ජනපති පුටුවට වරම් නොලැබුණ අගමැතිවරු


 

සමස්ත රටේ ජනතාවගේම ඡන්දයෙන් ජනාධිපති තෝරා ගැන්ම ආරම්භ වූයේ 1978 සිට ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පසුවය. මේ වන විට ජනාධිපතිවරණ 07ක් පවත්වා ඇති අතර ජනාධිපති, පතිනියන් හයදෙනෙකු රට පාලනය කර ඇත. මෙම හයදෙනා නම් ජේ. ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා,  ඩී. බී. විජේතුංග මහතා, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, මහින්ද රාජපක්‍ෂ මහතා හා වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.


මෛත්‍රීපාල සිරිසේන මහතා හැර අන් සියලු දෙනාම ජනාධිපති වීමට පෙර අගමැති ධුර දැරුවෝ වෙති. වත්මන් ජනාධිපති පමණක් කලින් අගමැති ධුරයක් නොදරා ඇමැති ධුරයකින් ජනාධිපති තනතුරට පත්වූ අයෙකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිල රාජ්‍ය කාලය තුළ කිසියම් ජනාධිපතිවරයෙක් මියගියහොත් ඔහුගේ ඉතිරි ධුර කාලය පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා සිටින අගමැතිවරයා ජනාධිපති ලෙස දිවුරුම් දී රට පාලනය කළ යුතුය. ඒ අනුව 1993 මැයි 01 වැනි  දින එවක ජනාධිපති ධුරය දැරූ ආර්. ප්‍රේමදාස මහතා මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. බෝම්බ ප්‍රහාරයකින් මරුමුවට පත්වූ විට අග්‍රාමාත්‍ය ධුරය දරමින් සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේය.
නමුත් මෙරට අගමැති ධුරය දැරූ සියලු දෙනාට ජනාධිපති ධුරය හිමි වී නැත. 1978 ට පෙර 1960 ජුලි 21 සිට 1965 දක්වා අග්‍රාමාත්‍ය පදවිය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය 1970 මැයි 27 සිට 1977 ජුලි 22 දක්වා ද මෙරට අගමැතිනිය ලෙස පත්ව රටට විශාල සේවයක් ඉටු කළාය. තමන් 1978 ජනාධිපති ධුරය හඳුන්වා දුන් පසු පැවති ප්‍රථම ජනාධිපතිවරණයට 1982 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට ඉදිරිපත් වීමට අවස්ථාව නොලැබුණේ ඒ වන විට ඇයගේ ප්‍රජා අයිතිය වසර 07කට අත්හිටුවා තිබූ බැවිනි. 1988 පැවති දෙවැනි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඇය ආර්. ප්‍රේමදාස මහතාට පරාජයට පත්විය. 1994 තුන්වැනි ජනාධිපතිවරණය මැතිනිය වෙනුවෙන් ඉදිරිපත් වූයේ ඇයගේ දුවණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. ඇය ජයගත් අතර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ඇයගේ අගමැති ලෙස තුන්වැනි වරටද පත්වූවාය. වයෝවෘද්ධ තත්ත්වයේ සිටි සිරිමාවෝ මැතිනිය 2000 වර්ෂයේ ඔක්තෝබර් 10 වැනිදා මැතිවරණය සඳහා තම ඡන්දය පාවිච්චි කර එන අතරේදී අභාවප්‍රාප්ත වූවාය. මේ අනුව අගමැතිධුරය තුන්වරක් දැරුවද ජනාධිපති තනතුරට පත්වීමට ඇයට හැකියාවක් නොවීය.


1993.05.07 දින සිට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතාටය. ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා එ.ජා.පය නායකයා ලෙස ද පත්වූ අතර 2001.12.10 සිට 2004.04.07 දක්වා නැවත වරක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත්විය. නමුත් 1999 දෙසැම්බර් 21 පැවති හතර වන ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වැඩි ඡන්ද 709,409කින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගට පරාජය වූ අතර 2005 නොවැම්බර් 17 වැනිදා පැවති පස්වැනි ජනාධිපතිවරණයටද ඉදිරිපත් වූ අතර එවර මහින්ද රාජපක්‍ෂ මහතාට වැඩි ඡන්ද 180,786කින් පරාජයට පත්විය. ඉන්පසු පැවති 2010 හා 2015 යන ජනාධිපතිවරණ දෙකටම ඔහු ඉදිරිපත් නොවූ අතර 2015 ජනවාරි 09 දින තුන්වැනි වරටත් අගමැති වශයෙන් පත්වී ඇත. මේ අනුව රනිල් වික්‍රමසිංහ මහතාටද ජනාධිපති ධුරයට පත්වීමට වාසනාවක් නොවීය.
රත්නසිරි වික්‍රමනායක මහතා 2000.08.13 සිට 2001.01.27 දක්වා අග්‍රාමාත්‍ය ධුරය දරන ලද අතර 2005.11.17 සිට 2010.01.27 දක්වා ද අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත. පළමු අවස්ථාවේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය යටතේද දෙවැනි අවස්ථාවේ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ ද ඔහු අග්‍රාමාත්‍ය ධුරය දැරූ අතර ජනාධිපතිවරයකු විදේශගත වූ අවස්ථාවක එම තනතුරේ වැඩ ආවරණය කිරීමේ වාසනාව ලැබූ එකම තැනැත්තා ද රත්නසිරි වික්‍රමනායක මහතාය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ එතුමිය විදේශගත වූ එක් අවස්ථාවකය. එහෙත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් අතර ඔහු දෙවනියකු වූවා විනා පක්‍ෂ නායකත්වයට කිසිවිටක ළඟා නොවීය. ඒ නිසාම තමන් අගමැති ධුරය දරද්දී පක්‍ෂයේ නායකත්වය වෙනත් අය දරා සිටීම නිසා කිසිදු ජනාධිපතිවරණයකට ඔහුට ඉදිරිපත් වීමට අවස්ථාව නොවීය. 


එවැනිම පරිදි අගමැති පදවියට පත් තවත් අයෙක් වූයේ දි. මු. ජයරත්න මහතාය. ඔහු 2010.04.23 සිට 2015.01.08 දක්වා අගමැති පදවිය දැරූ නමුත් ඔහුට ජනාධිපති පුටුවට ළඟාවීමට නොහැකි විය. අද අසනීප තත්ත්වයෙන් වයෝවෘද්ධව සිටී. මෙසේ අගමැති තනතුරෙන් සෑහීමට පත්වීමට සිදුවූ අය අතරින් දැනට ජීවතුන් අතර සිටිනුයේ රනිල් වික්‍රමසිංහ මහතා සහ දි. මු. ජයරත්න මහතා පමණි. රත්නසිරි වික්‍රමනායක මහතා සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අභාවප්‍රාප්ත වී ඇත. පත්වූ ජනාධිපතිවරුන් 06 දෙනාගෙන්ද ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හා ඩී. බී. විජේතුංග යන මහත්වරු මේ වන විට ජීවතුන් අතර නැත.


මෙයින් පෙනී යනුයේ පක්‍ෂ නායකත්වයට පත්වුවද ජනාධිපති සිහිනය ළඟා කර ගැන්ම එතරම් පහසු නැති බවය. රනිල් වික්‍රමසිංහ මහතා එසේ පක්‍ෂ නායකයා වශයෙන් දෙවරක් තරග කර පරාජය වී ඇති අතර, ව්‍යවස්ථා සංශෝධනයක් නොවුණහොත් නැවත වරක් ඉදිරිපත්වීමට හැකියාවද ඇත.

 


බණ්ඩාරගම සමරසේන මුදලිගේ
ඡායාරූප අන්තර්ජාලයෙනි