සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කර ගනිමින් 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත්කර ගත්තේ බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත් කරවමිනි. බණ්ඩාරනායක බලයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියාකළ විවිධ සංවිධාන අතර එක්සත් භික්‍ෂූ පෙරමුණද සිටියේය. බණ්ඩාරනායක මහතා බලයට පත් වීමෙන් පසු සිංහල ජාතිවාදීහූ ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගත්හ. දකුණේ ජාති වාදය හිස ඔසවන විට උතුරේ දමිළයන්ගේ ප්‍රශ්නද ඉස්මතු විය. බි්‍රතාන්‍ය පාලනය සමගත් ඉන් පසුව බලයට පත් එක්සත් ජාතික පක්සය සමගත් අරගල කරමින් සිටි වාමාංශික ව්‍යාපාරය කම්කරු අයිතීන් උදෙසා අරගල දියත් කිරීමට පටන් ගත්හ. එබැවින් බණ්ඩාරනායක අගමැතිවරයාගේ කෙටි කාලීන පාලන සමය අවුල් වියවුල්වලින් ගහණ විය.
බණ්ඩාරනායක බලයට පත් කිරීම සඳහා දර දිය ඇද්ද බලවේග අතර සිටි එක්සත් භික්ෂූ පෙරමුණේ බලකණුවක් වූ කැලණි විහාරයේ බුද්ධරක්ඛිත හිමි එම කර්තව්‍යය සඳහා සැලකිය යුතු ධනයක් වැය කර තිබුණි. ඉන් ඔහු අපේක්ෂා කරන ලද්දේ එලෙස වැයකළ මුදල මෙන් සියදහස් ගුණයක් නැවත උපයා ගැනීමට බණ්ඩාරනායක මහතා අතකොළුවක් කර ගැනීමටය. බුද්ධරක්ඛිත චීවරයට මුවා වී සිටියද දේශපාලන අතින් පමණක් නොව ව්‍යාපාරික පැත්තෙන්ද ප්‍රබල චරිතයක් විය.
බුද්ධරක්ඛිත හිමි සිය සමීපතම මිත්‍රයෙකු වූ එච්. පී. ජයවර්ධන සමග එක් වී අලුත් සමාගමක් ආරම්භ කළේය. ඇසෝසියේටඞ් කළම්බු සිපිං ලයින්ස් යන නමින් නව නැව් සමාගමක් බිහිවූයේය. නැව් සමාගමට සම්බන්ධ කටයුතු සඳහා වෙනම සමාගමක්ද ඇරඹීය. එනම් මෙටල් ඇන්ඞ් ජෙනරල් ටේ්‍රඩිං කෝපරේෂන් නමැති වෙළද සමාගමය. මෙම වෙළඳ සමාගමේ සහ නැව් සමාගම ආරම්භ කිරීමේ මූලික පරමාර්ථය වූයේ එමගින් එතෙක් රජය විසින් සිදුකරන ලද මෙරටට ආහාර ද්‍රව්‍ය ගෙන්වීමේ සහ ප්‍රවාහනයේ අයිතිය එම සමාගමට ලබාගැනීම සෞඛ්‍ය ඇමතිව සිටි විමලා විජේවර්ධනගේද සම්බන්ධයක් එම සමාගම්වලට තිබුණි.
ආහාර ද්‍රව්‍ය මෙරටට ප්‍රවාහනය කිරීමේ ඒකාධිකාරී බලය සිය සමාගමට ලබාගැනීම සඳහා බුද්ධරක්ඛිත කිහිප වතාවක්ම අගමැතිවරයා සමග සාකච්ඡා කළේය. එම සාකච්ඡා සඳහා විමලා විජේවර්ධනගේ සහාය ලබාගැනීමට බුද්ධරක්ඛිත හිමි අමතක නොකළේය. එහෙත් බණ්ඩාරනායක මහතා එම යෝජනාව තරයේ ප්‍රතික්‍ෂේප කළේය. රජය සතු බලයත් පෞද්ගලික සමාගමකට පැවරීමට එවකට වෙළඳ ඇමතිවරයාව සිටි පිලිප් ගුණවර්ධන මහතා පවා විරුද්ධ විය. මේ සම්බන්ධව ඇමති මණ්ඩලයේද බෙදීමක් ඇතිවිය. කෙසේ වෙතත් දේශපාලන භික්ෂුන්ට යටත් වීමට අගමැතිවරයා අකමැති විය. දේශපාලන භික්ෂූන්ට අවශ්‍ය ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට තමා සූදානම් නොමැති බව අග්‍රාමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේය.
විශාල මුදලක් යටකර පිහිටුවන ලද සමාගම් සහ නැව් සංස්ථාව ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් පවතින බව අවබෝධ කරගත් බුද්ධ රක්ඛිත කෝපයට පත්විය. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයට පත් කිරීම සඳහා තමන් වියදම් කළ රුපියල් ලක්ෂ ගණන උපයා ගැනීමට අගමැතිවරයා ඉඩ නොදෙන බව බුද්ධරක්ඛිත තම හිතවතුන් සමග කියා තිබුණි.
මේ අතර ආයුර්වේදය පිළිබඳ අවුලක් ද හටගත්තේය. ආයුර්වේදය බටහිර වෛද්‍ය කර්මය සමග මුසුකිරීමට පිරිසක් යෝජනා කරන ලදී. ආයුර්වේදය සංකර නොකළ යුතු බව තවත් පක්ෂයක් අදහස් දැරුවේය. මේ සම්බන්ධව එක්සත් භික්ෂු පෙරමුණ සහ බුද්ධරක්ඛිත සිටියේ දෙවනුව කී පක්ෂය සමගය. මෙම මත භේදය නිරාකරණය කර ගැනීම සඳහා කොළඹ නගර සභා ශාලාවේ මහා සභාවක් පවත්වන ලදී. එහිදී දෙපාර්ශවය අතර ගැටුමක්ද හට ගත්තේය. විමලා විජේවර්ධන සිටියේ බුද්ධරක්ඛිත හිමිගේ මත වාදයේය. ආයුර්වේද අර්බුදය එලෙසම පවතින අතර ඇමති මණ්ඩලය තුළද බෙදීමක් හටගත්තේය. දක්ෂිණාංශික මතවාදී ඇමතිවරු පිලිප් ගුණවර්ධන ඇමති ධුරයක් දැරීම නොඉවසූහ. ඔහු ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස ඔවුහු අගමැතිවරයාට බලකර සිටියහ.
එළඹෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ සමුළුවේදී අගමැතිවරයාට එරෙහිව ක්‍රියාකර ඔහු පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට බුද්ධරක්ඛිත හිමි තීරණය කර ගත්තේය. ඒ අනුව තමාට හිතවත් පක්ෂයේ දක්ෂිණාංශික පිරිස් සමග සාකච්ඡා කිරීමට බුද්ධරක්ඛිත ක්‍රියා කළේය. මේ අතරතුර ඇමති මණ්ඩලයේ වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක වූයෙන් අගමැතිවරයා නොසිතූ අර්බුදකාරී තත්ත්වයකට පත්විය. පිලිප් ගුණවර්ධන ඇමති ධූරයෙන් ඉවත් කරන ලෙස විරෝධතා දැක් වූ ඇමතිවරු අගමැතිට බලකර සිටියහ.
1959 කුරුණෑගල දී පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුවේදී බණ්ඩාරනායක මහතා පක්ෂ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බුද්ධරක්ඛිත හිමි පිඹුරුපත් සැකසීය. තමාට හිතවත් මැති ඇමතිවරු සමග ඔහු සාකච්ඡා කළේය. අගමැතිවරයාගේ ප්‍රගතිශීලි අදහස් හා ප්‍රතිපත්තිවලට එකඟ නොවූ පිරිස් බුද්ධරක්ඛිතගේ වැඩපිළිවෙළට සහන දැක්වීමට තීරණයකර තිබුණි. මේ බව කෙසේ හෝ බණ්ඩාරනායක මහතාටද දැන ගැනීමට ලැබිණ.
පවතින වාතාවරණය එතරම් ශුභදායක නොවන බව බණ්ඩාරනායක මහතාටද අවබෝධ විය. තම ඇමති මණ්ඩලයේ සිටින දක්ෂිණාංශික කණ්ඩායමේ බලය ගැන ඔහුට මනා දැනීමක් තිබුණි. එබැවින් මහා සම්මේලනයේදී තම බලයට හානිකර වන බලපෑම් අවම කර ගැනීමට බණ්ඩාරනායක මහතාට සිදුවිය. ඒ අනුව ඔහු මහා සම්මේලනයේදී වැදගත් ප්‍රකාශයක් සිදුකළේ සියල්ලන්ම පුදුමයට පත් කරවමිනි.
“තමා මාක්ස්වාදයටත්, ඒකාධිපතිවාදයටත්, කොමියුනිස්ට් ක්‍රමයටත් එකසේ විරුද්ධ වන්නේ”ය යන එම ප්‍රකාශය බුද්ධරක්ඛිත හිමිගේ කුමන්ත්‍රණකාරී යටි අරමුණ ඉටුකර ගැනීමට බාධාවක් විය. පක්ෂ සම්මේලනයෙන් පසු බණ්ඩාරනායක මහතා සිය බලය තහවුරු කර ගැනීමේ ප්‍රථම පියවර වශයෙන්, දක්ෂිණාංශික බලවේගයට හිස නැමුවේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ පිලිප් ගුණවර්ධන මහතාට ඇමති ධූරය අහිමිවීමය. එසේම එම පක්ෂ සමුළුව එක් දිනකට පමණක් සීමා විය.
පිලිප් ගුණවර්ධන මහතා ඇමති මණ්ඩලයෙන් ඉවත් කිරීමෙන් පමණක් සෑහීමකට පත්වීමට බුද්ධ රක්ඛිත හිමිට නොහැකි වුණි. ඔහුගේ පරම චේතනාව වූයේ හොඳින් හෝ නරකින් බණ්ඩාරනායක මහතා අගමැතිකමින් ඉවත් කිරීමටත්, තමන්ට හසුරුවා ගත හැකි ආකාරයේ නායකත්වයක් බිහි කර ගැනීමටත්ය.
කෙසේ වෙතත් මහා සමුළුවේදී බණ්ඩාරනායක මහතා නෙරපා හැරීමට තිබූ අනගි අවස්ථාව මඟ හැරීයාම හේතුවෙන්, අනතුරුව බුද්ධරක්ඛිතගේ යටි අදහස වූයේ බණ්ඩාරනායක මහතාගේ ජීවිතයට හානිකර හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමය. ඒ සඳහා ඔහු ක්‍රියාත්මක විය. බුද්ධරක්ඛිත හිමි සමග ව්‍යාපාරික කටයුතුවලට සම්බන්ධව සිටි එච්. පී. ජයවර්ධන සිටියේද බණ්ඩාරනායක අගමැතිවරයා සමග සිත් නොහොඳිනි. පිටරටින් මෙරටට ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ කොන්ත්‍රාත්තුව බුද්ධරක්ඛිත හිමි ආරම්භ කළ වෙළඳ සමාගමට හිමි වී නම් එයින් විශාල ප්‍රතිලාභයක් ජයවර්ධනට ද හිමි වීමට තිබුණි. මක්නිසාද යත් එම වෙළඳ සමාගම සහ නැව් සමාගම ආරම්භ කිරීමේ මූලික කර්තව්‍යයන් සඳහා ඔහු විශාල වෙහෙස මහන්සියක් කැපකිරීමක් සිදුකර තිබූ බැවිනි. එහි ප්‍රතිඵලය අපේක්ෂාවෙන් ඔහු සිහින මැව්වේය. එසේම හෙතෙම බුද්ධරක්ඛිත හිමිටද ණය ගැතිව සිටියේය. එබැවින් බුද්ධරක්ඛිත හිමි යෝජනා කරන කවර නම් අවදානම් කටයුත්තකට හෝ එකඟ වීමට ජයවර්ධන සූදානම්ව සිටියේය.
බුද්ධරක්ඛිත හිමිගේ සමීපතම මිතුරන් කිහිප දෙනා අතර සිටි කරෝලිස් අමරසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකි. අමරසිංහ ආයුර්වේද උපදේශක සභාවේ සාමාජිකයෙකි. බුද්ධරක්ඛිත හිමි සහ එච්. පී. ජයවර්ධන ද එකී සභාවේ සාමාජිකයෝ වූහ. අමරසිංහ කොලොන්නාව පළාත් ආණ්ඩු සභාවේ සභාපති ධුරය ද දැරුවේය.
තල්දූවේ සෝමාරාම හිමි අක්‍ෂිරෝග විශේෂඥයෙකි. සෝමාරාමට ආයුර්වේදයේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව හිමිකර දුන්නේ බුද්ධරක්ඛිත හිමි විසිනි. රාජගිරියේ ඔබේසේකර පුරට යන මාර්ගය ආසන්නයේ පිහිටි අමරවිහාරයේ සෝමාරාම නැවතී සිටියේය.
නිව්ටන් පෙරේරා පොලිස් පරීක්ෂකයෙකි. ඔහු බුද්ධරක්ඛිත හිමිගේ සමීපතම මිතුරෙකි. කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ හෙතෙම කැලණි විහාරයේ දායකයෙකු ද විය. 1940 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකු ලෙස සේවයට බැඳුණු නිව්ටන් පෙරේරා 1945 දී සාර්ජන්ට් පදවියටත්. 1952 දී උප පොලිස් පරීක්ෂක ධූරයටත් පත්විය. ඔහු බොරැල්ල, පිටකොටුව කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය සහ මරදාන පොලිස් ස්ථානවල රාජකාරි කටයුතු කර තිබුණි. 1959 දී හෙතෙම පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස් වීම් ලැබ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවයේ යෙදී සිටියේය.
නිව්ටන් පෙරේරා බුද්ධරක්ඛිත හිමි සමග ඉතා සමීපව ඇසුරු කළ අයෙකි. බුද්ධරක්ඛිත හිමි දැන හඳුනාගත් කල පටන් නිව්ටන් පෙරේරා නිතර නිතර කැලණි විහාරයට ගොස් කථාබස් කර ඒමට පුරුදු විය. පිටකොටුව පොලිසියේ සේවයේ යෙදී සිටියදී නිව්ටන් පෙරේරාට නවලෝක මුදලාලි දැන හඳුනාගැනීමට හැකිවිය. නිව්ටන් පෙරේරා කොම්පක්‍ඳ්ක්‍ඳවීදියේ පොලීසියේ සේවය කරන අවධියේ කොළඹ වොඞ්වෙල් සහ සමාගමේ ගබඩාවක සොරකමක් සිදුව තිබුණි. ගබඩා කළමනාකරු වූයේ එවකට නමගිය දාමරිකයෙකු වූ දාගොන්නේ ඔසී කොරයාගේ පියාය. නිව්ටන් පෙරේරා සොරකම සම්බන්ධව පරීක්ෂණය කිරීමට ගිය අවස්ථාවේදී ඔසී කොරයා දැන හඳුනා ගත්තේය. එතැන් සිට ඔවුන් දෙදෙනා අතර සමීප මිත්‍රත්වයක් හට ගත්තේය.
අනුර ද සිල්වා මෝටර් රථ කාර්මිකයෙකි. බොරැල්ලේ පිහිටි වාහන අලුත්වැඩියා කරන ගරාජයක් තිබුණි. එහි හිමිකරු වූයේ මයිකල් බාස්ය. අනුර වැඩ කළේ එම ගරාජයේය. බුද්ධරක්ඛිත හිමිගේ වාහනය අලුත්වැඩියා කිරීමට සිදු වුවහොත් එය සිදු කෙරුණේ මයිකල් බාස්ගේ ගරාජයේය. බුද්ධරක්ඛිත හිමි අනුර ද සිල්වා දැන හඳුනා ගත්තේ එහෙයිනි. පසුව ඔවුහු කුළුපග මිතුරෝ වූහ.
විමලා විජේවර්ධන බණ්ඩාරනායක රජයේ සෞඛ්‍ය ඇමැති ධූරය දැරුවාය. මේ සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෝ වූහ.
තම වෙළඳ ව්‍යාපාර කටයුතුවලට බණ්ඩාරනායක මහතාගෙන් කිසිදු අනුග්‍රහයක් නොලැබෙන බව අවබෝධ කරගත් බුද්ධරක්ඛිත ඊළඟට තීරණය කරන ලද්දේ බණ්ඩාරනායක මරා දමා හෝ තම අදහස් මුදුන් පත්කර ගැනීමටය. එම කර්තව්‍යයට උදව් උපකාර ලබා ගැනීමට බුද්ධරක්ඛිත තීරණය කර තෝරා ගන්නා ලද්දේ පෙර කී සිය සමීපතම සගයන් කිහිප දෙනාය.
බුද්ධරක්ඛිත හිමි වරින් වර මෙම කුමන්ත්‍රණය සඳහා පසුබිම සකස් කරන ලද්දේ විමලා විජේවර්ධනගේ නිවසේදී හෝ අමර විහාරයේදීය. සමහර දිනවල ඔවුහු බොරැල්ලේ සුමංගලාරාමයේදීද මුණගැසී සාකච්ඡා කර තිබුණි. ඒ සෑම අවස්ථාවකදීම එච්.පී. ජයවර්ධන බුද්ධරක්ඛිත හිමි සමග සිටියේය.
“මේ ආණ්ඩුව බලයට පත් කරන්න මම ලක්ෂ ගණන් වියදම් කළා. ඒත් අපිට කිසිම වැඩක් කරගන්න බණ්ඩා ඉඩ දෙන්නෙ නැහැ. අපි මූ ඉවර කර දමන්න ඕනෑ. හොඳින් හෝ නරකින් මේ මිනිහාව බලයෙන් පහ කරන්න ඕනෑ” යයි බුද්ධරක්ඛිත වරින් වර වහසි බස් දෙඩුවේය. බණ්ඩාරනායක සිටින තාක් කල් තමන්ටත් තම හිතෛෂීන්ටත් වගතුවක් නැති බව බුද්ධරක්ඛිත සෙසු අයට ඒත්තු ගැන්වීමට උත්සාහ දැරුවේ බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීම දැනට ඉතිරිව ඇති එකම විකල්පය බව සෙසු අයට අවබෝධ කරදී ඒ සඳහා අවශ්‍ය මානසික වාතාවරණය සකස් කිරීමටය.
අගමැතිවරයාගේ ඝාතනය සිදු කිරීමට යොදවාගත යුත්තේ කවරෙකු දැයි යන්න බුද්ධරක්ඛිත මුල සිටම තීරණයකර ගෙන සිටියේය. සෝමාරාම තමා කියන ඕනෑම දෙයක් ඉෂ්ට කිරීමට සැදී පැහැදී සිටින බව බුද්ධරක්ඛිත හිමි දැන සිටියේය. ඔහු සෝමාරාමට බොහෝ උදව් උපකාර කර තිබුණි. එහෙයින් අගමැති ඝාතනය කිරීමේ කාර්යය සෝමාරාමට බාර දුනහොත්. ඔහු එය අකුරටම ඉටුකරන බවද බුද්ධරක්ඛිත දැන සිටියේය.
ප්‍රේමලාල් රණවිළ