දිනෙන් දින වැඩිවන මෙරට ජනගහනයට ඔරොත්තු දෙන අයුරින් නව උපාය මාර්ග සංවර්ධන වැඩසටහන් දියත් කිරීමෙහි පුරෝගාමී වූ දේශපාලනඥයන් අතළොස්සකගේ නම් අද ජනතාව සිහිපත් කරනුයේ මහත් ගෞරවාදරයකිනි.මහාමාන්‍ය ඩී. එස්. සේනානායක නාමය ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයටත් ගාමිණී දිසානායකගේ නාමය මහවැලි සංවර්ධන ව්‍යාපාරයටත් ජනපති ආර්. ප්‍රේමදාස නාමය නිවාස සංවර්ධන වැඩසටහනටත් බැඳී තිබෙන්නා සේ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ නාමය මෙරට ගුවන් පාලම් නිර්මාතෘ ලෙස ඉතිහාසයට එක්ව ඇත.
ත්‍රස්තවාදය මර්දනයෙන් පසු බොහෝ දෙනා රටේ දැවැන්ත සංවර්ධනයක් බලාපොරොත්තු වූහ. දිනෙන් දින වැඩිවන ජනගහනය නිසා රටේ සෑම ක්‍ෂේත්‍රයකටම බරපතළ අභියෝග රැසකට මුහුණ පෑමට සිදුව තිබිණ. දැඩි මාර්ග තදබදය ඉන් එකකි.
අතීතයෙන් පැවත එන ප්‍රධාන මාර්ග කිසිවක් අද ධාවනය වන වාහන කන්දරාවට ඔරොත්තු දීමට අසමත් බව සැබෑය. විකල්ප මාර්ග තැනීමේදී ජනාවාස ඉඩම්, කෘෂි ඉඩම් හා වනාන්තර එළිකිරීමටත් පවරා ගැනීමටත් සිදුවෙයි. ඒ සඳහා මුදලින් මෙන්ම ජීවිතවලින්ද වන්දිගෙවීමට සිදුවනු ඇත. මේ සඳහා විකල්ප මාර්ග පද්ධතියක් සකසාලීමට සාර්ථක පියවරක් ගත් දේශපාලනඥයකු ලෙස ජෙයරාජ් හැඳින්විය හැකිය.
ජනගහනය අධික නගරවලට හා දුම්රිය හරස් පාරවල් උඩින් යකඩ ගුවන් පාලම් ක්‍රමය ඔහු හඳුන්වා දුන් නිසාය. ඇත්ත වශයෙන්ම ජෙයරාජ් යනු යකඩයෙකි. පැත්තගියත් ඇත්ත කියන කවුරු හරස් වුණත් කිව යුත්ත මූණටම කියා තමන්ගේ හෘදය සාක්‍ෂියට අනුව වැඩ කරන කෙනෙකු ලෙස කටාන ජනතාව ඔහු හඳුනති. තමිල් චෙල්වම්ටද ඔහු අභියෝග කළේය.
“මේ රටේ ඉන්නේ වර්ගවාදී ජනතාවක් නොවෙයි. රටට ආදරේ ඇති හා ආදරේ නැති යන දෙපිරිසක් පමණයි.” වරක් ජනපති මහින්ද රාජපක්‍ෂ පැවසුවේ ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ වැනි ප්‍රධාන ජනවර්ගයට නොගැනුණු එහෙත් රටට ආදරේ ඇති පුද්ගලයන්ගේ කුසලතා අගය කරමිනි. ජෙයරාජ් කොතරම් වේගයෙන් හා ක්‍රමවත්ව වැඩ කළාද යත් ඔහු හැදින්වූයේ “මහින්දගේ දකුණු අත’‘ යනුවෙනි.
1953 ජනවාරි 11 වැනිදා කටාන වැලිහේනේදී උපත ලැබූ ජෙයරාජ් මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය සඳහා වරම් ලැබීය. එය ගණිත ප්‍රශ්න පත්‍රය විෂය නිර්දේශයට නොගැළපෙන බව පෙන්නා දීමට යාම නිසා විදුහල්පති සහෝදරතුමා කෝපයට පත් විය.
ඔහු සමඟ බහින් බස් වූ ජෙයරාජ්ට උසස් පෙළ වරම අහෝසි විය. ඒ නිසා ඔහු හලාවත ශාන්ත මරියා විද්‍යාලයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත්කරන ලදී. ජෙයරාජ් පැරණි පාසලේ විදුහල්පතිවරයා අවසන්වරට හමුවූයේ ඔහුට අභියෝගයක් ද කරමිනි.
“මං කවදහරි මාරිස්ටෙලාවෙන් උසස් පෙළ ලියන අයට වඩා ඉහළින් පාස් වෙනවාමයි.
ජෙයරාජ් අභියෝගවලින් පිරීගිය තම දිවියේ මුල්ම ජයග්‍රහණය ලැබුවේ එම අනාගත වාක්‍ය සත්‍ය කරමිනි. විද්‍යා ගණිත ගුරුවරයෙකු ලෙස වෘත්තිය දිවිය ඇරඹූ නමුත් ජනසමාජයේ සිදුවන අසාධාරණකම් හමුවේ කම්පා වී තමන්ට උචිත නීතිඥ වෘත්තිය තෝරාගෙන ඒ තුළින් සත්‍යය සෙව්වේය. ඉනුත් නොනැවතී දේශපාලනයට පිවිසි ජනතා සුබසෙත සඳහා වෙහෙසුණේය.
1989 රටේ බිහිසුණු වාතාවරණයක් රජකරන සමයක කටාන ආසනය නියෝජනය කරමින් දිනා මැතිසබයට පිවිසුණු ජෙයරාජ් වසර විස්සක් පුරා විවිධ අමාත්‍ය තනතුරු ඉසිලීය.
මුදල් ක්‍රම සම්පාදන, ජනවාර්ගික කටයුතු හා ජාතික ඒකාබද්ධ, සැලසුම් ක්‍රියාත්මක කිරීම යන අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමැති ධූරද සැලසුම් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු කටයුතු, ගුවන් තොටුපොළ සංවර්ධනය, සංචාරක වෙළෙඳ සහ වාණිජ ක්‍රිස්ත්‍රියානි ආගමික කටයුතු ගුවන්සේවා සහ මහාමාර්ග අමාත්‍යාංශවල අමාත්‍යවරයා විය.
එල්.ටී.ටී.ඊ සංවිධානය සඳහා වූ සාම සාකච්ඡාවලදී ද දෙස් විදෙස් සමුළුවලදී ද ත්‍රස්තවාදයට එරෙහිව හඬ නැගූ ජෙයරාජ් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්‍ෂයේ සංවිධායක ලෙස කාර්යශූරව කටයුතු කළේය.
යුද සමයේ මන්නාරම ජල ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ඔහු ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී විය. ඔහුගේ ආරක්‍ෂකයන් ජෙයරාජ්ට උපදෙස් දුන්නේ තමන්ට පිටුපසින් පැමිණෙන ලෙසය.
“මං මොකටද හැංගිලා එන්නෙ?” ඔහු ඇසීය.
‘ආරක්‍ෂාවටනෙ සර්” ආරක්‍ෂකයෝ කීහ.
“මං යන්නෙ ජනතාවත් එක්ක. තමුසෙලාට ඕනෑනම් මගෙ පස්සෙන් එනවා. තමුසෙලාව ආරක්‍ෂා කරන්න මට පුළුවන්”
වරක් ජෙයරාජ්ගේ මෙවැනි එඩිතර වදන් අගය කරමින් වැලිවේරියේ පැවති ගුණානුස්මරණ උත්සවයක දී අමරපුර නිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස නාහිමියන් අනුශාසනා කළ අයුරු අපට මතකය.
නීතීඥයකු වූවද ඔහු ගිනිකන්නෙකු නොවීය. ඔහු පෙනී සිටියේ කොතරම් අවාසිදායක වූවද යුක්තිය පැත්තේය. සේවාදායකයන් සූරා ගන්නා ගිනිකන්නෙකු නොවූ ජෙයරාජ් “අතේ තියෙන හැටියට කීයක් හෝ දෙන ලෙස පවසා තම මහන්සිය ලබාගත්තේය.
අමාරුවේ වැටුණු සහෝදර මන්ත්‍රීවරුන්ට පිහිටවූවකු ලෙසද ජෙයරාජ් ප්‍රසිද්ධය. තම නිවස බැංකුවට සින්නවෙන්නට ගිය තරුණ මන්ත්‍රීවරයකු හඬමින් සිටිනු දුටු ජෙයරාජ් ඔහුගෙන් බැංකු ගිණුම් අංකය ලබාගෙන මුදල් එම ගිණුමට දමා බිල්පත මන්ත්‍රීවරයාට දුන්නේය.
ජෙයරාජ්ගේ අපූරු වැඩගැන ඔහුගේ චරිතාපදානයේ ද පළවෙයි. වරක් නැගෙනහිර පළාත් සභා ඡන්දයට නාමයෝජනා දෙන අවස්ථාවට එක්වීමට ඔහු තම ගජමිතුරා වන බැසිල් රාජපක්‍ෂ සමඟ ත්‍රිකුණාමලයට ගිය ගමන තීරණාත්මක එකක් විය.
“ඔහේලට ඇතුළට යන්න දෙන්න බෑ”
ආරක්‍ෂකයෝ මග ඇවිරූහ. ජෙයරාජ්ට යකා නැග්ගේය” මේක අපේ රට අපි ආණ්ඩුවේ ඇමතිවරු අපේ රටේ ඕනෑ තැනකට යන්න හරි ඇතුළු වෙන්න හරි අවසර නැත්නම් මේ ඇමැති පට්ටම්වල ඇති වැඬේ මොකක්ද?” එසේ පැවසූ ජෙයරාජ් ආරක්‍ෂක ඉල්ලීම් නොතකා කච්චේරිය ඇතුළට ගියේය.
දෙමළ ජනතාව මේ දෙස විපරමෙන් බලා සිටියෝය. “හරි ඔහෙලාට ආණ්ඩුවෙන් කෙරෙන්න ඕනෑ වැදගත්ම දේ කියන්න” ජෙයරාජ් ඔවුන්ගෙන් ඇසීය.
“අපට කින්නියා පාලම හදල දෙන්න”
ගත වූයේ දෙමසකි. ජෙයරාජ්ගේ උපදෙස් හා මහින්ද රාජපක්‍ෂගේ අනුග්‍රහය ඇතිව කින්නියා පාලම ඉදිකෙරිණි. ජෙයරාජ් වනාහි නීතියට බියෙන් යුතුකම ඉල්ලා අස්කරගත්තකු නොව තමන්ට වුවමනා පරිදි නීතිය සකසා ගත්තෙකු බවට මෙය කදිම නිදසුනකි. ඔහුගේ අනන්‍යතාව එයයි.
ශ්‍රීලනිපයේ භාණ්ඩාගාරිය ධූරය දැරූ පක්‍ෂයේ අරමුදල් තර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළ රැසක් ඔහු අතින් නිර්මාණය විය. සියලු ආගම්වලට ගෞරව කළ ජෙයරාජ් තම ආසනයේ ඉඩම් නොමැති ජනතාව උදෙසා ජනජයගම, සමෘද්ධිගම, රාජපක්‍ෂ පුරය වැනි ආදර්ශ ගම්මාන බිහිකර ඒවායෙහි පන්සල්, පල්ලි හා හින්දු ආගමික ස්ථාන ගොඩනැගුවේය.
කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළට එන ඉස්ලාමීය බැතිමතුන් උදෙසා වන්දනාමාන කිරීමට ස්ථානයක් එම පරිශ්‍රයේ ගොඩ නැගුවේ ගුවන්සේවා අමාත්‍යධූරය දරමින් සිටි සමයේය.
ජෙයරාජ්ගේ බිරිඳ හෙවත් ශ්‍රීලනිප කාන්තා පෙරමුණේ නායිකාව මෙන්ම රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මියද සැමියාගේ කටයුතු සඳහා නොමද අනුබලය හා සහයෝගය දුන්නාය.
තම පක්‍ෂයේ නායකයාණන් වෙත තම ආරක්‍ෂාවට පැලඳගෙන තිබූ මුදුව ගලවා ප්‍රදානය කළ ජෙයරාජ් කොළඹින් බැහැරව වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය වෙත 2008 අප්‍රේල් 06 වැනිදා පැමිණියේ අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයකු ලෙසය.
ඒ වන විටත් මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයෝ හුදෙකලාව හැසිරෙන මෙම දේශපාලන පෙරළිකරු දෙස තම රුදුරු නෙත් අයාගෙන සිටි බව කිසිවකු සිතන්නට නැත. මරණ තර්ජන නොතකා ආත්ම විශ්වාසය තම ශක්තිය කරගත් ජෙයරාජ් එම තර්ජන ගණන් ගත්තේම නැත.
මැරතන් ධාවන ඉසව්ව ඇරඹීමට සංඥාව දීමේ අවස්ථාව එළැඹිණ. ඔහු සමඟ ප්‍රවීණ මැරතන් ශූර කරුණාරත්නද පුහුණුකරු ලක්‍ෂ්මන්ද අල්විස් ද විය. නොසිතූ විරූ මොහොතක මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා ඔවුන් අතර වැදිණ. පිපිරුම් හඬ ගින්දර සහ කළු දුමාරය මැදි වී මරහඬ නැගෙද්දී වීරෝදාර ලංකා පුත්‍රයා ඇතුළු 17 දෙනකුට දිවි අහිමි වී තිබිණි. 83කට බරපතළ තුවාල සිදුවිය. ඔහුගේ වියෝවෙන් දස වසරක් ගෙවෙන මේ මොහොතේදීත් ජෙයරාජ්ගේ රුව ගුණ ජනතා මතකයෙන් බැහැරව නැත. ජෙයරාජ් පොදු ජනතාවගේ හදගැස්ම හඳුනාගත් නායකයෙකි.
මාර්ග වාහන තදබදයට විකල්පයන් ලෙස ගුවන් පාලම් ක්‍රමය ඔහු ලංකාවට හඳුන්වා දුන්නේය. එසේම ජීවින වියදම පහළ දැමීමට උපක්‍රමයක් ලෙස වෙළෙඳ අමාත්‍ය ධුරයේ සිටියදී ජෙයරාජ් අපූරු යෝජනාවක් ගෙන ආවේය. දිනෙන් දින අභාවයට යමින් සිටි සමූපකාර ක්‍රමය යළි පණ ගන්නවාලමින් ලක් සතොස ශාඛා රටපුරා ඇරඹීය.
ඉතා පහසු මිලට ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ කුළුබඩු, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට ආර්ථිකයෙන් අසරණව සිටි ජනතාවට ලක් සතොස නිසා හැකි විය. අද ජෙයරාජ් ජීවතුන් අතර නැතත් ඔහුගේ ලක් සතොස සංකල්පය දීප ව්‍යාප්තව පණ ගැන්වෙමින් පවතී.
ඊළඟට ජෙයරාජ් කළේ දිනෙන් දින ඉහළ යන බේකරි නිෂ්පාදනවල මිල ගණන් නිසා අසරණ වන ජනතාවට සහනයක් සැලසීමට සැලසුමක් සෙවීමය. ඒ අනුව ප්‍රිමා පිටි ඒකාධිකාරය බිඳලන්නට තුර්කියෙන් තිරිඟු පිටි ආනයනය ඇරඹීමට වෙළෙඳ අමාත්‍යවර ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ කටයුතු කළේය.
අද වන විට ඔහු ජීවත්ව සිටියා නම් සංකල්ප රාශියක් අපේ රටේ ප්‍රගතිය සඳහා ආරම්භ කර ක්‍රියාත්මක කරනවාට සැක නැත. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ දකුණු අත ලෙස ඔහු විරුදාවලී ලැබූ අයුරින්ම නව සියවසට ගැළපෙන සේ ශ්‍රී ලංකාව හැඩගැස්වූ දේශපාලනඥයකුගේ ප්‍රතිරූපයක් ලෙස ඔහු විරාජමාන වනු ඇත.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි