ගම-රට යන අත සරසන තොටිල්ල පදවන අත


 

පළාත් පාලන ඡන්ද සටන මේ වනවිට උණුසුම් වී තිබේ. දහස් සංඛ්‍යාත අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ජනතාවගේ ඡන්දය ඉල්ලා තම සුදුසුකම් ඉදිරිපත්කරමින් සිටිති. මෙම සටනේ විශේෂත්වය වන්නේ කාන්තා නියෝජනය සඳහා වැඩිපුර ප්‍රතිපාදන සලස්වා තිබීමය. රටේ ජනගහනයෙන් අඩකටත් සියයට හතකක සුළු ප්‍රතිශතයකින් වැඩිපුර කාන්තාවන් සිටින ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති කාන්තා නියෝජනය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවට මැසිවිල්ලක්  කලක සිටම පැවතුණි.


එහෙත් එය පිරිමැසුණේ මෙම පළාත් පාලන මැතිවරණයේදීය. ඒ සෑම අපේක්‍ෂක කණ්ඩායමගෙන්ම සියයට විසිපහක් කාන්තාවන්ට හිමිවිය යුතු බවට නිර්දේශවීමත් සමගය. එහිදී සෑම දේශපාලන පක්‍ෂයකටම පාහේ බලවත් ප්‍රායෝගික ගැටලුවකට මුහුණදීමට සිදුවූ බව දනිමු. ඒ තරම් අපේක්‍ෂක සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට කාන්තාවන් සුදානම් කිරීමට කිසිදු පක්‍ෂයක් කටයුතු කර තිබුණේ නැත. අනෙක් අතින් ඒ සා විශාල අපේක්‍ෂක පිරිසක් කාන්තාවන් සඳහා වෙන්වෙද්දි සමහර පෙරමුණුවලට හවුල්කාර පක්‍ෂවලට ගැළපෙන කෝටාවක් ලබාදීමට නොහැකිවීමේ අවදානමක් මතුවීමය. අඬන්නට සිටි අයගේ ඇසට ඇඟිල්ලෙන් ඇන්නා වැනි වූ මෙම සාධකය පෙන්වමින් දෙපාර්ශවයේම බොහෝ දෙනා පක්‍ෂ මාරුකරනු දක්නට ලැබුණි. මෙම දේශපාලන පසුබිම හමුවේ කාන්තා නියෝජනය පිළිබඳව කතා බහක් සමාජගතව ඇති මේ මොහොතේ ඒ මාතෘකාවට අදාළව එහි ඉතිහාසය සොයා යාමට කෙනෙකු පෙලඹෙන්නේ නම් එය අතිශයින්ම ස්වභාවික සංසිද්ධියකි. මේ එවැනි ප්‍රයත්නයකි.


සත්ව පරීණාමයේදී වානරයා නමින් ගස් මත ජීවත්වූ සිවුපා සත්වයා තම දෛනික ජීවිතයේ බොහෝ අංගෝපාංගයන් වෙනස් කර ගනිමින් මානවයා නම් දෙපා සතෙකු බවට පත්ව ගස් මුදුනේ සිට දෙපා සතෙකු ලෙස බිමට බැස්ස බව චාර්ස් ඩාවින් සොයා ගත්තේ බොහෝ කලකට පෙරදීය. මෙම මිනිස් සම්භවය ආරම්භයේදි ස්ත්‍රී - පුරුෂ භේදයකින් තොරව කවුරුත් ලැබෙන යමක් ආහාරයට ගෙන නිරුවතින් එහා මෙයා දුව පැන ඇවිදමින් නිදහසේ ගත කිරීමට මානවයෝ පුරුදුව සිටියහ.


සමාජ ආකල්ප දියුණු වී ආධ්‍යාත්මික සහ ලෞකික යන දෙආකාරයෙන් මෙන් සංනිවේදනය, තාක්‍ෂණය සහ අවශ්‍යතා යන සාධක හේතු කොටගෙන මිනිස් චර්යාවන් සහ ගති පැවතුම් වෙනස් වූ බව අපි දනිමු. යම් යම් සමාජ ඒකකවලට නායකයන් තෝරාගත්තේ ගෝත්‍රික නායකයන් වශයෙනි. පසුකාලීනව රජවරුන් හෝ රාජකීයයන් බවට වර්ධනය වූවේ මෙම ගෝත්‍රික නායක සංකල්පය දියුණුවීමෙනි. ඉඳහිට රැජිණියන් බිහිවීමද සිදුවු නමුදු එය අහඹු සිද්ධියක් විය. නව පූර්වාදර්ශයන් සපයමින් සමාජය ඉදිරියට ගලාගෙන ගියේය. මේ වනවිට ක්‍රමයෙන් දේශපාලනය නමැති නව ක්‍ෂේත්‍රයක් සමාජගත විය. ග්‍රීසියේ පෞර රාජ්‍ය සංකල්පය සහ ප්‍රජාතන්ත්‍රවාදය බිහිවීමත් සමග එය නව මානයකට හැරී දේශපාලන ක්‍රියාමාර්ගයක් සමාජ අයිතියක් බවට පත්වූ බව ලෝක ඉතිහාසය පිරික්සීමේදී දැකගත හැක. පෙර කී ග්‍රීක් පුරවර රාජ්‍යයන්හි පවා ඡන්ද බලය හිමිව තිබුණේ පුරුෂ පක්‍ෂයට  පමණකැයි සමහරු පවසති. එසේ නම් කාන්තාවන් ඒ පිළිබඳව උනන්දුවක් දැක්වීමට පටන් ගන්නට ඇත්තේ එම යුගයේ යැයි අනුමාන කිරීමට සාක්‍ෂි අවශ්‍ය නොවේ.


ප්‍රජාතන්ත්‍රවාදි සංකල්පය ඔස්සේ එය තහවුරු වි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රථමයෙන්ම ශක්තිමක් වුවේ එංගලන්තයේදීය. සියලු පාර්ලිමේන්තුවල මවු පාර්ලිමේන්තුව ඇත්තේ බි්‍රතාන්‍යයේ යැයි කතාවක් තිබේ. පාර්ලිමේන්තුවක් පැවතියක් වරින්වර කීප විටක්ම එහි සිහසුනට කාන්තාවක් පත්වූවත් බි්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුවේ පවා කාන්තා නියෝජනයක් නොතිබුණා පමණක් නොව ඡන්ද බලයවත් ලැබී නොතිබුණි. එහෙත් බි්‍රතාන්‍ය කාන්තාවෝ සර්වජන ඡන්ද බලය ඉල්ලා උද්ඝෝෂණය කිරීම ඇරඹූහ. මෙය සිදුවුයේ පළමු ලෝක මහා සංග්‍රාම අවධියේදීය. ඡන්ද බලය ලබාගැනිම සඳහා වූ ජාතික සංගමය සහ රැඩිකල්වාදි කාන්තාවන්ගේ දේශපාලන සංගමය වැනි සංවිධාන ගොඩනගාගත් බි්‍රතාන්‍ය කාන්තා පිරිස් විවිධ ක්‍රියාකාරකම් මගින් එම රජයට බලපෑම් කළහ. මෙම අරගලයේ ප්‍රධාන චරිත දෙකක් වූවේ ක්‍රිස්ටබල් ෆ්‍රෑන්ක් හර්ස්ට් සහ ඇගේ මව වූ එමලින් ෆ්‍රෑන්ක් හර්ස්ට්ය. ඔවුන්ගේ නායකත්වයෙන් බි්‍රතාන්‍ය කාන්තාවෝ රජයට දැඩි විරෝධය පළ කළහ. 1906 මහා මැතිවරණ රැස්වීමක් අමතමින් සිටි සර් වින්ස්ටන් චර්චිල්ට ඔව්හු බාධා කළහ. නොහික්මුණු ලෙස හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට පත්වූ ක්‍රිස්ටබල් සිරදඬුවම් ලැබුවාය. ඉන් පසු පාර්ලිමේන්තුවට කඩාවැදුණු මෙම කාන්තාවෝ තම ඡන්ද අයිතිය ඉල්ලා සිටියහ. ඉන් පසු පෙළපාළි දැක්වීම සහ උපවාස කිරිම් දක්වා මෙම අරගලය වර්ධනය වූවේය. අවසානයේ සිවිල් නීති කඩකිරීමේ ව්‍යාපාරද ඔව්හු සංවිධානය කළහ.


බි්‍රතාන්‍යය අශ්ව රේස් සඳහා ප්‍රකට බව බොහෝ දෙනා දනිති. රජ පවුලේ සාමාජිකයන් මෙන්ම  බි්‍රතාන්‍යයේ ප්‍රභූ පන්තියද සාමාන්‍ය ජනයාද මෙම තරග නැරඹීමට පැමිණීම සාමාන්‍ය සිරිතකි. ඒ අතරින් චර්බි අශ්ව රේස් තරගය එරට ප්‍රකට උත්සවයකට සමාන සැණකෙළියකි. අශ්ව රේස් තරග ඉතා උණුසුම් අන්දමින් පැවැත්වෙමින් තිබුණි. කුසලානය දිනාගෙන පවුම් දහස් ගණන් වූ ත්‍යාග දිනාගැනීමේ අපේක්‍ෂාවෙන් යුතුවූ අසරුවෝ වේගයෙන් තම අසුන් මෙහෙයවූහ. කාන්තා ඡන්ද අයිතිවාසිකම් සටනේ ප්‍රබල ක්‍රියාකාරිනියක් වූ එමලි ඬේවිඞ්සන් නම් වූ එඩිතර කාන්තාව අශ්ව රේස් නරඹමින් සිට වහා පිටියට දුවගොස් වේගයෙන් දුව යන අසුන් අතරට පැන්නාය. කාන්තා ඡන්ද අයිතිය වෙනුවෙන් ඇය තම ජීවිතය පූජාකළාය. බි්‍රතාන්‍ය රජයේ බලවතුන්ගේ අවධානය  කාන්තා ඡන්ද බලය ලබාදීම කෙරෙහි යොමුවීමට මෙම සිදුවීම මහත් සේ බලපෑ බව කියනු ලැබේ. 1918 දී බි්‍රතාන්‍ය කාන්තාවන්ට ඡන්ද බලය හිමිවිය. එයට තවත් බොහෝ ක්‍රියකාරකම් හේතුවන්නට ඇති බව සත්‍යයකි. එහෙත් එමලි ඬේවිඞ්සන්ගේ ජීවිත පරිත්‍යාගය බි්‍රතාන්‍ය කාන්තා පරපුරට ඡන්ද බලය ලබාගැනීමේ සටනට මහත්වූ උපකාරයක් වූ බව නිසැකය.


මේ වනවිටත් ශ්‍රී ලංකාවේ කාන්තා පරපුර ඡන්ද අයිතිය හෝ ජාතික නිදහස්  සටන ගැන විශාල උනන්දුවක් දැක්වීමට පෙලඹී සිටියේ නැත. පුරුෂ පක්‍ෂය වුවද යටත් විජිතවාදය ගැන දැඩි විරෝධයක් දක්වන්නට උනන්දුවක් දැක්වීමක් සිදුවූයේ නැත. එහෙත් 1915 සිංහල - මුස්ලිම් අර්බුදයේදී බි්‍රතාන්‍ය පාලකයන් ක්‍රියා කළ පක්‍ෂග්‍රාහී සහ මර්දනකාරී පිළිවෙත දේශප්‍රේමි ජනතාවගේ දැඩි විරෝධයට හේතු වූයේය. මෙයට ඇති එකම පිළියම ජාතික නිදහස උදාකර ගැනීම බව ඔවුහු අවබෝධ කර ගත්හ. එනිසා ලංකා ජාතික සංගමය පිහිටුවා ගෙන ජාතික නිදහස සහ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ ඇති කරන ලෙස දැඩි බලපෑමක් සිදුකිරීමට එම ජාතික නායකයෝ ක්‍රියාකළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1924 දී එවකට පැවති ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාව පුළුල් කිරීමටත් එහි ඡන්දයෙන් පත් කරන මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමටත් බි්‍රතාන්‍යයෝ ක්‍රියා කළහ. එකල ඡන්ද බලය හිමිව තිබුණේ ඉතා සීමිත පිරිසකට පමණි. බි්‍රතාන්‍ය රටවැසියෙකු නොවීම, වයස අවුරුදු විසි එකට අඩු අය, ඉංග්‍රීසි, සිංහල හෝ දෙමළ කියවීමට හෝ ලිවීමට නොදත් අය මෙන්ම ස්ත්‍රීන්ද ඡන්ද අයිතිය ලැබීමට නුසුදුස්සෝ වූහ. 1923 රාජාඥාවේ විසිහයවැනි වගන්තියේ මේ බව  පැහැදිලිව දක්වා තිබුණි. එය මෙරට කාන්තා පරපුරට සිදුකළ අවමානයක් බවත් සර්වජන ඡන්ද අයිතිය හිමිවිය යුතු බවටත් එකල සිටි උගත් බුද්ධිමත් සහ ප්‍රභූ කාන්තා පිරිසක් ඒකරාශීව උද්ඝෝෂණය ඇරඹූහ. එහි මූලිකත්වය ගත්තේ ඬේසි ඩයස් බණ්ඩාරනායක ආර්යාව, ෆ්ලොරීන්ඩා විජේකෝන් මැතිනිය, එවකට ප්‍රකට ලේඛිකාවක් වූ මංගලම්මාල් මසිලබනි එවකට වෘත්තීය සමිති ක්‍රියාකාරිනියක් හා පුවත්පත් කලා වේදිනියක්ද වූ මීනච්චි නකේෂ අයියර්, ජෝර්ජ් ඊ. ද සිල්වා මහත්මිය, ඊ. ආර්. තම්බිමුත්තු මහත්මිය සහ කැනේඩියානු ජාතික වෛද්‍යවරියකව සිට මෙරටට පැමිණ සමාජ සේවා කටයුතුවල යෙදුණු මේරි රත්නම් වැනි පුරෝගාමී කාන්තාවන් පිරිසක් විසිනි. ඔවුන් ලංකා කාන්තා ඡන්ද අයිතිය ලබාගැනීමේ සංගමය, දෙමළ කාන්තා සංවිධානය ආදී සමිති මගින් දැඩි අරගලයක් දියක් කර තිබුණි.


මෙවැනි බලපෑම් නිසා 1927 අගෝස්තු නව වෙනිදා පත් කරන ලද ඩොනමෝර් කොමිසම 1929 නොවැම්බර් 13 වැනිදා ලංකාවට සම්ප්‍රාප්ත විය. ඔවුහු දිවයින පුරා සංචාරය කරමින් සාක්‍ෂි විභාග කළහ. නව ආණ්ඩු ක්‍රමයක් සකස් කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම එම කොමිසමට පැවරුණු වගකීම විය. මෙයට සාක්‍ෂි දීමට ඉදිරිපත් වූ පෙර සඳහන් කළ පුරෝගාමි කාන්තා නියෝජිතයෝ කාන්තාවන්ට ඡන්ද බලය ලබාදෙන ලෙස එක හෙළා ඉල්ලා සිටියහ. එහෙත් එය මතභේදයට ලක්වූ කරුණක් වූවේ රටේ ජාතික නායකයන් බහුතරයක් එයට විරුද්ධත්වය දැක්වීමයි. එකල ප්‍රමුඛ නායකයෙක් වූ සර් පොන්නම්බලම් රාමනාදන් මහතා මෙසේ ප්‍රකාශ කළ බව සටහන්ව තිබේ. 


1915 ජාති භේදවාදී අරගල සමයේ සිංහල බෞද්ධ ජනතාවගේ නායකත්වය ගෙන කටයුතු කළ අද ජාතික වීරයෙකු ලෙසද පිළිගන්නා සර් පොන්නම්බලම් රාමනාදන් මහතා කාන්තාවට ඡන්ද අයිතිය ලබාදීම පිළිබඳව මෙසේ කී බව වාර්තාගතව ඇත. “ඔබ අපේ කාන්තාවන්ට ඔවුන්ගේ පාඩුවේ සිටීමට ඉඩහැරිය යුතුය. දෙවියන්ගේ අභිමතය පරිදි ඔවුන් මෙලොව පහළ වූවේ ඇයි දැයි යන්න සිතා ගැනීමට ඔබට පුළුවන් කමක් නැත. ඔවුන් දරන තත්ත්වය ඉතාම දිව්‍යමයවූත් අත්‍යවශ්‍යවූත් දෙයකි. එය ජීවිතයේ අභිවෘද්ධිය උදෙසා බෙහෙවින් වැදගත් වේ. ඔවුන්ගේ  මුළු මහත් ජීවිතයත් සම්පූර්ණ අවධානයත් යොමුවිය යුත්තේ නිවස වෙතය. එයින් තොරවූ පවුල් ජීවිතයක් නැත. එයින් තොරවූ නගරයක් නැත. එයින් තොරවූ අධිරාජ්‍යයක්ද නැත. එබැවින් නිවසේ දිව්‍යමයභාවයට පටහැනි වූ දේවලට සමබන්ධවීමට ඔවුන්ට ඉඩ හරින්න එපා. සර් පොන්නම්බලම් රාමනාදන් එසේ කීවත් තවත් ජාතික නායකයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතා කාන්තා ඡන්ද අයිතියට තරයේම පක්‍ෂ විය.


අවසානයේ ඩොනමෝර් කොමිසම කාන්තාවනට ඡන්ද අයිතිය දීම සුදුසුයැයි නිර්දේශ කළේය. ඒ අනුව 1931 පැවති පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදි වයස අවුරුදු විසි එක සම්පූර්ණ කළ සෑම වනිතාවකටම ඡන්දය දීමේ අයිතිය හිමිවිය. බි්‍රතාන්‍යයේ එම අයිතිය ලැබුණේ 1918 වන අතර අපේ රටේ 1931 දී ක්‍රියාත්මක කරවා ගැනීමට හැකිවීම සුවිශේෂි වරප්‍රසාදයක් ලෙස සටහන්ව ඇත.


ඡන්ද බලය හිමිවුවද 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදි කාන්තාවකට මැති සබයට පත්වීමට ඉඩ නොලැබුණි. එහෙත් සිය පියාණන්වූ ජෝන් හෙන්රි මීදෙණිය අදිකාරම්තුමාගේ අභාවය නිසා හිස් වූ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල  ආසනයේ අතුරු මැතිවරණයට  ඉදිරිපත් වූ ඇඞ්ලින් මොලමුරේ කුමාරිහාමි පත්වීම ව්‍යවස්ථාදායකයට පත්වූ ප්‍රථම කාන්තාව ලෙස 29 වැනිදා ඉතිහාසයට එක්වූවාය. 1931 නොවැම්බර් මස උතුරු කොළඹ මන්ත්‍රී රත්නජෝති සරවනමුත්තු මහතාට අසුන අහිමි වීම් නිසා ඔහුගේ බිරිඳ නේසම් සරවනමුත්තු මහත්මිය ටික කලක් මැති සබය නියෝජනය කළාය.    

 

 

මෙම ආණ්ඩු ක්‍රමයද ප්‍රතිසංස්කරණය වී 1947 දී සෝල්බරි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණි. එය බහු පක්‍ෂ ක්‍රමය යටතෛ් පවත්වනු ලබන පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් විය. එම පාරලිමේන්තුවට පත්වූ ප්‍රථම කාන්තා නියෝජනය වන්නේ ලංකා සමසමාජ පක්‍ෂය වෙනුවෙන් කිරිඇල්ල ආසනයට පත්වූ ඬේසි මරියා ෆ්ලොරන්ස් සේනානායක මහත්මියයි. පසුව පැවති අතුරු මැතිවරණවලදී කුසුමා ගුණවර්ධන හා තමරා කුමාරි ඉලංගරත්න යන මහත්මීහු මැති සබය නියෝජනය සඳහා පත්වීම් ලැබූහ. ඒ සිය ස්වාමි පුරුෂයන්ගේ අඩුව පුරවමිනි. 


එක් දහස් නවසිය පනස් දෙකේ පැවති දෙවැනි පාර්ලිමේන්තු මැතිවරණයේදීද වමේ මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් පත්වීම් ලැබූහ. ඒ කුසුමා ගුණවර්ධන මහත්මිය ල.ස.සප. (අවිස්සාවේල්ල) සහ ඩොරින් වික්‍රමසිංහ ලංකා කොමියුනිස්ට් පක්‍ෂය (අකුරැස්ස) වශයෙනි. තුන්වැනි මැතිවරණය පැවතියේ 1956දීය. එවර මීරිගම අසුන ශ්‍රී.ල.නි.පයේ විමලා විජේවර්ධන මහත්මිය පහසුවෙන් දිනා ගත්තාය. ඇය මෙරට ඉතිහාසයේ ප්‍රථම කැබිනට් අමාත්‍යවරිය ලෙසද කටයුතු කළාය. එවකට උතුරු කොළඹ දිනා පාර්ලිමේන්තුවට පැමිණි විවියන් ගුණවර්ධන මහත්මිය (ල.ස.ස.ප.) සහ කුසුමා ගුණවර්ධන (ම.එ.පෙ.) කිරිඇල්ල මහත්මියද අතින් එවර කාන්තා නියෝජනය සිදුකෙරුණි. පසුව පැවති අතුරු මැතිවරණයකදී වැලිමඩ ආසනය ජයගත් කුසුමා රාජරත්න මහත්මිය සිය සැමියා වෙනුවට මැතිසබය නියෝජනය කළාය.


1960 මාර්තු මැතිවරණයේදි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූර ගණන අනු පහේ සිට එකසිය පනස් එක දක්වා වැඩිවූ නිසා කාන්තා නියෝජනයද වැඩිවීමේ අවශ්‍යතාව පැන නැගුනි. එහෙත් එවැන්නක් සිදුවූයේ නැත. ජයග්‍රාහිකාවන් වූවේ තිදෙනෙකු පමණි. ඌව පරණගම ආසනයෙන් කුසුමා රාජරත්න මහත්මියත් (ජාතික විමුක්ති පෙරමුණ) ගලිගමුව ආසනයේ විමලා කන්නන්ගර මහත්මියත් (එ.ජා.ප) සෝමා වික්‍රමනායක මහත්මිය, සම සමාජ පක්‍ෂයෙන් දෙහිඕවිට ආසනයත් ජයගෙන සිටියහ. එම පාර්ලිමේන්තුවේ නිල කාලය දින තිස් තුනකට සීමාවීම නිසා අතුරු මැතිවරණ පැවැත්වීමක්ද සිදුවුවේ නැත. 1960 ජුලි මැතිවරණයේදි විමලා කන්නන්ගර මහත්මිය පරාජයවූ අතර පෙර පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙක් කාන්තාවෝ දෙදෙනා නැවතත් තේරි පත්ව සිටියහ. 1963 පැවති අතුරු මැතිවරණයෙන් බොරැල්ල අසුන ජයගත් විවියන් ගුණවර්ධන මහත්මිය මැතිසබයට පත්වූ අතර උප ඇමැති ධුරයක්ද හෙබවුවාය. එවර සිදුවූ තවත් විශේෂයක් වන්නේ මැතිවරණයේදි ශ්‍රී.ල.නි.ප මෙහෙයවූ එහි නායිකා සිරිමා බණ්ඩාරනායක මැතිනිය අගමැති තනතුරට පත්වූ අතර ඇය ආසනයක් ජයගෙන නොතිබූ වාතාවරණය  හමුවේ ඇය තනතුරු දැරුවේ එවකට පැවති උත්තර මන්ත්‍රී මණඩලයේ මන්ත්‍රීවරියෙකු වශයෙන් කටයුතු කරමිනි.


පසුකාලීනව ව්‍යවස්ථා දායකයේ කාන්තා නියෝජනය මේ ආකාරයෙන්  කෙටියෙන් දැක්විය හැකිය.

 


1965 මැතිවරණය


● සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ශ්‍රී.ල.නි.ප - අත්තනගල්ල
● ශිවා ඔබේසේකර මහත්මිය ශ්‍රි.ල.නි.ප. - මීරිගම
● විමලා කන්නන්ගර මහත්මිය එ.ජා.ප. - ගලිගමුව
● කුසුමා රාජරත්න මහත්මිය එ.ජා.ප - ගලිගමුව
● කුසුමා රාජරත්න මහත්මිය ජාතික විමුක්ති පෙරමුණ - ඌව පරණගම


අතුරු මැතිවරණවලින්


● ලැටිෂියා රාජපක්‍ෂ මිය - ශ්‍රී.ල.නි.ප. දොඩන්ගස්ලන්ද 
● මල්ලිකා රත්වතේ මිය - ශ්‍රී.ල.නි.ප බළන්ගොඩ


1970 මැතිවරණය ජයගත් කාන්තාවෝ


● සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය - ශ්‍රී.ල.නි.ප. අත්තනගල්ල
● ශිවා ඔබේසේකර මහත්මිය - ශ්‍රී.ල.නි.ප. මීරිගම
● කුසලා අබේවර්ධන මහත්මිය - ල.ස.ස.ප- බොරැල්ල
● විවියන් ගුණවර්ධන මහත්මිය - ල.ස.ස.ප- දෙහිවල - ගල්කිස්ස
● තමරා කුමාරි ඉලංගරත්න මිය - ශ්‍රි.ල.නි.ප. ගලගෙදර 
● මල්ලිකා රත්වත්ත මිය - ශ්‍රී.ල.නි.ප බළන්ගොඩ


1977 මැතිවරණය


● සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය - ශ්‍රී.ල.නි.ප අත්තනගල්ල
● රේණුකා හේරත් මිය. එ.ජා.ප. - වලපනේ
● අමරා පියසීලි රත්නායක මිය - එ.ජා.ප. වාරියපොළ
● විමලා කන්නන්ගර මිය එ.ජා.ප. - ගලිගමුව (පසුව පත්වුණා)
● සුනේත්‍රා රණසිංහ මිය එ.ජා.ප. - දෙහිවල
● කීර්තිලතා අබේවික්‍රම මිය. එ.ජා.ප. කීර්ති අබේවික්‍රම මයා වෙනුවට
● දයා සේපාලි සේනාධීර මිය එ.ජා.ප. සේනාධිර බන්දුල හේවා මහතා වෙනුවට
● ශ්‍රියානි ඩැනියෙල් මිය. එ.ජා.ප. අනුර ඩැනියෙල් මයා වෙනුවට
● රන්ගනායකි පත්මනාදන් මිය ද්‍ර.එ.වි.පෙ. කේ. කන්‍යගරත්නම් මයා වෙනුවට
● සමන්තා කරුණාරත්න මිය එ.ජා.ප. අශෝක කරුණාරත්න මහතා වෙනුවට
● ඇල්. ඇම්. විජේසිරි මිය - එ.ජා.ප ආර්. පී. විජේසිරි මයා වෙනුවට

 

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ