ගං වතුරේ දේශපාලන පුරාණය


 

පසුගිය මාස කීපය තුළ ශ්‍රී ලංකාව දැඩි නියඟයකින් පීඩා විඳි බව සැවොම දනිති. වියළි කලාපීය ප්‍රදේශවල පමණක් නොව තෙත් කලාපයේ ක්ෂේම භූමි වැනි දිස්ත්‍රික්කවල පවා මෙම ව්‍යසනය පැවතුණි. ශත වර්ෂයකින් මෙපිට මෙවැනි උවදුරකට ගොදුරු නොවුණු සීනාදි සිව් කෝරලයේ ජනයා පවා බීමට ජලය සපයා ගත නොහැකිව දැඩි ලෙස පීඩා වින්දහ. එම ඉඩෝරය නිමා කරමින් නොබෝදා සමස්ත ලංකාවටම වැසි ලැබුණි. මෙම මහ වැසි ලැබුණු දිනම රට පුරා දැඩි ගංවතුර තත්ත්වයක් නිර්මාණය විය. දිස්ත්‍රික්ක ගණනාවක ජනයා මෙම ව්‍යසනයට මුහුණ දෙමින් සිටිති. ජීවිත දෙසියයක් පමණ විනාශ වූ බවත් තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවත් නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. දේපල හා සම්පත් හානිය පිළිබඳ කිසි දිනෙක සත්‍ය ලෙස තක්සේරු කළ නොහැකි වනු නිසැකය. ගාල්ල, මාතර, කොළඹ කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කවල තත්ත්වය අතිශයින් බරපතළ බව කියවේ.


ජලය යනු මිනිසාගේ ජීවයයි. පානය සඳහා පමණක් නොව ස්නානයට වෙනත් පිරිසිදු කිරීම්වලට මෙන්ම අහාර බෝග වගාව සඳහා ද ජලය අත්‍යවශ්‍ය සාධකයකි. එමෙන්ම මිනිස් ශිෂ්ටාචාරය ඇතිවුවේ ද ජලය ආශ්‍රිතව බව ඉතිහාසයේ දැක්වේ. මෙසපොටේමියානු ශිෂ්ටාචාරය බිහිවූවේ  යුප්‍රටීස් සහ ටයිග්‍රීස් ගංගා ධාරයන් ආශ්‍රිත නිම්නයේය. මිසර සභ්‍යත්වය ගොඩනැගුණේ නයිල් මිටියාවතේය. ටැන්සානියාවේ කඳු මුදුන් ආශ්‍රිත විල් මූලාශ්‍ර කොටගෙන ආරම්භ වී ඉතියෝපියාව සූඩානය හරහා ඊජිප්තුවට පැමිණ ඇලෙක්සැන්ඩි්‍රයා නගරය ආසන්නයෙන් මධ්‍යධරණී මුහුදට වැටෙන නයිල් නදිය නව ශිෂ්ටාචාරයක් ගොඩ නැගු බව ප්‍රකට කරුණකි. චීනයේ හොවැංහෝ නොහොත් කහ ගඟත් භාරත භූමිය හරහා ගලායන ගංගා, යමුනා ආදී මහා ගංගාවන් ද නව සංස්කෘතියක් බිහි කළ බව අපි දනිමු.


“මගෙ හුස්ම ටික යන කොට කටට වතුර උගුරක් දමන්න ඉන්නේ මේ දරුවා තමයි” වැඩිහිටියන් පවසනු මම කොතෙකුත් අසා ඇත්තෙමි. පරලොව යන ගමනට මාර්ග උපකරණ ලෙස ද ජලය අපට උපකාර වන බව එම කියමනෙන් ගම්‍ය වේ. මනුෂ්‍ය සංහතියට මේසා උපකාරී වන ජල බිඳුව මහා ප්‍රවාහයක් වූ විට සිදු කරන අනර්ථය පුදුමාකාරය. අපි එය ගංවතුර යනුවෙන් හඳුන්වමු. අනෙකුත් ඕනෑම සාධකයක් මෙන්ම ගංවතුරද ජනතාවට සමීප කාරණයක් වූ බැවින් එයටද දේශපාලනය බලපෑ බව සිතිය හැක. මේ එවැනි අවස්ථා කීපයකි. පළමුවෙන්ම මා ඔබේ අවධානය යොමු කරවන්නේ ගංවතුර නිසා දේශපාලකයෙකුට මුහුණ දීමට සිදුවූ බරපතළ ගැටලුවක් ගැනය.


අද මෙන්ම මාතර නිල්වලා ගඟ උතුරා ගොස් මාතර නගරය ජලයෙන් යට වී ගියේය. මේ සිද්ධිය ගැන සඳහන් කරන එකල රජයේ ඉහළම පරිපාලන නිලධාරියෙකු වූ මාතර උපන් අමර හෝවාමද්දුම මහතා මා සමඟ කීවේ මාතරට ගැලූ විශාලම ගංවතුර එය බවය. එතුමා මේ කතාව කියන වකවානුව වන විට අනුරාධපුර මහ දිසාපතිවරයාව සිටියේය. අද වන විට ඒ මහතා දිවියෙන් සමුගෙන ඇති අතර මාතරට ගැලූ ලොකුම ගංවතුරේ වාර්තාව බිදී තිබෙන්නට ද පුළුවන.

 


මාතර රාහුල විද්‍යාලය දක්ෂිණ ලංකාවේ උසස්ම ශාස්ත්‍ර නිකේතනයක් බවට පත් කළ මහා පඬිවරයා වූ සී. ජස්ටින් විජේවර්ධන මහතා කලක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මාතර මන්ත්‍රීධූරය ද දැරීය. කේවල මැතිවරණ ක්‍රමය යටතේ මාතර ආසනය දිනාගත් එකම යූ.ඇන්.පී. මන්ත්‍රීවරයා එතුමා පමණක් යැයි මම සිතමි. විජේවර්ධන මහතාගේ විවාහ මංගල්‍යය යොදාගෙන තබුණේ මේ ගංවතුර ගැලූ දිනකය. එහෙත් ජස්ටින් විජේවර්ධන මහතා මෙය තම විවාහ මංගල්‍යයට බාධාවක් කර ගත්තේ නැත. ගමනා ගමනය හා මර්ග පහසුකම් අදට වඩා බොහෝ දුර්වලව පැවති එම යුගයේ මාතර ගොඩගම සිට මනාලියගේ නිවස පිහිටි කඹුරුපිටියේ රංචාගොඩට යාමට මේ ගංවතුරේ කිසිම ක්‍රමයක් නැත ඔහු එකල එම පළාතේ සෑම ගෙදරක් පාසාම තිබුණු ඔරු රාශියක් රැස්කර ගත්තේය. මේවා හය හතක් බැගින් එකට බැඳ සකස් කර ගත් පාරුවලින් එඩිතර සගයන් පිරිසක් සමග මනාලියගේ නිවසට යාමට මනාල මහතා වග බලා ගත්තේය. මේ මහා සාගරය වැනි ජලකඳ මැදින් තම දියණිය කැඳවාගෙන යාම ගැන මනාලියගේ වැඩිහිටියන් කැමති වූවේ නැත. එහෙත් උත්සාහවන්තයෝ පසු නොබසිති. නිල්වලා ගඟේ මහ ජලකඳ හරහා මනාලිය සිය නිවසට කැඳවාගෙන ආ තරුණ විජේවර්ධන මහතා අනථවූවන්ට උදව් කිරීම සඳහා පිටව ගියේය. බාධක මැද සිදු කළ මෙම විවාහ මංගල්‍යය ඉතා සාර්ථක විය. පසු කලෙක මාතර මන්ත්‍රී ධූරය දැරූ රන්ජන් විජේවර්ධන මහතා සහ හෘද රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය උපුල් විජේවර්ධන මහතා මෙතුමාගේ පුත්‍රයෝය. කලක් මන්ත්‍රීවරයෙකුව සිටි චන්ද්‍රකුමාර විජේගුණරත්න මහතා බෑනා කෙනෙකි. 

 


“ගිංතොට නැන්දගෙ දුවරු හින්දා - ගඟබඩ පත්තුව වැනසෙන්නේ” යැයි දකුණේ ගිංගඟ ආශ්‍රිත ප්‍රදේශයේ ප්‍රචලිත කවි පදයකි. එයින් අදහස් වනුයේ ගිං ගඟ සහ එහි අතුගංගාවලින් ගාලු ගඟබොඩ පත්තුවේ ගම්වලට සිදුවන කරදර කම්කටොලු ගැනය. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් ගඟ දෙපස වේල්ලක් ඉදිකිරීමට 1970 දශකයේ දී යෝජනාවක් ඉදිරිපත් විය. මෙම යෝජනාවේ පුරෝගාමීන් වූවේ එවකට බද්දේගම මන්ත්‍රී රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමති නීල්ද අල්විස් සහ හිනිදුම මන්තී හෙන්රි දිසානායක මහතාත්ය. කලක් තිස්සේ සාකච්ඡාවට බඳුන් වෙමින් තිබුණු මෙම අදහස ක්‍රියාත්මක කිරීම පැවරුණේ චීන සමාගමකටය. ලෝකයේ ප්‍රධානතම ගංගාවන් දෙකක් වූ කහ ගඟ, සහ සිකියෑං ගඟේ මහා ගංවතුරෙ යෝධ ජල ප්‍රවාහයේ වේගය පාලනය කිරීමට චීන්නු සමත් වූහ. එනිසා මෙවැනි කටයුතු ගැන චීන ජාතිකයන් ප්‍රවීණයන් ලෙස සැලකුණි. විශාල ධනස්කන්ධයක් වැය කරමින් වේල්ල ඉදි කෙරිණි. ගිංතොට නැන්දාත් ඇගේ දූවරුනුත් නිසා අද සමස්ත ගාලු ගඟ බොඩ පත්තුවම ජලය යටය. දේශපාලන ව්‍යාපෘතිවල ගති සොබාව අද මෙන්ම එදාද එහෙමය. චීනයේ හොවැංහෝ ගඟේ ජල ප්‍රවාහය පාලනය කිරීමට ඈත අතීතයේදී කහ අධිරාජයාට හැකි වූ ඉතිහාසය පාඩමේ දී අපි ඉගෙනගෙන ඇත්තෙමු. එහෙත් ගිංතොට නැන්දා සහ ඇගේ දූවරුන් මෙල්ල කිරීමට චීන්නු අපොහොසත් වූහ.


එක් දහස් නවසිය පනස් එකේදී “අප ගත යුතු මඟ” නමින් කෘතියක් ලියූ කොමියුනිස්ට් පක්ෂයේ නායක ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා එහි මෙසේ සඳහන් කර තිබුණි. ඒ ජලගැලීම් සහ නියඟය යන කරුණු දෙකට අදාළවය. “අපේ විශාල ගංගාවල් සියල්ලක් පාලනය කළ හැක්කේ විශාල ජලාශ තුළ වතුර ගබඩා කිරීම සඳහා මේ කඳුකර ප්‍රදේශයේ විශාල වේලි බැදීමෙන් පමණකි. එමගින් ජල විදුලි බලය නිපැදවීම සඳහා වැඩි වැඩියෙන් ජලය සැපයිය හැක. එක් ගංගා නිම්නයක සිට තවත් ගංගා නිම්නයකට වතුර හරවා යැවිය යැකිය.


ජලය ගබඩා කිරීම සහ එක් ගංගා නිම්නයක සිට තවත් ගංගා නිම්නයකට ජලය හරවා යැවීම යනුවෙන් අදහස් කරන්නේ මහවැලි ගඟේ සහ එහි ශාඛාවල් වන ලොග්ගල් ඔය, බදුලු ඔය, උමා ඔය සහ කොත්මලේ ඔය යන ගංගාවලත්, වලවේ ගඟ, කිරිදි ගඟ, මැණික් ගඟ සහ කුඹුක්කන් ඔය යන ගංගාවලින් වතුර බැඳගෙන වියළි සෘතුවේ දී කොටස් වශයෙන් හෝ සම්පූර්ණ වශයෙන් සිඳී යන නැගෙනහිර පළාතේ ගංගාවලට වතුර සැපයීමය. වියළි සෘතුවේදී සිඳි යන ගංගාවල් නම් විල් ඔය, හැඩ ඔය, කරද ඔය, ගල් ඔය, ඇළල්ල ඔය, මුණ්ඬේරි ඔය, මාදුරු ඔය, පාන්කුලම්ආරු යාන් ඔය, මී ඔය සහ තවත් දිය පාරවල් කීපයක් වේ. එයින් අවුරුද්දේ එක් කොටසක දී වියළී යන දිය පහරවල් මෙන්ම තෙත් කලාපයේ සිදුවන ගංවතුර උවදුර ද සම්පූර්ණයෙන්ම පාලනය කළ හැකි වෙනවා. නිසැකයි.”


එවකට කෝට්ටේ සමසමාජ මන්ත්‍රීවරයා වූ රොබට් ගුණවර්ධන මහතා 1956 ඔක්තෝම්ර් 24 වැනි බදාදා පාර්ලිමේන්තුව අමතමින් මෙසේ පැවසීය. 


“ගරු කතානායක තුමනි! මා නැඟි සිටින්නේ මා නමින් මෙම න්‍යාය පත්‍රයේ ඇති තුන්වන යෝජනාව ඉදිරිපත් කිරීමටයි. මෙය ඉතාමත් වැදගත් යෝජනාවකි. අනාගතයේදී මේ රටට මුහුණ පාන්නට වන්නා වූ ආහාර ප්‍රශ්නය විසඳන්න පුළුවන් මාර්ග ඇතුළත් යෝජනාවක් වශයෙන් මෙය හැඳින්විය හැකියි. එපමණක් නොව රටේ බරපතළම ප්‍රශ්න බවට පත්ව තිබෙන ස්වභාවික විපත් වන ජල ගැලීම්, නියඟය වැනි උපද්‍රව වළක්වා ගැනීමටත් මෙම යෝජනාව මහත්සේ බලපානවා. විශේෂයෙන්ම අපේ කැලණිවැලි මිටියාවත ජල ගැලීම්වලින් වසරක් පාසා විශාල පීඩාවකට ලක් වෙනවා. මම ඒ ගැන පසුව සඳහන් කරන්නම්.


“උතුරු මැද පළාතේ සහ උතුරු වියළි කලාපයේ නිතර ඇතිවන්නා වූ නියඟයන් නිසා මේ පළාතේ මනුෂ්‍යයනට තමන්ට ඇතිවන දුෂ්කරතාවන්ගෙන් සහ ගොවිතැනට ඇතිවන හානිවලින්ද බේරීම සඳහා මහවැලි ජලය උතුරු මැද පළාතටත් උතුරු වියළි කලාපයටත් ලබාගෙන මේ ප්‍රදේශවලට නිරතුරුව ජල පහසුව ඇති කිරීමට ජල මාර්ගයක් තැනීමේ කටයුතු වහාම ආරම්භ කළ යුතු යැයි මෙම මන්ත්‍රී මණ්ඩලය අදහස් කරයි”.


කතානායකතුමනි, මා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ යුතුව තිබුණේ මීට බොහොම ප්‍රථමයෙන් මේ රටේ ආහාර නිපදවන්නේ, ප්‍රධාන වශයෙන් නිපදවන්නේ විශේෂයෙන් උතුරු මැද පළාතේත් සාමාන්‍යයෙන් වියළි කලාපයේත්ය. අපේ රටේ මහා ගංගාව වන මහවැලි ගගේ වතුර අද වන විට කිසිම ප්‍රයෝජනයකට නොගෙන මහ මුහුදට ගලා බසින්නට ඉඩ හැර තිබෙනවා. එම නිසා අපතේ යන්නා වූ ජලස්කන්ධය ප්‍රයෝජනයට ගත හැකිවන පරිදි විධි විධාන යෙදුවහොත් උතුරු මැද පළාත සහ සාමාන්‍ය වශයෙන් උතුරු මැද පළාත ද සහ සශ්‍රීක කිරීම සඳහා යොදවා ගත හැකිය. මා මේ යෝජනවා ඉදිරිපත් කරන්නට අදහස් කළේ දැනට අවුරුදු පනහකින් හැටකින් ඇති නොවූ මහ නියඟයකට ලංකාවම මුහුණ දෙන කාලයක වීම නිසයි.


1965 දී බලයට පත් ඩඞ්ලි සේනානායක මහතාගේ ජාතික රජය එක්සත් ජතීන්ගේ සංවර්ධන අරමුදල සමඟ ද සාකච්ඡා කිරීමෙන් පසු සකස් කරන ලද මහවැලි මහ සැලැස්ම යටතේ මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වූ අතර මේ වන විට එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලැබෙමින් තිබේ. මෙම ක්‍රියා මාර්ගයන් නිසා මධ්‍යම කඳුකරයේ සහ තවත් සමහර ප්‍රදේශවල ජල ගැලීම් යම් පමණකට පාලනය වී ඇතත් සම්පූර්ණයෙන් නිමාවට පත්ව නැත.

 


ලංකාවේ පමණක් නොව විදේශ රටවලද මෙවැනි සංවර්ධන යෝජනා ක්‍රම මගින් ගංවතුර සහ නියඟය පාලනය කර ගැනීමට හැකි වී ඇති බව අපි දනිමු. ටැන්සානියාවේ වික්ටෝරියා විල ආසන්නයෙන් ඇරඹෙන නයිල් නදිය ඊජිප්තුවේ කාන්තාර පෙදෙස්වලදී ඇති කරන ගංවතුර තත්ත්වය නිසා නැගෙනහිර අප්‍රිකාවේ සිට ගසාගෙන එන සරුසාර රොන් මඩ තැන්පත්ව ඉතා සරුසාර ප්‍රදේශ නිර්මාණය වී ඇති ආකාරය දක්නට ලැබේ. එවකට සිටි ඊජිප්තු ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ මෙහෙයවීම මත තනවන ලද අස්වාන් වේල්ල නිසා ඇති කරන ලද සංවර්ධනය කොතෙක්ද යත් මිසර මහා කාන්තාර භූමිය, උක්, කපු ආදී විශාල වගාවෙන් හරිත වර්ණයෙන් බබළනුයේ නයිල් නදියේ ගංවතුර පාලනය කර ඒවා වගාව සඳහා යොදවා ගැනීමෙනි.


බුද්ධ කාලීන භාරතය සොළොස් මහා ජනපදවලින් සමන්විත වූ බව වංශ කථාවේ දැක්වේ. ජනපද යනු මහා රාජ්‍යයයෝ වූහ. එයින් කෝසල රාජ්‍යය තුළ කුඩා රාජ්‍යය ගණනාවන් ද පැවතුනි. මගධ රාජ්‍යය ඉන් එකකි. අචිරවතී නදිය මායිම් කොට පැවති මගධ රාජ්‍යයේ රෝහිණී නදිය දෙපස ශාක්‍ය - කෝලීය යන ගෝත්‍රවල ජනාවාස පිහිටියේය. ශාක්‍ය කෝලිය වනු සිදුහත් කුමරාගේ මව්පිය දෙපාර්ශ්වය බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. රෝහිණි නදියේ ජලය බෙදා ගෙන ගොවිතැන් බත් කරමින් සමෘද්ධිමත්ව දිවි ගෙවූ මෙම ගෝත්‍ර දෙකේ ජනයා එම ගඟේ ජලය බෙදා ගැනීම සඳහා වූ ආරවුලකට මුල පිරූහ. එය මහා යුද්ධයකට මඟ පෑදූ බව කියවේ. රෝහිණි නදිය් ජලය පිළිබඳව වූ මේ ආරාවුල නිසා තම ඥාති වර්ගයා විනාශ වන බව දිවැසින් දුටු බුදුන් වහන්සේ එය සංසිඳුවනු වස් එම අරගල භූමියට වැඩම කළ බව ද බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ.

 


වසර දහස් ගණනකට පෙර බුද්ධ කාලීන ඉන්දියාවේ සිදු වූවාක් මෙන් ගංගාවන් සහ ජලය පිළිබඳ ආරාවුල් වර්තමානයේ නොවන්නේ යැයි සිතීම සාධාරණ නොවේ. වර්තමානයේදීද එවැනි දේ සිදුවන බවට සුවිශේෂී නිදසුනක් මෙයට වසර කීපයකට පෙර ජාත්‍යන්තර අධිකරණයෙන් වාර්තා විය. මෙම ආරාවුල හටගෙන තිබුණෛ් හංගේරියාව සහ ස්ලෝවේනියාව යන නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් දෙක අතරය. ඩැනියුබ් නදිය මේ රටවල් දෙක අතරින්ම ගලන බව ද අප මෙහිදී සැලකිල්ලට ගත යුතුය. කලින් පැවති චෙකොස්ලෝවේකියානු රාජ්‍යය තම රටේ ගංවතුර පාලනය කිරීම සඳහාත් විදුලිය උත්පාදන ඇතුළු තවත් සංවර්ධන කටයුතු දියුණුව ද අරමුණු කර ගනිමින් ඩැනියුබ් නදිය හරහා ගබ්සිකෝවෝ වේල්ල ඉදිකරන ලදී. ඒ සඳහා ඩොලර් බිලියන 2.2ක් තරම් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරන ලද බව ද කියැවේ. හංගේරියාව සහ චෙකොස්ලෝවේකියාව යන රටවල් දෙකම සෝවියට් කඳවුරේ සහෝදර රාජ්‍යයන් වශයෙන් පැවතීම නිසා මෙම කටයුත්ත ගැන කිසිදු මතභේදයක් පැන නැගුණේ නැත. පසුව කොමියුනිස්ට් කඳවුර බිද වැටුණු අතර චෙකොස්ලෝවැකියාව රටවල් දෙකක් බවට පත්විය. ඒ චේක් ජන රජය සහ ස්ලෝවේනියාව වශයෙනි. හංගේරියාව ද වෙනමම රටක් වශයෙන් පැවතුනි. පෙර පැවති සමජවාදී සහෝදරාත්මක බැම්ම අහෝසිවීමෙන් පසු ඉහතකී ඩැනියුබ් ගඟේ ගබ්සිකෝවෝ නාගිමරෝස් ව්‍යාපෘතිය තමනට පරිසර හානියක් ගෙන දෙන්නේ යැයි හංගේරියාව චෝදනා කළාය. මෙම ආරවුල ජත්‍යන්තර අධිකරණයේදී විභාගයට ගැනුණු විට එම නඩුව විභාග කරන අධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස ක්‍රියා කිරීමේ වරම ශ්‍රී ලංකිකයෙකුට ද හිමිවීම සුවිශේෂී සිද්ධියකි. ඒ විනිසුරුවරයා වූවේ නොබෝදා පරලෝසැපත් වූ එවකට ජාත්‍යන්තර අධිකරණයේ උප සභාපතිවරයාද වූ සී. ජී. වීරමන්ත්‍රී මහතාය.


එතුමා එම අධිකරණ මණ්ඩලයේ අනෙක් විනිසුරුවරුන්ගේ මතයට වෙනස්ව වෙන්ව පළ කළ තීන්දුවට බෙහෙවින්ම උපයෝගී කරගෙන තිබුණේ ලංකාවේ ආදි මුතුන් මිත්තන් විසින් උපයෝගී කරගෙන තිබුණු වාරි සංස්කෘතියයි. ගංවතුර පාලනය කිරීමටත්, කෘෂිකර්මය සඳහා ජලය ගබඩා කිරීමටත් සකස් කර ගන්නා ලද වාරි කර්මාන්තය, තිරසාර සංවර්ධනය පිළිබඳව වර්තමාන ලෝකයට උපයෝගී කර ගත හැකි ආකාරය එම තීන්දුවේ දැක්වේ. ශ්‍රී ලාංකික විශිෂ්ටයෙකුගේ එකී නඩු තීන්දුව පොතක් වශයෙන් පළ කිරීමට එවකට පැවති ආණ්ඩුවේ කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග ඇමති අනුර කුමාර දිසානායක මහතා ක්‍රියා කර තිබීම නිසා එය පොදු ජනයා අතට පත් වූ බවද සඳහන් කළ යුතුය.


ගංවතුර, නියඟය, නායයාම්, ආදී ස්වභාවික විපත් නිරතුරුවම ඇති වේ. රාජ්‍යයේ වගකීම වන්නේ එවැනි දෙයට මුහුණ දීම සඳහා ස්ථිර සාර විසඳුම් සහ ප්‍රතිපත්තිමය වැඩ රාමුවක් සකස් කර ගැනීමය. එසේ නොමැතිව සිද්ධියක් ඇති වූ පසු එක් එක් ආයතනයට ඇගිල්ල දිගු කරමින් සිටීම ප්‍රතිඵල විරහිත ක්‍රියාවකි. නිශ්චිත සම්බන්ධීකරණයකින් තොරව සිදුවන ආපදා කළමනාකරණයකින් ලැබෙන ප්‍රතිඵල ඉතා අවම බව කාගේත් අත්දැකීමයි. එසේ නොවන්නේ නම් සියලු සත්ව වර්ගයා ගංවතුරෙන් ආරක්ෂා කර ගැනීම පිණිස ‘නෝවාගේ නැව’ වැනි අන් යමක් සූදානම් කර ගැනීමට සිදුවනු ඇත.

සෝමසිරි වික්‍රමසිංහ