ගම් උදා සැණකෙළිය හා ප්‍රදර්ශනය පැවැත්වුණේ දුෂ්කර යැයි හැඟෙන ගම් බිමක්, පෙදෙසක් සොයා ගෙනයි. උදාහරණයක් වශයෙන් මහියංගණය අභ්‍යන්තරයේ ජිවත් වන පවුල් දියුණු වෙනවා දකින්නයි අගමැති ප්‍රේමදාස මැතිතුමාට ඕනැ කළේ. ඒ අනුව ගම් උදාව පැවැත්වීමට තෝරා ගන්නා ප්‍රදේශය අයත් වන දිස්ත්‍රික් කාර්යාලය හා විශේෂ සම්බන්ධීකරණයක් ඇති කර ගැනෙනවා. ඒ අනුව ඒ දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් කළමනාකාරවරයා බොහෝම කැමැත්තෙන් ගම් උදා වැඩ සටහනට පුර්වගාමී වෙනවා. ඔහුගේ පාලනය යටතේ ඇති සියලු ආදර්ශ ගම්මාන උදා ගම් සැණකෙළියට පෙර අංග සම්පූර්ණ කළ යුතු වෙනවා. අඩක් පමණ ඉදි කෙරුණු නිවාස වල ඉදි කිරිම් කඩිනම් කෙරෙන්නේ තම කාර්යාලයට අනුබද්ධ කාර්මික නිලධාරීන් හා පරිපාලන ඕවර්සියර්වරයා සම්බන්ධ කර ගනිමිනි.
සෑම උදා ගමක් ඉදි කිරීමට පෙර ඒ වැඩ බිම ප්‍රවේශයේ විශාල නාම පුවරුවක් සිටු වීමට ප්‍රේමදාස අගමැතිවරයාගෙන් උපදෙස් ලැබින.
ඒ අනුව අඩි 10 ං 20 තරම් ප්‍රමාණයෙන් වු තහඩුවක තැඹිලි පැහැ පසුබිමක ඇඳෙන්නේ වැඩ බිමේ තොරතුරුය. අක්කර ප්‍රමාණය, උදා ගමේ නම, ආරම්භ කළ දිනය අවසාන වීමට නියමිත දිනය සහ වැඩ බිමේ හැඩයත් සමග මං මාවත් ඒ විශාල නාම පුවරුවේ සිටු වන්නේ යකඩ දඬු හා පයිප්ප උපයෝගී කර ගෙනය.
මේ පුවරුවල වගකිම දරන ජාතික නිවාස. සංවර්ධන අධිකාරිය තම නාමය ඒ සෑම නාම පුවරුවකම තීන්තෙන් ඇඳ තිබෙන්නේ ලාංඡනයත් සමගය. එද අද මෙන් ඩිජිටල් පුවරු කිසිවක් නොවීය. චිත්‍ර ශිල්පියකු ලවා අතින් ඇඳීම කළ යුතු විය.
ඉදි වන උදා ගම් වරින් වර නිරීක්ෂණය කිරීම ප්‍රේමදාස අගමැතිවරයාගේ සිරිතකි. එසේ නිරීක්ෂණය කිරීමේදී පෙනෙන අඩු පාඩු වලටත් වඩා ඒ ඒ මොහොතේ ඔහුට ඇති වන අලුත් අදහස් අනුව කෙරෙන අලුත් ඉදි කිරීමක් ඇතැම් විට දැකිය හැකිය.
සෑම උදා ගමක්ම ජනතාවට හිමි කර දීමට සිදු වුණේ උත්සවශ්‍රීයෙනි. ඊට රට පුරා පෝස්ටරයක් ඇලවුණේ වෛර්ණයෙනි. කතරගම උදා ගමක් තිබුණත් කොළඹ ඇතුළු අනෙක් දිස්ත්‍රිික්ක වලත් ඒ ඇල වුණු පෝස්ටර වල ප්‍රේමදාස අගමැතිවරයාගේ රුව තරමක් ලොකුවටත් උදා ගම ඇති ප්‍රදේශයේ මන්ත්‍රීවරයාගේ රුවක් අනිවාර්ය වී තිබිණ.
මේ පෝස්ටරය සේම තවත් ්4 ප්‍රමාණයේ කාඞ් පතක් වැඩ සටහන මුද්‍රණය වුණේ අලංකාර සිත්තමක් ද සමගිනි. මේ පෝස්ටරයත්, ආරාධනා කාඞ් පතක් විචිත්‍රව නිර්මාණය කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කළ අකාලයේ දිවංගත වු සෝමසිරි හේරත් මහතාය. ඔහු මිය යෑමත් සමග ඒවා හේවා බැට්ටගේ මහතා අතින් නිර්මාණය විය.
උදා ගම්මාන විවෘත කිරීමේදී එබඳු ක්‍රියා පිළිවෙතක් නිවාස සංවර්ධන අධිකාරිය විසින් අනිවාර්යෙන් සිදු කරනු ලැබිය යුතුව තිබිනි.
ගම් උදාවේ දියුණුව උදා ගම් සැණකෙළිය යැයි කීම නිවැරදිය. උදා ගම් සැණකෙළිය හා ප්‍රදර්ශනය ඉතාමත් විසිතුරුය. රජයේ ආයතන සියල්ලක්ම වාගේ තම කාර්ය භාරය, ප්‍රගතිය චිත්‍ර හා ඡායාරූප ආදිය මගින් නිරූපණය කළ යුතු විය. එසේම ගම් උදා සැණකෙළිය ආරම්භ කරන්නේ විචිත්‍ර පෙරහරකිනි.
මේ පෙරහරේ ගමන් කිරීම සඳහා වාහන ඇසුරු කරගෙන සැදු ප්‍රදර්ශන රථ වලින් තම ආයතන වැඩ කටයුතු නිරූපණය විය යුතු විය. ඒ සඳහා උත්සවයට මාස කිහිපයකට පෙර සිටම ප්‍රදර්ශන රථ නිර්මාණය කෙරෙයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අයත් වන්නේ නිවාස හා ඉදි කිරීම් අමාත්‍යාංශයටය. මෙය ප්‍රේමදාස මැතිතුමා අගමැති වීමෙන් පසුවද සාර්ථකව ඉදිරියට ගියේ නිවාස වැඩ සටහන් නිසාය. නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය හා නිවාස පහළොස් ලක්ෂය ඒ නිවාස වැඩ සටහන් විය.
අගමැතිවරයා මාස් පතා නිවාස සංවර්ධන අධිකාරියේ මන්ත්‍රණ ශාලාවට පැමිණෙන්නේ තම වැඩසටහන් වල ප්‍රගතිය සමාලෝචනය කිරීම පිණිසය. එම ප්‍රගති සමාලෝචන රැස්වීම සංවිධානය කළේ නිවාස සංවර්ධන අධිකාරියේ මාණ්ඩලික ලේකම්වරයකුය. ඔහුගේ රාජකාරිය එයම විය. ප්‍රගති සමාලෝචන රැස්වීමේදී දිස්ත්‍රික් කළමනාකරුවන් ද සභාපති ද සාමාන්‍යාධිකාරවරුන් ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරුන් ද සහභාගී වීමට නියමිතව සිටියේ ප්‍රේමදාස අගමැතිවරයාගේ උපදෙස් පිටය.
එහිදී ප්‍රේමදාස අගමැතිවරයාගෙන් බැණුම් අසනවා තරම් දුකක් ඇතැමුනට නැත. ඒ නිසාම ඔවුන් සිටින්නේ ගැහෙන හදිනි. වෙවුලන කයෙනි.
ප්‍රදර්ශනය හා සැණකෙළිය වෙනුවෙන් යන පෙරහරේ ගමන් කරන ප්‍රදර්ශන රථයක් නිවාස සංවර්ධන අධිකාරියත් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා ආයතනයේ ඇති චිත්‍ර ශිල්පී අංශයෙන් මොඩලයක් නිර්මාණ කොට ඊට යන වියදම අගමැතිවරයා හමුවේ තැබිය යුතුය.
එක් වරක් එබඳු මොඩලයක් කෙනෙකු පෙන්වද්දී අගමැතිවරයා ඇසුවේ ඊට වැය වන මුදල කීය දැයි යන්නය. ප්‍රදර්ශන රථ මොඩලය පමණක් ඉදිරිපත් කළ නිලධාරියා එක් වරම “ලක්ෂ 20 යි සර්” කීවේය. අගමැති ප්‍රේමදාස මැතිතුමා ඒ මුදල අනුමත කළේ ඒ හොහොතේමය. අනුමැතිය ලද මොඩලය පිටස්තර නිර්මාණකරුවන් හා අධිකාරියේම නිර්මාණකරුවන් අතින් ඉදි වන්නට පටන් ගන්නේ ඉන් පසුවය. සති දෙකකින් පමණ විසිතුරු නිරූපණ ප්‍රදර්ශන රථයක් ඉදි වන්නේ අර මොඩලයට අනුවමය.
මහියංගණය ගම් උදා සැණකෙළිය වෙනුවෙන් එම භූමිය ආසන්නයේ යෑමට නියමිත පෙරහරට ආදී වාසින්ගේ නැටුමක් අවශ්‍ය වී තිබිණ. ඊට මහියංගණයේ දඹානට ගොස් ආදීවාසින් කණ්ඩායමක් කැමතිකරවා ගැනීමට දැරූ උත්සාහය ආසර්ථක වු බව පෙරහර සංවිධායකයන්ට දැන ගන්නට ලැබිණ.
සංවිධායකයන් උත්සාහය අත් හැරියේ නැත. කොළඹින් රැගෙන ගිය තරුණ පිරිසක් වැද්දන්ට අන්දවා පෙරහරේ ගෙන ගියේ වැදිනැටුමක් ද පුරුදු කිරීමෙන් පසුවය.
පෙරහරේ යන “මේ වැද්දන්ට” එක් තැනකදී හූ හඬකින් සංග්‍රහයක් ලැබුණේය. ව්‍යාජ තරුණ පිරිසට කෝපය ඇවිස්සින. ඉන් එක් අයකු එවෙලේ කීවේ කොළඹදී අහුවෙයන් කියාය. එතැනින්ම බළලා මල්ලෙන් එළියට. පැන්නේය. මේ කතාව සත්‍ය කතාවක් ලෙස පැතිරුණු බොරු කතාවක් විය.
ගම්උදා සැණකෙළිය හා ප්‍රදර්ශන භූමියේ ප්‍රවේශ දොරටුව නිර්මාණය වන්නේ විශාල තොරණයක් යටිනි.
ඒ තොරණේ විශේෂයක් වෙයි. එනම් ඒ පළාතේ ජන සංස්කෘතිය නිරූපණය කර තිබීමයි. හතරැස් කණු සහිත ත්‍රිමාණ තොරණ නිමවුණේ ජයසිරි සේමගේ නම් කලාකරුවා අතිනි. ඔහුට පළාතේ තොරතුරු සෙවීම සඳහා මාස 2 ක් පමණ ගත වීමට සිදු වන්නේ අදාළ පළාතේ නවාතැනක තාවකාලිකව පදිංචි වී සිටිමිනි. අපි මුලින් සඳහන් කළ ඇරියුම් කාඞ් පතෙහි ද සංස්කෘතික තොරතුරු අඩංගුය. ඒ සඳහා නිවාස සංවර්ධන අධිකාරියෙන් නිලධාරියෙකු යවන්නේ සැණකෙළීයට මාස තුනකට කලිනි.
ගම් උදා භූමියේ සරුසාර වගාවක් දක්නට ලැබේ. ඒ නිවාස ලාභීන්ගේ ගෙවතු වල වැවුණු ගස් වැල් සහ පල වර්ගයි. ඒ අතර හිස්ව පවතින භූමියේ යම් යම් තැනක විශාල ගස් දක්නට ලැබේ. එම ගස් පෙරදා නොතිබුණ ගස්ය. ඒ ගස් ආසන්න කැලෑ රොදකින් විශේෂ ක්‍රමයකින් මුල් සමග උඳුරාගෙන, ට්‍රැක්ටර් වල පටවාගෙන අවුත් සිට වු ගස්ය.
සමස්ත ගම් උදා භූමියේම ආලෝකකරණය වෙනුවෙන් කොන්තරාත් දී තිබුණේ එක්තරා ප්‍රකට මුදලාලි කෙනෙකුට බව කවුරුත් වාගේ දැන සිටියහ.
එසේම සංගිත සංදර්ශනයක් භූමියේ ඉදි කෙරුණු දැවැන්ත. විචිත්‍ර වේදිකාවේ නැරඹීමට හැක්කේ සැමදා රාත්‍රිය එළැඹිමත් සමඟය. දිවයිනේ ප්‍රකට ගායක ගායිකාවන් අතර රංග වේදීන්ගේ ද නිරූපණ දැක ගත හැකි විය. ප්‍රේමදාස අගමැතිවරයාගේ කථාව පැවැත්වෙන්නේ අවසන් භාගයේය. ගැයුම් හා නැටුම් ඉදිරිපත් කෙරෙන්නේ සෙසු කථිකයන් ගේ දේශනයකට පසුවය. සාජන්ට් නල්ලතම්බිලා, රුවන් දල්පතාදුලා, අතර ජෝතිපාලලා වැනි ප්‍රසිද්ධ ගායකයනුත් අමිතා එදිරිසිංහ වැනි ගායිකවනුත් ගී ගැයුවා.
ජෝති මිය ගියේත් කතරගම ගම් උදාවේ අසීරුවෙන් සිංදු කියලයි කතාව පැතිරුනේ. නමුත් අමාරුකම් තියෙද්දී ගී ගැයු ජෝතිට අත් වුයේ ඛේදනීය අයුරින්.
ජගත් රණතුංග