දේශපාලන සටන් බිමේදී මෙන්ම දේශපාලන වේදිකාව තුළ වාග් චාතුර්යෙන් අනූන දක්‍ෂ කථිකයාට ජනතා ආකර්ෂනය ඇතිවීම ස්වභාවිකය. ලංකා දේශපාලන ඉතිහාසය තුළ 1960 දශකයේ ඉතාම චතුර කථිකත්වයකට උරුමකම් කියූ තරුණ භික්‍ෂුවක් යටිදැරියේ වජිර බුද්ධි නමින් ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වූහ.
සංචාරක ව්‍යාපාරයට පෙර හික්කඩුව ප්‍රසිද්ධ වූයේ හික්කඩුවේ සුමංගල ශ්‍රී නාමය හේතුවෙනි. බළපිටියේ මොහොට්ටිවත්ත වාදීහසිංහ ගුණානන්ද මාහිමියන්ගේ යශෝරාවයෙන් ලෝක පූජිත වූයේ ඓතිහාසික පානදුරා වාදයත් සමගිනි.
මේ අයුරින් සබරගමු පළාතේ යටිදැරිය නම් තේ කඳුයායකින් පිරි සුන්දර ගම්මානය එක්තරා යුගයකදී ප්‍රසිද්ධ වූයේ යටිදැරියේ වජිර බුද්ධි හිමියන්ගෙන් යැයි කිවහොත් එය නිවැරැදිය.
යටිදැරිය පොල්වත්තේ ගෙදර විසූ පැල්පිට ගමරාළලාගේ පුංචි බණ්ඩා සහ රංමැණිකේ යන දම්පතින්ගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රරත්නය ලෙස 1939 දෙසැම්බර් 8 වැනි දින විජේසේන යන නමින් වජිර පැල්පිට උපත ලබා ඇත.
උඩුවේ සද්ධානන්ද විදුහලින් මූලික අධ්‍යාපනය ලැබූ විජේසේන ලදරුවා ස්වකීය ඥාතිවරයකු වූ එළගල්ලේ ගුණානන්ද හිමියන් කෙරෙහි ඇති වූ පැහැදීම හා ගෞරවය පැවිදිවීමට තරම් දුරදිග ගියේය. එකොළොස් හැවිරිදි වියේ පසු වූ විජේසේන ඒ අනුව අළුත්ගම ඓතිහාසික කන්දේ විහාරයේ වැඩවිසූ පොතුවිල සරණතිස්ස මාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උතුම් පැවිදි දිවියට ඇතුළත් වූයේ යටිදැරියේ වජිර බුද්ධි නමිනි.
කළුතර වලගෙදර ශ්‍රී නිවාස පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලැබූ වජිර බුද්ධි හිමියන් උසස් අධ්‍යාපනය ලැබුවේ හොරණ විද්‍යාරත්න විද්‍යාතනයෙනි.
වයස අවුරුදු 16 දී ලංකා සමසමාජ පක්‍ෂයෙන් වාමාංශික දේශපාලනයට නැඹුරු වූ වජිර හිමියන් ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ කථාවක් ඇසීමට කාටත් හොරා පිරිවෙණේ පංතිවලට පවා නොගොස් හොරණ නගරයට පැමිණි බව පසුකාලීනව මා සමඟ පැවසූ අයුරු මා මතකයේ ඇත. ඔහුගේ ශිෂ්‍ය ජීවිතය තුළ කොයිතරම් දුරට දේශපාලන “උණ” වැළදී තිබුණා ද යන්න මේ සිදුවීම තුළින් මනාව පැහැදිලි වේ.
වජිර පැල්පිට නම් සුන්දර මිනිසාගේ අතීත මතක සටහන් අවදි කිරීමේදී ඔහුගේ කල්‍යාණ මිත්‍ර අපවත් වී වදාළ කලාශූරී මාපලගම විපුලසාර හිමියන් අපවත් වීමට පෙර වජිර පැල්පිටයන් පිළිබඳව පැවසූ වදන් මේ ලිපියට වැදගත් යැයි මම විශ්වාස කරමි. ඒ අනුව උන්වහන්සේ ඒ අතීත තොරතුරු පැවසුවේ මේ අයුරිනි.
“අලුත්ගම කන්දේ විහාරයට අයිති කොළඹ මරදානේ පිහිටි ආවාසයක නැවතී මගේ කලා කටයුතු වල නියැළුණා. එකල කන්දේ විහාරයේ හාමුදුරුවරු සතියකට වරක් දෙවරක් මේ ආවාසයට පැමිණීම සිරිතක් වුණා. 1952 දී පමණ මේ හාමුදුරුවන් සමග පැමිණෙන කුඩා කොලුගැටයෙකු සිටියා මට යාන්තම් මතකයි.
මීට කලකට පසුව දිනක මගේ කුළුපග මිතුරෙකු වූ පසුව විද්‍යාලංකාර පරිවෙණාධිපතිව වැඩවිසූ නාත්තන්ඩියේ පක්‍ද්ක්‍දසාර හිමියන් මුණ ගැසුන වෙලාවක යටිදැරියේ වජිර බුද්ධි නම් තරුණ භික්‍ෂුවක් දැනට දේශපාලන කරළියේ මතු වී ඇති බවත් උන්වහන්සේ ඉතාම ආකර්ෂනීය ව්‍යක්ත කථිකයෙකු බවත් පවසා එවකට උන්වහන්සේගේ නායකත්වයෙන් අරඹා තිබූ එක්සත් භික්‍ෂු මණ්ඩලයට මේ හාමුදුරුවෝ සම්බන්ධ කරගතහොත් බොහෝ වැඩ කළ හැකි බවත් පැවසුවා. උන්වහන්සේගේ පන්සල කොහේදැයි මම ඇහුවා.
පන්සල නම් කොහේ දැයි නොදන්නා බවත් එහෙත් දැනට පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙණේ ඉගෙනුම ලබන බවත් පැවසූ උන්වහන්සේ තමන් වහන්සේ ගොස් මේ පොඩි හාමුදුරුවන් හමුවන බව ද මා සමග පැවසූහ.
සාමාන්‍යයෙන් පක්‍ෂ දේශපාලනයට සම්බන්ධ කෙනෙකු නොවුණ මා මේ කාලයේදී විශේෂ හේතු කීපයක් නිසා 1965 මැතිවරණයේදී එවකට පැවැති සමගි පෙරමුණට කොටගම වාචිස්සර, බඹරැන්දේ සිරිසීවලී හිමි වැනි අතිපූජ්‍ය මිත්‍රයින් පිරිසක් හා ඒ වකවානුවේ එම ක්‍රියාවලියෙහි නිරත වුණා.
වජිර බුද්ධි පොඩි හාමුදුරුවන්ගේ වේදිකා කථාවක් මුලින්ම ඇසුදා මම මවිත වුණා.
ඉතාම තරුණ භික්‍ෂුවක වූ උන්වහන්සේගේ වාග් විලාසයත්, චාග් චාතුර්යයත් කථාවේ ඇති හරවත් බවත්, සටන්කාමී බවත්, හාස්‍ය උපදවන ආකාරයත් මේ හැම එකක්ම අතිශයින්ම ආකර්ෂනීයයි.
පුරා පැයකට අධික කාලයක් තම දේශනය කළ තරුණ හාමුදුරුවෝ අභිමානවත් ලෙස සිය අසුන වෙත පැමිණ හිඳගත්තා.
එසේම ඉතා නිහතමානීව වේදිකාවේ වැඩසිටි භික්‍ෂූන් වහන්සේ වෙතට හැරී හිස පහත් කළා.
ඔබ වහන්සේගේ කථාව ගින්දර වගේ යැයි මම කිව්වා. හාමුදුරුවන්ට මාව අඳුනන්න බැහැ නේ දැයි උන්වහන්සේ මගෙන් ඇහුවා. කොහේද පන්සල? යැයි මම ඇසුවාම “හාමුදුරුවනේ මම කන්දේ විහාරයේ. ඉස්සර හාමුදුරුවෝ අපේ ආවාසයේ වැඩ ඉන්න කාලයේ මම අපේ හාමුදුරුවොත් එක්ක එහේ එනවා. එතකොට මහණ වෙලා නැහැ.” උන්වහන්සේ කිව්වා. එවිට මට මගේ කුටියට වී චිත්‍ර මූර්ති අඳින දෙස බලා සිටින කොලුගැටයා මට මතක් වුණා.
ඒ අවුරුදු දහයකට පමණ පෙරය. 1965 මැතිවරණයේදී මසක පමණ සුළු කාලයක් තුළ යටිදැරියේ වජිර බුද්ධි යන නම ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ප්‍රසිද්ධ විය.
65 මැතිවරණය අවසානයේදී වජිරබුද්ධි හිමියන්ට රත්මලානේ අපේ පරම ධම්ම චේතිය පිරිවනේ නැවතී සිය සමාජ දේශපාලන කටයුතු කරගෙන යන්නැයි මම කිව්වා. රත්මලානට පැමිණ ටික දිනකින් නාත්තන්ඩියේ පක්‍ද්ක්‍දසාර නාහිමියෝත්, මැදගොඩ සුමනතිස්ස නාහිමියෝත් සාකච්ඡා කර වැඩිපුර අධ්‍යාපනය සඳහා උන්වහන්සේ ඉන්දියාවට යැව්වා. එහිදී බරණැස සංස්කෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වූ උන්වහන්සේ වසරකට ලැබෙන දීර්ඝ නිවාඩුව ගත කළේ රත්මලාන පිරිවෙනේය. 1970 මහ මැතිවරණයෙන් පසුව යළිත් ඉන්දියාවට ගිය වජිර බුද්ධි පොඩි හාමුදුරුවෝ ආපසු ශ්‍රී ලංකාවට ආවේ සිය අධ්‍යාපන කටයුතු පමණක් නොව භික්‍ෂූ ජීවිතය ද අවසන් කරමින්.
වජිර බුද්ධි පොඩි හාමුදුරුවෝ උපැවිදි නොවුණා නම් මා කැමැතියි. භික්‍ෂුවක් සේම සිටියා නම් උන්වහන්සේ අදවන විට ජාත්‍යන්තර කීර්තියට පත් කථිකයෙකු ලේඛකයෙකු කවියෙකු වෙනවාමයි. ඔහු ජන්මයෙන් ලබා තිබූ ඔහුගේ අයස්කාන්ත රූපය ඔහුට ඒ සඳහා ඉඩ නොදෙන බව මම හොඳින් තේරුම් ගෙන සිටියා. ඔහු ගිහියෙකු කිරීමට ඔහුගේ නිර්මල අවංකභාවයත් හේතු විණි යැයි මම හිතනවා.
බස්නාහිර පළාතේ ඇමැතිවරයෙකු ලෙස දිවුරුම්දී මුලින්ම පැමිණියේ මා හමුවන්න. එදා මගේ ප්‍රීතිය උතුරා ගිය දිනයකි. අප කීපදෙනෙකු එකතු වී ගොඩනැගූ මිනිසා අද බස්නාහිර පළාතේ ඇමතිවරයෙකුව සිටියි. මම පිරිත් නූලක් ඔහුගේ සුරතේ බැඳ ආශිර්වාද කළේ ඉතසිතින්.”
මාපලගම විපුලසාර හිමියන් වජිර පැල්පිටයන් පිළිබඳ අතීත කථාව ගෙනහැර පෑවේ එලෙසය. වජිර පැල්පිට යනු අපට වඩා වයසින් හා දැනුමෙන් මුහුකුරා ගිය අයෙකි. පෙළ හා සකු බසෙහි පමණක් නොව කාව්‍යකරණයේ ද උපන් හපන්කම් තිබූ සෞන්දර්යකාමියෙකි.
ඔහු වයසින් වියපත් වුවද හදවතින් තරුණයෙක් විය. ඔහුගේ ජීවිතයේ අතීත රස මුසු තැන් විවෘතව පැවසීමට කිසි දිනෙක ඔහු බිය වූයේ නැත. අවංකකමත් විවෘතබවත් ඔහුගේ ජීවිතයේ කැඩපත විය. අවසන් වශයෙන් වජිර පැල්පිට නම් දයාබර පියා සිය පුතු චතුරට ලියූ කවි කිහිපයකින් මේ ලිපිය අවසන් කළ යුතු යැයි මට හැඟිණි. ඒ කවි මෙලෙසය.
ගෙවන තත්පරයම
වැඩක් ඇති ලෙස ගෙවුනම්
එය ගෙවු මිනිහම
දෙවිවරුන්ගේ ලබයි නැමදුම
සිප්සතර තැන්නම්
මොකටද පුතේ වත්කම්
උගත් කම නැත්නම්
ගැහැනියක් මෙනි නොදන් ගෙත්තම්
මහින්ද ආරියවංශ