ඡන්ද කෙරුවාවක රඟ


ගල් ප්‍රහාරයකට ලක්ව අපවත් වූ රම්බඩගල්ලේ උපරතන හිමියෝ ත්‍යාග ප්‍රදානෝත්සවයකදී.

 

මාදම්පේ සුදුවැල්ල ශ්‍රී සමයවර්ධනාරාමාධිපතිව වැඩ විසූ පූජ්‍ය රම්බඩගල්ලේ උපරතන හිමියෝ මීට වසර 23කට පමණ ඉහතදී අපවත්වූයේ දේශපාලන මැර කණ්ඩායමකගේ ගල් ප්‍රහාරයකට ලක්වීම නිසාය. මෙය එකල දේශපාලන කරළිය රත් කළ රටම කම්පාවට පත් වූ සිදුවීමක් බවට පත්වූයේ ධර්මධර සුපේශල ශික්ෂාකාමී බුද්ධ පුත්‍රයකු දේශපාලන මැර කණ්ඩායමකගේ ගොදුරක් බවට පත්ව අපවත්වීම හේතුවෙනි.

 

එවකට විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයකු වන එස්. ඩී. ආර්. ජයරත්න මහතා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් ද සමග පුත්තලම කච්චේරියට ගොස් තිබුණේ 1994 වසරේ පැවති මහ මැතිවරණයට නාමයෝජනා බාරදීමටය.


මේ ගමනට රම්බඩගල්ලේ උපරතන හිමියන් ද ගියේ පිරිත් සජ්ඣායනා කර හිටපු මන්ත්‍රී ජයරත්න මහතාට සෙත් පැතීමේ අරමුණෙනි.


උපරතන හිමියෝ දේශපාලන මැර කණ්ඩායමකගේ ගල් ප්‍රහාරයකට ලක්වූයේ පුත්තලම කච්චේරියට ගොස් ආපසු විහාරස්ථානය කරා වැඩම කරවමින් සිටි අතරවාරයේ ආරච්චිකට්ටුව නගරයේදීය.


ඒ ගැන කියන්න මුලින්ම එක්වූයේ එස්. ඩී. ආර්. ජයරත්න මහතාගේ පුත්‍රයෙක් වන වර්තමානයේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන ප්‍රියංකර ජයරත්න මහතාය.


ඔය කියන සිද්ධිය මට තාමත් හොඳට මතකයි. මගේ පියා වන එස්. ඩී. ආර්. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙන් 1994 මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා හිටියා. නාමයෝජනා බාර දෙන්න තාත්තාත් එක්ක මාදම්පේ ඉඳලා වාහනවලින් අපේ ආධාරකරුවෝ කට්ටියක් පුත්තලම කච්චේරියට ගියා. අතරමගදී අපේ ආධාරකරුවෝ පුත්තලමට යන්න එකතු වුණා. රම්බඩගල්ලේ උපරතන හිමියෝත් මේ ගමන යන්න ආවේ නාමයෝජනා බාර දෙන්න කලින් පිරිත් සජ්ඣායනා කරලා සෙත් පතන්නයි.


නාමයෝජනා බාරදීලා අවසන් වෙලා අපිත් එක්ක ගිය කට්ටිය වාහනවලින් මාදම්පේ බලා ඒමට පිටත් වුණා. තාත්තා වෑන් එකෙන් ගමන් කළේ. තාත්තා ගිය වෑන් එකේ තමා උපරතන හිමියෝත් වැඩම කළේ. හලාවත ආරච්චිකට්ටුව ටවුන් එකේදී අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ පෑමට සිද්ධ වුණා. එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවෝ පිරිසක් එකවරම අපි ගමන් ගත් වාහනවලට දිගට හරහට ගල් මුල් ගහන්න පටන් ගත්තා. මම ගියේ තාත්තාට පස්සෙන් ගිය වාහනයකින්. අපිට කර කියා ගන්න දෙයක් නැතිව ගියා. අපි සියලු දෙනාගේම ජීවිත ලොකු අවදානමක තිබෙන බව තේරුම් ගියා. අපිත් මෙතැනින් බැස්සොත් දෙපාර්ශ්වය අතර ලොකු ගැටුමක් ඇතිවෙන බව තේරුම් ගිය නිසා මම අපේ කට්ටිය සන්සුන් කරන්න ලොකු උත්සාහයක් ගත්තා. මේ අවස්ථාවේ තාත්තා ගමන් කළ වෑන් එකේ වැඩම කළ උපරතන හිමියන්ගේ ඔළුවට ගල් පහරක් වැදිලා ලේ ගලමින් සිටියා. උන්වහන්සේට සිහියක් තිබුණේ නැහැ.


සිහිසුන්ව සිටිය උපරතන හිමියන්ට තාත්තා හිටිය වෑන් එකේම හලාවත රෝහලට අරගෙන ගියා. හලාවත රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකර යැව්වා. ඒ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ඉන්නකොට සිද්ධියෙන් මාසයකට විතර පස්සේ තමා අපවත් වුණේ.


එදා ගල් මුල් ප්‍රහාරවලින් අපේ ආධාරකරුවෝ 10 දෙනෙක් විතර තුවාල වුණා. වාහන රැසකටත් හානි සිදුවී තිබුණා. තාත්තාට කිසිම හානියක් සිදු වුණේ නෑ. තාත්තාගේ ඔළුව ළඟින් ගිය ගල් පහරක් තමා උපරතන හිමියන්ගේ හිසට වැදිලා බරපතළ තුවාල සිදුවී තිබුණේ.


මේ සිද්ධිය ගැන පොලිසිය එදා හරියට පරීක්ෂණ කළේ නැහැ. ඒ කොහොම වුණත් මේ සිද්ධියට කෙළින්ම සම්බන්ධ වෙච්ච කිහිප දෙනෙකුටම ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබුණා. මේ සිද්ධියට සම්බන්ධ වෙච්ච ඒ කිහිප දෙනා වරින්වර අකාලයේ මියගියා යැයි ද පාර්ලිමේන්තු මන්ත්‍රී ප÷්‍රියංකර ජයරත්න මහතා කීය.


අපවත්වී වදාළ රම්බඩගල්ලේ උපරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සුදුවැල්ලේ ශ්‍රී සමයවර්ධනාරාම විහාරස්ථාන භූමියේම සිදුකළා. විශාල පිරිසක් උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවයට පැමිණ සිටියා. උපරතන හිමියෝ අන්‍ය ආගමික පූජකවරුන් සමග කිට්ටු ඇසුරක් පැවැත් වූ හිමිනමක්. ආගමික සහජීවනය හා ජාතීන් අතර සමගිය ඇති කිරීමට නිරන්තරයෙන් ඇපකැප වී ක්‍රියා කළා. උන්වහන්සේගේ අපවත්වීම විශාල පාඩුවක්. එය අදටත් දැනෙන දෙයක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


රම්බඩගල්ලේ උපරතන හිමියෝ වැඩම කළ එස්. ඩී. ආර්. ජයරත්න මහතා ද ගමන් කළ වෑන් රථයේ සිටි එස්. එම්. යූ. ධම්මික මහතා සිද්ධිය ගැන සිය මතකය අවදි කරමින් මෙසේ පැවසීය.


“ආරච්චිකට්ටුව ටවුන් එක හරියට එද්දි තමා අපේ වාහනවලට දිගට හරහට පාර දෙපැත්තේ ඉඳලා ගල් ගහන්න පටන් ගත්තේ. මම ගමන් කළේත් ඒ වෑන් එකේ. මැර කණ්ඩායම ගහපු ගල් පහරක් අපේ වෑන් එකේ හිටිය උපරතන හිමියන්ගේ හිසට වැදුණා. ඔළුවෙන් ලේ ගලා යන්න පටන් ගත්තා. උපරතන හිමියන්ගේ සිවුර ලෙයින් තෙත් වුණා.


මම එක පාරටම වෑන් එකේ දොර ඇරගෙන එළියට පැන්නා. මම වාඩිවෙලා හිටියේ වෑන් එකේ පිටුපස අසුනේ. වෑන් එක පදවාගෙන ගියේ ජයරත්න මහත්තයාගේ බෑනා කෙනෙක් වන ප්‍රීති මහත්තයායි. වෑන් එකෙන් එළියට පනිද්දී මාව බිම වැටුණා. මගේ කකුල් දෙක උඩින් වෑන් එකේ පිටුපස රෝදය ගියා. මටත් හොඳටම තුවාල වෙලා හලාවත රෝහලට අරගෙන ගියා. දවස් ගාණක් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත්තා” යැයි ධම්මික මහතා කීය.


රම්බඩගල්ලේ උපරතන හිමියෝ පොදු වැඩ කටයුතුවලදී ඒවාට පෙරමුණ ගනිමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ යතිවරයාණන් වහන්සේ නමක් වූ අතර, සාමාජීය ප්‍රශ්නවලදී ද නිර්භයවම ක්‍රියා කළහ.


ඒවාට ඇති තරම් සාක්කි උන්වහන්සේ ජීවත්ව සිටි කාලවකවානුව තුළ තිබිණි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ එයට විරෝධය පළකිරීම සඳහා උපරතන හිමියෝ මාදම්පේ නව නගරයේ රැස්වීමක් පැවැත්වූහ.


බලපත්‍ර නොමැතිව ශබ්දවාහිනී යන්ත්‍ර පාවිච්චි කළේ යැයි චෝදනා නගමින් උන්වහන්සේව අත්අඩංගුවට ගනු ලැබුවේ මාදම්පේ පොලිසිය මඟිනි.


උපරතන හිමියන් අත්අඩංගුවට ගැනීමේ තැනට වැඩ කටයුතු සලසනු ලැබුවේ එවකට හලාවත ප්‍රදේශයේ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කළ දේශපාලනඥයෙකු හා ඔහු සමීපයේ සිටි කිහිප දෙනෙකි.


හිමිනම අත්අඩංගුවට ගැනීමට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධතාවයක් මතුවී එන්නට පටන් ගත් නිසා උන්වහන්සේ මුදාහැරීමට මුල් වූයේ ද වෙන කවුරුවත් නොව එම දේශපාලනඥයා සහ ඔහුගේ සමීපතම කිහිප දෙනාය. දේශපාලනඥයාගේ කීම අනුව පොලිසිය අත්අඩංගුවට ගත් උපරතන හිමියන්ව මුදාගනු ලැබුවේ ද එකී දේශපාලනඥයාගේ කීම මතය.


පොලිස් බාරයට ගෙන තිබූ ශබ්දවාහිනී යන්ත්‍රය ද අවසානයේ මුදාහැරීමට පොලිසියට සිදුවිය.


මාදම්පේ ඉහළගම බණ්ඩාරනායක නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි මහතා පැවසූ කතාව මෙසේ පෙළගස්වමු.
“මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමේ උත්සවයක් තිබුණා. මේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා. මෙම උත්සවයට වැඩම කර සිටි මහා සංඝරත්නය අතරේ රම්බඩගල්ලේ උපරතන හිමියන් ද වැඩ සිටියා. ජනාධිපතිවරයා කළ කතාවේදී සිංහල ජාතියට යම් හානියක් අගතියක් වූ බව කියමින් උපරතන හිමියන් ඒ අවස්ථාවේ නැගිට උත්සව සභාවෙන් ඉවත්ව ගියා. පසුව මාත් එක්ක මෙසේ නැගිට ඒමට හේතුව උන්වහන්සේ කිව්වා. පිරිසක් උන්වහන්සේ පසුපස ගොස් ආපසු උත්සවය පැවති ස්ථානයට වැඩම කරවාගෙන ඒමට උත්සාහ කළත් වැඩක් වුණේ නැහැ.


මේ ලක්ෂ්මන් මහතාගේ මතකයේ තිබූ තවත් කතාවකි.


මාදම්පේ තිණපිටියේ වැව ළඟ විදේශිකයන් කණ්ඩායමක් චිත්‍රපටියක් රූගත කිරීම් කළා. මේ චිත්‍රපටියේ නිෂ්පාදකයන්ම මීට කලින් බළපිටිය පැත්තේ රූගත කිරීම් කරන්න ගිහින් ඒ පැත්තේ ජනතාවගේ විරෝධය නිසා තමා මාදම්පේ ප්‍රදේශයට මේ නිෂ්පාදක කණ්ඩායම ඇවිත් තිබුණේ. මේ ගැන ඒ කාලයේ පත්තරවල ප්‍රවෘත්ති පළ වී තිබුණා. රටේ සංස්කෘතියට හානි කරයි කියා තමා මේකට බළපිටියේ ජනතා විරෝධයක් ඇතිවෙලා තියෙන්නේ. තිණිපිටිය වැව ඉස්මත්තේ ඒ චිත්‍රපටියේ රූගත කිරීම් කරන්න සූදානම් වෙනවා කියා දැන ගත්තාම මම උපරතන හිමියන් බැහැදකින්න ගිහින් විස්තරේ කිව්වා. ඊට පස්සේ උන්වහන්සේ වැව ළඟට වැඩම කරලා මේ රූගත කිරීම්වලට විරෝධය පළකර සිටියා. මේ නිසා මේ වැඬේට සහාය වුණ මාදම්පේ ප්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන් මට තර්ජන එල්ල වුණා” යැයි ද ලක්ෂ්මන් මහතා පැවසීය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය