චන්ද්‍රිකා කතා කරයි දූෂණයට එරෙහි නොනිමි සටන



දූ ෂණ විෂය සම්බන්ධයෙන් මට ඉතා පැහැදිලි චින්තාවන් තිබිණි. එසේම මම දැඩි උද්වේගයකින් යුතුව වංක බව පිළිකුල් කළ අතරම තවමත් ඒ පිළිකුලින් පසුවෙන්නෙමි. සැමවිටම මට වුවමනා වූයේ මා සේවය කළ සෑම තැනකදීම දූෂණය පිටුදැකීමටය.


වංකභාවය සහ දූෂණය කෙරේ මා තුළ වන මේ ගැඹුරු පිළිකුල මට උරුම වූයේ කොතනින්දැයි මම ඇතැම් විටක මගෙන්ම ප්‍රශ්න කළෙමි. එය මට උරුම වන්නට ඇත්තේ නිවසෙහිදී මා ලද ශික්ෂණය සහ පාසලේදී ලද අධ්‍යාපනය තුළින් යයි මම විශ්වාස කරමි. අප අවංක විය යුතු යයි කවරම අවස්ථාවක හෝ මගේ දෙමව්පියන් විශේෂයෙන් මට පවසනු හෝ අවංකත්වයෙහි ඇති සදාචාරවත් බව යනාදිය ගැන අපට පවසනු මගේ මතකයෙහි නැත. කෙසේවතුදු අපි, මගේ දෙමව්පියන් සිය ජීවිතය පුරා පවත්වාගත් වටිනාකම් අවශෝෂණය කරගතිමු.


මගේ පිය පාර්ශ්වයෙහි සීයාගෙන් උරුම වූ රිදී භාණ්ඩ කිහිපයක් දෙස බලමින් මගේ මව හමුවීම පිණිස ඇගේ නිවෙසට මගේ සහෝදරිය සහ ඇගේ සැමියා සමගින් අසූව දශකයෙහි මැද භාගයෙහි ගිය අවස්ථාවක් මගේ මතකයෙහි රැඳී තිබේ. ඒ රිදී භාණ්ඩ අලෙවි කිරීමට සැරසෙන විටක මෙන් මගේ මව ඒ එක් එක් භාණ්ඩයෙහි වටිනාකම ගැන සාකච්ඡා කරමින් පසුවූවාය. පවුලේ මේ උරුමයන් අලෙවි කිරීමට ඇය කැමතිවීම පිළිබඳව විමතියට පත් මම ඇයට එසේ කිරීමට වුවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි. එවිට ඇය මට පැහැදිලි කර සිටියා විශේෂයකදී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියෙහි ශල්‍යකර්මයක් සඳහා වන වියදම් පියවා ගැනීමට තමාට මුදල් අවශ්‍යව ඇති බව.
මේ වනාහී සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍යව ඇති රුපියල් ලක්ෂ කිහිපයක් තමන් සතුව නැති, පුරා වසර දොළහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තියයි. එසේම මේ වනාහි තමන් හට තම පවුලෙන් උරුමව පැවති ඉඩම් අක්කර දහස් ගණනක් තමන්ගේම අභිමතය පරිදි ස්ථාපිත කරන ලද නීතියක් යටතේ රජයට සහ මේ රටෙහි ජනතාවට සේවය කිරීමේ අරමුණින් අත්හළ තැනැත්තියයි.


ඇයගේ මූල්‍ය තත්ත්වය දැකීමෙන් මම මහත් කම්පනයට පත්විමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව මහත්සේ අභිමානයට පත්වීමි.


මගේ පියා අග්‍රාමාත්‍ය ධුරය දැරූ සමයෙහි, එනම් මගේ පැටි වියෙහිදී මගේ සහෝදරිය, සහෝදරයා සහ මට සතියක කාලයක් සඳහා වියදම් කාසි ලෙස දෙන ලද්දේ උපරිම වශයෙන් එක් අයකුට රුපියල් තුනයි ශත පණහක් බැගින් වන මුදලකි. අපේ කියවීමට පොත් මිලට ගැනීමට, සිනමා පට නැරඹීමට සහ ළමා වියෙහි අනෙක් ක්‍රියාකාරකම් සඳහා අප මේ මුදල් වියදම් කළ යුතු විය. ඊට වඩා අපට මුදල් ලැබුණේද නැත. එසේම අපේ මව වසරකට උත්සව පිණිස අඳිනා අලු‍ත් ඇඳුම් කට්ටල දෙකකට සහ සාමාන්‍ය පාවිච්චිය පිණිස වන ඇඳුම් කට්ටල දෙකකට වඩා අපට දුන්නේ නැත.


ඉදින් ස්වභාවයෙන්ම අපි ආදර්ශය සහ භාවිතාව තුළින් සරල බව සහ නිහතමානීත්වයෙහි වැදගත්කම උගන්තෙමු.


ආණ්ඩු බලය උසුලද්දී මගේ දෙමව්පියන් සිය දරුවන් තිදෙනාටම භාවිත කිරීමට අවසර දුන්නේ එක් නිල වාහනයක් පමණි. මගේ සහෝදරිය එක් නිල වාහනයක නැගී නිවෙසින් බැහැර ගිය එක් අවස්ථාවක මගේ මිතුරියන් හමුවීම පිණිස යාමට තවත් වාහනයක් මවිසින් ඉල්ලා සිටින ලද අවස්ථාවක් මගේ මතකයෙහි රැඳී තිබේ. එසේ පිටත ගොස් නැවත පැමිණෙන විට අරලියගහ මන්දිරයෙහි මගේ මව කෝපයෙන් පසුවනු මම දුටිමි. ඇය මගෙන් මෙසේ විමසා සිටියාය. “ආණ්ඩුවේ වාහන ඉල්ලගෙන මේ විදියට ඒවා පාවිච්චි කරන්න ඔයා තමුන් කවුරු කියලද හිතන්නෙ?


මේ සිදුවීම මගේ දිවියෙහි නොමැකෙන සලකුණක් ඉතිරි කළේය. විධායක ජනාධිපතිවරිය ලෙස ධුරය දරූ සමයෙහි මම ඒ වසර එකොළහක කාලය පුරා මගේ දරුවන් දෙදෙනාටම එක් රජයේ වාහනයක් පමණක් භාවිත කිරීමට අවසර දෙමින් තදින්ම මේ ආදර්ශය අනුගමනය කළෙමි.


තමන් පසුවූ තත්ත්වය කවරක් වුවද ඒ සෑම අවස්ථාවකදීම මගේ මව සහ පියා මූල්‍යමය කරුණු සම්බන්ධයෙන් ඉතා දැඩි අවංකත්වයකින් කටයුතු කළෝය. ඔවුහු තම දිවිය ගෙවුවේ උරුම වශයෙන් ලැබුණ දේවල් ඒවා වඩාත්ම අවශ්‍ය යයි ඔවුන් සිතූ අයට පරිත්‍යාග කරමිනි. පසුකාලීනව අපට ඉන් කවරාකාරයේ ආර්ථික අපහසුතාවන් ඇතිවිය හැකිව තිබුණද ඔවහු එසේ කළෝය.


ඉදින් අපට හිමි නැති දෙයක් කොල්ලකෑම කවර හේතුවක් නිසාවත් පිළිගත නොහැකි දෙයක් බව, ජනතාවට සලසන සේවය උදෙසා අනීතික ලෙස කිසිවක් ලබාගැනීමට අප සිහිනෙනුදු කල්පනා කළ නොහැකි බව අප වටා සිදුවූ දේවල් නිරීක්ෂණය කරමින් සහ අත්දකිමින් වසර ගණනාවක් තිස්සේම සුනේත්‍රා, අනුර සහ මම උගත්තෙමු. ඊට මුළුමනින්ම පටහැණිව ජනතාවට, විශේෂයෙන්ම අපට වඩා අඩු වරප්‍රසාදිත තත්ත්වයක පසුවන්නන් හට සේවය කිරීම උදෙසා අපට ශුද්ධවූ වගකීමක් ඇති බවට හැඟීමක් අපේ මානසික සහ අධ්‍යාත්මික ලෝකය තුළ පැලපැදියම් විය.

 

 

 

අවංක පාලනය


අතීතාවලෝකනයෙහි යෙදෙන විට පෙනෙනුයේ මගේ හැදියාව ජීවිතයෙහි පසු කාලයෙහි මා හට පවරන ලද්දා වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට සුවිශිෂ්ට, විධිමත් පුහුණුවක් මා හට ලබා දුන් බවයි. ඒ අනුව පළමුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවෙහි සහකාර අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ ලෙසද අනතුරුව කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ජනාවාස කොමිසමෙහි සභාපති ලෙසද ඉන්පසු බස්නාහිර පළාත් සභාවෙහි ප්‍රධාන අමාත්‍යවරිය ලෙස සහ ඉන්පසුව අග්‍රාමාත්‍යවරිය සහ අවසන රටෙහි ජනාධිපතිවරිය ලෙස ප්‍රසිද්ධ ජීවිතයට අවතීර්ණ වීමෙන් පසුව නෛතික හෝ නිල වශයෙන් මට හිමි නොවන්නාවූ කවර මූල්‍ය සහ භෞතික වාසියක් ඉල්ලා සිටීමට හෝ භාරගැනීමට අභිප්‍රායක් මසිතෙහි දල්වාලීමට කිසිවකට හෝ හැකිවූයේ නැත.


මගේ සමීප කවයන් තුළට කෙසේ හෝ ඇතුළුවීමට සමත් වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනකු ටෙන්ඩරයක් තීරණය කිරීම පිණිස මා අල්ලසක් ලබාගත යුතු යයි යෝජනා කළ අවස්ථාවේදී මා භීතියෙන් ඇකිළී ගිය ආකාරය මට මතකය. ඇතැම් ඥාතීන් හරහා මා හට තමා හඳුන්වාදීමට සමත්වූද, මගේ රජයෙහි සාමාජිකයෙකුගේ සමීපතම ඥාතියකු වූද, වර්තමාන රජයෙහි නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස සිටින්නාවූද, ඉන් එක් අයෙක් තමන් නියෝජනය කරනා සමාගම වෙත ටෙන්ඩර් ප්‍රදානය කරන ලෙස ටෙන්ඩර් මණ්ඩලයන්ට උපදෙස් දෙන මෙන් අඛණ්ඩව මට කරදර කිරීමට පුරුදුව සිටියේය. ඉදින් මා ඔහුගේ ඉල්ලීම පිළිකෙව් කළේ නම් හෙතෙම පැහැදිලිවම ඉන් නොරිස්සුමට පත්වූවේය. එක් දිනෙක ඔහු ජයවර්ධන රජය සමයේ පටන් ශ්‍රී ලංකා රජයට අත්‍යවශ්‍ය ආහාර වර්ගයක් සැපයීමෙහි නිරතව සිටි විදෙස් ව්‍යාපාරිකයෙකු කැටුව මා හමුවීම පිණිස පැමිණියේය. ඉහත සඳහන් ආහාර වර්ගය රජයට සපයන ලද සෑම අවස්ථාවකදීම අදාළ ගනුදෙනුවට සම්බන්ධ වූ විශේෂිත පුද්ගලයා හට කිසියම් කොමිස් මුදලක් ගෙවනු ලබන ආකාරයෙන් තීන්දු කරන ලද මේ විශේෂිත ටෙන්ඩරය පිළිබඳව ඒ වන විට මට දූෂමාන ආරංචි ලැබී තිබිණි. මා රටෙහි ජනාධිපතිවරිය ලෙස තෝරා පත් කරගන්නා ලද අවස්ථාවේදී මම මුදල් අමාත්‍ය ධුරයෙහිද වැඩ භාර ගතිමි. ඉඩ ලද පළමු අවස්ථාවේදීම මුදල් අමාත්‍යාංශය කරා ගිය මම අදාළ ලිපි ගොනුව ඉල්ලා සිටියෙමි. අදාළ ගනුදෙනුවට සම්බන්ධව සිටි අමාත්‍යාංශ නිලධාරියා අදාළ ලිපිගොනුව කොහි තිබෙන්නේදැයි තමන් නොදන්නා බව පවසා සිටියේය. ඉදින් තව හෝරාවක් ගතවීමට මත්තෙන් අදාළ ලිපිගොනුව මගේ මේසය මත තිබෙනු දැකීමට මට අවශ්‍ය බව මම ඒ නිලධාරියා හට දැන්වීමි. ප්‍රාතිහාර්යයක් මෙන් එවිට නැතිවූ ලිපිගොනු සොයා ගන්නා ලද අතර දෙන ලද කාලය තුළ එය මගේ මේසය මත තිබෙනු දක්නට ලැබිණි. ඒ අනුව අදාළ ටෙන්ඩරය පිරිනමන ලද ආකාරය සහ කිසියම් අක්‍රමිකතාවක් සිදුව ඇතිදැයි අධ්‍යයනය කරනු පිණිස විධිමත් ලෙස විමර්ශන කමිටුවක් පත් කරනු ලැබිණි. යම් යෙහකින් දූෂණයක් පිළිබඳව අනාවරණය වුවහොත් ගනුදෙනුව අවලංගු කර ඊට වගකිවයුත්තන්ට දඬුවම් කෙරෙනු ඇත්තේය.

 

 


කෙසේ වෙතත් විමර්ශන කමිටුව පත්කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුව ප්‍රශ්නකාරී ව්‍යාපාරිකයා එකී මෙහෙයුමට සහභාගි වූ විදෙස් ව්‍යාපාරිකයාද කැටුව කිසිදු දැනුම්දීමකින් තොරව පාර්ලිමේන්තුවෙහි මගේ කාමරයට පැමිණියේය. කල් තබා වේලාවක් වෙන්කර ගැනීමකින් තොරව එසේ මෙහි පැමිණීමට තරම් ඔවුන් තුළ වූ අවිනීත බව පිළිබඳව මම දැඩි විමතියක් පළ කර සිටියෙමි. ඒ සම්බන්ධයෙන් මේ මහත්වරුන් දෙදෙනා විසින් මට ප්‍රතිචාර දක්වන ලද්දේ ඇමරිකානු ඩොලර් මිලියන පහක් ඇතැයි කියමින් පාර්සලයක් මගේ මේසය මත තබමිනි. මට එවේලේ දැනුණේ මගේ කොඳුඇටපෙළ දිගේ විදුලි සැරයක් වැනි යමක් ඇදී යන සෙයකි. මා පොලිසිය මෙහි කැඳවනු දැකීමට අවැසි නොවන්නේ නම් තම මුදල් පාර්සලයද රැගෙන වහාම මගේ කාර්යාලයෙන් පිටව යන්නැයි ඔවුන්ට පැවසීමට පෙර මම මොහොතක් ගොළුව ගියෙමි.


මා ඔවුන් පොලිසියට භාර නොදුන්නේ ඇයිදැයි මම ම​ගෙන්ම විමසා ඇත්තෙමි. සමහර විට ඒ අවධියේ ඊට බලපෑ ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සහ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයකු අතර පැවති සමීප ඥාති සබඳතාව සහ අපට බලයට පත් විගසම මගේ රජය අපකීර්තියට පත්වනු දැකීම මට ඇවැසි නොවීම විය හැකිය. කෙසේ වෙතත් ඉන් වසරකට පසුව මා ජනාධිපතිවරිය ලෙස වැඩ භාරගැනීමෙන් අනතුරුව උක්ත මහතා හට නැවත කිසි දිනෙක හෝ මගේ කාර්යාලයේ හෝ නිවසේ පස් නොපාගන මෙන් දැනුම් දීමට මට සිදුවිණි. එසේම ඔහුට ජනාධිපති පරිශ්‍රයට ඇතුළුවීමට කිසි විටෙකත් අවසර නොදෙන මෙන් මම මගේ ආරක්ෂකයින්ට උපදෙස් ලබා දුනිමි.


මගේ ක්‍රියාවන් පිළිබඳව කයිවාරු ගැසීමේ පුරුද්දක් මට නැති නමුදු කෙසේ හෝ මේ කතාව පැතිර ගිය අතර ටෙන්ඩර් සහ එවැනි අන් දෑ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් මට හිරිහැර කිරීමට කල්පනා කළ කොමිස් නියෝජිතයන් අධෛර්යමත් කරන වාසිදායක බලපෑමක් ඉන් ජනිත විය.


ජනාධිපතිවරිය ලෙස මගේ පළමු ධුර කාලය දිග හැරෙද්දී දූෂණය පාලනය කිරීමට සහ මුලිනුපුටා දැමීමට හුදෙක් රජයේ පාර්ශ්වයෙන් වන අවංකත්වය සහ පාරදෘෂ්‍යභාවය පමණක් නොසෑහෙන බව මම වහා අවබෝධ කරගතිමි. රජයේ අනෙක් අයට ආදර්ශයක් සැපයීම තීරණාත්මක අවශ්‍යතාවක් වුවද මෙහිදී තවත් ප්‍රධාන අතිරේක ක්‍රියාමාර්ග දෙකක් ගැනීම අවශ්‍යව තිබිණි. පළමුවෙන්ම දූෂණ සිදු කිරීමට ඇති ඉඩ වළක්වන්නා වූ සහ එවන් දෑ සම්බන්ධයෙන් දඬුවම් පමුණුවන්නා වූ නීති සහ රෙගුලාසිවලින් සමන්විත රාමුවක් අවශ්‍යව තිබිණි.


දෙවනුව රජය දූෂණ වැළැක්වීමට සහ එවන් දෑ සඳහා වන මං අහුරා දැමීමට පරිපාටි මෙන්ම ආයතනයන් සහ පද්ධති නිර්මාණ කළ යුතු වූවේය.

 


අල්ලස් සහ දූෂණ කොමිසම


ඉදින් රජය භාර ගැනීමෙන් මාස කිහිපයකට පසුව මෙම ගැටලු දෙකට පිළියම් ලෙස අපි නව ශක්තියක් සහ අධිකාරිත්වයකින් යුත් අල්ලස් සහ දූෂණ කොමිසමක් පිහිටුවන අතරේ දූෂණයට එරෙහි නීති කිහිපයක්ද හඳුන්වා දුන්නෙමු.


පවත්නා ටෙන්ඩර් පරිපාටි සහ පද්ධති පිළිබඳව අධ්‍යයනය කිරීමට පුද්ගලිකව මැදිහත් වුණ මට ඒවා අතිශය වියවුල් සහගත සහ අපැහැදිලිතාවන්ගෙන් යුක්ත බවක් නියමිත ක්‍රියාවලිය අනිසි ලෙස පාලනය කිරීමට ඉන් ඉඩ සැලසෙන බවත් දක්නට ලැබිණි. එහෙයින් මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයකුට ටෙන්ඩර් පරිපාටි සම්බන්ධයෙන් ලියවිල්ලක් සකස් කිරීමේ කාර්යය පවරනු ලැබිණි. මෙය වසරක කාලයක් තුළ සම්පූර්ණ කරන ලද අතර අමාත්‍ය මණ්ඩලය විසින්ද අනුමත කරනු ලැබිණි. මින් මතු සෑම ටෙන්ඩරයක් සම්බන්ධයෙන්ම උක්ත නියමයන් පිළිපැදිය යුතු බවට වන උපදෙස්ද සමගින් ඉන්පසුව එය ජනාධිපතිවරිය විසින් සියලුම අමාත්‍යාංශවලට යවනු ලැබිණි. මෙකී දෙයාකාර ප්‍රවේශයන් හරහා ව්‍යවස්ථාදායකය මෙන්ම නිලධාරී මට්ටමින්ද දූෂණයට එරෙහිව කටයුතු කිරීම මගින් අපට දූෂණය සැලකිය යුතු මට්ටමකින් පහත හෙළීමට හැකියාව ලැබිණි.


දූෂණයට එරෙහිව කටයුතු කිරීමේදී මම පුද්ගලිකවම එහි මූලිකත්වය ගත්තෙමි. එසේම එහිදී මම ජනාධිපතිවරිය ලෙස මා සතු සියලු බලතල යහපාලනය තහවුරු කිරීම උදෙසා භාවිතා කිරීමට ප්‍රයත්න දැරීම, උදාහරණයක් වශයෙන් කියන්නේ නම් ටෙන්ඩර් මණ්ඩල සඳහා සාමාජිකයන් පත්කිරීම පිණිස වූ සාමාන්‍ය ක්‍රමවේදය වූයේ ජනාධිපතිවරයා විසින් ජ්‍යෙෂඨ නිලධාරින්ගෙන් සමන්විත සංචිතයකින් අදාළ පුද්ගලයන් නම් කරනු ලැබීමයි. එහිදී මම ටෙන්ඩර් මණ්ඩලයන්, විශේෂයෙන්ම විශාල පරිමාණයේ කොන්ත්‍රාත් සඳහා වන ටෙන්ඩර් මණ්ඩලයන්, දූෂණයෙන් තොර යැයි පිළිගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත වන බවට පුද්ගලිකවම වගබලාගතිමි.


කෙසේ වෙතත් මෙවන් පූර්වාරක්ෂක විධිවිධානයන් මගින් අනවරත සමාලෝචනයක් සඳහා වන අවශ්‍යතාව පහකර හැරියේ නැත. යම් ටෙන්ඩර් මණ්ඩලයකට අයුතු බලපෑම් සිදුවන්නේ යයි කවර හෝ අවස්ථාවක මට දැන ගැනීමට ලැබුණේ නම් මම වහාම අදාළ ලිපිගොනු ඉල්ලා සිටියෙමි. එසේම ඇතැම් අවස්ථාවලදී රාත්‍රියෙහි බොහෝ වේලා ගතවන තුරු පවා මම ඒවා අධ්‍යයනය කළෙමි. ක්‍රියාවලිය තුළ අක්‍රමිකතා සිදුවන්නේ යයි මට පෙනී ගිය හෙයින් ඒ වන විට කටයුතු සිදුවෙමින් පැවති ටෙන්ඩරයන් අවලංගු කිරීමට මට සිදුවූ බොහෝ අවස්ථා තිබිණි. අක්‍රමිකතාවන් පිළිබඳ පැහැදිලි සාක්ෂි තිබූ හෙයින් එසේ එක්තරා අවස්ථාවක දුම්රිය පීලි මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවති ටෙන්ඩර් මණ්ඩලයක මුලසුන ඉසිලූ එක් භාණ්ඩාගාර ලේකම්වරයකුට ධුරයෙන් ඉල්ලා අස්වන මෙන් දැන්වීමට මට සිදුවිණි.


එසේ අමාත්‍යවරුන් හෝ නිලධාරීන් දූෂිත ක්‍රියාවන් හි නියැළෙන විට රටේ ජනතාව තමන්ට විශ්වාසය රැඳවිය හැකි සහ එවන් දෑ ගැන පැවසිය හැකි එක් පුද්ගලයකු රජය තුළ සිටින බව ඉතා ඉක්මනින් දැන ගැනීමට පටන් ගත්තෝය.


වසර කිහිපයකට පසුව ටෙන්ඩර් පරිපාටියෙහි සමබරතාව පවත්වා ගැනීම සහ ඒ ගැන පරීක්ෂාකාරී වීම පිණිස වන එකම මූලාශ්‍රය ජනාධිපතිවරිය විසින් කරනු ලබනා අධීක්ෂණය නොවිය යුතු බව අපි වටහා ගනිමු. ලිපි ලේඛනයන් සහ ලිපිගොනු පරීක්ෂා කරමින් ගෙවෙන දීර්ඝ රාත්‍රීන් වෙහෙසකර වූ සේම තනි පුද්ගලයකුට කළ නොහැකි තරම් කාර්යභාරයක් එහි තිබිණි. එහෙයින් අපි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් තිදෙනෙකුගේ නායකත්වය යටතේ ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතනය ඇමතිය හැකිවිය. එවිට ජාතික ප්‍රසම්පාදන කරනු ඇත්තේය. කාර්යක්ෂම පාලනයක් අනිවාර්යයෙන්ම වැදගත් පරිචයන් සංස්ථාගත කළ යුතුය. මගේ පාලන සමය තුළ ජාතික ප්‍රසම්පාදන නියෝජිතායතනය යහපාලනයෙහි වැදගත් මෙවලමක් බවට පත්වනු ඇත්තේය.

 

 


රාජ්‍ය ව්‍යවසායකත්ව ප්‍රතිසංස්කරණ කොමිසම


දූෂණයන් සඳහා අවකාශ ඇති සහ ප්‍රතිසංස්කරණයන් ඇවැසිව තිබූ එකම ක්ෂේත්‍රය වූයේ ටෙන්ඩරයක්ම පමණක් නොවේ. රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පැවති ආයතන පෞද්ගලිකකරණය කිරීම ගැන අධ්‍යයනය කිරීමට සහ පෙර පැවති රජය මගින් ව්‍යවසායකයකත්වයන් 39 ක් දූෂිත සහ ආකර්යක්ෂම ආකාරයෙන් පෞද්ගලීකරණය කිරීම පිළිබඳව පරීක්ෂා කිරීමට මම මුදල් අමාත්‍යාංශය යටතේ කමිටුවක් පත් කළෙමි. එහිදී අපට අක්‍රමිකතාවන් ඉතා විශාල සංඛ්‍යාවක් සොයාගත හැකි වූ අතරම පෞද්ගලීකරණයේදී අනුගමනය කරන ලද අයහපත් ක්‍රියාමාර්ගයන් ගැන මෙන්ම තමන්ට භාරදෙනු ලබන ව්‍යවසායකත්වයන් කළමනාකරණය සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් හෝ දක්ෂතාවක් නොමැති බව නොයෙක් විට පෙනුණු සිය හෙංචයියන්ට ව්‍යවසායකයන් භාර දෙන ලද අවස්ථා ගැනද දැනගැනීමට ලැබිණි. අප රාජ්‍ය බලය ලබා ගැනීමට පෙර වසර කිහිපයක් තුළ විශාල පාඩු ලැබීමෙන් අනතුරුව මෙවන් ව්‍යවසායකත්වයන් බොහෝ සංඛ්‍යාවක් වසා දමනු ලැබිණි. මේ අවබෝධය සහිතව සිටි මම රජය මගින් කරනු ලබන පෞද්ගලීකරණය නියාමනය කිරීමට සහ දූෂණය ක්‍රියාවන් මැඩලීමට අදිටන් කරගතිමි.


මෙකී වෙනසෙහි ප්‍රමුඛ පියවර වූයේ රාජ්‍ය ව්‍යවසායකත්ව ප්‍රතිසංස්කරණ කොමිසමයි. අප විසින් මෙය ස්ථාපිත කරන ලද්දේ දූෂණය මුලිනුපුටා දැමීම සහ රජය වඩා කාර්යක්ෂම බවට පත්කිරීම අරමුණු කර ගනිමිනි. එහි මූලික කාර්යය වූයේ පෞද්ගලිකකරණය උදෙසා වන ප්‍රතිපත්ති පද්ධති සහ පරිපාටි සම්පාදනය කරමින් සහ පෞද්ගලිකකරණ ක්‍රියාවලි ක්‍රියාත්මක කරමින් රාජ්‍ය ව්‍යවසායකත්වයන් පෞද්ගලීකරණය කිරීම පිළිබඳ සියලු අවස්ථා නියාමනය කිරීමයි. මෙහිදී ලෝක බැංකුව සහ තවත් ජාත්‍යන්තර ආයතන කිහිපයක් මුදල් අමාත්‍යාංශයේ අධිකාරිත්වය යටතට ගනු ලැබූ මේ රාජ්‍ය ව්‍යවසායකත්ව ප්‍රතිසංස්කරණ කොමිසම ස්ථාපිත කිරීමේ ලා අප හට සහය දැක්වූවෝය.


ආර්ථිකය සම්බන්ධයෙන් මගේ රජයේ ප්‍රතිපත්තිය වූයේ මානුෂික මුහුණුවරකින් යුත් ධනවාදය යන්නයි.


රාජ්‍ය හිමිකාරිත්වය යටතේ පැවති ව්‍යවසායකයන් පෞද්ගලීකරණය විශාලම වශයෙන් සිදුවූයේ මගේ රජය යටතෙහිය. එහිදී ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ජාතික රක්ෂණ සංස්ථාව, කොළඹ වරායෙන් කොටසක් ඇතැම් විදුලිබල උත්පාදන ව්‍යාපෘති සහ තවත් සුළු පරිමාණ ව්‍යවසායකත්වයන් පෞද්ගලිකකරණය කරනු ලැබිණි.
එහිදී අප විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය වූයේ කොටස් හිමිකමින් වැඩි කොටස රජය යටතේ තබා ගනිමින් සියයට සියයක්ම කළමනාකාරිත්ව හිමිකමද සහිතව හිමිකාරිත්වයෙන් සියයට හතළිහක් පුද්ගලික අංශ්‍යට ලබා දීමයි. මෙසේ ව්‍යවසායකත්ව කළමනාකරණය සම්බන්ධයෙන් විශිෂ්ට වාර්තාවන් සහිත ඉහළම මට්ටමේ විදෙස් සමාගම් වෙත අදාළ ව්‍යවසායකත්වයන්ගේ කළමනාකාරීත්වය පවරන අතර සියලු තීරණ සම්බන්ධයෙන් අවසන් අධිකාරිත්වය රජය සතු කරගනු ලැබිණි. ලාභ ලැබිය යුතු ව්‍යවසායකත්වයන් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමේ ලා රාජ්‍ය සේවකයන් අසමත් බව අත්දැකීම් මගින් පැහැදිලිව තිබුණෙන් මම මේ ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළෙමි.


ව්‍යවසායකත්වයන්ගේ කොටස් අලෙවියේදී අපට ඉහළ මුදලක් ලැබිය යුතු බව අවධාරණය කරමින් ජාත්‍යන්තර වශයෙන් විසල් මට්ටමේ ආයතනයන් හට ටෙන්ඩර් ක්‍රියාවලිය සඳහා ඇරයුම් කරනු ලබන බවට අපි වගබලා ගතිමු. එහිදී අපි ඒ අවධියෙහි ලොව විශාලතම විදුලි සංදේශ සමාගම එනම් ජපානයේ එන්ටීටී ආයතනය සමග ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සඳහා රාජ්‍ය/පුද්ගලික හවුල් සමාගමක් පිහිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම කළමනාකරණය කරනු පිණිස රජය සහ ලොව විශාලතම සහ ඉහළම කළමනාකරණයෙන් යුත් ගුවන් සමාගමක් වන එමිරේට්ස් එයාර්වේස් සමාගම සමග හවුල් සමාගමක් පිහිටුවීමට නිදහසින් පසු පළමු වරට කෙරෙන කොළඹ වරායෙහි සංවර්ධන කටයුතු සඳහා එක්සත් රාජධානියෙහි සහ ඕස්ටේ්‍රලියාවෙහි පී ඇන්ඞ් ඕ සමාගම සම්බන්ධ කරගැනීමට සමත්වීමු. එසේම විවිධ විදුලිබල ව්‍යාපෘති සඳහා රජය සමග ප්‍රධාන යුරෝපියානු සමාගම් කිහිපයක්ම හවුල්කරගනු ලැබිණි.


රාජ්‍ය ව්‍යවසායකත්ව ප්‍රතිසංස්කරණ කොමිසම මගින් පාරදෘෂ්‍ය ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සහ එහි කාර්යයන්ගේ සාර්ථකත්වය පිළිබඳ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල වැනි ජාත්‍යන්තර ආයතන සහ ප්‍රදායක රටවල් වෙතින් අපට බොහෝ ඇගයුම් හිමිවිණි. අතීතයේ පෞද්ගලීකරණය සම්බන්ධයෙන් දරන ලද ප්‍රයත්නයට පටහැණිව අපේ අර්ධ පුද්ගලීකරණ ව්‍යවසායකත්වයන් එහි ආරම්භ වර්ෂයේ පටන්ම ඉදිරියට විසල් ලාභ උපයමින් ක්‍රියාත්මක වීම පිළිබඳව අපට ඇත්තේ අභිමානවත් වාර්තාවකි.

 

 


කාර්යක්ෂම පාලනය


“යහපාලනය” යන සංකල්පයට ඇතුළත් වනුයේ අවංක පාලනය පමණක්ම නොවේ. ඊට රජයෙහි කාර්යක්ෂමතාවද ඇතුළත් වේ. ජනතාව උදෙසා වන ස්වකීය වගකීම ඉටුකිරීමෙහිලා රජයකට මේ සංකල්පයන් දෙකම අවශ්‍ය වේ. මගේ පාලන කාලසීමාවන් දෙකෙහිදීම අපි රජයේ වැදගත් මෙහෙයුම් කාර්යක්ෂම සහ ඵලදායී ලෙස පවත්වා ගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක්ම ගත්තෙමු. මේ කාරණයෙහිදී සුපැහැදිලි දැක්මක් සහ ප්‍රතිපත්ති ඇවැසි විණි. ඉන්පසුව ඒවා ක්‍රියාත්මක කළ හැකි ක්‍රියාකාරී සැලසුම් බවට පරිවර්තනය කිරීමට සිදුවිණි. රජයේ වෙනස් සහ විෂම පාර්ශ්වයන් කාර්යක්ෂම සහ වගකීම් සහගතව කටයුතු කරන බවට වගබලා ගැනීම සඳහා ස්ථිරසාර ක්‍රියාමාර්ගයක් අත්‍යවශ්‍යව තිබිණි. ජනාධිපති ධුරයෙහි වැඩ භාරගැනීමෙන් සති කිහිපයක් තුළ මම සෑම අමාත්‍යාංශයක් සහ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලසුමක් නිර්මාණය කිරීම පිණිස නව පද්ධතියක් සම්පාදනය කළෙමි. ක්‍රම සම්පාදන අමාත්‍යාංශයෙහි නිලධාරීන් සමග පුද්ගලිකවම වැඩ කළ මම සංවර්ධන කාර්යයන් සැලසුම් කිරීමේදී අමාත්‍යංශ විසින් භාවිතා කරනු ලැබිය යුතු ආකෘති සම්පාදනය කළෙමි. එහිදී සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම වැඩ අයිතමයන්ට බෙදන ලද අතර එකී එක් එක් අයිතමයට කාර්යයන් ඇරඹීමට සහ සම්පූර්ණ කිරීමට ඉලක්කගත දිනයන් නියම කරනු ලැබිණි.


ඉන්පසුව මම මසකට වරක් මේ අමාත්‍යාංශ සමගින් පුද්ගලිකවම සම්බන්ධ වීමි. අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්, සෑම දෙපාර්තමේන්තුවකම ප්‍රධානියා සහ අනෙක් අදාළ නිලධාරීන් සමග එක්ව ක්‍රියාකාරී සැලසුම අනුව ප්‍රගතිය සමාලෝචනය කළෙමි. එහිදී පැනනැගුණ ගැටළු සහ බාධාවලට විසඳුම්ද සම්පාදනය කෙරිණි. දවසෙහි වැඩපිළිවෙළ වූයේ විස්තීර්ණ සහ නිදහස් සාකච්ඡාවන්ය.


මම අප රජයේ ප්‍රථම දෙවසර තුළ මාසිකව මේ අමාත්‍යාංශ වැඩ සමාලෝචනය අඛණ්ඩව පවත්වාගෙන ගියෙමි. අමාත්‍යවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හට තනිවම මේ සමාලෝචන පවත්වාගෙන යා හැකි යයි පෙනුණු අවස්ථාවේ පටන් මා මේ මාසික සමාලෝචන රැස්වීම්වලට සහභාගි වූයේ වසරකට දෙවරක් පමණි. මේ වැඩපිළිවෙළට අකැමැත්ත දැක්වූවේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක් පමණි. ඔවුහු මගේ මාසික සමාලෝචන රැස්වීමට නොපැමිණ සිටීමට හේතු ගොතා ඉදිරිපත් කළෝය. නීති මගින් වගකීමට බැඳීමට අකැමැත්තක් දැක්වූ ඇතැම් අමාත්‍යවරුන් නොතකා මම අමාත්‍යාංශයේ නිලධාරීන් සමගින් එක්ව සංවර්ධන කටයුතු සිදු කෙරෙන බවට වගබලා ගතිමි.


එසේම මම සාර්ථක ව්‍යාපෘති සම්බන්ධයෙන් වන ගෞරවය ලබාගන්නට අමාත්‍යවරුන්ට ඉඩ හැරියෙමි. අනෙක් ඇතැම් ජනාධිපතිවරුන් මෙන් නොව මම ප්‍රසිද්ධිය අපේක්ෂා නොකළෙමි. එසේම කරන ලද යහපත් කාර්යයන්හි සියලු ගෞරව බදා ගන්නට ආශා නොකළෙමි. මගේ උනන්දුව පැවතියේ සංවර්ධන කාර්යයන් සඵලදායී ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න ගැන පමණි. ස්වයං ප්‍රචාරණය යනු මා තදින්ම පිළිකුල් කළ දෙයකි.


මගේ අවසන් ධුර කාලයෙහි අවසානය ළඟා වෙමින් පැවතියද ඒ නොතකා මට වුවමනා වූයේ දූෂණයට එරෙහි සටන උදෙසා කල්පවත්නා ක්‍රියාමාර්ගයක් සහ සඵලදායී පරිපාලනයක් ස්ථාපිත කිරීමටය. මගේ රජයෙහි අවසන් දෙවසරක කාලය තුළ අපි සංවර්ධන කාර්යයන් සම්පාදනය සහ සමාලෝචනයට නව ආයතනයන් නිර්මාණය කිරීම මගින් තව දුරටත් රජයේ පරිචයන් ක්‍රමවත් කළෙමු.