අතුරු මැතිවරණ පුරාණයෙන්
සුපුරුදු ලෙසම, සෑම ඡන්ද පෙත්සම් නඩු විභාගයක් අවසානයේදී ගනු ලබන ඊළඟ පියවර වශයෙන් මුල් නඩු විභාගයේ තීන්දුවට එරෙහිව පර්සි සමරවීර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඇපෑල විභාග කළ රජ තුන් කට්ටුව (එච්. ඇන්. ජී. ප්‍රනාන්දු (අග්‍ර විනිශ්චයකාර), ඒ. එල්. එස්. සිරිමාන සහ ඒ. සී. අලස්) ගාස්තුවටත් යටත්කොට ඇපෑල නිෂ්ප්‍රභා කළේ මුල් නඩු තීන්දුවෙන් මාස 11 කට පමණ පසුව ය.
1968-09-17 දින ඇපෑල විභාගයට ගත් අවස්ථාවේදී ඇපෑල වෙනුවෙන් කරුණු දැක්වීමට අදහස් නොකරන බව පර්සි සමරවීර මහතා වෙනුවෙන් පෙනී සිටි එච්. ඩී. තම්බයියා මහතා ප්‍රකාශ කර සිටියේය. එම අතුරු මැතිවරණයේදී දෙවැනි ස්ථානයට පත්වූ කේ. එච්. ජේමිස් සිල්වා මහතා වැලිමඩ ආසනයට නීත්‍යානුකූල මන්ත්‍රීවරයා ලෙස ප්‍රකාශ කරන මෙන් ජී. එච්. කරෝලිස් සිල්වා මහතාගේ පෙත්සමෙන් කර තිබූ දෙවැනි ඉල්ලීම ද ගාස්තුවටත් යටත් කොට නිෂ්ප්‍රභා කෙරින. තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව වන විට කේ. එච්. ජේමිස් සිල්වා මහතා ජීවතුන් අතර නොමැති හෙයින් ඇපෑල ඉවත්කර ගන්නා බව නීතිඥවරු අධිකරණය ඉදිරියේ කියා සිටියහ. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඇතුළත් වාර්තා අග්‍රාණ්ඩුකාර උතුමාණන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 1965 මහා මැතිවරණයෙන් පසු වැලිමඩ ආසනය සඳහා පැවැත්වූ දෙවැනි අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව. 1968-11-15 දින නාම යෝජනා භාරගන්නා බවත්, අතුරු මැතිවරණය 1968-12-17 දින පවත්වන බවත් අග්‍රාණ්ඩුකාර කාර්යාලයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් විය. මෙම අතුරු මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප. යෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන බවට අදහසක් ප්‍රකාශයට පත්වී තිබුණි.
පාලක එ.ජා.ප.යෙන් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් නොකරන නිසා, ශ්‍රී.ල.නි.ප.යෙන්ද තරඟකරුවෙකු ඉදිරිපත් නොකිරීම පිළිබඳව පක්‍ෂය තුළ සංවාදයක් ඇති වී තිබුණි. පක්‍ෂයේ නිල අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කළවිට නොලැබෙන “පාවෙන ඡන්ද” “නිදහස් අපේක්‍ෂකයෙකුට” ලැබෙන බවට මතයක් ඉදිරිපත්වී තිබුණේ ය. කෙසේ වෙතත්, පසුගිය අතුරු මැතිවරණයට (1967-02-11) ශ්‍රී.ල.නි.ප.යෙන් තරඟ කළ පී. බී. රත්නායක මහතා, මෙම දෙවැනි අතුරු මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම සංවිධාන කටයුතු දියත් කරමින් සිටියේය. 1968-11-11 දිනය වන විට ඇප මුදල් පවා තැන්පත් කර තිබූ අපේක්‍ෂකයෝ තිදෙනෙක් 1968-11-15 දින බදුල්ල දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ ඒජන්ත (තේරීම් භාර නිලධාරී) බී. එස්. විජේවීර මහතා ඉදිරියේ නාම යෝජනා පත්‍ර භාර දුන්හ. පර්සි සමරවීර (ස්වාධීන - ලාම්පුව), ආර්. ඇම්. බණ්ඩාර (ස්වාධීන - පුටුව), පී. බී. රත්නායක (ශ්‍රී.ල.නි.ප. - අත) ඒ තිදෙනා වූහ. ආර්. ඇම්. බණ්ඩාර මහතා “නිදහස්” අපේක්‍ෂකයෙකු වුවද, ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු විය. මෙදින විශේෂ සිදුවීමක් වූයේ පර්සි සමරවීර මහතා සමග එ.ජා.ප. සහ ජා.වි.පෙ. ආධාරකරුවන් පිරිසක්ද එකට එක්ව පැමිණ සිටීමය. ශ්‍රී.ල.නි.ප. අපේක්‍ෂක පී. බී. රත්නායක මහතාට සහාය පළ කිරීම සඳහා බී. එච්. බණ්ඩාර (බදුල්ල), ඩබ්ලිව්. පී. ජී. ආරියදාස (හපුතලේ), ආර්. ඇම්. අප්පුහාමි (බණ්ඩාරවෙල) යන මන්ත්‍රීවරු පැමිණ සිටියහ. මෙදින විශේෂ සිදුවීමක් මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණේ “දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැත” යන ජනප්‍රිය කියමන මනාව ස්ඵුට කරමිනි. ඒ සිදුවීම නම් නාම යෝජනා භාර දීමෙන් පසු පර්සි සමරවීර මහතා පිළිගැනීමේ රැස්වීමක් “ලන්දේගම” දී පැවැත්වීමයි. එහි විශේෂත්වය වූයේ 1967-02-11 දින පැවැත්වූ අතුරු මැතිවරණයෙන් වැලිමඩ ආසනය දිනාගත් පර්සි සමරවීර මහතා තේරී පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා මැතිවරණ පෙත්සම ගොනු කළ ඊ. සොලමන් පීරිස් මහතා මෙම රැස්වීම සහ පිළිගැනීම සංවිධානය කර තිබීමයි. මීට ඉහත පර්සි සමරවීර මහතා දෙවරක්ම වැලිමඩ ආසනය ජයග්‍රහණය කළ නමුත් “ලන්දේගම” ප්‍රදේශයේදී රැස්වීමක් පැවැත්වීමට නුපුළුවන් විය.
වැලිමඩ ආසනයට අමතරව, 1968-12-17 දින බළපිටිය ආසනයේ අතුරු මැතිවරණයද පැවැත්වීමට නියමිතව තිබුණේය. අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා බළපිටිය ආසනයේද, විපක්‍ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වැලිමඩ ආසනයේද සංචාරය කරමින් සිටි ආකාරය දැකගත හැකි විය. පැවැත්වීමට නියමිතව තිබුණේ 1965 මහා මැතිවරණයෙන් පසු ප්‍රකාශයට පත් කළ අවසන් අතුරු මැතිවරණ දෙකයි. මීට ඉහත පැවැත්වූ අතුරු මැතිවරණ 13 න් 9 ක්ම ශ්‍රී.ල.නි.ප. ය දිනාගෙන තිබුණි. පර්සි සමරවීර මහතා “නිදහස්” අපේක්‍ෂකයෙකු ලෙස තරඟ වැදුනද එ.ජා.ප. යේ ආධාරය නොමසුරුව ලැබුණේය. එ.ජා.ප. තරුණ සංවිධාන නායක (කෝට්ටේ හිටපු පාර්ලිමේනේතු මන්ත්‍රී 1989 - 1994) සැනේට් මන්ත්‍රී ජිනදාස නියතපාල මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමරවීර මහතාට ආධාර ලබාදීමේ රැස්වීම් අමතමින් සිටියහ. පිළිගත් දේශපාලන පක්‍ෂයකින් ඉදිරිපත් වී සිටියේ (ශ්‍රී.ල.නි.ප.) පී. බී. රත්නායක මහතා පමණි. 1968 නත්තල් උදාවට සතියක් තිබියදී, දෙසැම්බර් මස 17 වැනි දින මධ්‍යම රාත්‍රියේ මැතිවරණ කොමසාරිස් ඊ. ඇෆ්. ඩයස් අබේසිංහ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ වැලිමඩ ආසනයේ හතරවැනි අතුරු මැතිවරණයේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය. පර්සි සමරවීර (ස්වාධීන - ලාම්පුව) 9097, ආර්. ඇම්. බණ්ඩාර (ස්වාධීන - පුටුව) 6145), රත්නායක පුංචි බණ්ඩාර (ශ්‍රී.ල.නි.ප. - අත) 4218, වැඩි ඡන්ද සංඛ්‍යාව 2952, ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන: 129, ඡන්දය ප්‍රකාශ කළ මුළු සංඛ්‍යාව: 19,689, ලියාපදිංචි ඡන්දදායකයින්ගේ මුළු ගණන: 22,773. මේ අනුව තුන්වැනි වරටත් වැලිමඩ අසුනට තේරී පත්වූ පර්සි සමරවීර මහතා තමා එතෙක් මුහුණ දුන් මැතිවරණවලදී ලබාගත් ඉහළම වැඩි ඡන්ද සංඛ්‍යාව වාර්තා කිරීමටද සමත් විය. මෙම අතුරු මැතිවරණයෙන් පසු “ඡන්ද පෙත්සම් අපලය” ද ගෙවී ගිය අයුරු දක්නට ලැබුණි. හයවැනි පාර්ලිමේන්තුව විසුරුවා හරින තුරු නිරුපද්‍රිතව සිටි පර්සි සමරවීර මහතා දරුණුතම දේශපාලන සුළි කුණාටුවට හසුවූයේ හත්වැනි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගත් 1970 අප්‍රේල් 23 දිනදීය. ඒ වෙන විට පරිණත දේශපාලනඥයෙකුව සිටි ඔහුගේ නාම යෝජනා පත්‍රයේ “අත්සන නොමැතිවීම” නිසා තේරීම් භාර නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කරන ලදුව, ප්‍රතිවාදී අපේක්ෂක ආර්. ඇම්. බණ්ඩාර මහතා (ශ්‍රී.ල.නි.ප.) නිතරඟයෙන් පත්වී, පර්සි සමරවීර මහතා ඡන්ද සටනින් “විසිවීමද” වාර්තාගත සිදුවීමක් විය.
ජී. ආර්. ඩී. බණ්ඩාර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි