ජන මතයට හිසනමා ගෙදර ගිය කැබිනෙට්ටුව


 

මුල්ඔය සටන වාම පාක්ෂිකයින් ලද අති ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයක් විය. එහි මුල් පුරුක ලෙස කටයුතු කළේ ඇන්. ඇම්. ය. ගෝවින්දන්ගේ මරණය සාධාරණ මිනීමැරුමක් බවට ලද මහේස්ත්‍රාත් නියෝගය තුළින් පැන නැඟුණු අභියෝගයට එරෙහිව වේවැස්ස කම්කරුවෝ පොලීසියත් සමග හරි හරියට සටන් බිමට අවතීර්ණ වූහ. පොලීසියේ තුවක්කු උදුරා ගැනීමට ඔවුන්ට ගත වූයේ සුළු මොහොතකි.


පොලීසියත් වතු හිමියනුත් කොතරම් විරුද්ධ වුවත් බදුල්ලේ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අකීකරු වීමට ඇන්. ඇම්. ගේ නායකත්වය නියෝග දෙනු ලැබීය. මෙම නියෝගය කඩා පවත්වන රැස්වීම්වල දී කතා කළ යුත්තේ සමස්ත ලංකා වතු කම්කරු සමිතියේ සභාපති ඇන්. ඇම්. පෙරේරා පමණකැයි තීරණය විය.


පළාතක කම්කරුවෝ අතුරු සිදුරු නැතිව පෙළ ගැසෙන්නට වූහ. ජනතා උද්‍යෝගය වැඩි වන්නට පටන් ගති. ඇන්. ඇම්. ජනතාව අවදි කරන්නට විය. පැමිණ සිටි පිරිසේ වැඩි දෙනෙක් දෙමළ ජනතාව වූ හෙයින් දෙමළ බසින් ද ඔවුන්ට උද්ගතව ඇති ගැටලු සහ එයට මුහුණ දිය යුතු ආකාරය පැහැදිලි කරන්නට පටන් ගති.


මේ වන විට බදුල්ල මහේස්ත්‍රාත් තැන්පත් ආර්. සෙල්ලදොරේ සමසමාජ පක්ෂය මූලිකව පවත්වන රැස්වීම් තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කොට තිබුණි. එම නියෝගය මෙසේය.


“සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ ද සමසමාජ පක්ෂයේ ද නිලධාරීන් සහ සාමාජිකයන් විසින් සභා පවත්වා උඩුකිඳ යටිකිඳ යන සියලුම කොට්ඨාසවල පිහිටි සියලුම වතුවල නීත්‍යානුකූල නියුක්ත කම්කරුවන්ට ප්‍රසිද්ධ කතා පවත්වන බවද, එම සභා සහ කතා කරනකොට ගෙන කම්කරුවන් එකිනෙකාට විරුද්ධ පාර්ශ්ව දෙකකට බෙදී සිටින බවද, ඔවුන් අතරේ කලබල, අයුතු බලපෑම්, සිත් රිදවීම් සහ දබර පවතින බවද, සාමදානය කඩවන ක්‍රියා ඔවුන් අතින් සිදුවිය හැකි බව ද සාක්ෂිවලින් ඔප්පු වන බැවින්,
ඉහත කී උඩුකිඳ යටිකිඳ සහ සියලුම කොට්ඨාසවල ආඥා පැවැත්විය හැකි බදුල්ලේ මහේස්ත්‍රාත් වන රොබට් රත්නායක සෙල්ලදොරේ වන මට එකී අයුතු බලපෑම්, හිරිහැර කිරීම, ජීවිත නැතිකිරීම, නීත්‍යානුකූලව නියුක්ත කම්කරුවන්ට තුවාල කිරීම, කැරලි කෝලාහල සහ දබර කිරීම යනාදිය නැවැත්වීමට සුදුසු විධිවිධාන වහාම සැලැස්විය යුතු බැව් පෙනී යන හෙයින්,


යථෝක්ත මහේස්ත්‍රාත් තැන වූ මා විසින් මෙදින පටන් දිනක් ඇතුළත කාලය තුළ දී ඉහත කී සමස්ත ලංකා වතු කම්කරුවන්ගේ සංගමයේ ද සමසමාජ පක්ෂයේ ද නිලධාරීන් සහ සාමාජිකයන් විසින් උඩුකිඳ යටිකිඳ යන සියලුම කොට්ඨාසවල සභා පැවැත්වීම හෝ පිරිසක් ඉදිරියේ කතා පැවැත්වීම හෝ අලුත් ව්‍යවස්ථාදායක පනතේ 16 වන කාණ්ඩ වන ක්‍රිමිනල් නඩු විධාන සංග්‍රහයේ 114 වෙනි වගන්තිය යටතේ මෙයින් තහනම් කරනු ලැබේ.


මහේස්ත්‍රාත් තහනම් නියෝගය කඩ කරමින් එදා ඇන්. ඇම්. ජනතාව ඇමතීම නීතිවිරෝධී යැයි කී රජය ඔහුට විරුද්ධව නඩු පවරන බව ප්‍රකාශ කළත් බ්‍රෙස්ගර්ඞ්ල් සිද්ධියේ දී ලබාදුන් පූර්ව අත්දැකීම් සිහිපත් වීමෙන් දෝ එවැන්නක් සිදු නොවීය.


ගෝවින්දන්ගේ මිනීමැරුම රජය විසින් හිතාමතාම කම්කරු ජනතාව බිය වැද්දවීමට ගත් ප්‍රයත්නයක් බව ජනතාවට ඒත්තු ගන්වන්ට මේ වන විට රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට සමසමාජ පක්ෂ නායකයෝ ක්‍රියාත්මක වෙමින් සිටියහ. මේ පිළිබඳ ඇන්. ඇම්. පිලිප් දෙදෙනා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී කළ කරුණු පැහැදිලි කිරීම් තුළින් රජය මගින් ඒ සඳහා වූ කරුණු සොයා බැලීමට කොමිසන් සභාවක් පත්කරවා ගත හැකි විය.


මෙම කොමිසන් සභාවේ පරික්ෂණ අවසන් වනතුරු මුල්ඔය සිද්ධිය සම්බන්ධයෙන් ඒ වන විට උසාවිවල පවරා තිබූ නඩු කල් දැමිය යුතු බවට රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඇන්. ඇම්. ගෙන ආ යෝජනාවට එවකට ස්වදේශ අමාත්‍ය පදවිය දැරූ සර් ඩී. බී. ජයතිලක එකඟත්වය පළ කළේය.


සටන ඇවිළුණේ මෙතැනදීය.


ස්වදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කළ ද ඔහු යටතේ සිටි පොලිස්පතිවරයා ආණ්ඩුකාරවරයාගේ නිගමන අනුව තමන් ක්‍රියා කරන බව ප්‍රකාශ කරමින් නඩු විභාග පවත්වා ගෙන යන ලෙස අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.


ඇමැති මණ්ඩලය ආණ්ඩුකාරවරයා සහ පොලිස්පතිවරයා අතර මෙසේ හටගත් අර්බුදය උග්‍රවන්නට විය. ස්වදේශ කටයුතු භාර ඇමතිවරයා ඇතුළු මුළු අමාත්‍ය මණ්ඩලයම ඉල්ලා අස්විය. රට පුරා මේ පිළිබඳ සතුට පළ කරමින් රැස්වීම් පැවැත්වෙන්නට විය. මෙතෙක් කලක් අධිරාජ්‍ය ගැති පිරිසක් ලෙස සිටි ඇමැති මණ්ඩලය ජන මතයට හිස නැමීම පිළිබඳ සතුට පළ කරමින් පුවත්පත්වල ලිපි පළවන්නට විය. ජනතාවගේ ඉල්ලීම වූයේ මෙම ඉල්ලා අස්වීම ඉදිරියට ගෙන යමින් අධිකරණ විරෝධී සටන ඉදිරියට ගෙන යන ලෙසය.
රට පුරා උද්ඝෝෂණ ගෙනයමින් ජනතාව පෙළ ගැසෙන අයුරු දුටු ඇමැති මණ්ඩලය සම සමාජ නායකයින්ට තව නොබෝ දිනකින් මුළු රටම එක් කර ගත හැකි බවක් සලකා බියට පත්වන්නට විය. ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් සමාව ගත් ඔවුහු යළි අමාත්‍ය පදවි ලබාගත්හ.


සමසමාජ නායකයන් ගෙන ගිය නොනවතින සටන්කාමී වැඩපිළිවෙළ නිසා මෙතෙක් කලක් ග්‍රාමීයව, පළාත්බදව තම අණසක පතුරවාගෙන සිටි රටේ මහත්වරුන් මුදලිවරුන්ට වසර දෙකක් ඇතුළත සිය පදවි තානාන්තරවලින් ඉවත් වීමට සිදුවිය. කෝරාල, විදාන ආරච්චිලා, මුහන්දිරම්වරු පමණක් නොව ගම්මුලාදෑනිහු ද සමසමාජ පක්ෂයට කළ හැකි හැම ද්‍රෝහිකමක්ම කිරීමට සැදී පැහැදී සිටියහ.


අධ්‍යක්ෂ කාරක සභාව මගින්, විවාහ වූ ගුරුවරුන් රැකියාවෙන් පහ කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කරලීමට ඇන්.ඇම්. ගෙන ආ යෝජනාව නිසා හැකි විය. එමෙන්ම ඔවුන්ගේම යෝජනාවක් අනුව පාසල් සිසුන්ගේ දිවා ආහාරය වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් 800,000/- ක මුදල රුපියල් 12,00,000/- දක්වා වැඩි කර ගැනීමට මෙන්ම වෙළෙඳශාලා පනත හා ගර්භනී මව්වරුන්ට ආධාර දීමේ යෝජනාවක් ද ස්ථිර විය.


එකින් එක පොදු ජනතා අපේක්ෂා ඉටු කරමින් සමසමාජ පක්ෂය ජනතාව වෙත සමීප වෙද්දී එයට කළ හැකි හැම ද්‍රෝහිකමක්ම කිරීමට අධිරාජ්‍ය ගැති පිරිස් මාන බැලීය. මැරවර බලය උරගා බලන්නට ඔවුන් පෙලැඹෙත්ම එයට ද මුහුණ දීමට ශක්තිමත් පිරිසක් ද සමසමාජය සමග එක්වූහ.

 

 

නන්දසේන සූරියආරච්චි ලියූ 
“ඇන්.ඇම්.” කෘතියෙනි