ගැමිකම අත් නොහළ මැති සබේ පොඩි පුතා


යූ.එන්.පී. මහගෙදරින් මහපාරට බැස මහජන එක්සත් පෙරමුණු ධජය යටතේ ඡන්ද සටන මෙහෙයූ ශ්‍රීලනිප නියමුවා බණ්ඩාරනායක මැතිදුන්ය.


1956 මහ පෙරළියට අපේක්ෂකයන් සොයන වකවානුවේ අති දුෂ්කර ගම් පියසක් වූ නිකවැරටිය ආසනයට ගොවි පුතෙකු සොයන්නට එතුමා වෙහෙසුණේය.


කුඹුක්ගොල්ලේ හේරත් බණ්ඩා ගොවි මහතාගෙත් අබේසිංහ මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේගේත් දරුවකු වූ මුදියන්සේ තෙන්නකෝන් නැමැති දඟකාර ගැටයා ඔවුන්ට හමුවන්නේ අහම්බෙනි. ඇත්තෙන්ම මුදියන්සේ තෙන්නකෝන් නැමැත්තෙක් එම අසුනට කලින් තෝරාගෙන තිබිණ. එහෙත් සබකෝලය නිසා හෝ ප්‍රතිගාමීන්ගේ බලපෑම් නිසා හෝ අවසන් මොහොතේ මුදියන්සේ නාමයෝජනා ද දී කට්ටිපැන්න බව කියති.
බණ්ඩාරනායක මහතා වැටුණේ බරපතළ අසීරු තත්ත්වයකය. මෙය කෙසේ හෝ ජයගත යුතුම අවස්ථාවක් බැවින් දහ අතේ කල්පනා කරන්නට වූ ඔහුට අපූරු යෝජනාවක් ගෙනඑනු ලැබිණි.


“සර් වැඬේ හරි අපි තවත් මුදියන්සේ කෙනෙක් නිකවැරටියෙන්ම හොයා ගත්තා”


“ඉතින් මොකෝ?” බණ්ඩාරනායක ඇසීය. “මිනිහගෙම ඥාතියෙක්” අපි මිනිහව ඡන්දෙට දාමු. බණ්ඩාරනායක මහතා වහා ඊට අනුමැතිය දුන්නේය. ඒ අනුව මුදියන්සේ තෙන්නකෝන්ගේ ඥාති සහෝදරයා නිකවැරටිය අසුනට මහජන එක්සත් පෙරමුණෙන් තරග වැදුණු අතර වැඩි ඡන්දයෙන් ජය ලැබීය.


මුලින් සැක පහළ වුවද ළාබාල හුරුබුහුටි තරුණ මන්ත්‍රීවරයා ඥානවන්ත, ක්‍රියාශීලි අයකු බව කොයි කාටත් වැටහුණි. චතුර කටිකත්වයක් ඔහුට උරුමව තිබූ අතර බටහිර සිරිත් පිළිකුල් කළේය. බණ්ඩාරනායක මහතාගේ ආදරය දිනාගත් ඔහු මැතිසබයේදී “පොඩි පුතා” “හුරතලා” යන නම්වලින් හැඳින්වනු ලැබිණ.

 

 

මන්ත්‍රීවරයකු වීමට ඉංග්‍රීසි දැනුමත් බටහිර ආටෝපයත්, මිෂනාරි අධ්‍යාපනයත්, ධනවාදි රදල පවුල් පරිසරයත්, සල්ලිත් තිබිය යුතු බව ඇතැමුන්ගේ ආකල්පය විය. එහෙත් පොඩි පුතා එවැන්නෙක් නොවීය.
ඔහු උපන්නේ ගමේ මහගෙදරය. ඒ 1934 ජූනි පළවනදාය. “මේ දරුවාට රාජයෝගයක් තියෙනවා.”


ඔහුගේ හඳහන බැලූ සද්ධර්ම කීර්ති ශ්‍රී කොට්ටුකච්චියේ ධම්මරක්ඛිත හාමුදුරුවෝ අනාවැකියක් කීහ. ඔහු ඉගෙනුම ලැබුවේ නිකවැරටිය රජයේ පාසලෙනි. ඉංග්‍රීසි උගත්තේ මලියදේවයෙනි. ගුරුතලාව ශා. තෝමස් කොලිජියේ සිට 1952 දී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගුරුකුලයට ගියේය.

එකල පිළිගත් ඉහළ රැකියාවක් වූ වතුපාලක තනතුරකට දරුවා යොමු කිරීම මවුපියන්ගේ අරමුණ විය. යුරෝපීය හැදියාවට අකමැති පොඩි පුතා මවුපියන්ගේ පෙරැත්තය නිසාම වතුයායක ආධුනික වතු පාලකයකු ලෙස  බැඳුණේය.


ලැයින් කාමරවල දුප්පත් කම්කරු ජනතාව විඳින දුක් ගිනි දෑසින්ම දැක ගන්නටත්, අඳෝනා දෙකනින් අසන්නටත් හැකි වූදා මෙම තරුණයාට පාලක පක්ෂය ගැන වෛරයත් ජනතාව ගැන ශෝකයත් ඇතිවිය.
වතු රැකියාවට නැවතීමේ තිත තබා තෙන්නකෝන් මුදියන්සේ ගෙදර ආවේය. පංච මහා බලවේගය එකතු කරගෙන බණ්ඩාරනායක මැතිඳුන් රට නගන්නට දරන ප්‍රයත්නයට තම සහාය දුන්නේ එතැන් සිටය. අගනුවර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වුවත් පොඩි පුතාගේ ගැමි ඌරුව අභාවයට නොගියේය. නිලවාහන ප්‍රතික්ෂේප කළ ඔහු රෙද්ද බැනියම ඇඳ, සෙරෙප්පු නොපැලඳ අමු ගැමියකු සේ දුම්රියෙන් හා පයින් ගමට ගියේය.
දේශපාලන අවශ්‍යතාවයේදී පමණක් ඉංග්‍රීසි කතා කළ පොඩි පුතා ගමට ගියදාට පාන්දරින් නැගිට, කුඹුක ළිඳෙන් දිය නා, සරම හැඳ, බුදුන් වැඳ, භාවනාවෙහි යෙදුණේය. ඔහු නොවරදවාම කළ චාරිත්‍රයකි අයියනායක දෙවිඳුන්ට මල් පැලක් තනා පහන් දල්වා දෙවියන් නැමදීම. කොළඹට එන්නේ එම චාරිත්‍ර ඉටුකරය. පොඩි පුතාගේ සම්බන්ධීකරණ කාර්යාලය පිහිටියේ ද පොල් අතු පැලකය. එහි ගෘහභාණ්ඩ වූයේ බංකු දෙකක් හා ලී ඇඳකි. එය ආලෝකමත් වූයේ විදුලියෙන් නොව පැරණි චිමිනි ලාම්පුවක එළියෙනි.


බණ්ඩාරනායක ඝාතනයෙන් පසු සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩු සමයේ පොඩිපුතාට උප ඇමැතිකමක් පිරිනැමිණි. ඒ වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යාංශයේය. ගමේ පොඩි පුතා නිසා ගමේ කුඹුරුවලට වතුරත් ගෙවල් වලට විදුලියත් ලැබිණි. ඥාති සහෝදරයාට අහිමි වූ ඉංග්‍රීසි උගත්කම ඔහු වෙනුවට පැමිණි පොඩි පුතාට හිමිවීම දෛවයේ ආශිර්වාදයක් විය.


යූඇන්පියට වැඩි වාසියක් සැලසුණු 1960 මාර්තු මහ මැතිවරණයටද පොඩි පුතා ඉදිරිපත් වූයේය. ශ්‍රීලනිප බල කඳවුරු එකින් එක වැටෙද්දි පොඩි පුතා අසුන රැකගත්තේය. 1960 ජූලි මැතිවරණයේදීද පොඩි පුතා ආසනය ජය ගත්තේය. ගතානුගතික දේශපාලනඥයකු නොවූ නිසා ජනතා විශ්වාසය ඔහු කරා ආවේය.


“ජනතා විශ්වාසය දිනා ගන්න බැරි දේශපාලනෙන් ජනතාවගේ දියුණුව සලසන්න බෑ.” ඔහු නිතර පැවසීය.


එබැවින් පක්ෂ දේශපාලනයෙන් සමුගත් පොඩිපුතා ආසනය තරග කළේ ස්වාධීන අපේක්ෂකයකු ලෙසිනි. බොහෝ දේශපාලනඥයන් මෙන් තමන් උපන් හැදී වැඩුණු ගම අමතක නොකළ මුදියන්සේ තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී ගොවි ගැටලු පිළිබඳ දිගින් දිගටම කතා කළේය. ඉනුත් නොනැවතී ගමට ගොස් ගොවි ගැටලු විසඳා දෙන ලෙස උද්ඝෝෂණය කළේය.


නිකවැරටිය අයියනායක දෙවොලේ සිට ඔහු මෙහෙය වූ දැවැන්ත ගොවි ජනතා පාගමන ඔහුගේ පෙරළිකාර අදහස් ජීවමාන කළේය. අතරමගදී පොලිසියේ කඳුළුගෑස් හා බැටන් ප්‍රහාරවලට ගොවි පෙළපාළිය ලක්විය.
“අසරණ ගොවියෝ මරන්න එපා. මරන්නට ඕනෑ නම් මාව මරාපියව්”


ඔහු පාරෙදිත් පාර්ලිමේන්තුව තුළත් වහසි බස් දෙඩීය. මැතිසබයේ ඉඟුරු කල්ලියේ නායකයකු ලෙසද ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත. රටම නොසන්සුන් යුගයක උතුරු පළාතේ අතුරු මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවිණි. කාහටවත් තරග වැදීමට ත්‍රස්තවාදීහු තහනම් කළහ. දඬුවම මරණය විය. සිංහලයකු උතුරට යාම මරණ වරෙන්තුව රැගෙන යාමක් විණ.

 

එහෙත් ජාතිමාමක අදහස් තිබූවකු වූ මුදියන්සේ තෙන්නකෝන් හොර රහසේම අතුරු මාවත් ඔස්සේ උතුරු කරයට ගියේය.  රහසේම නාමයෝජනා දී හදිසි නීතියත්, ඇඳිරි නීතියත්, ත්‍රස්තවාදයත් නොතකා කොළමට පැමිණීමට උත්සාහ කළේය.


“තමුසෙ කවුද?” නාඳුනන රැවුල්කාරයෝ තුවක්කු අමෝරාගෙන පොඩි පුතා වටකරගෙන ප්‍රශ්න කළහ. පොඩි පුතා සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හා දන්න දෙමළෙන් තමා සාමකාමී පුරවැසියකු බව පැවසීය.


දින ගණනාවක් කොටි කඳවුරුවල දෝලනය වෙමින් තිබූ ඔහුගේ ජීවිතය ඔත්තුකරුවකුය යන ලේබලයෙන් මිදුණේය. අනතුරුව ළඟම පිහිටි හමුදා කඳවුරු වෙත භාර විය.


“තමුසෙ කවුද?”


“මං මුදියන්සේ තෙන්නකෝන්”


“මෙහෙ මොනවද කරන්නේ


“ඡන්දෙට ඇප මුදල් බඳින්න ආවා.” හමුදා භටයෝ ඔහුගේ ඉස සිට පාමුල දක්වාම විමතියෙන් බලා සිටියහ. ඔහු නිරායුධ ප්‍රජාතන්ත්‍රවාදියකු බව දැනගත්හ.


“සමහර විට මං හිටියෙ නැත්නම් මිස්ට තෙන්නකෝන්ගෙ ඉරණම වෙනස් වෙන්න තිබුණා. හෙටම කොළඹ  යන්න ලෑස්ති වෙන්න.”


බි්‍රගේඩියර් ජෙරී සිල්වා පොඩි පුතාගේ පණ නල බේරා ගෙදර එව්වේ එසේ කියමිනි.


නිලතල පසුපස හෝ ධනය පසුපස ගොස් තම ආත්මය පාවා නොදුන් අතළොස්සක් මන්ත්‍රීවරුන් අතරට හිස් අතින් මරණයට මුහුණ දුන් මැතිසබේ පොඩි පුතාගේ නම එක්වීම ඒකාන්තය.

 

 

 

 

 

 

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි