බණ්ඩාරනායක ඝාතනයේ
යට ගිය කතා-5
“මේ අමරසිංහ, තමුසේ මොකකටවත් බයවෙන්න එපා. කරන්න තියෙන හැම දෙයක්ම මම කරලයි තියෙන්නේ. ඕනෑ වුණොත් ප්‍රිම් කවුන්සලයටත් ඇපිල් කරනවා” යයි බුද්ධ රක්ඛිත හිමි අමරසිංහට අවධාරණය කර සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් අමරසිංහ සියල්ල හෙළිදරව් කරනු ඇතැයි බුද්ධ රක්ඛිත හිමි මුල සිටම සැක පහළ කළහ.
“අනේ මාව ගෙදරට ඇරලවන්නැයි” අමරසිංහ ආයාචනය කළේය. පැය භාගයකට පමණ පසු ජයවර්ධන මෝටර් රථයෙන් පැමිණ අමරසිංහ නංවාගෙන ගොස් කැලණි පාලම අසලදී රථයෙන් බස්සවා යන්නට ගියේය. අමරසිංහ බස් රථයක නැගී සිය නිවසට ගියේය.
ඔක්තෝබර් මස 14 වැනි දින අමරසිංහ අත්අඩංගුවට ගන්නා ලදී. ප්‍රථමයෙන් කොටුවේ රහස් පොලිස් කාර්යාලයට රැගෙන යන ලදුව අනතුරුව වරාය පොලිසියට යවන ලදී. ඒ වන විට බුද්ධ රක්ඛිත හිමි සහ ජයවර්ධන ද අත්අඩංගුවට ගෙන වරාය පොලිසියේ සිර මැදිරිවල රඳවා සිටියහ. අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අමරසිංහ රිමාන්ඞ් බන්ධනාගාරයට රැගෙන යන ලදී. පසුව වැලිකඩ මැගසින් බන්ධනාගාරයට යවන ලදී.
1961 ජනවාරි මස 30 වැනි දින “බණ්ඩාරනායක ඝාතන නඩුව” ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණේය. ඒ රාජ නීතිඥ ටී. එස්. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා ඉදිරියේදීය. එදින විත්ති පාර්ශ්වයේ නීතිඥයෙකු වූ නීතිඥ ටී. එස්. පී. සේනානායක මහතාගේ විශේෂ ඉල්ලීමක් මත නඩු විභාගය පෙබරවාරි මස 06 වන දිනට කල් තබන ලදී.
පෙබරවාරි මස 6 වැනි දින උදෑසන 11ට අධිකරණය රැස්විය. එදින ජූරි සභාව තෝරා ගත් අතර, හතරවැනි විත්තිකාර තල්දූවේ සෝමරාරාම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලූෂන් ජී. විරමන්ත්‍රී මහතා සමහර සාක්කි ඉදිරිපත් කිරීම ගැන මූලික විරෝධතා දැක්වීය. එබැවින් එම නීති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට ජූරි සභාවක් නොමැතිව දින පහක් ගත විය. එම ප්‍රශ්න නිරාකරණය කරගත් පසු ජූරි සභිකයකු සම්බන්ධව රාජ නීතිඥ ජෝර්ජ් ඊ. චිට්ටි මහතා විරෝධයක් පළ කළේය.
පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන වැටුප් හෝ දීමනා ලබන කිසිවකුටත් ජූරි සභිකයකු වශයෙන් කටයුතු කළ නොහැකි බව අපරාධ නඩු විධාන පනතේ 255 වන ඡේදය යටතේ :ණ* උප වගන්තියෙහි දක්වා තිබෙන බවත්, මෙම ජූරි සභාවේ සභිකයකු ලෙස තෝරාගෙන සිටින ඇම්. කේ. එල්. වී. පීරිස් මහතා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරුවකු වන බවත් චිට්ටි මහතා පෙන්වා දුන්නේය. ඒ සම්බන්ධව විනිශ්චයකාරතුමා පීරිස් මහතාගෙන් විමසන ලද අතර, තමන් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරු බව පීරිස් මහතා පිළිගත් බැවින්, එදින ජූරි සභාව විසුරුවා හැර නඩු විභාගය පෙබරවාරි මස 22 වන දින තෙක් කල් තබන ලදී.
පෙබරවාරි මස 22 වැනි දින උදෑසන 11ට රාජ නීතිඥ ටී. එස්. ප්‍රනාන්දු විනිශ්චයකාරතුමා ඉදිරිපිට නඩු විභාගය ආරම්භ විය. කුසපත් ඇදීමෙන් ජූරි සභිකයන් හත් දෙනකු තෝරා ගැනීම පළමුව සිදු විය.
මෙම නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය වශයෙන් නීතිපතිතුමා වෙනුවෙන් රාජ නීතිඥ ජෝර්ජ් එඞ්මන්ඞ් චිට්ටි මහතා පෙනී සිටි අතර, ඔහුගේ සහයට රජයේ නීතිඥවරු වශයෙන් නීතිඥ ආනන්ද පෙරෙයිරා, ඇල්. බී. ටී. ප්‍රේමරත්න, වී. එස්. ඒ. පුල්ලෙනායගම් සහ ආර්. රාජසිංහම් යන මහත්වරු පෙනී සිටියහ.
විත්ති පාර්ශ්වයේ නීතිඥයන් වශයෙන් බි්‍රතාන්‍යයේ ප්‍රසිද්ධ නීතිඥයකු වූ රාජ නීතිඥ පිනියාස් ක්වාස් මහතා, ඊ. ඒ. පී. ද සිල්වා, එස්. සුන්දරලිංගම් සහ කිත්සිරි ජයසිංහ යන නීතිඥ මහතුන්ගේ උපදෙස් පිට නඩුවේ පළමුවැනි සහ දෙවැනි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියේය. එනම් පළමුවැනි විත්තිකරු මාපිටිගම බුද්ධරක්ඛිත සහ දෙවැනි විත්තිකරු හේමචන්ද්‍ර පියසේන ජයවර්ධන යන අය වෙනුවෙනි.
තුන්වැනි විත්තිකරු වන පළිහක්කාරගේ අනුර ද සිල්වා වෙනුවෙන් යූ. සී. බී. රත්නායක, ජීප්ටි හෂීම්, කේ. රත්නෙසාර් සහ කේ. පී. ජේ. ද සිල්වා යන නීතිඥ මහතුන්ගේ උපදෙස් පරිදි කේ. ෂින්යා නීතිඥ මහතා පෙනී සිටියේය.
ඇනස්ලි පෙරේරා, ආර්. එල්. ජයසූරිය සහ ඇම්. බී. ජයසේකර යන නීතිඥවරුන්ගේ සහ අර්ඞ්ලි ගුණසේකර නීතිඥ මහතාගේ උපදෙස් පිට ලූෂන් ජී. වීරමන්ත්‍රී නීතිඥ මහතා හතරවැනි විත්තිකරු වූ තල්දූවේ සෝමාරාම වෙනුවෙන් පෙනී සිටියේය.
පස්වැනි විත්තිකරු වූ වීරසිංහ ආරච්චිගේ නිව්ටන් පෙරේරා වෙනුවෙන් ඒ. මහේෂන්, එන්. සබ්චිතනාත සිවම් සහ එස්. ජී. විජේසේකර යන නීතිඥ මහතුන්ගේ උපදෙස් පිට නීතිඥ එන්. සත්යේන්ද්‍ර මහතා පෙනී සිටියේය.
ජූරි සභාව තෝරා ගැනීමෙන් අනතුරුව පැමිණිල්ලේ දේශනය ඉදිරිපත් කරමින් රාජ නීතිඥ ජෝර්ජ්. ඊ. චිට්ටි මහතා පුරා පැය තුනක් ජූරි සභාව අමතා කතා කළේය. චිට්ටි මහතා කතා කරමින් බණ්ඩාරනායක මහතා බලයට පත්වූ ආකාරයත්, එම කර්තව්‍යයට දායක වූ පුද්ගලයන් සහ සංවිධාන ගැන හැඳින්වීමක් සිදු කළේය. විත්තිකරුවන් බණ්ඩාරනායක මහතාගේ රජයෙන් අපේක්ෂා කළ විවිධාකාර වාසි පිළිබඳවත්, එම අපේක්ෂාවන් එකින් එක බිඳවැටෙන විට බණ්ඩාරනායක අගමැතිවරයා සමග වෛර බැඳගත් අන්දමත්, අනතුරුව හොඳින් හෝ නරකින් අගමැතිවරයා බලයෙන් පහකර දැමීමට ගත් ප්‍රයත්නයක්ද, අනතුරුව අගමැතිවරයා ඝාතනය කර දැමීම සඳහා ඒකරාශි වී සිදු කළ කුමන්ත්‍රණය පිළිබඳවත් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
මතු සම්බන්ධයි.
ප්‍රේමලාල් රණවිළ