1988-89 අතර කාලයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සහ රජයේ නිල නොවන සන්නද්ධ කල්ලි මගින් දියත් කරන ලද භීෂණය රට තුළ නිදැල්ලේ ගලා යමින් තිබුණේය. එහි ක්‍ෂණික ප්‍රතිඵලය වූයේ ගෙලකපා හෝ වෙඩි තබා ඝාතනය කරන ලද අඩක් දැවී ගිය මළ සිරුරු මහමග දමාගොස් තිබීමයි. එවැනි බිහිසුණු ක්‍රියාවන් සිදුකරනු ලැබුවේ රට තුළ හොර රහසේ ක්‍රියාත්මක වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ සන්නද්ධ සාමාජිකයන් විසිනි. එසේත් නැත්නම් ප්‍රා කොළ කොටි, ගෝණුස්සා වැනි විවිධ නම්වලින් හැඳින් වූ සංවිධාන විසිනි.
ඔවුන් විසින් කිසිදු ඉවක් බවක් නොමැතිව සිදුකළ එවැනි බිහිසුණු ක්‍රියාවලින් බැට කෑමට සිදුවූයේ මෙරට විසූ නිරායුධ සිවිල් ජනතාවට ය. ඊනියා දේශප්‍රේමීන් කුඩා තුණ්ඩු කැබැල්ලක් එවමින් ‘අද නිල නොවන ඇදිරි නීතිය. කඩ සාප්පු වසාදමා ගෙවල්වලම ඉඳපල්ලා’ අණකළ විට ඊට කීකරුව තම ව්‍යාපාරික කටයුතු සහ රැකීරක්ෂාවලට යොමුනොවී නිවෙස්වලටවී සිටීමට ජනතාවට සිදුවූයේ ඒ හැර වෙනත් විකල්පයක් නොවූ බැවින්. මේ අතර ‘වහාම කඩසාප්පු ඇරපල්ලා රැකී රක්ෂාවලට පලයල්ලා” යි පොලීසියෙන් හෝ හමුදාවෙන් කියන විට එම නියෝග පිළිපැදීමට ද අසරණ ජනතාවට සිදුවී තිබුණි.
ඒ හැර සාමාන්‍ය ජනතාව මුහුණදුන් තවත් අභාග්‍යමත් සිද්ධියක් වූයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් මහරෑ ගෙවල්වලට පැන ගිනි අවි පෙන්වා හැඳුනුම්පත් එකතු කරගෙන යාමය. හැඳිනුම්පත් නොමැතිව මහමඟ ගමන් කරන විට පොලීසියේ සහ ආරක්ෂක හමුදා භටයන්ගේ සැකයට ලක්වී බොහෝ දුක් ගැහැට විඳීමට ද ජනතාවට සිදුවී තිබුණේය.
මේ කාලයේදී කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මහතා ක්‍රියාත්මක දේශපාලනයට අවතීර්ණවී නොසිටිය ද හෙතෙම නොම්මර එකේ ශ්‍රී ලංකාකාරයෙකු බව ඔහු පදිංචිව සිටි බත්තරමුල්ල ප්‍රදේශයේ බොහෝ දෙනෙක් දැන සිටියහ. ඒඅනුව දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන්ගේ උකුසු ඇස් ඔහු දෙසට ද යොමුවී තිබුණේ යූ.ඇන්.පී. කාරයන් මෙන්ම ශ්‍රී ලංකාකාරයන්ද තමන්ගේ ජම්මාන්තර සතුරන් ලෙස ඊනියා දේශප්‍රේමීන් සැලකූ බැවිනි.
මේ වනවිට බත්තරමුල්ලේ පිහිටි බුද්දෙගේ නිවසට අවස්ථා කීපයකදීම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ සාමාජිකයන් කඩාපැන නිවසේ විසූ ඔහුගේ බිරියට සහ ළාබාල වියේ සිටි දියණියන් දෙදෙනාට ගිනි අවි පෙන්වා තර්ජනය කර තිබුණේය. ඔවුන්ට අවශ්‍ය වූයේ එම නිවසේ තිබෙන බවට සැක කළ තුවක්කුව පැහැර ගැනීමටය.
ඒ කාලයේ බුද්දෙ කොළඹ කොටුවේ රෝහල් විදියේ නිව් රත්න හෝටලය’ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් තිබුණේය. මහදවල් දෙනෝදහක් මැද්දේ එම හෝටලයට ඇතුළුවන ඊනියා දේශප්‍රේමී තරුණයන් කැසියර් කූඩුවේ සිටින බුද්දෙට ගිනි අවි පෙන්වා කප්පම් ගැනීමද එකල බොහෝවිට සිදුවිය.
ඉතින් වෙන මොනව කරන්නද? අත්බෝම්බයක් හරි පිස්තෝලයක් හරි පෙන්නලා සල්ලි ඉල්ලුවම ලාච්චුවෙ තියෙන සල්ලි අතට අහුවුණු තරමක් දෙනවා.
ඔහු එසේ කියන්නේ එකල මාසයකට වරක් අනිවාර්යෙන්ම තමන් මුහුණදුන් බිහිසුණු අවස්ථාවක් පිළිබඳව ආවර්ජනය කරමිනි. ඔහු ඒ ගැන පොලීසියට පැමිණිලි කිරීමට නොගියේ එසේ කළහොත් ඔවුන් තමන්ගේ අහිංසක දරු මල්ලන්ගෙන් පවා පළිගැනීමට ඉඩ ඇතැයි යන සැකේටය.
‘තවත් දවසක. රෑ හෝටලය වහලා මමයි. පුතයි වෑන් එකෙන් ගෙදර එන ගමන් බොරැල්ලේ නීලගිරිය ළඟ වෑන් එක නතර කරලා පුතා ගියා පාන් ගෙඩියක් ගේන්න. එතකොට අවුරුදු දාසයක, දාහතක විතර පොඩි කොල්ලෙක් මගේ ළඟට ඇවිත් පිස්තෝලයක් දික්කරලා ‘අන්කල් කරුණා කරලා බහින්න කියලා අපේ වාහනේ අරගෙන ගියා. අන්තිමට බලනකොට උන් ගිහින් තියෙන්නේ වනාතමුල්ල පැත්තේ යූ.ඇන්.පී. කාරයෙකුට වෙඩි තියන්න. පස්සේ මම බොරැල්ල පොලීසියෙ පැමිණිල්ලකුත් දාලා ගෙදර ගියාම පොලීසියෙන් පණිවිඩයක් ආවා වහාම එන්න කියලා. ඒ සැරේ බලනකොට මගේ වෑන් එක ලේඩි රිජ්වේ රෝහල ළඟ දමා ගිහින් තිබුණා. උන් වෑන්එක අරගෙන ගිහින් තියෙන්නේ මිනිහෙකුට වෙඩි තියන්න. ඒ මිනිහ වෙඩිකාලා එතනම මැරිලා.
බුද්දෙ එසේ කියන්නේ 1988-89 අතර පැවැති භීෂණ සමයේ තමන් මුහුණ පෑ විවිධ තර්ජන - ගර්ජන ගැන ආවර්ජනය කරමිනි. ඊනියා දේශප්‍රේමීන්ගෙන් සිදු වූ එවැනි හිරිහැර නිසාම තමන්ට ඒ දිනවල රාත්‍රියට හරියාකාරව නිදා ගැනීමටවත් නොහැකිවූ බව හෙතෙම පවසයි.
මේ කාලයේ කොළඹ පරණ රේස් පිටිය අසල හමුදා කඳවුරක් පිහිටුවා තිබුණේය. කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි වෙසෙන ජනතාවට ආරක්ෂාව සැපයීම භාරවී තිබුණේ එම හමුදා කඳවුරේ විසූ භට පිරිසට ය.
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් යැයි කියාගත් නාඳුනන සන්නද්ධ පුද්ගලයන්ගෙන් තමන්ට විඳීමට සිදුවී තිබෙන දුක් ගැහැට ගැන බුද්දෙ ඒ දිනවල ආණ්ඩුවේ කීප දෙනෙකුටම පැමිණිලි කර තිබුණේය. එහෙත් ඒ කිසිවකු වෙතින් තමන්ගේ ප්‍රශ්නයට නිසි විසඳුමක් නොලැබුණු බව හෙතෙම පවසයි.
අර පරණ රේස්කොස් එක ළඟ තියෙන හමුදා කඳවුරට කිව්වොත් නං ෂුවර් එකටම මොකක් හරි සහනයක් ලැබේවි. මොකද ඒ ගොල්ලන් තමයි මේ දවස්වල කොළඹ ආරක්ෂාව බාරව ඉන්නේයි කී බුද්දෙගේ හිතවතෙකු ඔහුට උපදෙස් දී තිබුණේ එම හමුදා කඳවුරේ ප්‍රධානියා හමුවී ඒ ගැන පැමිණිලි කරන ලෙසය.
ඒ දවස්වල පොලීසියේ මගේ යාළුවෙක් හිටියා ආරියසේන කියලා ඒ.එස්.පී. කෙනෙක්. එයා මට කිව්වා ඔය කෑම්ප් එක බාරව ඉන්න ජයසුන්දර කියන බි්‍රගේඩියර් මම ටිකක් දන්නවා. අපි එයාට ගිහින් මේ ගැන කියමුයි කියලා. පස්සෙ අපි දෙන්නම ගිහින් ඒ බි්‍රගේඩියර් හමුවුණා. දැන් ඔන්න අපි ඒ කෑම්ප් එක ඇතුළට ගිහින් අර බි්‍රගේඩියර් මහත්තයත් එක්ක එළිමහනෙ පුටු තුනක වාඩිවෙලා කතා කර කර හිටියා. අපි හිටපු තැනට පේනතෙක් මානෙක යකඩ කූඩුවක කොටියෙක් දමලා හිටියා. ඌ අඩි 6 ක් විතර දිග හොඳ සනීපෙට හැදිච්ච කොටියෙක්. අපි ඒ ගැන ඇහුවම බි්‍රගේඩියර් ජයසුන්දර කිව්වේ ඌ කෑම්ප් එකේ ඇති කරන හීලෑ කොටියෙක් ය කියලයි.
බුද්දෙ එසේ කියන්නේ එම හමුදා කඳවුරේ කූඩුකර සිටි කොටි නාම්බෙක් ගැනය. එම කොටි නාම්බාට දිනකට මස් කිලෝ හතරක් දෙනබව බි්‍රගේඩියර්වරයා කීවේය. ඒ වනවිට ඔවුන් තිදෙනාම සිටියේ එම කොටියා කූඩු කරතිබූ ස්ථානයට පිටුපා උණුසුම් තේ කෝප්පයක් තොල ගාමිනි.
මේ අතර පිටුපසින් පැමිණි බරසාර පුද්ගලයෙකු තමන්ගේ උරහිස් දෙපැත්තට දැත් තබා නැගී සිටීමට තැත් කරන බවක් දැනුණෙන් බුද්දෙ කලබලවී පසුපසට හැරී බැලුවේය. ඒ සමඟම ඔහුට පෙනුණේ ඊට මොහොතකට පෙර කූඩුවේ සිටි අර දැවැන්ත කොටි නාම්බා හෙමින් සීරුවේ පසු පසින් පැමිණ තම උරහිස්වලට දැත් තබා හිස මුදුනට ඉවකර බලනා අයුරුය.
මම ළඟ හිටපු ඒ.එස්.පී. ආරියසේනයි. බි්‍රගේඩියර් ජයසුන්දරයි බය බිරාන්ත වෙලා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. දැන් අර කොටියගෙ බරට මට හෙල්ලෙන්නවත් බෑ. අර දෙන්නටත් කරගන්න දෙයක් නෑ එතකොටම වගේ ඒ කොටියා බලාගන්න දාල හිටපු ආමි කෝප්‍රල්වරුන් දෙන්නෙක් දුවගෙන ඇවිත් කොටියගෙ බෙල්ල හරියෙන් අල්ලගෙන ආපහු අර කූඩුවටම ගෙනිහින් දැම්මායි කියන බුද්දෙ වැඩි දුරටත් සඳහන් කරන්නේ ඒ වනවිට තම සිත තුළ හටගත් බිය කොතරම්දැයි කිවහොත් තමන් හැඳසිටි කලිසමේ මුත්‍රා පහවී තිබුණු බවය.
නිහාල් ජගත්චන්ද්‍ර