තර පනතට විරුද්ධවය.
පත්තර පනත පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී පරාජයට පත්වූ නිසා 1964 වසරේ දෙසැම්බර් මාසයේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රජය විසුරුවා හැරියාය.
ඊළඟ මහ මැතිවරණය 1965 වසරේදී පැවැත්වූ අතර එම මැතිවරණයට හියු ප්‍රනාන්දු මහතා තරග කළේ නැත.
කතානායකව සිටි ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් මහතා 1968 වසරේ අභාවයට පත්වූ පසු නාත්තන්ඩිය ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයක් පැවැත්වූ අතර එයට එක්සත් ජාතික පක්ෂයෙන් ඔහු තරග කර ජයග්‍රහණය කළේය.
එජාප රජයේ වෙළෙඳ හා වාණිජ අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබුවේ හියු ප්‍රනාන්දු මහතාය.
එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා සමග පැවැති මතභේදයක් කෙළවර වූයේ හියු ප්‍රනාන්දු මහතා දේශපාලනයෙන් ඉවත්වී තම ව්‍යාපාරික කටයුතුවල නියැලී සිටීමෙන්ය. දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටින අතරවාරයේ යළිත් ඔහු දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ හියු ප්‍රනාන්දු මහතා පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත් කරනු ලැබීය.
හියු ප්‍රනාන්දු මහතාගේ අපූරු ජීවිත තොරතුරු ඊළඟට කියවමු...
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය