අප එහි නවාතැන් ගෙන සිටි දින දෙක පුරාවට රාත්‍රී කාලයට පුළුල් තිරයක් මත ප්‍රොජෙක්ටරයක ආධාරයෙන් සටන් ජවනිකා අඩංගු චිත්‍රපට පෙන්වනු ලැබූ අතර ඒවා උතුරේ පිහිටි අපේ ඇතැම් හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කර අත්පත්කර ගත් අවස්ථාවේ ඇවිළී ගිය සටන් ඇතුළත් දර්ශන විය.
එල්.ටී.ටී.ඊ. මාධ්‍ය අංශය විසින් එම සටන් පැවැති අවස්ථාවලම ඒවා වීඩියෝ කර ඇති බව පසුව අපට දැන ගැනීමට ලැබිණි.
රාත්‍රී නිදා ගැනීමට ගිය පසු කිසිම හේතුවක් නිසා හෝ නිදාගෙන සිටින ශාලාවලින් පිටට නොයන ලෙසට දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා අපව කල්තියාම දැනුම්වත් කළේය.
කිසියම් හේතුවක් මත නිදා ගැනීමට සකස් කර ඇති ශාලාවලින් රෑට පිටවීමට අවශ්‍ය නම් ඒ බව ඔෆිස් කාමරයේ සිටින එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට දැනුම් දිය යුතු බවට ද එල්.ටී.ටී.ඊ. ය පනවා තිබූ තවත් නියෝගයකි.
මමත් අපේ ඡායාරූප ශිල්පියා වූ බාලසූරියත් මහ රෑ අවදි වී අප ලැගුම් ගෙන සිටි මධ්‍යස්ථාන භූමියේ පිහිටි වැසිකිළිය වෙත ගියේ කොටි ඔෆිස් එකට ගොස් අපේ අවශ්‍යතාව ඔවුන්ට සැල කිරීමෙන් තොරවය.
අප වැසිකිළියට ගොස් පිටතට පැමිණෙන විට එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශයේ සාමාජිකයන් හතර දෙනෙක් වැසිකිළියේ දොරකඩ ළඟය.
බාලසූරියවත් මාවත් හොඳ හැටි පරික්ෂා කර බලා ඔවුන් කීවේ යළිත් එසේ නොකරන ලෙසය. අපි දෙන්නා කරබාගෙන යළිත් නිදා ගැනීමට පැමිණියෙමු.
මාධ්‍යවේදීන් ගැන නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටීමට එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයන් යොදවා සිටින බව අප කොයිකවුරුත් දැනගත්තේ මේ සිද්ධියෙන් පසුවය.
පසුදිනට පහන් වූ අවස්ථාවේ අපට දැක ගැනීමට ලැබුණේ යුද්ධයෙන් ආබාධිත වූ එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් විශාල වශයෙන් අප නවාතැන්ගෙන සිටි භූමියේම කොනක පිහිටි ගොඩනැගිල්ලක් වෙත පියමං කරන අයුරුය.
ආබාධිත එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් කැඳවාගෙන පැමිණ තිබුණේ බස් හා වෑන් රථවලිනි.
ආබාධිත එල්.ටී.ටී.ඊ. සාමාජික, සාමාජිකාවන්ට යම් යම් පුහුණුවීම් ලබාදෙන බවත් ඒ සඳහා නිතිපතාම මෙසේ උදේ ඔවුන් මෙම ස්ථානයට කැඳවාගෙන එන බවත් අප සමග පැවසුවේ එහි සිටි කොටි සාමාජිකයින් පිරිසකි.
ප්‍රභාකරන්ගේ මාධ්‍ය හමුව පැවැත්වෙන දින පාන්දරම අපට අවදි වී ඒ සඳහා සූදානම් වෙන ලෙස දයා මාස්ටර් පෙර දින නිදාගැනීමට සැරසෙන විට දැනුම් දුන්නේය.
ඒ වන විට දෙස් විදෙස් මාධ්‍යවේදීන් 300කට වැඩි පිරිසක් එහි පැමිණ සිටියහ.
උදේ 8.00 පමණ වන විට ඒ සියලුම දෙස් විදෙස් මාධ්‍යවේදීන් 10 - 15 අතර කණ්ඩායම්වලට බෙදා ඔවුන් පරික්ෂා කිරීමට වෙන්කර තිබූ කාමර ඉදිරිපිටට කැඳවනු ලැබූහ.
ඊට පසු මාධ්‍යවේදීන් එකිනෙකා දැඩි පරික්ෂා කිරීම්වලට කොටි සාමාජිකයන් විසින් ලක්කළේ ඔවුන්ගේ ඇඳුම් පැලඳුම් පවා ගලවා බලමිනි. නාස් පුඩු හා කන්වලට පවා ඇඟිලි දමා පරික්ෂාකර බැලීමට කොටි සාමාජිකයෝ අමතක නොකළහ.
එපමණක් නොව ඔව්හු මාධ්‍යවේදීන් පැලඳ සිටි සපත්තු පවා ගලවා සියුම් ලෙස පරික්ෂා කර බැලූහ.
මා පැලඳ සිටි සපත්තු දෙකෙන් එකක අඩියේ පුංචි තිරිවාන ගල් කැබැල්ලක් සිරවී තිබී ඉවතට ගත් මා පරික්ෂා කර බැලූ කොටි සාමාජිකයා එය අධි බල විදුලි ධාරාවකට අල්ලා පරික්ෂා කර බැලූ හැටි මගේ මතකයේ තවමත් රැඳී පවතී.
කැමරා ආම්පන්න පවා කොටින්ගේ බාරයට ගත් අතර ඒවාද පොලිතින් බෑග්වල අසුරා සලකුණක් තබා නැවත හිමිකරුවන්ට බාර දුන්නේ ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයේ දී ය.
සියලු පරික්ෂා කිරීම් අවසන් වන විට දහවල් 12.00 පමණ වී තිබූ අතර පරික්ෂා කිරීම්වලට ලක්වූ සෑම මාධ්‍යවේදියෙක්ම අඳුරු වීදුරු සහිත බස් රථවලට ගොඩකරනු ලැබූහ.
පරික්ෂා කිරීම් සිදුකෙරෙන අතරවාරයේ අපට දිවා ආහාරය පිරිනැමීය.
බස්රථයට ගොඩ කළ පසු මොනම හේතුවක් නිසාවත් යළි බස් රථයෙන් බැසීමට හෝ වීදුරුවක් විවෘත කර එළියේ සිටින කෙනෙක් සමග කතා කිරීම කොටින් විසින් තහනම් කර තිබිණි.
ඒ තහනම නොසලකා හැර ප්‍රසන්න සංජීව බස් රථයකට ගොඩ නොවී සිටි හිතවත් මාධ්‍ය සගයෙක් සමග බස්රථයේ වීදුරුව විවෘත කර කතා කරනවා දුටු කොටි සාමාජිකයෙක් අපේ ප්‍රසන්න සංජීව බස් රථයෙන් බස්සවා පරික්ෂා කර බලා යළි බස් රථයට ගොඩකළේය.
මෙවැනි පරික්ෂා කිරීමට විරෝධය පළ කිරීමක් වශයෙන් එම පරික්ෂා කිරීම්වලට සහභාගි නොවූ අපේ මාධ්‍ය සගයෙක් සිටියා මට මතකය.
ඒ මාධ්‍ය සගයා දිවයින කර්තෘ මණ්ඩලය නියෝජනය කරමින් පැමිණ සිටි අයෙකි. පරික්ෂා කිරීම්වලට භාජනය නොවූ නිසා ඔහුට ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවීමට යාමට ඉඩ ලැබුණේ නැත.
බස් රථවලට ගොඩකරවා ගත් අපව ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයට කැඳවාගෙන ගියේ ඉන් පසුවය. අඳුරු වීදුරු සහිත බස්රථවලින් අපව කැඳවාගෙන ගිය නිසා යන්නේ කොහාටද කියා අප දැන සිටියේ නැත.
ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන ස්ථානයක් ගැන කල්තියා කොටින් අපට කියා තිබුණේ ද නැත. කෙසේ වෙතත් අප පැමිණ තිබුණේද වට්ටකච්චිය ප්‍රදේශයේම තැනකටය. කෙටි දුරකින් ඒ ස්ථානයට පැමිණීමට අවකාශ තිබුණත් වෙනත් මාර්ග ඔස්සේ සෑහෙන කාලයක් මිඩංගු කරමින් අපව ඒ තැනට ගෙනා බව පසුව දැනගැනීමට ලැබිණි.
ප්‍රභාකරන් ප්‍රවෘත්ති සාකච්ඡාවට පැමිණෙන භූමිය සුදුවැලි අතුරා ලස්සන කර තිබූ අතර එල්.ටී.ටී.ඊ. කොඩිවලින් මුළු භූමියම සරසා තිබෙන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකි විය. විශේෂ පීඨිකාවක් සහිත තාවකාලික ගොඩනැගිල්ලක් එහි ඉදිකර තිබුණේ ප්‍රභාකරන්ට ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමටය.
මාධ්‍යවේදීන්ගෙන් ඒ පීඨිකාව සහිත ශාලාව පිරී ඉතිරී ගොස් තිබූ නිසා ශාලාවෙන් පිටත පවා රැඳී සිටීමට මාධ්‍යවේදීන්ට සිදුවිය. මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන ප්‍රදේශය පුරා දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබූ අතර සාමාන්‍ය ජනතාවට ඒ ප්‍රදේශය තහනම් කර අධිආරක්ෂක කලාපයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙන අයුරු එහි ගිය අපට දැකගැනීමට හැකි විය. ප්‍රභාකරන් ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වීමට එම ස්ථානයට ඉදිරිපසින් ඇති මාර්ගය ඔස්සේ පැමිණෙනු ඇතැයි සිතූ කැමරා ශිල්පීන් ඒ මාර්ගය අසල රැඳී සිටියේ හොඳ ඡායාරූප ලබාගැනීමේ බලාපොරොත්තුවෙනි.
ඒත් එක්කම අඳුරු වීදුරු සහිත පැජරෝ වර්ගයේ ජීප් රථයක් පැමිණි අතර කැමරා ශිල්පීන් ඒ දෙසට කැමරා මානගෙන සිටියේ ප්‍රභාකරන් එයින් බැස එන තෙක්ය. එහෙත් ඒ ජීප් රථයෙන් බැස ආවේ ප්‍රභාකරන් නොව කොටි නායකයන් කිහිප දෙනෙක් හා ඔවුන්ගේ ආරක්ෂකයින් පිරිසකි.
ඒ කොටි නායකයන් පැමිණි ජීප් එක නවත්වනවාත් සමගම පිටුපසින් පිහිටි මාර්ගයකින් පැමිණි ප්‍රභාකරන් පැමිණි ජීප් රථය නවතා ඔහු බිමට බැස්සේය. එහෙත් ඒ වෙන විට ඒ අසල ගැවසෙමින් සිටි මමත් ප්‍රසන්න සංජීව තෙන්නකෝන්ටත් ඒ අවස්ථාව දැක බලා ගැනීමට හැකි විය. ප්‍රභාකරන් එක්කම එල්.ටී.ටී.ඊ. න්‍යායාචාර්ය ඇන්ටන් බාලසිංහම්, ඔහුගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්, දේශපාලන අංශයේ නායක තමිල් සෙල්වම්, නැගෙනහිර කොටි සන්නද්ධ අංශයේ නායක කරුණා අම්මාන් සහ කොටි පොලිස්පති නඬේසන් ඇතුළු කොටි නායකයන් රැසක්ම පැමිණ සිටියා මට මතකය.
මාධ්‍ය සාකච්ඡාව පැවැතුවේ ඊට පස්සේය.
ඒ කතාව ඊළඟට කියවමු.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූප : අන්තර්ජාලයෙනි.