ප්‍රේමදාස ජනාධිපතිතුමා රට පුරා ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතර නිෂ්පාදන ක්‍රියාවලියටත්, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමටත් ඉවහල් වූ ප්‍රධානම වැඩසටහනක් වූයේ ඇඟලුම් කම්හල් දෙසීයක් රට පුරා ඇති කිරීමයි. එතුමාගේ සුවිශේෂී අධීක්ෂණය යටතේ ඉතා කඩිනමින් ඇරඹූ එම ව්‍යාපෘතිය තුළින් රැකියා විශාල ප්‍රමාණයක්ද බිහිවිය. හදිසියේ අභාවප්‍රාප්ත වීම නිසා එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවත් ඇඟලුම් කම්හල් විශාල ප්‍රමාණයක් රට පුරාම ආරම්භ විය.
හම්බන්තොට දිස්ත්‍රික්කය වැනි එවකට ඉතා නොදියුණු පළාතක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සූරියවැව, ලුණුගම්වෙහෙර ප්‍රදේශ සඳහා ඇඟලුම් කම්හල් ලබාදීමට මම උනන්දු වුණෙමි. විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකෙහි ජීවත් වන අතර ඔවුහු විවිධ ප්‍රශ්න තුළින් පීඩිතව සිටියහ. එයිනුත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නව ගම්මාන හා ඉපැරණි ගම්මාන රැසක් විවිධ ජීවන ප්‍රශ්න වලින් මිරිකෙමින් සිටි නිසා ඇඟලුම් කම්හලක අවශ්‍යතාව තදින් දැනුණේය.
මේ පිළිබඳව මා ජනාධිපතිතුමා දැනුම්වත් කළ අතර රටපුරා තරඟකාරීව මෙන් කම්හල් බිහිවෙද්දී මා හට ප්‍රමුඛතාවයක් ලබාගැනීමට හැකිවූයේ එය ලබාගැනීමට ඇතැමුන්ට නිරතුරුව ඇවිටිලි කළ බැවිනි. ඒ අනුව ලුණුගම්වෙහෙරට ඇඟලුම් කම්හලක් ලබාදීමට ජනාධිපතිතුමා අනුමත කළත් සුදුසු ඉඩමක් ලබාගැනීමේ ප්‍රශ්නය නිසා සුළු කාලයක් ප්‍රමාදවිය. ඒ සඳහා සුදුසුම ඉඩම වශයෙන් ඉඩම් නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරයා පෙන්නුම් කළේ ලුණුගම්වෙහෙර ජලාශයට කිලෝමීටර් 1/4 ක් පමණ වූ දුරින් පිහිටි වැල්ලවාය පාර අයිනේ පිහිටි ඉඩමකි. එවකට පැවති ශීඝ්‍ර සංවර්ධනයට අකැමති වූ සමහර පිරිස් හා රාජ්‍ය නොවන පරිසර සංවිධාන ද එකතුවී දැඩි විරෝධයක් පළ කරන ලදී. ඔවුන් පෙන්වා දුන්නේ කම්හල ඉදිකිරීමෙන් පරිසර දූෂණයක් සිදුවන බවත් කම්හලේ දහස් ගණනක සේවකයින්ගේ මලමුත්‍රා පවා කිරිඳිඔයට එකතුවීමට ඉඩ ඇති බවයි. සංවර්ධන වැඩ කිරීමේදී මෙවැනි බාධක ඇතිකර ජනතාව නොමග යවා ඒවා කඩාකප්පල් කිරීමට සමහරුන් උත්සාහ ගැනීම අරුමයක් නොවේ. සංචාරක ක්ෂේත්‍රයේදී සංචාරකයින් උදෙසා ඉදිකළ කණ්ඩලම හෝටලය ඉදිකළ සමයේ රටේ පැවති හාහූව එයට හොඳ නිදසුනකි. එම හෝටලය ඉදිකිරීමෙන් පරිසර හානි වන බව කියූ කණ්ඩායම් හෝටලය ඉදිකළ පසු නිතර නිතර හෝටලයේ නවාතැන් ගැනීම කවුරුත් දන්නා ප්‍රසිද්ධ කරුණකි. එබඳු විරෝධයක් ආකාරයට ලුණුගම්වෙහෙර ඇඟලුම් කම්හල ඉදිකිරීමේ ගැටලුව මතුවී ප්‍රමාදයක් සිදුවී කිසිදු නිලධාරියෙකුට තීරණයක් ගත නොහැකිව සිටි අවස්ථාවේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා එය නිරාකරණය කර ගැනීමට මැදිහත්වීම ප්‍රායෝගිකව විසඳුම් සෙවීමේ එතුමාගේ ක්‍රියාදාමය මැනවින් ඔප්පු කරන්නකි.
සිදුවූයේ අමුතුම ක්‍රියාන්විතයකි. එදින පසළොස්වක පෝය දවසක්. රෑ පුරා සඳ පායා හොඳට එළිය වී තිබුණි. මට මතක හැටියට 1991 වසරේ සිදුවීමකි. රාත්‍රී 9.00 ට පමණ ජනාධිපතිතුමා මා ඇමතුවේය. ‘මම පාන්දර තුනට ලුණුගම්වෙහෙර ඇඟලුම් කම්හල හැදීමට යෝජිත භූමිය බලන්න එනවා. තමුන්නාන්සෙත් එන්න’ කීවා. මම පුදුමවීමි. ඇයි දවාලක නැතිව මහ රෑ ජනාධිපතිතුමා එන්නේ. මට විමතියකි. එතුමා හොඳට කල්පනා කර ඒ තීරණය ගෙන ඇති බව මම සිතුවෙමි. දවල් පැමිණියහොත් අවශ්‍ය දේ අනවශ්‍ය දේ කථා කරනව මිසක් සෙනග පිරිල වැඬේ අවුල් වෙන විධියට වැඬේ සිදුවෙනවා මිසක් එක එල්ලේ තීරණයක් ගැනීමට බාධා ඇතිවන බව තේරුම් ගෙනයි එතුමා එහෙම කළේ කියා මම සිතුවෙමි.
වැඩක් පිළිබඳ කල්මරන්නේ නැතිව කඩිනමින් තීන්දු ගත යුතු නිසාම එතුමා හරියටම රාත්‍රී 3.00 ට (උදේ) ලුණුගම්වෙහෙරට පැමිණියේය. මමත් දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති සුමනසේකර මහතාත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් ජයසූරිය මහතාත් ඒ වෙනකොට ලුණුගම්වෙහෙර යෝජිත ඉඩම ළඟට පැමිණ සිටියෙමු. පුර හඳ නිසා දවාලටත් වඩා වගේ එළිය වී තිබුණි. ජනාධිපතිතුමා කැලෑව වැවිල තිබූ ඉඩම පුරා ඇවිද්දේය. එතැන සිට ජලාශයට කොපමණ දුරද කියලත් විමසුවේය. පැයක් පමණ පෞද්ගලිකවම සොයා බලා එතුමා ‘හෙටම වැඩ පටන්ගන්න. ඔය කියන පරිසර හානියක් මෙතැන සිදුවෙන්නෙ නැහැ. ඔය වගේ ප්‍රචාර කරන්නෙ මේ වැඩ කඩාකප්පල් කරල මේවා පරක්කු කරල ජනතාවට ලැබෙන යහපත් දේවල් නතර කරන්න.’ යනුවෙන් පැවසූවේය.
එසේ කී ප්‍රේමදාස ජනාධිපතිතුමා කතරගම බලා පිටත්ව ගියේය. අපි ඊට පසුවදාම මූලික වැඩ පටන්ගත්තෙමු. වේගයෙන් සංවර්ධනයක් කිරීමට නම් මෙවැනි දිවා රෑ නොබලා වැඩ කළ යුතු බව එතුමා අනාගත පරපුර වෙනුවෙන් යථාර්ථයක් කළේ මේ ආකාරයෙන් බව සිහිපත් කරමි.