ජන නායකයන් රජ ගෙදරින් නික්මයාමේ පුරාණයෙන්


 

 

නොවැම්බර් 16 වැනිදා සෙනසුරාදා පැවති ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ උනන්දුව සහ ඒ කෙරෙහි පැවති අවධානය නිසා ඉතා වැදගත් ප්‍රවෘත්තියක් ජනතා සැලකිල්ලට යොමු නොවී මැකී ගියේය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමුගැනීමයි. පසුගිය 13 වැනිදා තම අවසාන කැබිනට් මණ්ඩල රැස්වීමේ මුලසුන ගත් ජනාධිපතිවරයා යම් යම් මත ගැටුම් හමුවේ වුවද කටයුතු කරගෙන යාමට තමාට ලබා දුන් සහයෝගය පිළිබඳව අගමැතිවරයාට සහ අමාත්‍යවරුනට ස්තූති කිරීමට අමතක නොකළ අතර ඇමැතිවරු ද පැරණි ගැටුම් අමතක කර ඉවත්ව යන ජනාධිපතිවරයාට පෙරළා සුබ පැතූහ. ඒ ගැන දීර්ඝ මාධ්‍ය වාර්තා පළ විය. ඊට පසුදින තම කාර්ය මණ්ඩලයට ස්තූති කළ මෛත්‍රීපාල සිරිසේන මහතා දහසය වැනි දින සන්ධ්‍යාවේ ජාතිය අමතා කථා කළේය. 2015 ජනවාරි 08 වැනිදා පැවති ජනාධිපතිවරණයේ දී තමා ජයග්‍රහණය ලැබූ ආකාරයත් එයින් පසුව දහ නව වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරවා ගැනීමට ගත් උත්සාහයත් එමගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර දීමට දැක් වූ අනුග්‍රහයත් ඒ වන විට ජාත්‍යන්තරයෙන් එල්ල වෙමින් පැවති බලපෑම් සහ පීඩනය අවම කර ගැනීම සඳහා ගෙනගිය සටනත් ඔහු විස්තර කළේය. එමෙන්ම තමාගේ පාලන සමයේ ඇති වූ දේශපාලන අර්බුද ගැනත් එම නිසා අපේක්ෂිත අයුරින් රටට පොරොන්දු වූ සේවය ඉටු කිරීමට අපොහොසත් වූ බවත් ප්‍රකාශ කළේය. 


ඒ අයුරින් තම සමුගැනීමේ කථාව නිම කළ ජනාධිපතිවරයා ජනාධිපති මැඳුරෙන් නික්ම යන්නට ඇත. විශ්‍රාම යන ජනාධිපතිවරයෙකුට හිමිවන වරප්‍රසාද අනුව කොළඹ මහ මැඳුරක් සහ සුඛෝපභෝගීව තම දිවි ගත කළ හැකි විශ්‍රාම වැටුපක් ද ලැබෙන නිසා ජීවිතය ගත කිරීමේ අපහසුවකට මුහුණදීමට එතුමාට සිදු නොවනු ඇත. ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු ජනතා අභිමතයට ගරු කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ද ඉවත් ව ගියේය. මෙම නික්ම යාම ගැන ඇසූ අපට මීට පෙර සිටි රාජ්‍ය නායකයන් පදවිය අහිමි වූ විට ක්‍රියා කළ ආකාරය ගැන මතක්වීම ද ස්වභාවික යැයි සිතේ. මේ ගැන සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම පාඨකයාට රුචියක් ගෙන දෙනු ඇතැයි මම විශ්වාස කරමි. 
නිදහසත් සමගම මෙරටට උරුම වූ ඩොමීනියන් පාලන ක්‍රමයේ ආරම්භක අගමැතිවරයා වූ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතාගෙන්ම අපි මෙම සටහන ආරම්භ කරමු. 1947 මහා මැතිවරණයෙන් බලයට පත් වූ එතුමා තම නිල කාලය අවසන්වීමට පෙර 1952 මාර්තු 21 වැනිදා සුපුරුදු පරිදි ශාරීරික ව්‍යායාමය සඳහා අසුපිට ගමන් කරමින් සිටියදී ගෝල්ෆේස් පිටියේදී අසුපිටින් ඇදවැටීම නිසා බරපතළ ලෙස තුවාල ලැබීය. පසු දින උදෑසන අභාවප්‍රාප්තවීම නිසා එතුමාගේ දේශපාලන හා සමාජ කටයුතුත් තනතුරු දැරීමත් එතෙකින් සමාප්ත විය. 


ඉන් පසුව රාජ්‍ය නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂය විසින් තෝරා ගන්නා ලද්දේ ඩී. ඇස්. සේනානායකගේ ජ්‍යෙෂ්ඨ පුතුණුවන් වූ එවකට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ අමාත්‍යවරයෙකු වූ ඩඞ්ලි සේනානායක මහතාය. ඩී. ඇස්. පදිංචිව සිටියේ අරලිය ගහ මැඳුර නමින් ප්‍රකට වූ සුවිසල් නිල නිවසේය. යටත් විජිත සමයේ ප්‍රකට රාජ්‍ය නිලධාරීන් රැසකට වාස භූමිය වූ මෙම නිවාසය පළමු ලෝක මහා යුද්ධය සමයේදී පෞද්ගලික අයිතියෙන් බැහැර කර බි්‍රතාන්‍ය රජයට පවරා ගන්නා ලද බව කියවේ. ඩොමීනියන් තත්ත්වය හිමිවීමෙන් පසු එය අගමැතිවරයාට පදිංචිවීම නිල නිවාසය බවට පරිවර්තනය කරන ලදි. ඩඞ්ලි සේනානායක මහතාට ද වැඩි කලක් රට පාලනය කරන්නට ඉඩ ලැබුණේ නැත. 1953 අය වැය ලේඛනය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදය නිසා එල්ල වූ ජනතා විරෝධය හමුවේ ඉල්ලා අස්වීමට සිදු වූ බැවිනි. සමස්ත මහා හර්තාලය නමින් ප්‍රකට වූ එම දීපව්‍යාප්ත විරෝධතා රැල්ලේදී ඇති වූ ගැටුම් නිසා ආරක්ෂක හමුදාවන්ගේ වෙඩි පහරවලට ලක් වූ විරෝධතාකරුවන් නව දෙනෙකු මරණයට පත් විය. මෙම චෝදනාවට නව අගමැතිවරයාගේ සම්බන්ධයක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි වුවත් විශිෂ්ට ගණයේ ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ ගති ලක්ෂණ විදහාපාමින් අගමැති ඩඞ්ලි සේනානායක මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස් විය. ඉන් පසු තාවකාලිකව දේශපාලන කටයුතුවලින් ද ඉවත්ව විදේශගත විය. ඉන්පසු ඔහුගේ පූර්ණ කාලයම යොදවන ලද්දේ යුරෝපයේ බෞද්ධාගම ප්‍රචාරය කිරීමට බව සඳහන් වේ. 


ඩඞ්ලි සේනානායක මහතාගේ ඉවත්වීමෙන් පසු රාජ්‍ය නායකත්වය හිමිවූයේ සර් ජෝන් කොතලාවල මහතාටය. ආවේගශීලී හැසිරීම් රටාවකින් යුතු ඉක්මන්කාරයෙකු වූ සර් ජෝන් වගකිව යුතු තනතුරක් දැරීමට තරම් සැලකිල්ලකින් කටයුතු කරන්නෙකු වූයේ නැත. අරලිය ගහ මැදුරේ සහ තම පෞද්ගලික නිවස වූ කඳවල වලව්වේද ඔහු වාසය කළ බව තතු දන්නෝ කියති. 1956 මහ මැතිවරණයෙන් පැවති රජය බරපතළ පරාජයකට මුහුණ දුන් අතර පාලක පක්ෂයට හිමිවූයේ ආසන අටක් පමණි. මොහොතක පසුබෑමක් නොදැක්වූ සර් ජෝන් තනතුරෙන් ඉල්ලා අස්වූවේය. 

 

 


වහාම තමාගේ නිවස වූ කඳවල වලව්වට නික්ම ගියේය. අත් වූ පරාජයෙන් පසු එතුමා ශ්‍රී ලංකාවේ වාසය කිරීමට ප්‍රිය කළේ නැත. ඔහුගේ ආශාව වූවේ එංගලන්තයේ පදිංචි වී එරට ප්‍රභූවරයෙකු මෙන් දිවි ගෙවීමය. එයට මඟ සලසා ගනු පිණිස සර් ජෝන් එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයේ බ්‍රෝගීස් වුඞ් නමැති වතු යාය මිලට ගෙන එහි සුඛෝපභෝගී ලෙස ජීවත් විය. එම වතු යාය මිලදී ගැනීමට විශාල විදේශ විනිමයක් අවශ්‍ය වූ අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා පවතින විදේශ විනිමය නීති පවා නොසලකා තම මුදල් බි්‍රතාන්‍යයට ගෙන යාමට අවස්ථාව සලසා දුන් බව කිය වේ. එදා පැවති මහත්මා දේශපාලනය එමගින් ද පැහැදිලි වන බව විචාරකයෝ පවසති. 
පනස් හයේ පෙරළියෙන් පසු බලයට පත් වූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා රාජකාරි කටයුතු සඳහා එවකට සෙනෙට් ගොඩනැගිල්ලේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය භාවිතයට ගත්තේ නැත. එසේම පදිංචිය සඳහා ද අරලිය ගහ මන්දිරයට ගියේද නැත. මේ සියලු දේ සඳහා ඔහු තම රොස්මිඞ් පෙදෙසේ නිවස පාවිච්චි කළේය. ඔහුගේ අග්‍රාමාත්‍ය ලේකම්ව සිටි බ්‍රැඞ්මන් වීරකෝන් මහතා සඳහන් කරන්නේ රොස්මිඞ් නිවසේ කාර්යාලය කාමරය, එහි ආලින්දය පමණක් නොව කෑම කාමරය ද විටින් විට ඒ කටයුතු සඳහා යොදා ගත් බවයි. කෙසේ වුවත් 1959 සැප්තැම්බර් 26 වෙනිදා එතුමා ඝාතනයට ලක් වීම නිසා එම සියලු කටයුතු නිමාවට පත් විය. 


ඉන්පසුව අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ඉතා සරල මිනිසෙකු වූ විජයානන්ද දහනායක මහතාය. පාසල් ගුරුවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිය දී ගාල්ල නගර සභාවේ ආසනයක් දිනාගෙන ඉක්බිති නගරාධිපති ධුරයට ද පත් වූ ඔහු ජාතික දේශපාලනයට පිවිසියේ 1943 වසරේ බිබිලේ ආසනය (රාජ්‍ය මන්ත්‍රණ සභාවේ) සඳහා තරග වැදී ජය ගැනීමෙනි. 1947 දීත් 1952 දීත් ලංකා සම සමාජ පක්ෂය නියෝජනය කරමින් ගාල්ල ආසනය දිනා ගත් ඔහු පසුව එයින් ඉවත්ව 1956 දී භාෂා පෙරමුණ නම් වූ දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන තිබුණි. එම වසරේදීම මහජන එක්සත් පෙරමුණ නමැති සන්ධානය පිහිටුවීමේ දී බණ්ඩාරනායකයන්ගේ ශ්‍රී.ල.නි.ප.ය. පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සම සමාජ පක්ෂය ද සමග එ.භාෂා පෙරමුණ ද එක් වූයේය. එදා ලද ජයග්‍රහණය නිසා බණ්ඩාරනායක ඇමති මණ්ඩලයේ අධ්‍යාපන අමාත්‍යවරයා වීමේ භාග්‍යය ඔහුට හිමි විය. 1959 සැප්තැම්බර් 28 වැනිදා අගමැති බණ්ඩාරනායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සම්මේලන වාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතව තිබුණි. එම අවස්ථාවට වැඩ බලන රාජ්‍ය නායකයා (වැඩ බලන අගමැති) ලෙස බණ්ඩාරනායක මහතා විසින් නම් කර තිබුණේ දහනායක මහතාය. එම ගමන පිටත්වීමට දින දෙකකට පෙර සතුරෙකුගේ වෙඩි ප්‍රහාරයක් නිසා අගමැතිවරයා ජිවිතක්ෂයට පත් වූ අතර කලින් කර තිබූ නිර්දේශය අනුව දහනායක මහතා අගමැති ධුරයට පත් විය. එම තනතුරට පත් වූ වහාම අරලිය ගහ මන්දිරයේ වාසයට ඔහුට ඇරයුම් ලැබුණි. අවිවාහකයකු මෙන්ම සරල සුන්දර මිනිසෙකු වූ ඔහු බහු භාණ්ඩ පරිහරණයෙන් තොර අව්‍යාජ මිනිසෙක් වූවේය. නව අගමැතිවරයා එම මන්දිරයේ පදිංචියට පැමිණියේ කුඩා සූට්කේස් දෙකක ඇසුරූ සුළු බඩු ප්‍රමාණයක් රැගෙනය. ඒවා තුළ සුදු ජාතික බැනියම් දෙකක් තුනක් සහ සරම් කීපයක් පමණක් තිබෙන්නට ඇතැයි කියනු ලැබේ. ඔහුට වාසයට නියමිත කාමරය පෙන්වූ විට එය තමාට විශාල වැඩි බවත් ඒ නිසා කුඩා කාමරයක් ලබාදෙන ලෙස තමාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට දැනුම් දී තිබුණි. කුඩා කාමර ඇත්තේ සේවකයන්ගේ නේවාසිකාගාර පෙදෙසේ පමණක් යැයි දැන් වූ විට අගමැතිවරයා පවසා ඇත්තේ එසේ නම් වඩුවෙකු ගෙන්වා තිබෙන කාමරයක් දෙකට බෙදා වෙන් කර දෙන ලෙසය. එය එසේ සිදු විය.  


අගමැති තනතුරට පත් වන තුරුම ඉතා ජනප්‍රිය පොදු ජනතාවට හිතැති දේශපාලනඥයෙකු ලෙස ප්‍රකටව සිටි දහනායක මහතා එයින් පසු කටයුතු කළේ අවිචාරවත් ලෙස යැයි බොහෝ දෙනා පැවසූහ. ඔහුට තම අමාත්‍ය සහයන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පවා දුෂ්කර විය. 


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ඔහුට පිරිනමන ලද නමුදු තවදුරටත් අගමැති ධුරය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන එහි ප්‍රවර්ධනය සඳහා ක්‍රියා කළේය. ඉක්බිති නොබෝ දිනකින් එළඹීමට නියමිත 1960 මාර්තු මැතිවරණයේ දී එම පක්ෂයට නායකත්වය දෙමින් අපේක්ෂකයන් 106 ක් ද ඉදිරිපත් කළේය. 1960 මාර්තු 19 වැනිදා පැවති මහ ඡන්දයේදී එම පක්ෂයට හිමි වූයේ ආසන හතරක් පමණි. දහනායක මහතාට තම සුපුරුදු ගාල්ල අසුන ද අහිමිව තිබුණි. මේ රටේ අගමැතිවරයෙකු තම ආසනයෙන් පරාජය වූ ප්‍රථම අවස්ථාව එය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. දහනායක මහතාට ආපසු ගාල්ලට යාමට අවශ්‍ය විය. මැතිවරණ තේරීම් භාර නිලධාරියකු ලෙස කටයුතු කිරීම සඳහා කොළඹින් දුර බැහැර ප්‍රදේශයකට ගොස් සිටි බ්‍රැඞ්මන් වීරකෝන් මහතා ආපසු අරලිය ගහ මන්දිරයට පැමිණෙන විට දහනායක මහතා පිටව යාමට සූදානමින් සිටියේය. එම මැඳුරේ ආලින්දයේ හාන්සි පුටුවක වැතිර සිටි දහනායක මහතාගේ දෙපා මුල ඔහු සතු වස්තු සම්භාරය වූ කබල් සූට් කේස් දෙක ද තිබුණි. එම බෑග් දෙක ද රැගෙන යාමට අගමැතිවරයාට ලබා දී තිබුණු හම්බර්හෝක් රථයක් තමාට ටික වේලාවකට ලබාදෙන ලෙස ඔහු වීරකෝන් මහතාගෙන් ඉල්ලා සිටියේය. එය ඉටු විය. 


ඉන් පසු අරලිය ගහ මැඳුරේ (අගමැති නිල නිවසේ) පදිංචිකාරිය වූවේ 1960 ජුලි මැතිවරණයෙන් බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. එතෙක් කලක් කුඩා දරුවකුගේ හඬක් අසා නොතිබුණු අරලිය ගහ මන්දිරයට ඇය පැමිණියේ සුනේත්‍රා හා චන්ද්‍රිකා දියණියන් දෙදෙනා මෙන්ම අනුර පුතාද සමගය. ඔවුන්ගේ ක්‍රීඩාවලින් දුව පැන නැටීම්වලින් ද එම පරිසරයේ පාළුව මැකී යමින් පැවතියේය. නව යුගයක් උදාවූවාක් වැන්න. 1964 දෙසැම්බර් තුන් වැනිදා පාර්ලිමේන්තුව තුළ සිදු වූ පක්ෂ මාරුවක් නිසා ඇයගේ රජය එක ඡන්දයකින් පරාජයට පත්විය. එම සභා වාරයට පැමිණෙමින් සිටි පස්සර මන්ත්‍රී අමරානන්ද රත්නායක මහතාගේ මෝටර් රථයේ ටයරයක් පුපුරා යාම නිසා ඡන්දය පාවිච්චි කරන මොහොතට ඔහුට පැමිණිය නොහැකි විය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විදේශ ගතව සිටියේය. එදා රාජාසන කතාවට ගෙන ආ ස්තූති යෝජනාවට විපක්ෂයෙන් ගෙන ආ පොදු සංශෝධනය සම්මතව තිබීම නිසා විශ්වාසභංග යෝජනාවක් රජයට එරෙහිව සම්මත වූවාක් වැනි තත්ත්වයක් පැන නැගී තිබුණි. ඒ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අගමැතිනියට අවශ්‍ය විය. එහෙත් රජයේ ප්‍රබලයකුව සිටි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා අගමැතිනියට උපදෙස් දී තිබුණේ තවමත් රජය සතුව බහුතරය පවතින නිසා මන්ත්‍රීවරුන් සෑම දෙනාම කැඳවාගෙන රජය කෙරෙහි විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් සම්මත කර ගන්නා ලෙසයි. පාර්ලිමේන්තුව විසුරුවා නොහරින ලෙස ඉල්ලා සිටිමින් සංවිධානය වූ කම්කරු පන්තිය සහ රජයට පක්ෂ දේශපාලන පක්ෂ කොළඹ නගරය දෙවනත් කරමින් පෙළපාළි පවත්වමින් සිටියේය. ඉල්ලීම්වලට සවන් නොදුන් අගමැතිනිය පාර්ලිමේන්තුව විසුරුවා හැර 1965 මාර්තු 22 වැනි දින මහා මැතිවරණයක් පවත්වන ලෙස අග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නාය. 

 

 


ඒ අනුව මැතිවරණය පැවැත්වුණු අතර කිසිම පක්ෂයකට බහුතර බලයක් ලැබී තිබුණේ නැත. ශ්‍රී.ල.නි.ප.යට ආසන 41 ක් ල.ස.ස.පයට. දහසක් හා කොමියුනිස්ට් පක්ෂයට ආසන තුනක් ද වශයෙන් ආසන 59 ක් මැතිනියට සහයෝගය පළ කළ අතර එ.ජා.ප.ය.ට ලැබුණේ ආසන 66 ක් පමණි. කවදත් සිදුවන පරිදි තීරණාත්මක බලවේගය වූවේ ආසන 14 ක් දිනාගෙන සිටි උතුරු - නැගෙනහිර නියෝජනය කළ ෆෙඩරල් පක්ෂයයි. මෙම සහාය ලබාගැනීම සඳහා දෙපැත්තේම කපුවෝ සාකච්ඡා කරමින් සිටියහ. මෙසේ බහුතරය හදාගන්නා තුරු දින දෙක තුනක් අගමැති පදවියේ රැඳී සිටීමට අගමැතිවරියට සිදු විය. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙස වටහා ගත් ඇතැම්හු අසතුටට පත් වූහ. දෙමළ මන්ත්‍රීවරුන්ගේ සහාය එ.ජා.ප.යට හිමි වන බව ප්‍රකාශවීමත් සමග අගමැතිනිය අරලිය ගහ මන්දිරයෙන් පිටව ගියාය.

 

 


මතු සම්බන්ධයි.

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි