කොළඹ වෛද්‍ය විද්‍යාලය පුපුරුවා හැරීමේ තර්ජනයක්


 

දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරය යන නම ඇසුණු විට පවා මුළු රටේම ජනතාව බියෙන් සලිත වන යුගයක් කලකට ඉහතදී මේ රටේ තිබුණේය. සාමාන්‍ය ජනතාව පමණක් නොව හතරවටින්ම සන්නද්ධ මුර භටයින් පිරිවරා ගෙන සිටි ආණ්ඩුවේ බලවතුන් පවා එකල එම නමට දැක්වූයේ ඉමහත් භීතියකි. ඊට හේතුවූයේ එදා සිටි පාලක පන්තියට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයේ රුදුරු වෙඩි උණ්ඩවලට බිලිවීමයි.


මේ අතර රජයද එම භීෂණයට මුහුණදීම සඳහා ලහි ලහියේ සූදානම් වූයේ ඒ හැර වෙනත් විකල්පයක් ඔවුන් හමුවේ නොතිබූ බැවිනි. ඒ අනුව ප‍්‍රා, කොළ කොටි, ගෝනුස්සා වැනි විවිධ නම්වලින් හැඳින්වුණු නිල නොවන සන්නද්ධ කල්ලි ගැන නොයෙකුත් කටකතා අසන්නට ලැබුණේය. එහි ඊළඟ ප‍්‍රතිඵලය වූයේ දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන කවරෙකු වුවද අමානුෂික ලෙස ඝාතනය කිරීමට එම මිනීමරු කල්ලි පෙලඹීයාමයි. කුරිරු ලෙස වධ හිංසා කොට මරා දැමුණු එවැනි මළසිරුරු අතර තරුණයන්ගේ පමණක් නොව හත, අට පන්තිවල උගෙනුම ලැබූ පාසල් සිසුන්ගේ බාගෙට දැවුණු මළකඳන් පවා තිබෙන අයුරු දකින්ට ලැබුණේය.


පද්මසිරි තී‍්‍රමාවිතාරණ නමැති වෛද්‍ය ශිෂ්‍යයෙකුද එම කාලය තුළ නාඳුනන මිනීමරු කල්ලියක් විසින් ඝාතනය කර තිබුණේ අතිබිහිසුණු අයුරිනි. එම වෛද්‍ය ශිෂ්‍යාගේ හිසට පරාල ඇණ ගසා අමානුෂික අයුරින් ඝාතනය කර මළසිරුර පවා බාගෙට පුළුස්සා දමා තිබුණේය.


එම සිද්ධිය දැනගත් මුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාවම එකාවන්ව ඊට එරෙහිව නැගී සිටියේය. ඒ සඳහා නායකත්වය දී තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයයි.


මේ අතර පොලිසිය මගින් තමන් වෙත භාරදෙන ලද තී‍්‍රමා විතාරණගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලය වෙත ගෙන ගොස් ඉහළින්ම ගරු බුහුමන් දැක්වීමට ශිෂ්‍යයන්ට අවශ්‍ය වී තිබුණේය. එසේම එම ශිෂ්‍යයාගේ ඝාතනය පිළිබඳව ඔවුන් චෝදනා කළේ එවකට රත්නපුර දිස්ති‍්‍රක්කයේ සිටි ප‍්‍රබල දේශපාලනඥයෙකුට සහ ඔහුගේ පුතෙකුටය.


කෙසේ වෙතත් තී‍්‍රමාවිතාන ශිෂ්‍යයාගේ දේහය වෛද්‍ය විද්‍යාලය වෙත ගෙන යාමට ඉඩ දුනහොත් රට තුළ බලවත් කැලඹීමක් ඇතිවිය හැකි බව රජයේ විශ්වාසය විය. රජයේ එම තීරණය ගැන දැනගත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පසුවූයේ දැඩි ආවේගයකිනි.


මේ අතර දිනක් රාතී‍්‍ර 7.00ට පමණ එවකට විරුද්ධ පක්‍ෂයේ දේශපාලනඥයෙකු වූ දිනේෂ් ගුණවර්ධන, දොස්තර රාජිත සේනාරත්න සහ රජයේ වෛද්‍ය සංගමයේ සභාපති දොස්තර සුනිල් රත්නපි‍්‍රය යන තිදෙනා කොළඹ නාරාහේන්පිට අභයාරාමයට පැමිණ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් හමුවූහ.


”හාමුදුරුවනේ ලොකු විපත්තියක් සිද්ධ වෙන්නයි යන්නේ. තී‍්‍රමාවිතානගේ දේහය වෛද්‍ය විද්‍යාලයට ගෙනියන්න ඉඩ නොදුන්නොත් අද ? 12.00ට මුළු වෛද්‍ය විද්‍යාලයම පුපුරවා හරින්න ශිෂ්‍යයන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපට  ඕනෑ ඔබ වහන්සේ ලවා මේ ගැන ජේ. ආර්.ට දැනුම් දෙන්නයි” 


ඔවුන් එසේ කියද්දි ආනන්ද හිමියන්ට පුදුම හිතුණේය. එසේ වූයේ 1986 හෙද වැඩවර්ජනය මුල්කර ගෙන ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සහ තමන් අතර එතරම් ඇයි හොඳයිකමක් නොපවතින බව එම තිදෙනා ඉතා හොඳින්ම දැන සිටි බැවිනි.


”ඉතින් මහත්තයෝ මං කිව්වට ඔය මනුස්සයා අහයිද? ඊටත් උන්නැහේ මං ගැන හිතාගෙන ඉන්නේ මහ වැරදි විදියටනේ...”


ආනන්ද හිමියන් එසේ කියද්දී ඔවුන් තිදෙනාම එක හඬින්  කියා සිටියේ එසේ නොකළහොත් බරපතළ විපතක් සිදුවීමට ඉඩ තිබෙන බවය. අන්තිමේදී එම තිදෙනාගේ බලකිරීම නිසාම ආනන්ද හිමියන් ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ‘බ්‍රෙමාර්’ මන්දිරයට දුරකථන ඇමතුමක් ගත්තේය. 1986 හෙද වැඩ වර්ජනය පැවැති අවස්ථාවේ නිතර නිතර අභයාරාමයට පැමිණ තොරතුරු විමසා බැලූ එම පිරිස වෙතින් සිදුවූ සේවය ගැන සලකන විට උන්වහන්සේටද ඔවුන්ගේ ඉල්ලීමට අවනත වනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබිණි.


ආනන්ද හිමියන්ගේ දුරකථන ඇමතුමට පිළිතුරු දුන් බ්‍රෙමාර් නිවසේ සිටි අයෙකු අතිගරු ජනාධිපතිතුමා එම අවස්ථාවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත ගොස් ඇතැයි පැවසීය. එහෙත් උන්වහන්සේට හැඟී ගියේ ජනාධිපතිවරයා ඒ මොහොතේ පවා නිවසේ සිටින බවය.


”මම මේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කතා කරන්නේ. මහත්තයෝ එහෙමනං ජනාධිපතිතුමා ආවාම කියන්න මම හදිසි කාරණේකට කතා කරයි කියලා” යි කී ආනන්ද හිමියෝ දුරකථනය විසන්ධි කළහ.


”මහත්තයෝ මම කතා කරනකොටත් ජේ. ආර්. මහත්තයා ගෙදර හිටියා. ඉතින් එහෙව් එකේ ඔය මනුස්සයා අපට  කතා කරවිය කියලා හිතන්නවත් බැහැ...” යි උන්වහන්සේ කීවද කෝකටත් අපි ටිකක් වෙලා බලමු යි දිනේෂ් ගුණවර්ධන පැවසීය.

 

මතු සම්බන්ධයි.

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර