ගමනායක මැතිවරණයට


ඉල්මහේ බිලිගත් ජවිපෙ දෙවැනියා

ගමනායක හා කරුණාගේ විවාහයෙන් පසුව, ගමනායක යුවළ කොළඹ ඇල්විටිගල මහල් නිවාසයෙහි පදිංචි වූහ. මේ කාලය වන විට උපතිස්ස ගමනායක නාමය මෙරට දේශපාලනයේ නිතර කියැවෙන නමක් බවට පත් වී තිබිණි. 


1977 ලංකා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ තීරණාත්මක වසරක් විය. 1977 මහ මැතිවරණයත් සමග මැතිවරණ ක්ෂේත්‍රයට පා තැබූ ජවිපෙ ඒ තුළ ද ක්‍රියාත්මක විය. පක්ෂයට කලින් සකස් කළ මැතිවරණ ව්‍යුහයක් තිබුණේ නැත. භෞතික සම්පත් හා පහසුකම් ද අවම විය. ඒ අනුව රෝහණ විජේවීරගේ උපදෙස් මත උපතිස්ස ගමනායකගේ ප්‍රධානත්වයෙන් රැස් වූ ජවිපෙ තාවකාලික මධ්‍යම කාරක සභාව තීරණය කළේ තෝරාගත් ආසන හතරකට තරග කළ යුතු බවය. ඒ අනුව තංගල්ල ආසනයට විජිත රණවීර, බටහිර අනුරාධපුරයට පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. එච්. චන්ද්‍රපාල, රොබට් ආර් ජයසේකර හක්මණ ආසනයට හා හොරොව්පොතානට කේ. වයි. එම්. රණතුංග යන අය ස්වාධීන අපේක්ෂකයන් ලෙස නාම යෝජනා බාර දුන් අතර ඡන්ද ලකුණ වූයේ සීනුවය. පක්ෂය ලියාපදිංචි කර නොතිබීම නිසා ජවිපෙ නමින් තරග කිරීමට අවස්ථාව අහිමි වී ගියේය. 


1977 ජූලි 23 වැනි දින උදා වූයේ ජේ. ආර්. ජයවර්ධනට හයෙන් පහක බලයක් හිමි කර දෙමිනි. තරග කළ ආසන 168 න් 140 කම ජය හිමිව තිබුණේ එජාපයටයි. ජවිපෙ තරග කළ ආසන හතරෙන් ඡන්ද 3371 ක් ලබා ගැනීමට සමත්ව සිටියේය. තංගල්ල හා බටහිර අනුරාධපුර ආසනවලදී වාමාංශික එක්සත් පෙරමුණ අබිබවා පෙරට පැමිණීමට ජවිපෙට හැකිව තිබීම කැපීපෙනෙන කරුණක් විය. ජේ. ආර්. ජයවර්ධන අගමැති ධුරයේ දිවුරුම් දුන් දිනම රට පුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබීය. 


සිරගත කර ඇති රෝහණ විජේවීර ඇතුළු සෙසු ජවිපෙ ක්‍රියාකාරීන් නිදහස් කරන්නැයි නව ආණ්ඩුවට විවිධ පාර්ශව වලින් දිගින් දිගටම බලපෑම් එල්ල වන්නට විය. වාමාංශික සංවිධාන, බලපෑමක් සහිත දේශපාලනඥයෝ, සමාජ ක්‍රියාකාරීහු, බුද්ධිමත්හු රැසක් ඒ අතර වූහ. මේ අතර උපතිස්ස ගමනායක ප්‍රධාන තාවකාලික මධ්‍යම කාරක සභාව දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ, රැස්වීම් මාලාවක් දිවයින පුරා පැවැත්වීමට තීරණය කළේය. මුල්ම රැලිය පැවැත්වීමට තෝරා ගත්තේ කොළඹ හයිඞ්පාක් පිටියයි. හයිඞ් පිටයේ පැවති විරෝධතා රැලිය ඇමතූ උපතිස්ස ගමනායක කියා සිටියේ සිර දඬුවම් විඳිමින් සිටින තම සගයින්ට බාල අන්දමින් සලකන බවත් ආහාර පාන පවා නිසි පරිදි නොදෙන බවත්ය. එසේම නව නගර ශාලාවේදී පැවති කම්කරු වැඩ වර්ජන අනුස්මරණ රැස්වීමක් ඇමතූ ගමනායක මෙසේ කීවේය. 


“1971 අප්‍රේල් සිද්ධි ප්‍රමුඛව අනීත වැරදි වලින් අපි පාඩම් ඉගෙන ගෙන තියෙනවා. අද අපි කම්කරු ජනතාවගේ විමුක්තිය උදෙසා අරගල කරන පූර්ණ මාක්ස් ලෙනින්වාදී විප්ලවවාදී පක්ෂක්. අධිරාජ්‍යවාදී පාලකයන් එළවා මේ රටේ ගොවි කම්කරු පාලනයක් ඇති කිරීමට රහසිගතව නොව ප්‍රසිද්ධියේ අපි ක්‍රියාකරනවා. ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වුණේ විජේවීර සහෝදරයා ඇතුළු දේශපාලන සිරකරුවන් නිදහස් කරනවා කියලයි. අද ඒ පොරොන්දුව ඉටුකිරීමට ආණ්ඩුවට ඕනෑවට වඩා වැඩිය බලය තියෙනවා. එහෙත් අපේ ක්‍රියාකාරී සහෝදරවරුන් තවමත් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටිනවා. මේ තත්ත්වය මත අපිට ආණ්ඩුව දෙන පොරොන්දු ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි උද්ඝෝෂණය දිගටම කරගෙන යනවා. ඉදිරියේදී ආණ්ඩුව රෝහණ විජේවීර සහෝදරයා නිදහස් කළත් ඒ අපේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් බව කිව යුතුයි.” 


රට තුළ විවෘත ආර්ථිකය නිර්මාණය කිරීමේදී විදේශ ආයෝජකයන් ලංකාවට කැඳවීමට දේශපාලන සිරකරුවන් සිරගෙවල්වල සිටීම කිසියම් බාධාවක් විය හැකි බවද දැනී තිබිණි. ඒ සියල්ලටම වඩා සමගි පෙරමුණු ආණ්ඩුව විසින් දඬුවම්වලට ලක් කර තිබූ ප්‍රබල එජාප ආධාරකරුවන් වූ විදේශ විනිමය වංචාකරුවන් කිහිප දෙනා නිදහස් කර ගැනීමේ වුවමනාවද එජාප ආණ්ඩුවට තිබිණි. මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමට එජාප ආණ්ඩුව තීරණය කිරීමය. ඒ අනුව 1970 සමගි පෙරමුණු ආණ්ඩුව විසින් පත් කර ක්‍රියාත්මක කරන ලද අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභා පනත හා සංශෝධිත විනිමය පාලන පනත් අවලංගු කිරීම සඳහා වූ ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට 1977 ඔක්තෝබර් මස 27 වැනිදා සම්මත කර ගනු ලැබිණි. ඒ සමගම එම පනත් යටතේ සිර දඬුවම් ලබා දී තිබූ විනිමය වංචාකරුවෝ මෙන්ම 71 අප්‍රේල් අරගලයට සම්බන්ධ වූවෝ ද නිදහස් වූහ. 


1977 නොවැම්බර් 22 වැනි දින ජවිපෙ නායක රෝහණ විජේවීර නිදහස් කරනු ලැබූ අතර පරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව හමුවේ වැරදිකරුවන් වූ තවත් 140 දෙනෙකු සමාව දී නිදහස් කෙරිණ. ජවිපෙ පක්ෂ අරමුදලක් පිහිටුවනු ලැබූ අතර 1978 අවුරුද්දේ මුල් කාර්තුව වන විට අරමුදල රුපියල් 100,000 කින් තරව තිබිණි. ජවිපෙ නිල පුවත්පත වූ නියමුවා හා සමාජවාදී කම්කරු සංගමයේ නිල පුවත්පත වූ රතු ලංකා පළ කිරීම ඒ වන විට ආරම්භ කර තිබූ අතර ප්‍රචාරක ලේකම්වරයා වූ උපතිස්ස ගමනායකට එහි වැඩි බරක් දැරීමට සිදු විය. 


1978 කොළඹ මහ නගර සභා මැතිවරණය පැවති අතර පක්ෂය උපතිස්ස ගමනායකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ඉදිරිපත් කරමින් එයට තරග වැදුණි. එහිදී නියෝජිතයන් පත් කර ගැනීමට නොහැකි වුවද සමසමාජ, කොමියුනිස්ට් ඇතුළු වමේ පක්ෂවලට වඩා ඡන්ද ලබා ගෙන කොළඹ නගරයේදීත්, ජවිපෙ වමේ ප්‍රධාන ව්‍යාපාරය බවට පත් විය. 77 මැතිවරණය නිමාවීමත් සමග අතුරු මැතිවරණ කිහිපයක් ද පැවැත්විණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දී තිබුණද 77 දී කේවල ක්‍රමයට පැවැත් වූ ඡන්දයේ ආසනවලට අතුරුමැතිවරණ පැවැත්වීමට සිදු වූ විට ඒවා පැරණි කේවල ක්‍රමයට පැවැත්වීමට නීති සකසා තිබුණි. ඒ අනුව 77 නොවැම්බර් දෙහිවල, 78 මාර්තු බටහිර කොළඹ, 79 දෙසැම්බර් ගාල්ල, 80 මැයි ආණමඩුව හා 81 ජනවාරි කලවාන යන ආසනවල අතුරු මැතිවරණ පැවැත්විණි. මෙහිදී ජවිපෙ ගාල්ල හා ආණමඩුව යන ආසන දෙකේ අතුරු මැතිවරණවලට පමණක් තරග වැදුණේය. ඒ සීනුව ලකුණින් ස්වාධීනවය. ගාල්ල සඳහා ලයනල් බෝපගේ ඉදිරිපත් කළ අතර ඔහු ඡන්ද 3366 ක් ලබා ගනිමින් තුන් වැනියා බවට පත් විය. ආණමඩුව අතුරු මැතිවරණයට පක්ෂය වෙනුවෙන් උපතිස්ස ගමනායක තරග වැදුණු අතර ලබා ගත හැකි වූයේ ඡන්ද 857 කි. ආණමඩුව ඡන්ද සටන අවසන් වූ පසුව විජේවීර පදිංචි මොරටුවේ විල්ලෝරාවත්තේ නිවසට ගිය ගමනායක සිය නායක සහෝදරයාගේ සුවදුක් විමසා බැලුවේය. හැඟීම්බර හිතක් ඇති විජේවීර ගමනායක දෙස බලා සිටියේ කම්පිතවය. සිය සගයා පසුගිය කාලයේ විඳ ඇති වෙහෙස හා දුක් කන්දරාව ඔහුගේ මුහුණින් හා ඇඟපතින්ම විජේවීර දුටුවේය. “ගමයෝ නුඹගේ පරිත්‍යාගය කියන්න බැරි තරම් විශාලයි.” විජේවීර පශ්චාත්තාප වන කට හඬින් එසේ පැවසුවේය. 


ආණමඩුව මැතිවරණය අවසන්වීමත් සමගම ඇති වූ ජුලි වර්ජනය ගමනායකට හුස්මක් කටක් ගැනීමටවත් ඉඩක් නැති කාලයක් ඇති කළේය. කම්කරු සටන් හා අරගලවලදී වෘත්තීය සමිති සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය වූයේ එක් වෘත්තියකට එක් සමිතියක් කම්කරු පංතියට එක් මූලස්ථානයක් වශයෙනි. මේ අනුව ජවිපෙ සමාජවාදී කම්කරු සංගමය ගොඩනැගී තිබූ අතර කම්කරු සංගමය යනු වෘත්තිය සමිතියක් නොව කම්කරු පංතිය තුළ පංති දේශපාලනය තහවුරු කරමින් ඊට නායකත්වය දෙන පක්ෂයේ නිල සංවිධානය විය. සමාජවාදී කම්කරු සංගමය ගොඩනගා එහි මංගල සමුළුව පැවැත් වූ පක්ෂය සමාජවාදී කම්කරු සංගමයේ ලේකම් ධුරයට උපතිස්ස ගමනායක පත් කර ගන්නා ලදී. ඒ අනුව සමාජවාදී කම්කරු සංගමය ගමනායකගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය. ඒ වන විට ලංකාවේ පෞද්ගලික අංශයේ වෘත්තිය සමිතිවල වැඩි බලය පවත්වාගෙන ගියේ බාලාතම්පෝගේ වෙළඳ සේවක සංගමය විසිනි. වෙළඳ සේවක සංගමයට අයත් ආයතන රැසක තම බලය තහවුරු කර ගැනීමට ජවිපෙ සමත් වූ අතර කොළඹ අලියා බීම සමාගමේ තිබූ වෘත්තිය සමිතිය ඊට හොඳම නිදසුන විය. 


ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් 40,356 ක් ගෙදර යවා ලක්ෂ 3 කට අධික දරු පවුල් අනාථ වූ මහා වැඩ වර්ජනයක් වූයේ 1980 ජූලි මහා වැඩ වර්ජනයයි. 80 ජූලි වැඩ වර්ජනය ජවිපෙට විශාල බලපෑමක් එල්ල කළේය. එය විසින් ඉතිරි කරන ලද අතුරු ඵල බොහෝ බැවින් අවලාද, ගැරහීම්, කඩා වැටීම් වලින් යුතු සියලු දේට මුහුණ පෑමට ජවිපෙට සිදු වූ අතර එහි බර කරට ගත්තේ ද ගමනායකය. 


රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් ලක්ෂ 4 කට ආසන්න පිරිසක් 1980 ජුනි 05 වැනිදා තම ඉල්ලීම් ලබා ගැනීම සඳහා ආයතන ඉදිරිපිට පිකටින්, විරෝධතා, උද්ඝෝෂණ, රැස්වීම් පැවැත්වූ අතර ඒවා පුළුල් සහභාගීත්වයක් සහිතව සටන්කාමී ස්වරූපයක් ගනු ලැබීය. එජාප ආණ්ඩුව, හිතවාදී වෘත්තිය සමිති එදිනම එම මොහොතේදීම රජයට සහයෝගිතාව දක්වමින් පිකටින් සහ උද්ඝෝෂණ පවත්වනු දක්නට ලැබිණි. 


කොළඹ සිත්තම්පලම් ගාඩිනර් මාවතේ රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට පිකටින් ව්‍යාපාරයේ යෙදී සිටි වෘත්තිය සමිති සමාජිකයින්ට මහජන බැංකුව හා ලේක් හවුස් ආයතන දෙසින් පැමිණි කණ්ඩායම් දෙකක් ගල්මුල් වලින් පහර දී බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කරන ලදී.


මෙහිදී සැපයුම් දෙපාර්තමේන්තුවේ සේවකයකු වන පොදුසේවක වෘත්තිය සමිති ශාඛාවේ දෙද්දුවගේ සෝමපාල මරුමුවට පත් විය.


ජූලි වර්ජනය ඛේදවාචකයකින් අවසන් වූ පසු පැරණි වමේ පක්ෂ හා එම පක්ෂවලට අයිති වෘත්තිය සමිති වැඩ වර්ජනය කඩා කප්පල් කිරීමේ චෝදනාව පැටවූයේ ජවිපෙ මතය. ජාතික විරෝධතා දිනයට ජවිපෙ සහභාගී නොවීමද තවත් එක් චෝදනාවක් විය. ඒ අනුව සෝමපාලගේ අවමඟුල් උත්සවයට පක්ෂයක් වශයෙන් ගොස් සහභාගී වීමද ජවිපෙට ප්‍රශ්නයක් විය. එහෙත් සමාජවාදී කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ගමනායක සෝමපාල සහෝදරයාගේ නිවසට ගොස් මල් වඩමක් තබා ගෞරව කිරීමට තීරණය කළේය. එම අවස්ථාවේදී කුමන දෙයකට මුහුණ දීමට සිදුවේ දැයි නොදන්නා අවිනිශ්චිත වාතාවරණයක එවැනි ගමනක් යා හැක්කේ සැබවින්ම නිර්භීත විශාල ආත්ම ශක්තියක් ඇත්තෙකුටය. ගමනායක පක්ෂය වෙනුවෙන් එම වවගකීම ඉටු කළේය. 


ගමනායක යුවළ ඇල්විටිගල මහල් නිවාසයේ ගත කළ අවධියේම ගමනායක පවුලේ පළමු අමුත්තා මෙලොව එළිය දුටුවේය. ඒ 1980 වසරේදීය. කුඩා දරුවන්ට අසීමිත ලෙස ආදරය කළ ගමනායක තම දියණියට ද අසීමිත ලෙස ආදරය කළේය. දුව ඉපදුණු මුල් දිනවල ගමනායක වැඩි වේලාවක් නිවසේ රැඳී සිටියේය. පුතා ඉපදුණේ 1982 වසරේදීය. නාරාහේන්පිට ඇල්විටිගල මහල් නිවාසයේත්, රඹුක්කන පිහිටි කරුණාගේ නිවසේත් ඔවුහු වරින් වර ජීවත් වූහ. 


1977 මහ මැතිවරණයේදී ආසන 4 කට අපේකෂකයින් ඉදිරිපත් කරමින් මැතිවරණ දේශපාලනයට පිවිසි ජවිපෙට 1981 වනතුරුම මහජන නියෝජිතයින් පත් කර ගැනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට නොහැකි විය. 1981 ජුනි දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැමිණියේ ඒ අතරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුනම මෙම මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කරන ලදී. ජවිපෙ තීරණය කරන ලද්දේ සංවර්ධන සභාවලට තරග කිරීමටය. මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ජවිපෙ ලියාපදිංචි කර තිබුණේ නැත. ඒ සඳහා කිහිප වරක්ම ඉල්ලුම්පත් ඉදිරිපත් කළ ද ජයවර්ධන පාලනය ජවිපෙට එම අයිතිය ලබා දීම දිගින් දිගටම ප්‍රමාද කළේය. එබැවින් 1981 සංවර්ධන සභා මැතිවරණයට ඉදිරිපත් වීමට ජවිපෙට සිදු වූයේ ස්වාධීන කණ්ඩායම් ලෙසටය. ඒ අනුව ජවිපෙ දිස්ත්‍රික් කිහිපයකටම කණ්ඩායම් ඉදිරිපත් කරමින් තරග වැදුණි. එහිදී කොළඹ දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වය දරන ලද්දේ උපතිස්ස ගමනායකය. සංවර්ධන සභා ඡන්දයෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්කර ගැනීමට ජවිපෙට හැකි විය. තරග කළ දිස්ත්‍රික්ක අටෙන් ලක්ෂ තුනකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන නියෝජිතයන් 13 දෙනෙකු පමණ පත් කර ගැනීමට අවස්ථාව ලැබුණි. ගමනායක කොළඹ සංවර්ධන සභාවේ මන්ත්‍රීවරයෙක් බවට පත් විය.

 

 


එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි