ගමේ ආණ්ඩු පුරාණයෙන්


 

පළාත් පාලන මැතිවරණ සටන ඇරඹී ඇත. එය දිනෙන් දින උණූසුම් වෙමින් තිබේ. අනේක වර්ණ ධජ පතාක නංවමින් පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කරමින් පත්‍රිකා බෙදා හරිමින් ඡන්ද අපේක්ෂකයෝ ජනතාවගේ ඡන්දය ඉල්ලා සිටිති. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ තර්ජන, ගර්ජන, තරවටු කිරීම් මෙන්ම ඔහුගේ දැඩි ප්‍රයත්නය නිසාම වෙනදාට සාපේක්ෂව මෙම කටයුතුවල යම් පමණක අඩුවක් දක්නට ලැබුණත් බොහෝ අපේක්ෂකයෝ ධන බලය යොදා ගනිමින් තම අභිමතය පරිදි මෙම කටයුතු සිදු කරගෙන යන ආකාරය රටපුරා දැකගත හැකිය. විශේෂයෙන් ඈත පිටිසර ගම් දනව්වල වැසියෝ මෙවැනි තත්ත්වයන් බහුලව අත්විඳිති. අගනුවර දී ද හොර රහසේ බොහෝ දේ සිදුවන බව රහසක් නොවේ.

දහස් ගණනක් වූ අපේක්ෂක අපේක්ෂිකාවෝ තමාට ජයග්‍රහණය කරන්නටත් එමගින් ජනතාවට සේවය කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසත් නොයෙක් මාදිලියෙන් ආයාචනා කරති. පිං සෙන්ඩු වෙති. අඬති දොඩති. වැලපෙති එහෙත් සාමාන්‍ය ඡන්ද දායකයාට වගේ වගක් නැත. තමාගේ දෛනික ජීවිත පවත්වාගෙන යාමේ අසීරුව ගැන සිතනවාට වඩා යමක් කිරීමට ඉඩක් ඔවුන්ට නැත. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලස්වා ගැනීමට ඔවුහු වෙහෙසෙති. කෙසේ වුවත් මැතිවරණ දිනයට මේ කවුරුත් ඡන්ද පොළට ගොස් තම කැමැත්ත ප්‍රකාශ කරනු ඇත. මේ සියලු දේ සාමකාමීව ලේ වැගිරීම්වලින් තොරව සිදුවනු දැකීම සාමාන්‍ය වැසියාගේ අපේක්ෂාවයි. රටේ මෙවැනි පසුබිමක් පවතිද්දී පළාත් පාලනය ගැන දිවි පරදුවට තබා සටන් කරන බොහෝ දෙනා පවා දැන ගැනීමට උත්සාහ නොකරන මෙම ක්‍රමයේ ඈත අතීතය ගැන පාඨකයාට කරුණු දැක්වීම අපේ ප්‍රයත්නයකි.


ඉතා ඈත අතීතයේ සිට හැඩ ගැසුණු පළාත් පාලන ක්‍රමයක් මේ රටේ පැවැති බව පැරණි මූලාශ්‍රවල සඳහන් වේ. එහි ආරම්භය කවදා සිදුවිණිදැයි දැක්වීම අපහසුවුවත් අනුරාධපුරය යුගය වැනි ඉතා ඈත යුගයකදී එය එසේ වූවා යැයි සමහර විද්වත්හු මත පළ කරති. එම යුගයේ ගැමි ජනයා විසින්ම පත් කර ගන්නා ලද කුල ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ගමේ ගසක් සෙවණේ රැස්වී ගමට අදාළව යම් යම් තීන්දු තීරණ ගැනීමේ ක්‍රමවේදයක් පැවැති බවත් ඒ පිළිබඳ තොරතුරු වේවැල්කැටිය සෙල් ලිපියේද  කියැවෙන බවත් ඔවුහු පවසති. ගොවිතැන, වැව් අමුණු තැනීම, ඒවා නඩත්තු කිරීම, පාලනය කිරීම, ගමේ වෙළඳාම, අය බදු එකතු කිරීම, ආගමික කටයුතු සංවිධානය කිරීම ආදී කටයුතු මෙම සභා මගින් සිදු කෙරුණු බව සාමාන්‍ය පිළිගැනීමයි. එමෙන්ම ගැමියන් අතර ඇතිවන සුළු සුළු ආරවුල් නිරාකරණය කිරීම ඉඩම්වල වැට මායිම් ප්‍රශ්න විසඳීම ආදී අධිකරණමය කාර්යයන් ද මෙම ගම් සභා මගින් සිදු කෙරුණි. වර්තමානයට ක්‍රියාත්මක වන සමථ මණ්ඩලත් කලකට පෙර පැවැති සාම මණ්ඩලයත් එම ක්‍රමයේ විකාශය වීමක් ලෙසද පිළිගත හැකිය. වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගෙන කටයුතු කිරීම අගය කළ පැරණි සිංහල ජන සමාජයේ එම කරුණ පදනම් කරගෙන මෙම ගම්සභා ක්‍රමය ඇතිවූවා යැයි සැලකීමට හේතු තිබේ.


ආර්ය සම්භවයේ පමණ සිට භාරතයේ ක්‍රියාත්මක වන පංචායත් සභා වැනි ආයතනයක් ගුරු කොට ගෙන ගැමියන්ගේ කටයුතු මෙහෙයවීම අධීක්ෂණය කිරීමට යෝජනා ඉදිරිපත් කිරීමට ආදී වශයෙන් මෙම පංචායත් සභා ක්‍රියාත්මක වන බව කියති. ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ආර්යයයෝ තමන් ආභාෂය ලැබූ ක්‍රමවේදයන් නව ජනාවාසවල ද ක්‍රියාත්මක කරන්නට ඇතැයි යන්න අනුමාන කිරීමට පුළුවන. මෙසේ පැවැති ගම් සභා ක්‍රමය පෘතුගීසි සහ ලන්දේසි යුගවලදිත් අඛණ්ඩව පැවත ආ බව කියවේ. මුළු මහත් ශ්‍රී ලංකා රාජ්‍යයම අත්පත් කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබුණූ නිසා එසේ වුවා විය හැකිය. සිංහල රජවරුන්ගේ පාලනය පැවැති ගම්බද ප්‍රදේශවල ක්‍රියාත්මක වූවේ චිරාගත සම්ප්‍රදායානුකූල පාලන ක්‍රමයකි.


සිංහල ජන සමාජයේ සංස්ථාපිත එකමුතු බව ආරක්ෂාවීමට මෙම ගම් සභා ක්‍රමය උපයෝගී වන බව මෙරට අල්ලා ගත් බි්‍රතාන්‍යයෝ දුටහ. එම සමගිය බිඳ දැමීම අරමුණු කොටගෙන මෙම ගම් සභා ක්‍රමය 1818 දී අහෝසි කර දැමීමට ඔවුහු ක්‍රියා කළහ. විශේෂ ආඥා පත්‍රයකින් බි්‍රතාන්‍යයන් එය අහෝසි කරන ලද්දේ වුවද ඉතා පිරිහුණු තත්ත්වයක් යටතේ වුවද ගැමියෝ එම ක්‍රමය පවත්වාගෙන ගියහ. 1833 දී අධිකරණ කටයුතු මුළුමනින්ම දිස්ත්‍රික් උසාවියට සහ ශ්‍රේෂ්ඨාධිකරණයටවත් පැවරීම නිසා සහ 1948 දී පහළ අධිකරණ ක්‍රමයක් වූ රිකවෙස්ට් උසාවි සහ පොලිස් උසාවි පිහිටුවීමත් නිසා ගම්වල නඩු ඇසීමේ කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ අහෝසි වූ බවක් දක්නට ලැබුණි.


එහෙත් බි්‍රතාන්‍ය යටත් විජිත පාලනය පවතිද්දී සමහර බි්‍රතාන්‍ය බුද්ධිමත්හු ගම් සභා ක්‍රමයේ ඇති යෝග්‍ය තාව පිළිගත්හ. එයින් ප්‍රධානම පුද්ගලයෙකු වන්නේ නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් සඳහා පත් කර එවූ කෝල්බෲක් සාමිවරයාය. එමෙන්ම මෙරට මහා මාර්ග නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ මේජර් තෝමස් ස්කිනර් ද ගම් සභා නැවත ඇති කරන ලෙස බි්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇති නමුදු එය ක්‍රියාත්මක වී නැත.


පසුකාලීනව මෙරට පත්ව ආ ආණ්ඩුකාරවරයෙක් වූ සර් හර්කියුලීස් රොබින්සන් විසින් ගම් සභා යළි ඇතිකිරීමේ අවශ්‍යතාව පිළිගෙන නව ක්‍රමවේදයකට අනුව එය ස්ථාපනය කරන ලද්දේ 1871 දී ගැසට් නියෝගයක් මගිනි. මේ සඳහා හර්කියුලිස් රොබින්සන් ආණ්ඩුකාරවරයාට විශාල සහායක් ලබාදුන්නේ එවකට පැවැති රැජිණගේ නීතිඥයා නමැති ධුරය දැරූ (වර්තමානයේ නීතිපති) සර් රිචඞ් මෝර්ගන් මහතාය. පනත් කෙටුම්පත සකස් කිරීමේ සිට තවත් බොහෝ කටයුතු ඉටුකිරීමට ඔහු විශාල සහයෝගයක් ලබාදුන් බව පැරණි ලේඛනවල දැක්වේ.


අනෙකුත් ඕනෑම කටයුත්තක් සඳහා මෙන්ම ගම් සභා ඇති කිරීම ගැන ද ලාංකීය ජන සමාජයේ පක්ෂව සහ විරුද්ධව වශයෙන් මත දෙකක් පැවැති බවද මෙහිලා සඳහන් කළ යුතුය. මෙම දෙපාර්ශ්වයට බෙදී පළ කළ පුවත්පත් ලිපි දෙකක් ඉදිරිපත් කරනුයේ පාඨක අවධානය පිණිසය. 1871 සැප්තැම්බර් මස දෙවැනිදා ලක්රිවිකිරණ පුවත්පතේ පළවූ වාර්තාවක් ඒ අයුරින්ම උපුටා දක්වමි.


“අගෝස්තු මස 19 වැනිදා පත්‍රයට ලියුම් ඇරිය කෙනෙක් ගම් සභා තැබීමට විරුද්ධව කාරණා ලියා තිබෙනවාය.”


ගම් සභා තැබීම ගැන ආණ්ඩුව විසින් කර තිබෙන කල්පනාව නඩු පමණක් පණත් විභාගය සහ රට වර්ධනය වීමටත් යෝග්‍ය වූ එකක් බවටත් විශ්වාස කරන්නෙමු. ඒ ගැන ආරංචි ලැබී තිබෙන පමණින් ඒක හොඳ යෝජනාවක් කොට එත්තු ගත්තෙමු. යම් ගමක් ගම් සභාවක් තැබීමට තරම් මහත නැත්නම් එසේ කුඩා ගම් කීපයක් එක්කර එහි සභාවක් පිහිටුවීමට හැකිය. දොළොස් දෙනෙකෙුගෙන් පමණ යුක්තවූ සභාවක් පිහිටුවා එහි කළමනාකාරකමට ඊට ප්‍රමාණවත් ආණ්ඩුවක් විසින් නියම කෙරීමය. මෙම සභාව විසින් ඊට අයිති පළාතේ කාරණ කටයුතු ගැන අතුරු අනපනත් නියම කර ගැනීමට ආණ්ඩුව විසින් අවසර දෙනවාය. ඒ කොයි ආකාර ඒවාද කියතොත් වෙළඳාම් පොලවල්ද ඒවා නිසි පිළිවෙලකට වෙළඳාම් කිරීම ද ඉස්කෝලෙ සාදා ගැනීමද ඒ ඒ ස්ථානවලට උවමනා මසුන් මැරිමේ ස්ථාන ද හිස් බිම් සහ ගවයින් මේච්චල් කර ගැනීමේ ස්ථාන ද ගව වසංගතය වළක්වා ගැනීමද හරක් විසින් අළපාළු කෙරීම වැළැක්වීමද සූදු කෙළිය නැති කිරීමද හරක් හන්වඩු ගැසීම සහ හරක් ලියා පදිංචි කිරීම ගැනද කුකුළන් කෙළිය තනි ගොන් කරත්ත රේස් ඇරීම ද ගම්වලට මංවාවත් සාදා ගැනීමද පාලම් ඒ දඬු අම්බලම් වතුර උල්පත් නාන ස්ථාන සොහොන් භූමි යනාදිය සියල්ලක් නිසි ලෙස සාදා ගැනීම අලුත්වැඩියා කර ගැනීමය.


ලුහුඩෙන්ම ඒ ඒ ගම් වැඩි දියුණුවට සහ ආරක්ෂා කර ගැනීමටත් උවමනා සියල්ලක් කර ගැනීමය. සභාවේ අනුමැතියෙන් ගණනකුත් සභාපති තැනත් රැස්වීමේ සම්මුතියකින් ඒ ඒ ගම්වල පටුමක දෙනෙක තරමේ සුළු නඩු විභාග පරීක්ෂා කිරීමද සතුටු නම් සෑම සිවිල් නඩුම විභාග කර තීන්දු කිරීමටත් බලය දීමද මෙම සභාවල කිසිම ආණ්ඩුවක් අයුත්තක් නොකරන ලෙස ඒවා ආරක්ෂා කර ගැනීමටත් ඒ සභාවල්වලට නියම වී සිටින අය තුළ යම් දෝෂයක් දුටු විට එබඳු අය නෙරපීමට ද ගම්වල මෙම නිදහස් කම නැති කිරීමට ද ඒජන්ත උන්නාන්සේලාට බලය දීමටය.
ගම් සභා ඇති කිරීමට පක්ෂ නොවූ පුවත්පතක් වූ ඥානාර්ථ ප්‍රදීපය පත්‍රය 1871 සැප්තැම්බර් මස පහළොස් වැනිදා පළ කළ අදහස් මෙසේය.


රට රාජ්‍ය ගම් නියම්ගම් ආදිය යසසට පත්වීමට නොයෙක් කාරණා තිබේ. අප නීතිදායක මන්ත්‍රණ සභාව විසින් ගම් සභා තැබීමෙන් කරන්නට යෝජනාව තිබෙන්නේ එයින් එකකැයි පිළිගැනීතත් ඒවා තැබීමට සුදුසු කාලයක්ද නොහොත් ගම්මුන් විසින් එපවත් පවත්වාගත හැකි බලයක් ඔවුන් තුළ ඇද්ද නැද්දැයි කලින් සෝදිසි කර බැලීම සෑහෙයි. ගම් මුලාදෑණින්ගේ අවංකකමත් ගම්මුන්ගේ දැඩි වූ සීලාචාර විමසා ඔවුනොවුන් අතරේම යුක්තා යුක්ති බේරා ගැනීම ඉඩ තැබීම යුතුවා මිස වෙන හැටි එසේ කිරීමට ඉඩදීම යුතු නැත. නීති ශාස්ත්‍රය හා ශිල්ප ශාස්ත්‍රයෙන් හා ශිල්ප ශාස්ත්‍රයෙන් පුහුණූවී සිටි තරමින් ඔවුන්ගෙන් කී දෙනෙක් යුතු වූ තනතුරුවලට තෝරා ගණ්ඩ සෑහෙන්නේ දැයි නියම කර කියන්ට පවා නොපිළිවන් වෙයි. ගම් සභා තැබුවා.


කාලය ගතව ගොස් ගම්කාර්ය සභා බිහිවන විට මෙම පළාත් පාලන ක්‍රමය බොහෝ දුරට විධිමත් ආයතන ව්‍යුහයක් බවට පත් විය. ඒවායේ බල ප්‍රදේශ විශාල වී පාලන කටයුතු ද පුළුල් විය. පත්වන නියෝජිත සංඛ්‍යාව ද ඉහළ නැංගේය. 1950 දශකය පමණ වන තුරු මෙය ග්‍රාමීය නායකත්වය පිළිබඳ සංකේතයක් ලෙසත් හුදෙක්ම ගමට ආදරය කරන ගමේ දියුණුව හදවතින්ම පතන ස්වේච්ඡා සේවයට ඇප කැපවුණූ අවංක මිනිසුන් පිරිසක් ගැමියන්ගේ ඡන්දයෙන් ගම් සභාවට පත්ව ආහ. බස්නාහිර පළාත තුළ පවා ශ්‍රමදාන සංවිධානය කරමින් මහාමාර්ග ඇළ වේලි දිය අමුණු ගොඩ නැගූ ආකාරය අපට මතකය. ඒවාට මුළුමනින්ම නායකත්වය දුන්නේ ගමේ මහජන නියෝජිතයා වූ මැම්බර් මහතාය. එකල මන්ත්‍රී යන අභිධානය මෙම ගම්සභා නියෝජිතයන්ට ලැබී නොතිබුණි. එමෙන්ම වැටුප් ගෙවීමක්ද සිදු නොවීය. එනිසා ගමේ සමගිය රැකගෙන පොදු යහපතට කටයුතු කිරීමට ඔවුන්ගේ ශක්තිය තිබුණි.


මෙම ක්ෂේත්‍රයට දේශපාලන පක්ෂ ක්‍රමය ඇතුළු වූයේ පනහ දශකයේ මැද භාගයේ යැයි මම අනුමාන කරමි. නාගරික පසුබිමක අනුගත වූ පෙදෙස්වල සහ පක්ෂ නායකයන්ගේ බලපෑමට හසු වූ සමහර ප්‍රදේශවල හැර ගැමි ප්‍රදේශවල පක්ෂ ක්‍රමය පළාත් පාලන මැතිවරණ ක්‍රියාදාමයට ඇතුළත් වූවේ නැත. රජයේ සේවකයන්ට දේශපාලන අයිතිය හිමිව නොතිබුණු නිසා මෙම තත්ත්වය තවදුරටත් සීමා වී පැවතුණි. වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ වෙතින් සිදු කෙරුණු දැඩි බලපෑම නිසා පසුකාලීනව රජයේ සේවකයන්ට දේශපාලන අයිතිය ලැබුණි. ගම් සභාවලට වැඩි වශයෙන් පත්වූයේ රජයේ සේවකයන් පත්වූ වේ වමේ පක්ෂවලිනි. මාම්පේ කැස්බෑව ගම් කාර්ය සභාවෙන් පැමිණි සෝමවීර චන්ද්‍රසිරි, කනදරා කෝරළේ ගම් කාර්ය සභාවෙන් පැමිණී පී. ඇම්. කේ. තෙන්නකෝන්, පිලැස්ස ගම් සභාවෙන් පැමිණි ඩී. පී. වික්‍රමසිංහ හමන්ගල්ල ගම්සභාවෙන් සභාපති ලීලානන්ද වීරසිංහ මතුගම දයා ටී පැස්කුවල්, කුරුවිට කෝරළයේ ගම් සභාවෙන් පැමිණි සරත් මුත්තෙට්ටුවගම, හෝමාගම ගම් සභාවේ සභාපති විලෆ්‍රඞ් සේනානායක ආදී නායකයෝ අනුක්‍රමයෙන් ඉදිරියට පැමිණ තම ස්ථාවරය එගොඩපොත ගම් සභාවෙන් පැමිණි ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ගොඩනගා ගෙන පාර්ලිමේන්තුව ද නියෝජන කළහ.


එක්දහස් නවසිය අසූ ගණන් වන විට ජනවාර්ගික යුද්ධයට පිළියමක් වශයෙන් බලය විමධ්‍යගත කිරීමක් වශයෙන් දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීම සිදුවුවත් එය සාර්ථක නොවුණි. එමෙන්ම සාමානුපාතික නියෝජන ක්‍රමය සහ මනාප ඡන්ද ක්‍රමය ද නිසා ගම් සභා ක්‍රමයේ පැරණි සරල බව නොමැති වී ගියාක් මෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් බල ප්‍රදේශය ලෙස සලකා ප්‍රාදේශීය සභා පිහිටුවීම නිසා එය බොහෝ විකෘත කිරීම්වලට ලක්විය. කෙසේ වුවත් සමානුපාතික ඡන්ද ක්‍රමය අවසන් කර කොට්ඨාස ක්‍රමයට යොමු කිරීමෙන් වෙනස්කමක් සිදු කෙරී ඇත. එහි ගුණ දොස් ගැන අදහසක් පළ කළ හැකිවන්නේ මෙම මැතිවරණයෙන් පසුවය.


ගම්සභා ආරම්භ කිරීම සිදුවූ 1871 වර්ෂයේ පුවත්පත්වල මෙම ක්‍රමය උප හාසයට ලක්කරමින් පළවූ ලිපියක මෙසේ සඳහන් විය. ඒ 1871 සැප්තැම්බර් මස 22 වැනිදා ඥානාර්ථ ප්‍රදීපය පත්‍රයේය.
ගම් සභා තිබ්බාම අල්ලස් අරගෙන මට අවනඩු කළා. නෑ කමට රාලකමට යාළු කමට හොරකමට ආණ්ඩු කලා කියන්නන් වැඩිවෙනවාට සැක නැත. එයින් ක්‍රෝධ විරෝධ වර්ධනය වී ඇනුන් කෙටුන් මැරුණ් දකින්නට ලැබෙනවාට සත්තකයි. සිංහල මිනිස්සු සාමාන්‍යයෙන් තමන් විශ්වාස බක්ති නොතැබීම සිරිතක්වා වගේම මුලාදැනි සෙස්සන්ව ගොදුරු කොට ගැනීමත් සිරිතකි. තමුන්නාන්සේගේ කල්පනාවේ අන්දමට ගම්සභාවලට සභාපති කමට අවංක නිර්වංචා යහපත් සුදනන් සොයා පත් කරන්ඩ යෙදුනොත් රටට යහපත් සිද්ධ වී රට සමාදානයෙන් පසුවනවා ඇත. යන්නට අපි ඉතා එකඟය. එහෙත් එබඳු අය මේ දීපයේ ගමකින් තබා ගම් පහකින් දහ දොළොස් දෙනෙකු තබා කෙනෙක් දෙන්නෙක්වත් සොයා ගත්තු නම් මේ මහත් අරුමයක් වේ. එහෙම නිසා ආණ්ඩුව විසින් සභාපති අපට පත් කර දෙන්ට ස්වර්ග දොර හැර එහිවාසීන් ගෙනාවොත් මිස දුසිරි පිරි මෙසිරි ලක වසන වදක සිංහ, අල්ලන් නායක තන්නහ සුන්දු මුදලි රටේ මැතිවරුද කොල්ල නායක ප්‍රයෝග රත්න කෝරාල මුහන්දිරම්වරුද බින්න වර්ධන කපටි වික්‍රම විදාන ආරච්චිවරුද චෞරසේකර අයත් අතරෙන් අවංක ධර්මිෂ්ඨ සුසීල අය සෙවීම පැන් සොයන පිණිස ගල් හාරන්නා වැනිය. සිංහල මුලාදෑනින්ට පළමුවැනියා පටන් අන්තිමයා දක්වා.... යනුවෙන් සඳහන් වේ.


පෙබරවාරි දහවැනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ දී පත්වන සෑම මන්ත්‍රීවරයෙක්ම මෙයට වසර 145කට පෙර පුවත්පත්වල අනාවැකි කී පරිදි මදන සිංහ, අල්ලස් නායක, තන්නහ සුන්දු, කොල්ල නායක ප්‍රයෝග රත්නලා බින්නවර්ධනලා කපටි වික්‍රමලා හෝ චෞරසේකරලා නොවී මහජන සුබසිද්ධිය සඳහා අවංකව ඇප කැප වෙනවා ඇත. යන්න මහජන අපේක්ෂාව බව මෙහිලා සඳහන් කරමි.

 

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ