ගැමිකම අත්නොහළ වන්නි ඇමැති


යු. බී. වන්නිනායක

 

 

වන්නි කී සැණින් පැරණි දේශපාලනඥයන් හඳුනා ගන්නා වන්නි හත් පත්තුවේ උපන් නිහතමානී ජනතා නියෝජිතයකු වූ උක්කු බණ්ඩා වන්නිනායක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කිසිවකුටත් අමතක නොවන චරිතයකි. 


බලයට පැමිණි බොහෝ දේශපාලනඥයන්ට හැදෙන මුල අමතක වීමේ රෝගය හා රථගාය මෙතුමාට කෙදිනකවත් නොවැළඳුණේය. ගමේ පන්සලට, ගමේ පාසලට ගමේ රෝහලට මෙන්ම ගමේ මනුස්සකමට ද වන්නිනායක ගරු කළේය. ගමේ මිනිස්සු ද ඔහුට පෙරළා සැලකුවේ එබැවිනි. 


වන්නි හත්පත්තුවේ කටුවන්නා කෝරලේ බලල්ල ගමේ ඩිංගිරි බණ්ඩා ලේකම් මහතා හා ආර්. එම්. රන් මැණිකා මැතිනියගේ පුතු ලෙස උපත ලැබ ගමේ පාසලෙන් කුරුණෑගල ක්‍රිස්තු දේව විදුහලටත්, ගල්කිස්ස ශාන්ත තෝමස් කොලීජියාත් සිප් සතර උගැනුමට ගිය වන්නිනායක තරුණයාට දුර්ලභව ලැබෙන අවස්ථාවන් වූ ඉංග්‍රීසි ගුරු විදුහලට 1930 දී ඇතුළත් වන්නට හැකි විය. 


ඉංග්‍රීසි ගුරුවරයකු සේ ඉගැන්වීම ඇරඹු ඔහු තමා උගත් මලියදේව ගුරු කුලයේම විදුහල්පති තනතුර ලැබ එය උසස් විද්‍යාලයක් බවට පත් කළේය. සිංහල බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩක් බඳු මලියදේව විද්‍යා රක්ෂක පිරිවෙන ඇරඹුවේ ද එතුමාගේ අනුග්‍රහයෙනි. 1943 අතුරු මැතිවරණයෙන් පුත්තලම අසුන ජය ගත් වන්නිනායක රාජ්‍ය මන්ත්‍රණ සභාවට පිවිසුණේය. 


1949 උත්තර මන්ත්‍රී මණ්ඩලයට එක් වීමට ඔහු වාසනාවන්ත විය. තනතුරු සොයා නොගිය වන්නිනායක වෙත තනතුරු ගලා එන්නට පටන් ගත්තේ මේ වකවානුවේය. එහෙත් කිසි දිනක ඔහු තම දේශපාලන බලය හෝ මිත්‍රත්වය මත රාජ්‍ය දේපොළ හෝ මුදල් අයුතු ලෙස පරිහරණය කළේවත් මිතුරන් සතුටු කළේවත් නැත. මෙම අවංකකම නිසාම අසීරු මහා මැතිවරණයක් වූ 1960 ජුලි ඡන්දයෙන් යාපහුව අසුන එජාපයට දිනා දීමට ඔහුට හැකි විය. 1965 දී එම ජයග්‍රහණය තහවුරු කළ යු. බී. ට අගමැති ඩඞ්ලි සේනානායක මුදල් අමාත්‍ය පදවිය පිරි නැමීය.


වන්නිනායකයන් ගමට පෙම් කළ කෙනෙකු වුවත් අය වැය ලේඛනය හැදීමේදී ගමට පමණක් තැන දීම අපහසු කාර්යයක් විය. ධනවාදී බලවේග සමග හැල හැප්පෙන්නට ඔහුට සිදු විය. මුදල් අමාත්‍යවරයාට ද ආණ්ඩුවට වදින පහරවල්වලට මුහුණ දීමට සිදු විය. විපක්ෂ මන්ත්‍රීවරු දැඩි ලෙස ඔහුගේ අය වැය විවේචනය කළෝය. ගමෙන් ආපු වන්නිනායකට මූල අමතක වෙලා. “දුප්පතුන්ට බඬේ පාර ගහනවා” යැයි විපක්ෂය ඔහුට බැණ වැදුණේය. 


ශීවා ඔබේසේකර ශ්‍රීලනිපය නියෝජනය කළ මන්ත්‍රීවරියෙකි. ඇය බටහිර පන්නයට හැඩ ගැසුණු කතක් වුවද වන්නිගේ අය වැය විවේචනය කිරීමට ඇය ට ද සිදු විය. ඒ ඇය බටහිර පන්නයට ගැයු කවියකිනි. 


අනේ මගේ වන්නිපනේ 
හරිම බජට්ටුවකි මේක 
ඔබේ ප්ලෑන් ලොකු උන්ටයි 
අනිත් උන්ට මොකවත් නෑ 


ඇය එකම කවිය ගායනා කළ විලාශය අසා මුළු පාර්ලිමේන්තුවම කුල්මත් වූ බව පැවසේ. 


යු. බී. වන්නිනායකයන් සතුව තිබු චාම් අහිංසකකම පිළිබඳව සුන්දර කතා බොහෝය. ඔහුට අමාත්‍ය ධුරයක් ලැබුණු මොහොතක පිළිගැනීමේ රැස්වීමක් උපන් ගමේ සංවිධානය කිරීමට යෙදුණි. 


ගැමි ජනතාව මහත් උනන්දුවෙන් ගමේ මිනිහා පිළිගැනීමට උත්සව කටයුතු පිළියෙල කළහ. ප්‍රධාන පාරේ සිට ගම තුළට එන අතුරු මාර්ග පිළිසකර කරවා ගම් මැද්දෑවේ අලංකාර වේදිකාවක් ඉදි කර මඟ දෙස ධජ පතාක ඔසවා පක්ෂ ලාංඡන සහිත පෝස්ටර් අලවා සැකසු උත්සව භූමිය සැණකෙලියක සිරි ගත්තේය. 


“අපෙන් කවුරුත් කොළඹ ගියෙත් නෑ. උන්නැහේ වෙලාවට ඒවි නේද?” ගැමියෝ සංවිධායකයන් ගෙන් විමසුහ. 


“අපෝ ඕක මහදුරක්ද? රාජකාරි කාර් එකෙන් පටස් ගාලා කුරුණෑගලට ඒවි.” 


ඒත් උත්සවය ඇරඹෙන වෙලාවට හෝරාවක් තිබියදීත් ඇමැතිවරයා පැමිණි බවත් පෙනෙන්නට නොවීය. ඒ දිනවල දුරකථන හෝ මාර්ග පහසුකම් අද මෙන් දියුණු නොවිණ. තාක්ෂණය පිළිබඳ හාංකවිසියක් වත් ගැමියෝ නොදත්හ. 


ගැමියන්ට මවා තිබුණේ පරිවාර වාහන හා ආරක්ෂකයන් පිරිවරාගෙන මාර්ගය දෙවනත් කරගෙන පියඹා ගෙන එන තේජෝ බලසම්පන්න ප්‍රභූවරයකු එන බවය. එහෙත් වන්නිනායකයන්ගේ ගති ගුණ හඳුනන ගැමියෝ පැරණි ගම් වැසි වන්නි නායකයන්ගේ රුව සිතේ මවාගෙන සිටියහ. 


නියමිත මොහොත පමා වූ බැවින් සංවිධායකයෝ කලබල වූහ. එකිනෙකාට දොස් පවරා ගන්නට වූහ. බැරිම තැන දුරකථනයක් සොයාගෙන ඇමැතුම් ගන්නට උත්සාහ කළහ. 
ඇමැතිතුමා කොළඹින් පිටත් වෙලා ගොඩක් වෙලා කියන්නේ දැන් ළඟ එනව ඇති. 


කොළඹින් පිළිතුරු පැතු සංවිධායකයෝ කීහ. එහෙත් හිතේ බයටම ඔවුන්ගෙන් පිරිසක් එතුමා එන ඉදිරි මඟට යන්නට පිටත් වූහ. එවිටම දුරකථනයක් රැගෙන ආයෙක් දිව ආහ. හරි වැඬේනෙ වෙලා තියන්නේ. ඔහු හති දමමින් කිව්වේය.


ඇමැතිතුමා තනියම කෝච්චියෙන් මෙහෙ ඇවිත් තියෙනවා. පයින් එන කොට මහන්සියට නතර වෙලා ඉන්නවලු.

 
මෙම අපුරු ආරංචිය අසා පුදුම වූ සංවිධාකයෝ වහ වහා පෙර මඟට යන්න වූහ. මඳ දුරක් යද්දී ඔවුන්ට පෙනුණේ හන්දියේ බෝක්කුවක් අසල නතර වී ගිමන් හරින අමාත්‍යවරයාය. 


“ඇයි සර් මේ, කෝ කාර් එක. කෝ අනිත් කට්ටිය?” සංවිධායකයෝ ඇසූහ. 


මං ඉතින් පුරුදු විදියටම කෝච්චියේ ආවා. නිල රථය මොකටද ගෙන්න ගෙන තෙල් නාස්ති කරන්නේ.


අපරාදෙනෙ. මං බැලුවෙ මහ ගෙදරට ගිහිල්ල එහෙ ඉඳන් වාහනේක එන්න. මං මහන්සියට නතර වුණා. අමාත්‍යවරයා ගාණක්වත් නැතිව කියා ආරක්ෂාව ද නැතිව තමන්ගේ ගමන තනියෙන් ඒම එතුමාට විශේෂ දෙයක් නොවීය. රාජ්‍ය දේපොළ තම පෞද්ගලික අවශ්‍යතාවට යොදා නොගත්තේ සැහැල්ලු බව නිසාමය. එතුමාගේ දරුවන් පවා නිදහසේ වෙනත් වාහනවල ගමන් කර ඇත. දරුවන් රජවරුන් කිරීමට දේපොළ අවභාවිත කිරීම වන්නිනායකවරු නොකළහ.

 

 


එබැවින් ඇමැතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පවා ඔවුන් බඳවා නොගත්තේය.   


“ඇයි සර් පුතාව බඳවා ගන්නේ නැත්තේ?” වරක් නිලධාරියෙක් විමසුවේය. ඒ මගේ පුතා තමයි. ඒත් දේශපාලනය රැකියාවට සුදුසු කමක් නොවෙයිනෙ... අමාත්‍යවරයා පවසා තිබිණ. 


“මගේ පුතා වුණත් විශේෂත්වයක් කරන්න එපා. ඔහු නිලධාරීන්ට උප දෙස් දී තිබිණි. දියණිය විශාඛා බාලිකාවට ඇතුළත් කර ගැනීමට ඔහු මැදිහත් නොවු බව තතු දන්නෝ කියති. 


යු. බී. වන්නිනායකයන් රජයේ මුදල් යොදවා මහමන්දිර තැනු බවත් අසන්නට නොලැබිණි. ඔහුගේ නිල නිවසේ වූයේ ද පුටු දෙකක්, කුඩා කෑම මේසයක්, ඇඳක් සහ හාන්සි පුටුවක් පමණි. අය වැය ලේඛනය සකසා ඇත්තේ ද ඒ කුඩා පහසුකම් තුළිනි. ජීවිතයේ අවසාන කාලය ගත කිරීමට කුරුණෑගල මහගෙදරට ගිය වන්නිනායකයෝ නව කුටියක වැතිර සිටීමට ප්‍රිය වූහ. දිනෙන් දිනම ඔහුගේ රෝග තත්ත්වය උත්සන්න විය. ඔහු බැලීමට පැමිණි ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා පෞද්ගලික රෝහලක නතරව ප්‍රතිකාර ලැබීමට ඇරයුම් කළේය. එය කාරුණිකව ප්‍රතික්ෂේප කළ වන්නිනායකයෝ තම උපන් ගමේම මිනිසුන් අතරම මිය යන්නට තමන්ට ඇති කැමැත්ත ප්‍රකාශ කළෝය. 1968 අන්තර් ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රථම සිංහල සභාපති ධුරයට පත් වීමේ ගෞරවය ද යු. බී. වන්නිනායක මැතිඳුට හිමි වෙයි.

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි