ජනපති ප්‍රේමදාසට දෝෂාභියෝගයක්


රට හදන තැන කල් තබන විධායක ජනපති බලතල පුරාණය-2

ඔහුගේ ජනාධිපති භූමිකාව ජේ. ආර්. ගේ නායකත්ව රටාවට සහ එම ගුණාංගයන්ට වඩා වෙනස් බව පක්ෂය තුළ සමහර බලවත්තු වටහා ගත්හ. ඔවුන් එය දුටුවේ ඒකාධිපති රංගනයක් වශයෙනි. ප්‍රේමදාස නායකත්වය දෙස නොසතුටින් සිටි ප්‍රබල කණ්ඩායමක් එකතු වී සකස් කරන ලද දෝෂාභියෝග යෝජනාවක් 1991 අගෝස්තු 28 වැනිදා එවකට කතානායක ඇම්. එච්. මොහමඞ් මහතාට භාරදුන් බව නිවේදනය වීමත් සමග රටම කම්පනයට පත්විය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) අ වගන්තිය ප්‍රකාරව ඉදිරිපත් කර තිබුණු එම යෝජනාවෙන් ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව බරපතළ චෝදනා රැසක් ඉදිරිපත් කරතිබුණි. මෙම දෝෂාභියෝග සැලැස්ම ගැන දැනගත් වහාම ජනාධිපතිවරයා අතිශය භීතියට පත් වූ බව කියනු ලැබේ. ඔහු ගත් ප්‍රථම පියවර වූයේ පාර්ලිමේන්තුවේ සැසි වාරය අහෝසි කර රැස්වීම් කල් දැමීමයි. රට උඩු යටිකුරුවීමේ පෙරනිමිති පහළ වෙද්දී ජනාධිපතිවරයා ගත් මැතිසභා සැසිවාරය අහෝසි කිරීමේ පියවර නිසා කතානායකවරයා අතට පත් දෝෂාභියෝග යෝජනාව අහෝසි වී ගියාක් මෙන්ම එහි ඉදිරි පියවරවල් ගැනීමද නතර විය. මෙම යෝජනාවේ පූරෝගාමීන් වූයේ ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක, ජී. ඇම්. ප්‍රේමචන්ද්‍ර යන ඇමතිවරුන් බව හෙළි වූ අතර කතානායක ඇම්. එච්. මොහොමඞ් මහතාගේද යම්කිසි දායකත්වයක් තිබී ඇති බව හෙළිවිය. මොහමඞ් මහතා පසුව සටනින් ඉවත් වූ බව පුරෝගාමීන්ගේ මතය වී තිබුණි. එසේ සටහන් වූ අවස්ථා ද දකින්නට ලැබේ. විධායක ජනාධිපති ධුරයේ රශ්මි ප්‍රභාව හමුවේ දෝෂාභියෝගයට අත්සන් තැබූ මන්ත්‍රීවරුන් පවා මුලු ගැන් වී ගියේ සූර්ය තාපයට ගොදුරු වූ ළපටි මල් පොකුරක් මෙනි. එය සමහර ලේඛකයන් විස්තර කොට ඇත්තේ සෑම පුද්ගලයෙකුටම මිලක් තිබේ යන්න තහවුරු කළ අවස්ථාවක් ලෙසටය.


ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාට විරුද්ධව ඉදිරිපත් වූ දෝෂාභියෝග යෝජනාව දුර්වල වී අකාමකා කර ගැනීමට ඔහු සමත් විය. එහෙත් එහි දීර්ඝ කාලීන ප්‍රතිඵල ජනතාවට අත් දකින්නට වැඩි කාලයක් ගත නොවීය. ප්‍රබල එක්සත් ජාතික පක්‍ෂය දෙකඩව ගියේය. දහහත් වසරක එම පක්‍ෂයේ පාලනය බිඳ වැටීමේ ආරම්භය මෙම දෝෂාභියෝගය මගින් සටහන් විය. විශාල බහුතර බලයක් නොමැතිව වුවත් 1994 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අභිමතය වූවේ එක්සත් ජාතික පක්‍ෂයේ රජයක් නොවන බව පැහැදිලිව දක්නට ලැබුණි. ඒ ඡන්දයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත් වූ අතර එම වසරේ නොවැම්බරයේ දී පැවති ජනාධිපතිවරණයේ දී ඇය ජනාධිපතිධුරයට පත් වූවාය.


එකල රටේ පැවති වහා විසඳිය යුතු උග්‍රම ප්‍රශ්නය බවට පත්ව තිබුණේ බෙදුම්වාදී යුද්ධය නිමා කිරීමයි. 1983 මෙම විනාශකාරි යුද්ධය ආරම්භ වූදා පටන් රටේ පැවති සියලුම ආණ්ඩු එම යුද්ධය නිමා කිරීම සඳහා සාකච්ඡා මගින් සහ ආයුධබලයෙන් යන දෙආකාරයෙන්ම නොයෙකුත් ප්‍රයත්න දරා ඇති නමුදු ඒ කිසිවක් සාර්ථක නොවූයේ ප්‍රභාකරන්ගේ දැඩි යුදකාමී ප්‍රතිපත්තිය නිසාය. විශාල ජනවරමකින් බලයට පත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ද මේ පිළිබඳ සාමයට බර මතයක් තිබුණි. එම මතවාදය රට හමුවේ තැබුණු අතර ජනතාව එම යෝජනා මාලාව හඳුන්වන ලද්දේ පැකේජය යනුවෙනි. එය ජනමත විචාරණයක් මගින් සමස්ත ලාංකික ජනතාවගේ ඡන්දයෙන් අනුමැතිය ලැබිය යුතුවිය. 


මෙම වකවානුව ජාතික දේශපාලනයේ බොහෝ අර්බුදකාරී තත්ත්වයන්ගෙන් පිරී තිබුණු බව නොරහසකි. රට පාලනය කළ පොදු ජන එක්සත් පෙරමුණේ පක්ෂ අතරත් එහි ප්‍රධාන පක්‍ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළත් වෙන වෙනම මතභේද නිර්මාණය කර ගනිමින් සිටියහ. රජයේ බහුතරය අඩුවීම නිසා එය පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබාගැනීමට එහි ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් කටයුතු කරමින් සිටියහ. එයට ජනතා විමුක්ති පෙරමුණ දැක් වූ ප්‍රතිචාරය වූවේ ඒ වන විට විශාල සංඛ්‍යාවක්ව පැවති අමාත්‍ය මණ්ඩලය විසි දෙනෙකුට සීමා කළ යුතු යැයි කොන්දේසියක් පැමිණවීමයි. එය ‘මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී” කී කථාව මෙන් උභතෝ කෝටික ප්‍රශ්නයක්ම විය. මෑත කාලීනව ලාංකේය දේශපාලනයේ දක්නට ලැබෙන්නේ ඇමතිකම් නැත්නම් කිසිවක් බෑ වැනි ආකල්පයකි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ දෙවැනි රජයට මුහුණ දීමට සිදුවූවේද මෙම අවාසනාවන්ත තත්ත්වයටය.

 

 

සමහර ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිධුර භාර ගැනීමට බල කරනු ලැබූහ. රජය බිඳ වැටීමේ අවදානම පෙනි පෙනීත් සමහරු එම මතවාදයේම රැඳී සිටියහ. තවත් නොයෙකුත් ගැටුම් දක්නට තිබුණි.


එහි එක් අවස්ථාවක් ලෙස එවකට අභ්‍යන්තර හා අන්තර් ජාතික වෙළද සහ නාවික කටයුතු අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ජනාධිපතිනිය විසින් ඇමතිධුරයෙන් ඉවත් කරනු ලැබුවාය.

 

එහි නියත ප්‍රතිඵලය වූවේ රාවුෆ් හකීම් මහතා නායකත්වය දැරූ මුස්ලිම් කොන්ග්‍රස් පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරුන් විපක්‍ෂයේ වාඩිවීමයි. එයින් රජයේ බහුතර බලය අහිමි වූවාක් මෙන්ම ආණ්ඩුවේ මන්ත්‍රී සංඛ්‍යාව 109 ක්ද විපක්‍ෂයේ මන්ත්‍රීන් 115 දෙනෙකු ලෙසද සටහන් විය. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගත් විරුද්ධ පක්‍ෂය රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පිළියෙල කර මන්ත්‍රීවරු 115 දෙනෙකුගේ අත්සන් සහිතව 2001 ජූලි මස 10 වැනිදා කතානායක අනුර බණ්ඩාරනායක මහතාට භාර දුන්නේය. ඔවුන්ගේ ඉල්ලීම වූවේ ජූලි මස 18 වැනිදා එම විශ්වාස භංග යෝජනාව විවාදයට ගත යුතු බවය. බහුතරය නොමැති බව පැහැදිලිව පෙනෙද්දී එම විවාදය පැවැත්වීමේ අනතුර දුටු ජනාධිපතිනිය එදිනම පාර්ලිමේන්තු සැසිවාරය නිමා කර නැවත රැස්වන දිනය සැප්තැම්බර් හත්වැනිදා ලෙස ප්‍රකාශයට පත් කළාය. එසේම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ජනමත විචාරණය අගෝස්තු 21 වැනිදාට නියම කළාය. දින කීපයකට පසු එනම් අගෝස්තු 07 වැනිදා පෙරකී ජනමත විචාරණය ඔක්තෝබර් 18 වැනිදා තෙක් කල් දැමීමට ජනාධිපතිනිය නියෝග කළාය. මෙම කටයුතු මාලාව අවසන්වූවේ ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර දෙසැම්බර් 09 වැනිදාට මහා මැතිවරණයක් පැවැත්වීමට දින නියම කිරීමෙනි. එම මැතිවරණයෙන් රජය පරාජයට පත්ව එක්සත් ජාතික පක්‍ෂය බලයට පත්විය.


පාර්ලිමේන්තු සභාවාරය අවසන් කිරීම යනු රජයේ අර්බුදයකට තාවකාලික විසඳුමක් සෙවීම බව මෙම සිදුවීම් තුනෙන්ම කියැවෙන නිසර්ග අර්ථය වේ. එසේ සැසිවාරය අහෝසි කිරීමෙන් වත්මන්  රජය බලාපොරොත්තුවන්නේ කුමක්දැයි කීමට තවමත් කල් වැඩිය. ඒ නිසා මේ පිළිබඳව ටික දිනක් ඉවසීම යෝග්‍යය.

 

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ