ගම් උදාව කියන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රමුඛ සංකල්පයක්. ඒක සංකල්පයක් පමණක් නොවෙයි. දැවැන්ත ව්‍යාපෘතියක්. එහි දැවැන්තකම කොතරම්ද කියනවා නම් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට අගමැති වෙන්නත් පසුව විධායක ජනාධිපතිවෙන්නත් මුල් වුණේ ‘ගම්උදාව’.
ජේ. ආර්. ජයවර්ධන අග්‍රාමාත්‍යවරයාගේ සමයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ක්‍රිියාකළේ පළාත් පාලන නිවාස හා ඉදිකිරීම් ඇමැති විදිහට. බාර වුණේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය. ඊට අයත් වුණේ නිවාස දෙපාර්තමේන්තුව. ප්‍රේමදාස මැතිතුමා තම වැඩ වපසරිය වඩාත් පුළුල් කරන්න තමයි අමාත්‍ය ධුරය බාරගත් හැටියේම කල්පනා කළේ. එතුමාට මතක් වුණේ නිවාස දෙපාර්තමේන්තුව එක්ක වැඩ කළොත් යන්න වෙන්නෙ ඉබිගමනේ කියලා. මොකද දෙපාර්තමේන්තු කියන්නෙම ඇල්මැරුණු ආයතන වර්ගයක්. විය පැහැදම් කිරීමක් නැති තරම්. තිබුණෙම සාදා දුන් නිවාසවල කුලී මුදල් අයකිරීම. ඒකත් කළේ බොහෝ දුෂ්කරතා මැද.
මීට පිළියම් වශයෙන් ප්‍රේමදාස නිවාස ඇමැතිවරයා කළේ අලුත් පනතක් (79/17 දරන) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ 79/17 පනත අනුව හැකිවුණා නිවාස දෙපාර්තමේන්තුවෙන් අධිකාරියක් පිහිටුවා ගන්න. ඒ අනුව තමයි නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවා ගැනුණේ.
මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සභාපතිවරයකු, සාමාන්‍යාධිකාරීවරයකු වගේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයකු පත් කෙරෙනවා. සංස්ථා ගණයටයි අයිතිවන්නේ. ක්‍රියාත්මක කරන නිවාස ව්‍යාපෘතිවලට මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ බලයත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ බලතලත් සභාපතිවරයා ඇතුළු සාමාන්‍යාධිකාරීවරුන්ට හිමි වුණා. මුදල්වලට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) වගේම පරිපාලනයට නි.සා. (පාලන), නි.සා. (දේපළ) වගේම ග්‍රාමීය නිවාසවලටත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු පත් කෙරුණා.
ප්‍රේමදාස ඇමැතිවරයා තම ව්‍යාපෘති වපසරිය ක්‍රමයෙන් පුළුල් කළා. මේ පුළුල් කිරීම ජනතා හිතවාදී ව්‍යාපාරයක් වුණාට යටි අරමුණක සේයාවකුත් දක්නට ලැබුණා.
මේ අතර තමයි ගාමිණී දිසානායක මැතිතුමාට 30 වසරකින් නිම කිරීමට නියමිත මහවැලිය අවුරුදු 5කින් නිම කිරීමට ජයවර්ධන අගමැතිවරයාගෙන් යෝජනා වී පාර්ලිමේන්තුවෙන් සම්මත වී නියම වුණේ. ඒක අභියෝගයක් විදිහට ගාමිණී දිසානායක මැතිතුමා භාර ගත්තා. තවත් එවැනි මැතිතුමකු හිටියා. ඒ, ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. එතුමාට පැවරුණේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ සුබසාධනය හා එය නගාසිටුවීම. අපි එය මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමයේ පුරෝගාමියා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා හඳුනාගැනීම දක්වා විශාල කොට බැලුවා. මක්නිසාදයත් එවැනි ක්‍රමයකින් විශ්වවිද්‍යාල ප්‍රජාවගේ වියදම් පාර්ශ්වයට සාධාරණයක් ඉටුවන බැවින්. (එය වැඩි වීම හා නොවීම වෙනම ප්‍රශ්නයක්)
දැන් මේ ඇමැතිතුමාලා හරියට ධාවන තරගයකට අවතීර්ණවෙලා වගෙයි. ප්‍රේමදාස ඇමැතිතුමාගේ නිවාස සංකල්පය රට පුරා ක්‍රියාත්මක වන්න පටන් ගන්නවා. නිවාස ලක්‍ෂය, නිවාස දස ලක්‍ෂය, නිවාස පහළොස් ලක්‍ෂය ක්‍රියාත්මක වන්නට පෙර මැතිවරණ කොට්ඨාස මට්ටමින් ‘මැතිවරණ නිවාස’ යනුවෙන් ද අධිකාරියට පවරා ගැනුණු ඉඩම්වල උදාගම් නිවාස ද ඉදිවෙන්න පටන් ගත්තා.
‘ජගත් නිවාස වසර’ යනුවෙන් වසරක් ද ප්‍රකාශයට පත් වුණේ ඒ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝකයේ කිසිදු රටක ලංකාවේ තරම් ලක්‍ෂ ගණනින් ගෙවල් හදන ව්‍යාපෘතියක් දැක නොතිබූ නිසා. ඇමෙරිකා එක්සත් ජනපදයෙන් මේ අරුමය දැකබලා ගන්න වගේම අධ්‍යයනය කරන්න එහි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සුදු මහත්වරුන් දෙදෙනෙක් ලංකාවට ඇවිත් නිවාස අධිකාරියේ නිවාස ව්‍යාපෘතිවලට සම්බන්ධ වෙනවා. නිරීක්‍ෂණය කළ ඒ දෙදෙනා තමයි රේන්හාට් ගොතර්ඞ්, නබීල් හම්ඩි.
මේ දෙන්නා නිවාස වැඩබිම්වල තමයි වැඩි කාලයක් ගත කළේ. ඔවුන්ට අරුමයක් වුණේ අපේ රටේ විවිධ පළාත්වල ඇති සම්පත් දැකලා. විශාල කැටගල් කබොක් ගල් ගඟේ වැලි ආදිය ඒවායේ සවිශක්තිය ඔවුන්ට අදහාගන්න බැරි වුණා. ඔවුන් නිවාස වැඩබිම්වලදීම නිවාස ඇඳලා දුන්නේ අතැති මාකර් පෑන් වගේ පෑන්වලින්. කැටගල්වලින් හැදූ නිවසක් කපරාරු කෙරුණේ ඒ නිවසේ බිත්තියක එක් තැනක කැටගල් පේන්න ඉඩ තබමින්. ලක්‍ෂ ගණන් ගෙවල් හැදෙනවාය කියලා විශ්වාස කරන්න බැරි ලංකාවෙ පිරිසකුත් හිටියා. ඔවුන් ඒ ව්‍යාපාරයට පරිභව කළේ වැසිකිළියට වහලක් හැදුවත් ගෙයක් හැදූ බවට ගණන් ගන්නා බවටයි. රට පුරා න්‍යාය වගේම ප්‍රායෝගිකවත් නිවාස ව්‍යාපෘතියට බද්ධ වෙලා වැඩිදියුණු වෙන්න පටන් ගත්තා. රට පුරා දිස්ත්‍රික් කාර්යාල ඇති කළා. ඒවා පාලනය කෙරුණේ දිස්ත්‍රික් කළමනාකරුවන් විසින්. දිස්ත්‍රික් කාර්යාලයකින් ගෙවල් හැදීමේ ව්‍යාපෘතියේ කටයුත්ත දිස්ත්‍රික්කයක් පුරා ක්‍රියාත්මක කෙරෙන්න පටන් ගත්තා. දිස්ත්‍රික් කාර්යාලවලට අයත් නිවාස නිලධාරීන් ද සිටියා. ඔවුන් මුලින් හැඳින්වුණේ පරිපාලන ඕවර්සියර්වරුන් ලෙස. දිස්ත්‍රික්කයක උදා ගම්මාන නමින් නිවාස යෝජනා ක්‍රම ඉදිවන්නට පටන් ගත්තා.
දිස්ත්‍රික්කයක අඩුම ගාණේ උදාගම්මාන හයක් හතක් ඉදිවුණා. එක් එක් නිවාස යෝජනා ක්‍රමයකට නිවාස සංවර්ධන අධිකාරියෙන් නිවාස සැලසුම් නොමිලේ බෙදාදුන්නා. සැලසුම් අඳින්න නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ (කොටුවේ මේ කාර්යාල ගොඩනැගිල්ල අදත් දැකිය හැකියි) වෙනම අංශයක් පිහිටුවා තිබුණා. ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු යටතේ ග්‍රාමීය නිවාස අංශයත් වැඩිදියුණු කළා. ඒ වගේම දේපළ අංශය නමින් ඇති කළ අංශයෙන් විශාල නිවාස සංකීර්ණ ඉදිකළා. ඒවායින් මුලින්ම පටන් ගත්තේ.
ඊළඟ සතියට.
ජගත් රණතුංග