ශ්‍රී ලංකා පොලිසිය පිළිබඳව සමාජයේ කතා බහක් හටගෙන තිබේ. එයට හේතුවී ඇත්තේ එහි නිලධාරීන්ගේම විවිධාකාර කියුම් කෙරුම්ය. එම සිදුවීම් විවිධාකාරය. මෙම සිද්ධීන් නිසා පොලිසිය පමණක් නොව සමස්ත රාජ්‍ය සේවයම මුහුණදී සිටින අවාසනාවන්ත තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ.
ඉතා මෑතකදී සමාජය ඉදිරියේ නිරාවණය වූ පොලිසිය හා සම්බන්ධ වූ පොලිස් ක්‍රියාකාරකම් කීපයක් ගැන අවධානය යොමු කරමු. ඔක්තෝබර් 06 වැනිදා හම්බන්තොටදී මහජන විරෝධතාවක් පැවැත්වුණි. එයට හේතුව වශයෙන් මාධ්‍ය වාර්තා කළේ වත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ ඉන්දියාවට පැවරීමට එරෙහිව බවය. එයට නායකත්වය දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බවද සඳහන් විය. මෙම සිද්ධියේදී අත්අඩංගුවට ගත් තරුණයකුට ප්‍රසිද්ධියේම පහර දෙන පොලිස් නිලධාරියකු පිළිබඳව දෘෂ්‍ය මාධ්‍ය වාර්තා කරනු අපි දුටුවෙමු. මෙම පහරදීම නිසා පෙර කී තරුණයාගේ කන පැලී ඇති බව කියමින් ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකු විසින් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර ලදහ. මෙම පැමිණිල්ල සම්බන්ධව පොලිස් කොමිසමේ විධායක කමිටුව සාකච්ඡා කළ අතර විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට මහජන පැමිණිලි අංශයේ මහින්ද මොරගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවද කියවේ.
එම පරීක්‍ෂණවල ක්‍රමවත්ව සිදු කිරීම සඳහා පහරදීම පිළිබඳව චෝදනා ලැබූ හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා මාතරට මාරුකර යැවූ බවද කියැවේ. මේ ඉකුත්දාය.
ඔක්තෝබර් දහවැනිදා සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය සංවිධානය කළ පා ගමනක් විහාර මහා දේවි උද්‍යානය, තුන්මුල්ල, බම්බලපිටිය හරහා ගමන් කරමින් සිටියේය. එය කොල්ලුපිටිය මංසන්ධියට පැමිණීමත් සමග කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බැටන් පහරදීම් ආදියෙන් මෙම පිරිස විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ඔවුන්ගේ මව්පියන්, වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන මෙම පා ගමනට සහභාගිවෙමින් සිටි බව කියනු ලැබේ. මෙම පිරිසගේ අරමුණු වී ඇත්තේ අරලියගහ මන්දිරය ඉදිරියට ගොස් විරෝධතා දැක්වීමය. පොලිසියට මෙම විරෝධතා පා ගමන නැවැත්වීමට නොහැකි වූ බවත් එනිසා ඒ සඳහා පොලිස් පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබූ අතර නොනවත්වා එල්ල කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර මගින් පා ගමන විසුරුවා හරින ලද බව මාධ්‍ය වාර්තා කළේය. මේ දෙවැනි සිදුවීමයි.
අනෙක් සිදුවීම මෙයට හාත්පසින්ම වෙනස් ආකාරයක් ගනී. එය වාර්තා වන්නේ ඔක්කෝබර් හත් වැනිදාය. මෙම කතාන්තරයට පාදක වන්නේ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකයකු වන නිලධාරියෙකි. එදින පෙරවරුවේ මෙම නිලධාරියා රැඳී සිට ඇත්තේ තමන්ගේ පාඨමාලාවකට සහභාගී වෙමිනි. සවස රාජකාරී මුරපොළේ සිටින විට බීමතින් ගී ගයන පිරිසකගේ ශබ්දයක් ඇසී බලනවිට දැඩි ලෙස මත්පැන් පානය කර මහා මාර්ගයේ නටන පිරිසක් දකින්නට ලැබී ඇත. ඔවුන් වෙත ගිය පොලිස් පරීක්‍ෂකවරයා මෙම අවිනීත ක්‍රියාව නවතා දමන ලෙස අවවාද කර ඇත. මෙසේ ගී ගයමින් සිට ඇත්තේ යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක්, නාවික හමුදාවේ පිරිසක් සහ තවත් පොලිස් භටයෙකි. පළමු සිද්ධිය එතෙකින් නිමාවට පත්වූ අතර රාත්‍රියේ දහයට පමණ පොලිස් පරීක්‍ෂකවරයා තම කාමරයේ නිදාගෙන සිටියදී පෙර කී කණ්ඩායම ඔහුගේ කාමරයට කඩාවැදී ඇත. එම අවස්ථෘවේදී පෙර කී යුද හා නාවික හමුදා පිරිස පුටුවක් කැඩෙන තුරු පොලිස් පරීක්‍ෂකවරයාට පහරදී ඇති බවත් පොලිස් කොස්තාපල්වරයා තම උසස් නිලධාරියාගේ කන සපා කා ඇතැයිද මාධ්‍ය වාර්තා කළේය. සින්දු කියමින් විනෝද වීමට එරෙහිවීම සම්බන්ධයෙන් මෙම ආරවුල පැන නැගී ඇති බව කියන අතර පොලිස් භටයාට අමතරව යුද හමුදාවේ නිලධාරීන් දස දෙනෙකුද නාවික හමුදාවේ අට දෙනෙකුද මෙම පහරදීමට හවුල් වී ඈති බව කියැවේ. මේ පිළිබඳව පොලිස් පරීක්‍ෂණයක් දැනටමත් ආරම්භකර ඇතැයිද ආරංචි මාර්ග කියයි.
මේ අතර දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පහරදීම නිසා මිය ගිය බවට ඔහුගේ ඥාතීහු චෝදනා කරති. එය වාර්තාවූයේ පසුගිය සතියේදීය. මෙයට ටික කලකට පෙර පෑලියගොඩ ප්‍රදේශයෙන්ද මෙවැනිම සිදුවීමක් ගැන පැවසෙනු අපට මතකය. පරීක්‍ෂණ පැවැත්වෙන බව කියවුණත් සිදුවූ දෙයක් ගැන දැනගන්නට නැත. තීන්දුව කුමක් වුවත් මැරුණු කෙනෙකුට පණදෙන්නට හැකියාවක් නැති බව දන්නා නිසා සමාජය ටික දිනකින්ම එවැනි දේ අමතක කර දමති.
ඉතිහාසය පිරික්සන විට ලැබෙන තොරතුරුවලට අනුව ඈත අතීතයේදී පවා නගර ගුත්තික නමින් තනතුරක් පැවති බව පෙනී යයි. මෙය වාර්තමානයේ කියවෙන පොලිස්පති ධුරයට යම් පමණකින් සමානයයි සිතන්නෝද වෙති. ඒ ක්‍රිස්තු පූර්ව 394 තරම් ඈත අතීතයේ පණ්ඩුකාභය රජු අනුරාධපුර රාජ්‍ය කළ යුගයේදීය. මහා වංශය ආදී මූලාශ්‍රවල දක්නට ලැබෙන ආකාරයට රාජ්‍යයේ නීතිය හා සාමය පවත්වාගෙන යාම, ආදිකාරම, දිසාව මොහොට්ටාලවරුන් සහ කෝරාලවරුන් යනාදී වශයෙන් ධූරාවලියක් පැවති බව පෙනී යයි. තවත් නොයෙකුත් වෙනස්කම්වලට ලක්වෙමින් පැවත ආ මෙම සේවය බි්‍රතාන්‍යය යටත් විජිත යුගයේ 1806 අංක 6 දරණ පනත අනුව ගම් මට්ටමින් පොලිස් විදානේවරුන් පත්කිරීම සිදුවිය.
මොවුන්ට වැටුප් ගෙවීමක් සිදු නොවුණී. මෙම පොලිස් විදානේ විසින් යම් සොරකමක් අල්ලාගෙන එම නඩුව ඔප්පු කළ විට එම භාණ්ඩවල වටිනාකමින් සියයට දහයක් එම විදානේවරුන්ට ලැබෙන්නට සැලැස්වූ බවද කියැවේ. පසු කලෙක ප්‍රධාන පොලිස් අධිකාරි යන පදවි නාමය සහිතව සේවා කණ්ඩායමක් පවත්වාගෙන යන ලදී. එහෙත් එය විධිමත් අයුරින් සංස්ථාපනය වූ ඒකකයක් නොවීය. වර්ෂ 1865 අංක 16 දරන පනතේ විධිවිධාන අනුව එවකට ප්‍රධාන පොලිස් අධිකාරි ධුරය දැරූ පී. ඩබ්ලිව්. ආර්. කැම්බල් මහතා පොලිස්පති යන නව ධුරයෙහි පිහිටුවා විදිමත් පොලිස් සේවයක් ආරම්භ කරන ලදී. වර්තමාන පොලිස් සේවය නිර්මාණය වී ඇත්තේ එහි පරිණාමයක් වශයෙනි. සිවිල් සමාජයේ නීතිය හා සාමය සුරැකීමේ වගකීම දරණ ආයතනය වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට පැවරී ඇත්තේ සුවිශාල වගකීමකි. මෙම කාර්යභාරය ඉටු කිරිමේදී යම් යම් අතපසුවීම් හා නොසලකා හැරීම් සිදුවීමද නොවැළැක්විය හැකිය. එය තම තම නැණ පමණින් සහ ආකල්පවල දිග පළලේ හැටියට සිදුවන්නකි. වසර එකසිය පනහක පොලිස් ඉතිහාසය ගලා ආවේ මේ ආකාරයෙනි.
යටත් විජිත යුගයේ 1915 ඇතිවූ මුස්ලිම් කෝලාහලයේදී එවකට පොලිස්පති ඩව්බිගින් ක්‍රියා කළ ආකාරය අපේ ඉතිහාසයේ සටහන්ව ඇත්තේ අපකීර්තිමත් මතකයක් වශයෙනි. එවකට ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබට් චාර්මස්ගේ හිතුවක්කාර කෲර නියෝග පවා ඉක්මවා යමින් ඔහු කටයුතු කළ බව රාජනීතිඥ ඊ. ඩබ්ලිව්. පෙරේරා බි්‍රතාන්‍යයේදී සඳහන් කර ඇත්තේ එබැවිනි. එම කතාවේදී ඔහු මෙසේද සඳහන් කර ඇත. කෙනෙකුට තමන්ගේ රැකියාව ආරක්‍ෂාකර ගත යුතුමය. තම දරු පවුල යැපෙන්නේ රැකියාව මගින් ලැබෙන වැටුපෙන් නිසාය. එහෙත් එය කළ යුත්තේ මෙම සිද්ධීයේදී ආණ්ඩුකාර රොබට් චාමස් සහ පොලිස්පති ඩව්බිගින් කටයුතු කළාක් මෙන් අමානුෂික ලෙසින් නොවේ. ඔවුගේ නියෝග මගින් මරාදමා ඇත්තේ අහිංසක සහ නිරායුධ - ස්ත්‍රී පුරුෂයන්ය. බන්ධනාගාර ගත කර ඇති ඇෆ්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, ඩී. සී. සේනානායක, ආතර් වී. දියෙස්, ඩී. බී. ජයතිලක ආදීහු කැරලිකරුවන් හෝ මංකොල්ලකරුවෝ නොවෙති. ඔව්හු ලංකාවේ ජන නායකයෝය. බි්‍රතාන්‍ය පාලනය පවා මෙම කරුණු පිළිගෙන රොබට් චාමස් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කර සර් ජෝන් ඇන්ඩර්සන් නම් යහපත් මිනිසකු එම තනතුරට පත් කර එවීය. එහෙත් තවදුරටත් සේවයේ යෙදීමට පොලිස්පති ඩව්බිගින්ට අවස්ථාව ලැබුණි. මෙරට පොලිස් ඉතිහාසයේ වැඩිම කලක් පොලිස්පති ධුරය නොකඩවා දැරීමේ වාර්තාව තබා ඇත්තේ ඔහුය. එය වසර විසි හතරක් බව ඇසීම ඔබ පුදුමකරවනසුලු පුවතක් වනවා නොඅනුමානය.
ඩව්බිගින් පොලිස්පතිවරායා එම තනතුරෙන් නෙරපා හරින ලෙස එකල ආරම්භක මට්ටමේ තිබුණු මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුවත්පත් විසින් නිතර ඉල්ලා සිටින ලදී. වරක් ප්‍රධාන ශීර්ෂ පාඨයක් යොදා තිබුණේ “ශ්‍රී ලංකාව ලේ විලක් කර ලකට සාපයක් වූ ඩව්බිගින් මිනීමරුවා” යනුවෙනි. එම ලිපියෙන් කොටසක මෙසේ සඳහන් විය. “මේ ඔලමොට්ටල නීතියට විරුද්ධව බර කරත්තකාර සහෝදරයන් තුළ ඇතිවූ කැලඹීමේදී දුප්පත් මහජනයාගේ පැත්ත ගෙන සුදු ආණ්ඩුවට විරුද්ධ ක්‍රියා කළ වීරයා නම් ජෝන් කොතලාවල (ජ්‍යෙෂ්ඨ) මහතායි. එකලද දුප්පතුන්ගේ බලයට ආණ්ඩුව බිය වූ නිසා කරත්ත නීතිය ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. නමුත් ලංකාණ්ඩුවද පොලිස් නිලධාරීහුද ජෝන් කොතලාවල මහතා මහජන පක්‍ෂය ගෙන නිර්භයව ක්‍රියා කළ නිසා එතුමාට ජන්මාන්තරව වෛර කරන්නෝ වූහ. මෙතැන් සිට එතුමා කෙබඳු අමාරුවකට පත්කරම්දෝ යන ක්‍රෝධයෙන් අධිරාජ්‍ය නිලධාරීහු පසු වුණෝය. එබැවින් 1917 දී ආටිගල මිනීමැරුම් නඩුවට ජෝන් කොතලාවල මහතාත් සම්බන්ධ වූයේ යැයි යන බොරු චෝදනාව පිට එතුමා පොලිසිය විසින් සිරභාරයට ගන්නා ලදී.
සිර ගෙයිදීම ජෝන් කොතලාවල මහතාගේ මරණය ඇතිවීම බොහෝ දෙනෙකුට සැක සහිත කරුණක් විය. ආණ්ඩුවේ නිලධාරීන් විසින් වස දී, ආණ්ඩුවට භීතියක් වූ ජෝන් කොතලාවල මහතා මරණ ලද්දේයැයි බොහෝ දෙනෙකුගේ මතය විය. එකලත් මහජන සතුරකු යයි කල්පනා කරන ලද ඩව්බිගින් විශේෂයෙන්ම මහජන පිළිකුලට භාජනය විය. කොතලාවල ආදාහනය දවසේ සයිකලයක නැගී යන ඩව්බිගින් අවමංගල්‍යයට රැස්වූ ලක්‍ෂ සංඛ්‍යාත සෙනඟට පෙනුණේය. ඒ පවිටා දුටු කෙණෙහි ඇතිවූ කෝපාග්නිය නිම කරන්නට බැරි විය. ඩව්බිගින් පස්සෙන් එළවා සේනාව දුවන්නට ගත. ඔහුද වේගයෙන් බසියිකලය පදවාගෙන ගොස් ආරෝග්‍යශාලාව ඉදිරියේ සයිකලය දමා ආරෝග්‍ය ශාලාව වෙත පැන දිව්වේය. ඔහු වෛද්‍ය ශාස්ත්‍ර ගොඩනැගිල්ලට රිංගා සැඟවුණේය. කෝපයෙන් වියරු වූ ජනයා ඩව්බිගින්ගේ සයිකලය කඩා පොඩි පට්ටම් කළහ. ඔහු තනතුරෙන් ඉවත්වී සිය රට යන දිනයේ කොළඹ ගෝල්ෆේස් පිටියේ විශාල මහජන රැලියක් පවත්වා ඒ ගැන සතුට පළ කිරීමට සමසමාජ පක්‍ෂය කටයුතු කළාය. එහිදී ජෝර්ජ් ජී. ඊ. ද සිල්වා ඇමැතිවරයාද, ඒ. ඊ. ගුණසිංහ, ඩී. ඇම්. රාජපක්‍ෂ, පිලිප් ගුණවර්ධන සහ ඇන්. ඇම්. පෙරේරා යන මහත්ව්රු කථා කළහ.
ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය පෙරළා බලය අත්කර ගැනීමට 1962 ජනවාරි 27 වැනිදා හමුදාවේ සහ පොලිසියේ උසස් නිලධාරීහු කණ්ඩායමක් කුමන්ත්‍රණයක් සංවිධානය කළහ. මෙම රාජ්‍ය විරෝධී කටයුත්තට සම්බන්ධව සිටි පොලිස් නිලධාරීහු මේ අයය.
1. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී. සී. දිසානායක
2. උප පොලිස් අධිකාරි ඩීන් ජෝන් පුල්ලෙ
3. උප පොලිස් අධිකාරි එල්. සී. එස්. ජීරසිංහ
4. හිටපු නියෝජ්‍ය පොලිස්පති සිඞ්නි ද සොයිසා
5. පොලිස් අධිකාරි වී. ඊ. පෙරේරා
6. උප පොලිස් අධිකාරි ටී. ඩී. විජේසිංහ
7. පොලිස් අධිකාරි ඬේවිඞ් තම්බයියා
8. උප පොලිස් අධිකාරි කොලින් වැන්ඩී්‍රසන්
9. පොලිස් අධිකාරි ඩබ්ලිව්. ඒ. සී. ජෙබනේසන්
10. නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. ඒ. ඕ. සිරිචන්ද්‍ර
11. පොලිස් අධිකාරි ආර්. ඊ. කිවෝ
12. පොලිස් අධිකාරි ලයනල් ගුණතිලක යන මහත්වරුය.
මෙම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට එක්ව සිටි තවත් පොලිස් අධිකාරිවරයකුවූ ස්ටැන්ලි සේනානායක මහතා මෙම තොරතුරු තම බිරිඳ සමග පැවසීමෙන් පසු ඇය තම පියා වූ බෞද්ධ ජන නායකයකු සහ එවකට එ.ජා.ප.යෙන් අම්බලම්ගොඩ මන්ත්‍රී ධුරය දැරූ පී. ද ඇස්. කුලරත්න මහතාට දැන්වූවාය. ඔහු වහාම අගමැතිනියට මේ ගැන දැන්වීම නිසා පරීක්‍ෂණ ආරම්භ වීම නිසා ආරක්‍ෂිත විවිවිධාන සැලැස්වීම නිසා රජය පොරලීමේ වෑයම ව්‍යර්ථ විය. ඉහළම පොලිස් නිලධාරීන් මෙපමණක් පිරිසක් එම වෑයමට සම්බන්ධව සිටියත් එවකට පොලිස්පති ඇම්. ඩබ්ලිව්. ඇෆ්. අබේකෝන් මහතා එයට සහභාගීව සිටියේ නැත. එපමණක් නොව මෙම රාජ්‍ය විරෝධී කාර්යයේ නායකයකු වූ සී. සී. දිසානායක මහතාගේ එක කුස උපන් සොහොයුරා වූ ඇස්. ඒ. දිසානායක මහතාද, රාජ්‍ය පාක්‍ෂික වෙමින් විමර්ශන කටයුතු සඳහා පූර්ණ සහයෝගය ලබාදුන්නේය. මේ ශ්‍රී ලංකා පොලිසිය මුහුණ දුන් අතිශය දුෂ්කර අවස්ථාවකි.
සෝමසිරි වික්‍රමසිංහ