ඩී.ඇස්. සේනානායක පාලන යුගයේදී කෘෂි කාර්මික නවෝදයක් ඇති කර, සහලින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික කර්තව්‍යයට සමගාමීව වැව් බැඳි රටේ මහ මූකලන් එළි පෙහෙළි කර, රටේ නානා පෙදෙස්වලින් ගොවීන් අලුතින් පදිංචි කරවීමෙහිලා දූරදර්ශී වැඩ පිළිවෙළේ ප්‍රතිඵලයක් වශයෙන් ඇසට පේනතෙක් මානයේ එක යායට නිල්වන් ගොයමින් සාරවත් විය.
රට සහලින් පුරවමින් පෝෂණය වූ ගැමි ගොවි දරුවන් අතර, මෛත්‍රිපාල සිරිසේන ගොවි පුතාද කෙමෙන් කෙමෙන් සමාජයෙන් ඉස්මතුවී දේශපාලන මාවත ඔස්සේ යමින් පන්නරය ලැබ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මුදුන් පෙත්තට අවතීරණ වූයේ මල් සහ ගල් මුල්ද මැදිනි.
පක්‍ෂයක ඉතා බලගතු තනතුරක් වන මහලේකම් පදවිය දක්වා උසස් වූ මෛත්‍රී, එස්.බී. දිසානායක අබිබවා එම තනතුරට පත් වූ නමුත්, නිවී සැනසිල්ලේ එහි කටයුතු කරන්නට වූ තැනේදී, නියම වැඩ කාරයෙකුට එල්ලවන ස්වභාවික විරෝධතාවලටද මුහුණ දීමට සිදුවූයේ අපේක්‍ෂා නොකළ අන්දමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වූ දිනයේ උත්පත්තිය ලැබ, පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා අනපේක්‍ෂිත අන්දමින්, ඝාතනය වීම, යම්තම් මතකයට පමණක් සීමා වන වයසක හිටියත්, ඔහුගේ දර්ශනයට ඇලුම් කළ මෛත්‍රී පසු කලෙක බණ්ඩාරනායක නාමය ඔහුගේ දේශපාලන මන්තරය විය. මේ හේතුව නිසා සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක පාලන කාලය තුළ ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වූ ඔහු, දේශපාලන කරළියේ ඉතා ඉහළින් වැජඹුණු බණ්ඩාරනායක යුවළගේ කනිටු දූ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් තනතුරට පත්වූයේ වාසනාවටම වඩා කාර්යශූරත්වයෙන් පක්ෂය තුළ කැපී පෙනුණු ස්වභාවය නිසාය. අභියෝග කළවුන් ද කැපී යෑමෙනි.
එහෙත් දේශපාලනයට බට පුද්ගලයා හිනිපෙත්ත දක්වාම නැගීමේ තණ්හාව අත්නොහැරීම කෙසේවත් නොවන්නාක් මෙන්ම ඉහළට නැගුණු පුද්ගලයා ද එය සෙලවෙනවා දැක්මට කෙසේවත් නොකැමති වන හෙයින්. එවැනි බාධක ඉවත් කිරීම නිතැතින්ම සිදුවන්නකි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියද පක්‍ෂයේ සෙසු දළ කාරයින්ගේ කියුම් - කෙරුම් මෙන්ම, හැසිරීම් රටාව පිළිබඳවද මහත් විමසිල්ලෙන් පසුවූ අතර, අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යයන් පිළිබඳවත්, ඔහුට ඇලුම් කරන පක්‍ෂයේ ප්‍රබලයන් පිළිබඳවත් ඇස ගසාගෙන සිටියේ. ඔත්තුකාරයින් පවා යොදවමින් බව පැවසේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, පුද්ගලයකුට ජනාධිපතිකම දැරිය හැක්කේ. දෙවාරයක් පමණක් බැවිනුත්, තමාගෙන් පසු ඊළඟ ජනාධිපති වීමේ අනුප්‍රාප්තිකයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් වීම අනුමත නොකිරීම තම දැඩි පිළිවෙත බැවිනුත්, මහත් උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණදුන් ජනාධිපතිනිය අවසාන තීරණයට එළඹියේ තම සොහොයුරා අනුර බණ්ඩාරනායක මහතා ඒ සඳහා නම් කිරීමේ අපේක්‍ෂාවෙනි.
එහෙත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඊට ප්‍රබල අභියෝගයක් වීම හා ඔහුට ඒ සඳහා අනියමින් හෝ සහයෝගය දක්වන ප්‍රබලයන් පිළිබඳව ඇස ගසා ගෙන සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියට පැහැදිලිව පෙනුණේ පක්‍ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා ඔවුන් අතර, ප්‍රබලව නැගී සිටින ආකාරයයි.
මෙම අවදානම මග හැරවීම සඳහා දහ අතේ කල්පනාවේ නිමග්නව සිටි චන්ද්‍රිකා ජනාධිපතිනිය විපක්‍ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා හදිසියේ කැඳවා ගත්තේ, පතරොම ඇතුළු කර කොකා ගැස්සීම පමණක් ඉතුරු කර ගෙනය.
නිල නිවසේ කාමරය වසා ගෙන පැවති සතරකන් මන්ත්‍රණයේ ප්‍රතිඵලය සාර්ථක වූ අතර භාණ්ඩාගාරික මංගල සමරවීර මහතා, පක්‍ෂයේ මහ ලේකම් වශයෙන් පත්කර ගැනීමට හැකිවන අන්දමින් මෛත්‍රීපාල සිරිසේන මහතා එම තනතුරෙන් ඉවත් කොට පාලනය කළ හැකි තැනක රැඳවීම එහි තීරණය විය.
මෙවැනි සිද්ධීන් හමුවේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි කෝපයෙන් පසු වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය, විශේෂයෙන්ම, අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිළිවෙතක් ඔහු අනුගමනය කරන බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට ඇති නිසාය.
ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කිරීමේදී අපේක්ෂක ඉල්ලුම් පත සහතික කළ යුත්තේ පක්‍ෂයේ මහලේකම්වරයා විසින් හෙයින්, එම අපේක්ෂකත්වය මහින්ද රාජපක්ෂ මහතාට නොලැබුණහොත්, වෙනත් අපේක්ෂකයෙකුගේ ඉල්ලුම් පත සහතික කිරීම පිළිබඳ ප්‍රශ්නයක් ඔහුගෙන් ඇති වෙතැයි ඇය අනුමාන කළ හෙයින්ය මෙම පදවි මාරුව කල්තියා ක්‍රියාත්මක කිරීමට කුමන්ත්‍රණය කළේ.
මෙවැනි අර්බුදයක් ඇති නොවන්නට නම්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් ගත යුතුව තිබූ වෙනත් ක්‍රමයක්ද විය. තුන්වැනි වරටත් තරග කළ හැකි අන්දමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තුවට වග කියන විධායක අගමැතිවරයෙකු පත්කර ගැනීමට හැකිවන අන්දමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමය. එසේම තවත් විකල්පයක් ලෙස දැක්විය හැක්කේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනමත විචාරණයකට යෑමය. මේ ක්‍රමවලින් එකක් ක්‍රියාත්මක කිරීමෙන් ජනාධිපතිකමේ ඉදිරියටත් රැඳී සිටීමේ අභිලාෂයක් ඇය තුළ තිබූ බවටද දේශපාලන ආරංචි පැතිර යන්නට විය.
මෙම සැලැස්මයන් තුළින් තම අභිමතාර්ථයන් මල් පල ගන්වා ගැනීමට අපොහොසත් වුවහොත් ඊළඟ විකල්පය ලෙස ඇගේ තෝරා ගැනීම වූයේ, ජනාධිපතිනියට කැමති අයෙකු ඊළඟ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමය.
සන්ධාන රජය තුළ ඒ සඳහා සුදුසුකම් සපුරා ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඔහු ඉදිරිපත් කිරීමට වැඩි මනාපයක් නොදක්වන ඇය, තම සොහොයුරා අනුර බණ්ඩාරනායක මහතා ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කිරීමට ඇති කැමැත්ත මත, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින විසුම්පාය ද අනුරගේ පදිංචියට ලබාදීමට පියවර ගත්තාය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුවේ සභානායක පදවියට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ යුතු බවට යෝජනා කළ නමුත් ජනාධිපති චන්ද්‍රිකා මහත්මිය ඊට විරුද්ධවූවා පමණක් නොව එම තනතුර මංගල සමරවීර මහතාට ලබා දීම වඩාත් සුදුසු බවට තර්ක කළාය.
මහලේකම් මෛත්‍රී සමග චන්ද්‍රිකා ජනාධිපතිනිය විරසකවීමට තවත් එක් හේතුවක් වූයේ, පක්‍ෂ මූලස්ථානයට මුල්ගල් තැබීමේ දිනය, වෙනස් විය යුතු බවට ඇය දැරූ මතයට මෛත්‍රී එකහෙළාම විරුද්ධවීමය.
මෙවැනි සිද්ධීන් හමුවේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව දැඩි කෝපයෙන් පසු වූ චන්ද්‍රිකා ජනාධිපතිනිය, විශේෂයෙන්ම, අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන පිළිවෙතක් ඔහු අනුගමනය කරන බව ඉතාමත්ම පැහැදිලිව පෙනෙන්නට ඇති නිසා, ඔහු මහලේකම් පදවියෙන් ඉවත් කරනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැති බවත්, 1982 ජනාධිපතිවරණයේදී, පක්‍ෂ නායිකා සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වශයෙන්, අනුර බණ්ඩාරනායක මහතා ඉදිරිපත් කිරීමට හැකි හැම උත්සාහයක්ම ගත්තත්, අවසානයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතා ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කිරීමට එවකට මහ ලේකම් රත්නසිරි වික්‍රමනායක මහතා ක්‍රියා කළ අන්දම පිළිබඳවත් උපදේශකයන් විසින් ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට විශේෂඥ උපදෙස් දෙනු ලැබීය.
එහෙත් මේ කිසිවකින් නොසෙල්වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ අවස්ථාවේදී තමා දරමින් සිටි මහලේකම් තනතුර සෙලවෙන්නටද ඉඩ හැරියේ නැත.
එල්.ඩබ්ලිව්. පුෂ්පකුමාර