1971 අප්‍රේල් අරගලයට ලබන 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.
අතුරු මැතිවරණයේදී ජ.වි.පෙ.ට එරෙහිව වික්ටර් අයිවන් ල.ස.ස.ප යෙන් තරග වැදුණු අතර 71 අරගලයෙන් පසු පක්ෂයට ද්‍රෝහි වූවෝ විශාල ප්‍රමාණයක් ඔහුගේ මැතිවරණ වේදිකාවට නැගීමද කළහ. එහෙත් ඔහුට ලබාගත හැකිවූයේ ඡන්ද 634ක් පමණි.
ආණමඩුව අතුරු මැතිවරණයට පක්ෂය වෙනුවෙන් උපතිස්ස ගමනායක සහෝදරයා තරග වැදුණු අතර ලබාගත හැකි වූයේ ඡන්ද 857 කි. ජ.වි.පෙ. පළමු වතාවට සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මන්ත්‍රී ධුර ලබා ගත්තේ 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයේදීය. මැතිවරණ ක්‍ෂේත්‍රයේ ක්‍රියාත්මක වන අතරම ජ.වි.පෙ. පුළුල් ප්‍රචාරක ව්‍යාපෘතියක් තුළද ක්‍රියාත්මක විය. රෝහණ විජේවීර සහෝදරයා සහභාගි වන ප්‍රචාරක රැලි, සමරු උත්සව, මැයි දින හා පෝස්ටර් ව්‍යාපාර මෙහිදී මූලික විය. ප්‍රචාරක වැඩවලදී ජ.වි.පෙ. සුවිශේෂ අනන්‍යතාවක් ගොඩනගා ගැනීමටත්, එකලට සාපේක්ෂව මුද්‍රිත දැන්වීම් වෙනුවට පෝස්ටර් (අතින් අඳින ලද) කලාව නිර්මාණය කර එය ප්‍රබල ප්‍රචාරක අවියක් කිරීමටත් ඒ මගින්ම රටේ අවධානය හා ගෞරවය දිනාගැනීමටත් සමත් විය.
ජ.වි.පෙ. පළමු වරට මැයි දින පෙළපාළියක් පැවැත්වූයේ 1978 මැයි දිනයේදීය, එතැන් සිට ලංකාවේ මැයි දින පෙළ පාළිවලට නව අර්ථයක් හා නව සංවිධාන හැඩයක් ලබා දෙන ලද්දේ ජ.වි.පෙ. විසිනි. ජ.වි.පෙ. මැයි දින පෙළ පාළියේ හා රැලියේ වේදිකාවේ නිර්මාණයන් විසින් බිහිකළ කලාව හා දේශපාලන දැක්ම මේ දක්වාම අභිබවනය කිරීමට කිසිවකු සමත් නොවීම එහි විශේෂත්වය පෙන්වන සාධක වේ. බීගත් මිනිසුන් අසභ්‍ය පාඨ කෑගසමින් වීදි දිගේ ඇවිද ගිය අක්‍රමවත් මැයි පෙළ පාළි වෙනුවට මත්පැන්, දුම්වැටි නැති, විනයක් ඇති, සංවිධානාත්මක ලෙස දේශපාලන සටන් පාඨ හඬනගන සටන්කාමී පෙළ පාළියක් බවට මැයි දින පෙළපාළිය නිර්මාණය කළේ ජ.වි.පෙ.ය. එම පෙළපාළි විනයෙන්, සංවිධානාත්මකභාවයෙන් පමණක් නොව නිර්මාණශීලීත්වයෙන්ද ඉහළ තලයක විය. සමාජවාදය පිළිබඳව සටන්කාමීත්වය පිළිබඳව විදහා දක්වන විවිධ නිර්මාණ පෙළපාළියේ ගෙන යන ලදී. කම්කරු, තරුණ හා කාන්තා භට කණ්ඩායම්ද ගමන් කළහ. ජ.වි.පෙ. මැයි දින පෙළපාළි සියලු දෙනාගේ අවධානයට හා පැසසුමට ලක්විය.
අනෙක් අතට ජ.වි.පෙ. සාහිත්‍ය කලා ක්‍ෂේත්‍රයටද අත ගැසීය. ‘විමුක්ති ගී’ ප්‍රසංගය එහි ප්‍රබල මාධ්‍යය විය. විමුක්ති ගී රටට නවුම් අත්දැකීමක් විය. එක් අතකින් එය සාමුහික කාර්යයක් විය. ගී රචනා, බොහෝ විට ගී තනු, ගායනා හා වාදනයන් සියල්ල පක්ෂ ක්‍රියාකාරීන් හා හිතවතුන්ගේ දායකත්වයෙන් සිදුවිය. ගී පද මාලා සාහිත්‍යමය ගුණයෙන් තරමක් අඩු වුවද ඒවා විකල්ප මත ඉදිරිපත් කළ අතර සටන්කාමීද විය. විප්ලවවාදී විය. ගී තනුද ඊට ගැළපෙන සේ විය. පළමු වරට අපේ රට තුළ ප්‍රසංගයකදී බටහිර හා පෙරදිග සංගීත භාණ්ඩ එකට මුසු කොට භාවිතයට නැගුණේද විමුක්ති ගී ප්‍රසංගයේදීය. විමුක්ති ගී රැඩිකල් තරුණ කලාකරුවන්ට කලාව තුළ දේශපාලනය කතා කිරීමට ඉතා ඉහළ බලපෑමක් කළ බව පැහැදිලිය.
විමුක්ති ගී ප්‍රසංගය පවත්වනු ලැබුවේ ජ.වි.පෙ. සමාජවාදී කලා සංගමය විසිනි. 1971 අප්‍රේල් නැගිටීම සිදු වූ අවධියේදී කතරගමදී මරා දමන ලද ප්‍රේමවතී මනම්පේරි සොයුරියගේ ඝාතනය පදනම් කර ගනිමින් සමාජවාදී කලා සංගමය නාට්‍යයක්ද නිෂ්පාදනය කළේය. එය නම් කර තිබුණේ ‘මිලාන වූ මලක් නොවේ’ යනුවෙනි. එය මුල්වරට වේදිකාගත වූයේ 1979 අග පැවති තරුණ සංගමයේ මංගල සමුළුව අවසානයේදීය. එහෙත් එම නාට්‍යය ආණ්ඩුව විසින් තහනම් කරනු ලැබීම නිසා නැවත රට තුළ වේදිකා ගතකිරීමට නොහැකි විය.
1978 ලංකාවේ ජාතිවාදී කෝලාහල ඇවිළී ගිය අතර ජ.වි.පෙ මාක්ස්වාදී ව්‍යාපාරයක් ලෙස ජාතිවාදයට එරෙහි මතවාදී භූමිකාවට පණ පෙවීය. එවකට කඳුකරයේ පැවැති වමට බර කුඩා සංවිධානයක නායකයාව සිටි වී. එල්. පෙරෙයිරාද සහභාගි කරගෙන රට පුරා ජාතිවාදයට එරෙහි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට ජ.වි.පෙ. කටයුතු කළේය. 1979 වන විට ජ.වි.පෙ. යාපනයේ දේශපාලන කටයුතු ඇරඹුවේය. සිංහල ජාතිවාදීන්ගේ මෙන්ම දෙමළ ජාතිවාදීන්ගේද බාධා මැද ජාතිවාදයට එරෙහිව දේශපාලන කටයුතු කිරීමට ජ.වි.පෙ. සමත් විය.
මේ වන විට ලෝක සමාජවාදී ව්‍යපාරයේ නිල කොමියුනිස්ට් පක්ෂ සම්බන්ධ වී තිබුණේ සෝවියට් දේශය සමගය. සෝවියට් දේශය ප්‍රමුඛ සෝවියට් කඳවුරේ සමාජවාදී රටවල් තමන්ට පක්ෂපාත නිල කොමියුනිස්ට් පක්ෂ සමඟ ගනුදෙනු කළ අතර චීනය තමන්ට පක්ෂ කොමියුනිස්ට් කණ්ඩායම්වලට උදව් කළේය. ඒ අතර තවත් සමහර පක්ෂ ට්‍රොට්ස්කිවාදී 4 වැනි ජාත්‍යන්තරයේ කණ්ඩායම් සමඟ සම්බන්ධ වී සිටියේය. මේ තත්ත්වය තුළ මේ එකදු ගුරු කුලයකට හෝ කඳවුරකට සම්බන්ධ නැති සැබෑ මාක්ස් - ලෙනින්වාදී පක්ෂවලට මුහුණපෑමට සිදුවූයේ දුෂ්කර තත්ත්වයකටය. ඔවුනට හුදකලාව කටයුතු කිරීමට සිදුවිය. ලංකාවේදී ජ.වි.පෙ ද ස්ටාලින්වාදයට, මාඕවාදයට හෝ ට්‍රොට්ස්කිවාදයට නොවැටුණු නිසාම ජාත්‍යන්තර දේශපාලනයේ සබඳතා ගොඩනගා ගැනීම දුෂ්කර විය. ජ.වි.පෙ. රට තුළ ශක්තිමත්ව රටේ ප්‍රධාන වමේ ව්‍යාපාරය බවට පත්වුවද ඊට සමානුපාතිකව ජාත්‍යන්තර තලයේ කටයුතු ප්‍රමාණවත් නොවීය. මුල්කාලයේ ජාත්‍යන්තර කටයුතු ලන්ඩනයේ ජ.වි.පෙ. ශාඛාවටත් ඉරාකයේ එවකට පාලක බාත් සමාජවාදී පක්ෂය හා පැවැති සම්බන්ධය වැනි සබඳතා කිහිපයට සීමාවිය.
කෙසේ වෙතත් මෙලෙස ක්‍ෂේත්‍ර ගණනාවකම සිය ලකුණ තබමින් පෙරට ගමන්ගත් ජ.වි.පෙ. රට තුළ ශක්තිමත් වමේ ව්‍යාපාරයක් බවට පත්වීමට සමත්විය. ඒ අතරම තම ඉතිහාසයේ ඉතාම වැදගත් සංධිස්ථාන කිහිපයකටද මුහුණ දුන්නේය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්