ජනපති ආර්. ප්‍රේමදාසට එරෙහිව මැතිසබයට ගෙන ආ දෝෂාභියෝගය පල නොදරාම එතුමා බෝම්බ ප්‍රහාරයකින් මහ පාරේදීම දිවියෙන් සමු ගත්තේය.
ඊට සතියකට පෙර ප්‍රේමදාස පාලන සමයේ විකල්පවාදී චරිතයක් වු ලලිත් ඇතුලත් මුදලි මහතා කිරුළපනදී වෙඩි වැදී මිය ගියේය. යු.එන්.පී. ආණ්ඩුවෙන් එළියට පැමිණ විකල්ප පක්ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවා ගැනීමට ලලිත්ට හවුල් වූ ගාමිණි දිසානායක හා ජී. එම්. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන්ටද අකාලයේ දිවියෙන් සමු ගන්නට සිදුවිය.
ඊළඟට ජනපති ධුරයට තෝරාගත් ඩී. බි. විජේතුංග පාලන සමයේදී යු.එන්.පී. ආණ්ඩුවෙන් භේදභින්නවී ගිය සියලු පැරණි සාමාජිකයන්ට යළි පැමිණිමට ඇරයුම් කෙරිණි.
එම ඇරයුම පිළිගත් ගාමිණි දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වුවද ඒ සඳහා තම අසුන අත්හැරිමට මන්ත්‍රීවරයකු එකඟකර ගැනීමට ආණ්ඩුව අපොහොසත් විය.
සිංහල මන්ත්‍රීවරු කිසිවෙකුත් තම ධුරය පැරණි හිතවතා වෙනුවෙන් පුද දීමට කැමති නොවූ අතර ඊළඟට කාගේත් අවධානය යොමු වුයේ ලයිස්තුගත පත්කළ මන්ත්‍රීවරුන් වෙතටය.
‘මේක ආයෙත් ලැබෙන්නේ නැති තීරණාත්මක අවස්ථාවක්. පක්ෂයේ සමගිය වෙනුවෙන් මේ පරිත්‍යාගය කරන්න’ ජනපති විජේතුංග ඉල්ලා සිටියේය. කවුරු කවුරුත් විකල්ප මාර්ග යෝජනා කළා මිසක් එවන් තීරණයකට මැළිවූහ.
මෙවේලේ 90 හැවිරිදි කෘතහස්ත මැලේ ජාතික පත්කළ මන්ත්‍රීවරයකු වූ එම්.එච්. ආමිත් මහතා ආණ්ඩුවේ අභිවෘද්ධිය සලකා නම්‍යශීලි තීරණයක් ගත්තේය.
තම බිරිඳ වූ කෘතහස්ත දේශපාලනඥයකු ලෙස ප්‍රචලිත මැලේ ජාතික ටී. බී. ජායා ගේ දියණියන් වූ රෂිනා ජයාත්, දියණියත් දොස්තර කලීල් ආදී මැලේ ජාතික ඥාති හිතවතකුද සමග ජනපති බැහැ දැක මෙම තීරණය දැනුම් දුන්නේය.
ගාමිණි දිසානායක මහතාට යළි ආණ්ඩුවේ අසුන් ගැනීමට ඉන් වරම් හිමි වු අතර ජනපතිවරණයේදී ඔහු යු.එන්.පී. අපේක්ෂකයා ලෙසද තෝරා ගැනිණි.
එහෙත් අගනුවර තොටළඟදී එම පක්ෂයේ මහා රැලියකදී කොටි ත්‍රස්තවාදීන්ගේ රුදුරු බෝම්බයකට ගාමිණි දිසානායක මහතා ගොදුරු විය. ආමිත් මහතාගේ දේශපාලන ගමනද ඉන් නිමවිය.
එම්. එච්. ආමිත් මහතා කාලයෙන් කාලයට පුවත් මැවූ චරිතයක් ලෙසද හඳුන්වා දිය හැකිය. ඒ. එච්. එම්. අස්වර් ආමිත් මහතාගේ ජීවිත කතාව ‘යුග දෙකක කතාවක්’ මැයින් සංස්කරණය කර අපූරු සිදුවීම් පෙලක් පළ කළේය.
1993 මැයි රැලියට හා පෙළපාළියට එක්වීමට මම ගෙදරින් එළියට බැස්සා. අපේ ගේට්ටුව ළඟ ක්‍රියා විරහිත වූ මිනී ගෙනයන රියක් තිබෙනු මා දුටුවා. මම අසුබ ලකුණ නිසා ගමන් කල් දැම්මා.
පැයකට පස්සේ ආරක්ෂක නිලධාරියා හමුවී ඔහු සමග රැලියට යාමට ඔහුගේ ගෙදරට ගියා. ඔහු ආහාර ගනිමින් සිටි නිසා තවත් ප්‍රමාද වුණා. අප රාත්‍රී ග්‍රැන්ඞ්පාස් හන්දියට ළඟාවන විටම මහා පිපිරුම් හඩක් ඇසුණා. ජනතාව හිස් ලු ලූ අත දුවන්න වුණා. පොලිසිය වහා අපව හරවා එව්වා.
ජනපති ප්‍රේමදාසට ජීවිතය අහිමි වු ආමර්වීදියේ බෝම්බයෙන් තමා ගැලවුණු අයුරු ආමිත් මහතා එසේ විස්තර කරයි.
ආමිත් මහතා සාමාන්‍යයෙන් නිවසින් බැහැරව යන්නේ පවුලේ සාමාජිකයෙක්ද කැටිවය. රැස්වීමකදී නම් පවුලේ අය සමග වේදිකාවේම අසුන් ගනී. ගාමිණි බිලිගත් තොටළඟ රැලියට යන්නට සැරසෙද්දී සමීප ඥාතියකුගේ රාත්‍රි භෝජන සංග්‍රහයක් එදින රාත්‍රියෙදී තිබූ බව සිහිවීමෙන් ගමන නැවතිණි.
අපි රෑ එකොළහට විතර තොටළඟ රැස්වීමට යන්න ලැහැස්ති වුණා. එතකොටම ධාරානිපාත වැස්සක් වහින්න ගත්තා. ඒ එක්කම තමයි මාරක බෝම්බ හඩක් ඇසුණේ.
1989 පෙබරවාරි මස 02 වැනිදා ජනපති ප්‍රේමදාසයන්ගේ පදවි ප්‍රාප්ති උළෙල මහනුවරදී පැවැත්විණි. එයට සහභාගි වී ආපසු කොළඹ එමින් සිටි ආමිත් මහතා රැගත් මෝටර් රථය අනතුරකට ලක්වී ඔහුගේ අතකට බරපතළ හානි සිදුවිය.
පසුදා ආමිත් මහතා මන්ත්‍රීවරයකු ලෙස පත් කරනු ලැබු බව ආරංචි විය. එම ධුරය භාර ගැනීමට ඔහු මැතිබසයට පැමිණියේ බිඳුණු අත උරපටියකින් ගෙලේ එල්ලාගෙනය.
ලලිත් ඇතුළත්මුදලි 40 දශකයේදී ආමිත් මහතාගේ සිසුවකු විය. ගාමිණි දිසානායක නුවරඑළිය අතුරු මැතිවරණයට තරග වදිද්දී ආමිත් මහතා තම හිතවතුන් සමග ඔහුට ප්‍රබල සහයක් දුන්නේය. ලලිත් හා ගාමිණි ප්‍රේමදාස මහතාට එරෙහිව දෝෂාභියෝගය ගෙන ආ අවස්ථාවේදී නම් ආමිත් මහතා ගත්තේ ප්‍රේමදාස මහතාගේ පැත්තය.
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකයේ මුල්ම මැලේ නියෝජනය 1926දී ඇරඹිණි. 1924 දී මැලේවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ටී. බී. ඡයා මහතා නියෝජනය කර තිබිණි. තුවාන් බුර්හානුදීන් ජායා යනු එම්. එච්. ආමිත් මහතාගේ මාමණ්ඩියයි. ජයා මහතා වනාහි ශ්‍රී ලාංකික මැලේවරුන් අතර කැපී පෙනෙන චරිතයකි. ඒ මෙරට නිදහස් අරගලය නියෝජනය කළ එකම මැලේ ජාතික නායකයා ලෙසිනි.
1948 නිදහස් ලංකාවේ භාවිතය සඳහා ජාතික කොඩියක් නිර්මාණය කිරිමේ අවශ්‍යතාව පැන නැගුණු අවස්ථාවේ අග්‍රාමාත්‍ය ඩි. එස්. සේනානායක හා බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පුරා විද්‍යාඥ සෙනරත් පරණවිතානයන්ගේ ලේකම්ධුරයෙන්ද යුත් කමිටුවක් පත් කෙරිණි.
එහි සාමාජිකයන් වුයේ ශ්‍රීමත් ලලිත රාජපක්ෂ, ශ්‍රීමත් ජෝන් කොතලාවල, ජි. ජි. පොන්නම්බලම්, ජේ. ආර්. ජයවර්ධන, එස්. නඬේසන් හා ටී. බී. ජායාය.
නිදහස් සටන වෙනුවෙන් ලංකා ජාතික සංගමය බිහිවන විට මුස්ලිම් එකමුතුවෙන් 1900 දී යෝනක සංගමය බිහි විය. 1924 දී සමස්ත ලංකා මුස්ලිම් සංගමයේ සභාපති එස්. එච්. එම්. අබ්දුල් කාදර්ගේ අභාවයෙන් පසු නායකත්වයට පත්වුයේ ටී. බී. ඡයාය.
1944 දී සෝල්බරි කොමිසමේ වාර්තාව රාජ්‍ය මන්ත්‍රණ සභාවට ගෙනෙන විට ජායා මහතා තම ජාතියේ අනන්‍යතාව පසෙකට තබා ජාතික නිදහස වෙනුවෙන් කැපවෙන බවට දුන් ප්‍රතිඥාව බණ්ඩාරනායක මැතිඳුගේ පැසසුමට ලක්විය.
1947 දී සෝල්බරි ව්‍යවස්ථාව අනුව පිහිට වූ ප්‍රථම පාර්ලිමේන්තුවට මැද කොළඹින් පත්වූ ජායා මහතා වෙත අගමැති ඩී. එස්. තම කැබිනට්ටුවේ කම්කරු හා සමාජ සේවා අමාත්‍යධුරය (1947-1950) පිරිනැමීය. ගෞරව උපාධියක් පුරවැසිකමක් සමඟ පකිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් කළ අතර මැලේ ජනතාව වෙනුවෙන් 1956 දී ණෑඵෑඛ් සංගමය ඇරඹීය.
ජයා මහතා වයෝවෘද්ධව සිටියදී පවා 1960 මැයි මැතිවරණයෙන් ජයගත් වහාම මක්කම වන්දනාකරුවන්ට නේවාසිකාගාරයක් තැනීමේ කටයුතුවල යෙදී සිටියදී මක්කමදී අභාවප්‍රාප්ත විය. මදීනානුවර ජන්නකුල්බාහිදී පකිස්තානු හා සෞදි නායකයන්ගේ බුහුමන් මැද මිහිදන් කෙරිණි.
මන්ත්‍රීවරුන් ලෙස මැලේ ජාතිකයන් නියෝජනය කළ එම්. කේ. සල්ඩින් (1937) අල්හාජ් වෛද්‍ය එම්. පි. ඩ්‍රහමන් (1956) සාහීර් ලායි (1947) එම්. ඩී. කිචිලාන් (1949) අධිනීතිඥ ටී. කේ. අසුර් (1994) අන්ජාන් උම්මා (2010) ශිරාස් ෂෙරිෆ් (1997) ජේ. එම්.
අල්ලොන්ඩීන් (2003) බී. එම්. කාසිම් (2006) තවුෆින් සිරා ජුඩීන් (1993) එම්. එස්. බස්මාන් (1988) අයුබ්ඛාන් (2013) ආදිහුද අමතක කළ නොහේ.
ප්‍රවීණ ලේඛක එඞ්වඞ් චන්ද්‍රසිරි මැලේවරුන්ගේ අභිමානය ග්‍රන්ථයෙන් දක්වන පරිදි එම්. එච්. ආමිත් මන්ත්‍රීවරයා ගාමිණි දිසානායක සිංහල මන්ත්‍රීවරයාගේ පුනරාගමනය වෙනුවෙන් කළ පරිත්‍යාගයත් සමගම පාර්ලිමේන්තුවේ මැලේ නියෝජනය අවසන් විය. නව නියෝජනයක අවශ්‍යතාව මැලේ සංවිධාන මගින් රජයට පෙන්වාදී ඇත.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි