රත්මලාන කඳවලවත්ත වලව්ව ගැනත් එහි විරාජමාන වූ කොතලාවල ප‍්‍රභූ පරපුර ගැනත් අනන්තවත් කතා අප අසා ඇත. සුවිශේෂ බලතල සහිත පොලිස් සාජන්ට් මේජර් ජෝන් කොතලාවල මැතිඳුන්ගේ රාජකාරි ජීවිතයේ හැල හැප්පීම් සහ හපන්කම් පිළිබඳව පොත පතින් මෙන්ම නෙයිනගෙ සූදුව නම් නාට්‍යයෙන් ද විරිදු හා කවි පන්තීන්ගෙන් ද දැක අසා ඇත්තෙමු.
එතුමාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වූ සර් ජෝන් කොතලාවල වනාහි මෙරටට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබෙන විට රාජ්‍ය පාලන ක්ෂේත‍්‍රයේ වැජඹුණු සුවිශේ්ෂී චරිතයක් වන අතර මන්ත‍්‍රී අමාත්‍ය මෙන්ම විධායක බලතල සහිත අග‍්‍රාමාත්‍ය තනතුරේ ද වැජඹුණේය. එතුමා ගැන කටවහරින් එන හාස්‍යජනක හා ගාම්භීර සංසිද්ධීන් රාශියකි.
ශ්‍රී ලංකා ගුවන් විදුලිය ආරම්භ වූ 1923 වකවානුවේ එහි ප‍්‍රචාරක කටයුතු පෞද්ගලික සමාගමකට භාරදීමට රජය අකැමැති විය. එය පැවරුණේ සර් ජෝන් කොතලාවල අමාත්‍ය ධුරය දැරූ තැපැල් හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුවටය.
1925 දෙසැම්බර් මස 16 වැනිදා එවකට ලංකාණ්ඩුකාර ධුරය ඉසිලූ සර් හියු ක්ලිෆඞ් අතින් නිල වශයෙන් විවෘත වූ ගුවන් විදුලියේ පළමු දහම් දෙසුම 1928.04.21 දින බම්බලපිටිය වජිරාරාමාධිපති පැළෑනේ සිරි වජිරඥාන නායක හිමියන් විසින් දේශනා කරන ලදී.
උන්වහන්සේ පුරා පැයක් සජීවීව මයික‍්‍රෆෝනය ඉදිරියේ සිටගෙන දෙසුම් පැවැත්වූ අතර ඉන් පැහැදුණු අය අතර එවකට මංමාවත් හා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ කර්නල් ජේ. එල්. කොතලාවල මැතිඳු ද විය. එතුමාගේ පළමු නියෝගය වූයේ උන්වහන්සේට පන්සලේ තම කුටියේම හිඳ දහම් දෙසීමට හැකි වන යන්ත්‍රෝපකරණ පිළියෙල කිරීමයි.
එසේම මසකට බණ වාර දෙකක් දේශනා කිරීමට කටයුතු යෙ¥ණි. සියලූ සංස්කරණ බලතල තැපැල්පතිට පැවරිණි.
මේ කාලයේ ඉන්දියාවේ ප‍්‍රසිද්ධ දේශකයකු වූ සිරිනිවාස ශාස්ත‍්‍රීතුමා ලංකාවට පැමිණියේය. ඔහු කොළඹ කි‍්‍රිස්තියානි සංගම් ශාලාවේ සිට දෙසුමක් පැවැත්වීය. විකාශන කාලය විනාඩි 30ක් වුවත් දෙසුම විනාඩි 47 ද ඉක්මවීය. ප‍්‍රධාන ඉංජිනේරුවා කළේ එම දේශනය අතරමඟදී වේලාවට නවත්වා ග‍්‍රැමෆෝන් තැටි වාදනය කිරීමයි.
මෙම සිද්ධියට දොස් පවරා ඇමැතිට පැමිණිලි කරන ලදී. ඇමැති කොතලාවල ගත්තේ ගුවන් විදුලියේ පැත්තයි.
උදේ වැඩසටහන් සේරම නවත්වලා මේ දේශනාව ප‍්‍රචාරය කළ එක හොඳයි. දේශකතුමන් හොඳ උගතෙක්නේ. හැබැයි ඒක නිසා වැඩසටහන් පිළිවෙළ අවුල් වුණා. ඒ වෙනුවට ග‍්‍රැමෆෝන් සින්දු අහන්නත් වුණා. ගුවන් විදුලිය ජනප‍්‍රිය වේගෙන එන මොහොතක මෙහෙම වෙච්ච එක කනගාටුයි. එහෙම බලන කොට මෙම දේශනයට ඉඩ නොදුන්නානම් වඩාත් හොඳයි.
මෙය ඇසූ තැපැල්පති මෙසේ නියෝග කළේය.
”මින් පසු සීමාසහිත කාලය තුළ පැවැත්විය නොහැකි කතා ප‍්‍රචාරය සපුරා තහනම් කරමි!”
1939 දෙසැම්බර් 01 වැනිදා පස්වරු 9.15ට සිංහල ගීත ගායනයක් ගුවන් විදුලියෙන් විකාශ විය. එය ගැයුවේ 77 දී රාජ්‍ය අමාත්‍ය ධුරය දැරූ ආනන්ද තිස්ස ද අල්විස් මහතා තරුණ වියේදීය.
1937 දී අලූත් ප‍්‍රචාරක මැදිරි සංකීර්ණය අමාත්‍ය කොතලාවල අතින් විවෘත විය.
”අද මං ඔබට කතා කරන්නේ ටොරින්ටන් චතුරශ‍්‍රයේ ඉදි කළ අලූත් මැදිරියේ සිටයි. එසේම කිලෝ වොට් පහේ අලූත් ට‍්‍රාන්ස් මීටරය ඔස්සේයි. මේ දෙකම මුලින්ම පාවිච්චි කිරීමේ භාග්‍යය මට ලැබීම ගැන ඉතා සන්තෝෂයි.”
1939 ලංකාණ්ඩුකාර ශ්‍රීමත් ඇන්ඩෘ කොල්ඩිකොට්ගේ ප‍්‍රධානත්වයෙන් රාජකීය විද්‍යාලීය ශාලාවේදී අපරදිග සංගීත ප‍්‍රසංගයක් පළමු වරට පැවැත්වූ අතර එහි මුලසුන ජනනායක ශ්‍රීමත් ඞී. බී. ජයතිලක ඉසිලීය.
1944 දී ගුවන් විදුලි ශිල්පීන්ගේ සංගමය පිහිටු වූ අතර එහි අනුශාසක වුයේද කොතලාවල මැතිඳුන්. සභාපති වූයේ මුදලිඳු ඊ. ඒ. අබේසේකර මහතාය.
අභාවයට යන ජන ගී හා ජන කථා තැටිගත කර සංරක්ෂණය සඳහාත් කොතලාවල යුගයේදී පියවර වැදගත්ය. මේ සඳහා රට වටා විසිරී සිටි දේශපාලනඥයන්ගේ සහය ද ලබා ගන්නා ලදී.
1948 මාර්තුවේ දෙනියාය පැවති ජන ගී තැටි ගත කිරීම මන්ත‍්‍රී ධුරය දැරූ ඞී. ජී. ඩබ්. රත්නායක මහතා තම ගෙවත්තේම ඉඩදුන්නේය. හොරොව්පොතානේ උසාවි භූමියේ මෙම වැඩසටහන පැවැත්වූයේ මන්ත‍්‍රී පොහොලියද්ද දිසාවේගේ අනුග‍්‍රහයෙනි. තමාට තරුණ කාලයේ මෙම වැඩසටහනට ගී ගැයීමට නොහැකි වූ බව කියමින් වයෝවෘද්ධ ගායකයෝ හඬා වැලපුනහ.
නිදහස් ලංකාවේ ප‍්‍රථම අගමැති වූ ඞී. ඇස්. සේනානායක මැතිඳුන් පැරණි මහියංගණ වෙහෙර ප‍්‍රතිසංස්කරණ උත්සවයට ගියදා රාත‍්‍රී මහ පෙරහර පැවැත්විණ. එදිනම රැුයේ පෙරහරට පැමිණි වැදි ජනතාවගේ හා වැදි බස පටිගත කෙරිණි.
ශ‍්‍රාවස්තියට ගෙන එනු ලැබූ පාරම්පරික ජන ගී හා ජන ගායනා ශිල්පීන් ලවා නුවර කලාවියේ ගැයුම් පටිගත කර ගත් අතර ඔවුන්ට දහසින් බැඳි පියලි පිරිනැමුණේ ඞී. එස්. අගමැතිඳුන් හා සභානායක එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිඳුන්ගේ ස්වකැමැත්තෙනි.
බදුල්ලේ දී සිදු වූ අපුරු සිද්ධියක් වන්නේ ඒ වන විට කාලයක් රිමාන්ඞ් භාරයේ සිට නිදහස ලැබූ වැදි නායක ඌරු වරිගයේ තිසාහාමි ලවා ජන ගී තැටිගත කිරීමය. තැටි ගත කළ තම කටහඬ ඇසු තිසාහාමි එය තමන් ගැයූ ගී ලෙස කිසිසේත් විශ්වාස නොකළේය. කිසිවෙකු යන්ත‍්‍රය තුළ සැඟවී සිට එම ගී නැවත ගායනා කර ඇතැයි ඔහු දොස් පැවරීය.
යන්ත‍්‍රය වටා කැරකෙමින් එය දැඩිව පරීක්ෂා කර බැලීය.
1936 අගෝස්තු 02 වැනිදා ආනන්ද විදුහලේ සිංහල ශිල්පීන්ගේ ප‍්‍රසංගයක් පටිගත කෙරිණ. ප‍්‍රසංගයේ ප‍්‍රධාන අමුත්තා වූයේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ සභා නායක ස්වදේශ කටයුතු භාර ඇමැති සර් බාරොන් ජයතිලකයෝය.
ප‍්‍රසිද්ධ කිවිඳියක වූ සිරිමතී පෙරේරා විසින් සිරි අයියා ලියූ (යු. ඒ. එස්. පෙරේරා කවියා* විරුදු පෙළක් මෙසේ ගැයුවාය.
‘උගත්කමක් සමත් කමක් පාලනයෙන් තුනම රැුඳුණ මහත්මයා ඞී. බී. ජයතිලක දරයි අද මුලසුන නළල් තලේ සරසවි සහ සුරගුරු නම් ලද ජෝඩුව අවුල් වෙලා ඇති මුහුණට රැුවුල නැති එකයි පාඩුව’
කොතලාවල පාලන යුගයේදී එනම් 1941 වනවිට ගුවන් විදුලි බලපත‍්‍ර ගණන දස දහස ඉක්මවන තරම් ජනප‍්‍රිය විය. ඒ නිමිත්තෙන් පෙබරවාරි 13 වැනිදා කඳවලවත්ත වලව් භූමියේදී අලංකාර කලා උළෙලක් පවත්වන ලෙස සර් ජෝන් කොතලාවල ඇමැතිතුමා බලධාරීන් දැනුම්වත් කළේය.
ලක් ඉතිහාසයේ සුවිශේෂම ප‍්‍රසංගයක් වූ එහිදී පෙරදිග භාෂා සියල්ලෙන්ම පාහේ ගැයූ ගී ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය කෙරිණ. දෙස් විදෙස් ප‍්‍රභූවරුන්ට නිලධාරීන්ට මෙන්ම ශිල්පීන්ට ද එක ලෙස ආහාරපාන හා ත්‍යාගවලින් පුදන ලදී.
කඳවල වලව්වේ ජෝන් කොතලාවල අගමැතිතුමාගේ ප‍්‍රිය සාදයකදී එක්තරා චීන ජාතික කතක් ආකර්ෂණීය රොක් ඇන්ඞ් රෝල් රංගනයක් රඟපෑවාය. සර් ජෝන් කොතරම් ඊට බැඳී ගියා ද යත් එම සංගීත ප‍්‍රසංගයෙහි සිටි දේශීය ශිල්පීන්ට අභියෝගයක් කළේය.
”අන්න බලාපල්ලා සින්දු කිය කියා රෙඟ්ට
නටන හැටි උඹල කාටවත් පුළුවන් ද යකෝ
එහෙම එකක් කරන්න අම්මපා කවුරු හරි
එහෙම කළොත් ඉල්ලන ඕනෑම දෙයක් අරන්
දෙන්න මං ලෑස්තියි.”
ප‍්‍රවීණ ශිල්පීන් එකිනෙකාගේ මුහුණ බලා ගත්තා මිස අගමැති ඉදිරියේ නැටීමට ඉදිරිපත් නොවූහ. එහෙත් ශිල්පී සී. එල්. ෆොන්සේකාගේ සහයට ගිය දඟකාර කොලූ ගැටයෙක් අතක් එසවිය. මට පුළුවන් සෑර්. ඔහුගේ උනන්දුව දුටු සර් ජෝන් ඉඩ දුන්නේය. ”බාර් බාර් බාර් බාර් එකෙන් බීලා” නම් විකට ගීය නටමින් ගැයූ ඔහු ගැන පැහැදුණු සර් ජෝන් ගැටවරයාට ගුවන් විදුලියේ රස්සාවක් ලබා දුන්නේය. ඔහු කිසිවෙකුත් නොව ප‍්‍රවීණ ශිල්පී ප්‍රෙඞී සිල්වාය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි