ජනපතිනියගේ මාර පරක්කුව


 

දේශපාලන ක්ෂේත්‍රයේ දේශපාලනඥයාගේ කථාබහත්, භාවිතයත් අතර ඇත්තේ පරස්පරතාවයක් බව හැමදෙනාම පාහේ හොඳහැටි දන්නා කරුණකි. එය එසේ සක්සුදක් සේ දැනගත්තද නැවත නැවතත් රැවටී දේශපාලඥයාගේ පසුපස යෑම මෙරට ජනතාවගෙන් දේශපාලනය හා පක්ෂක්‍රමය ගැන වැඩි උනන්දුවක් දක්වන අයගේ සාමාන්‍ය සිරිතකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි දියුණුවක් නැති රටවල මනුෂ්‍යයින්ගේ උත්පත්තියේ සිට මරණය දක්වා හැම ක්‍රියාවලියකටම දේශපාලනය නැතුව බැරි වී ඇත. හැම අවස්ථාවකටම හැම ක්‍රියාවකටම දේශපාලනයේ බලමහිමය ඈඳී තිබීම කෙතරම් අභාග්‍යසම්පන්නද? ඒ කෙසේ වෙතත් කවුරු මොනවා කීවත් කෙසේ විග්‍රහ කළත් මහපොළවේ යථාර්ථය එයයි.
මහජනතාව මෙය හොඳහැටි දැනදැනත් තම තමන්ගේ අවශ්‍යතා ඉෂ්ඨ කරගැනීම සඳහා දේශපාලඥයෝ හමුවෙති. පසුපස යති. සාකච්ඡා කරති. නැවත හමුවෙති. නැවත සාකච්ඡා කරති. මෙම ක්ෂේත්‍රයේ පෙන්නුම් කරන පැහැදිලි ලක්ෂණ කීපයක් අත්දැකීමෙන්ම පෙන්නුම් කිරීම මාගේ අදහසයි. එක් කරුණක් නම් දේශපාලනඥයා මුණගැසීමයි. මැතිවරණ සමයකදී නිරතුරු මුණගැසෙන දේශපාලනඥයා ඡන්දයෙන් පසුව මුණගැසීම ඉතා අසීරුය. ඡන්ද කාලයේදී තම දෙපා මුලට එන දේශපාලඥයා හමුවීමට ඡන්දයෙන් පසුව දේශපාලනඥයාගේ දෙපා ළඟට යාමට සිදුවේ. එසේ ගියත් පෝලිමේ ඉඳීමට සිදුවේ. පෝලිමේ සිටියත් සමහර විට හමු නොවේ. 


හමුවුණත් තම ඉල්ලීම ඉටුකර ගැනීමට නොහැකි වේ. සමහර විට දේශපාලනඥයාගේ ගෝරනාඩුවට හසුවීමට ඉඩ ඇති අතර කාර්ය මණ්ඩලයේ දොස් පරොස්වලටද මුහුණදීමට සිදුවේ. මෙසේ කිහිපවිටක්ම මන්ත්‍රීවරයා, ඇමතිවරයා හමුවට ගොස් කිසිවක් ඉටු නොවූ විට ඔහු සමග අමනාප වේ. අමනාපය වැඩිවී ඊළඟ ඡන්දයකදී විරුද්ධ වී වැඩ කරති. පසුව වෙනත් පුද්ගලයෙකුට දේශපාලනය කළ විට ඔහුගෙන්ද ලැබෙනුයේ ඉහත ආකාරයේ ප්‍රතිචාරයන්ය.


මේ නිසාම දේශපාලඥයාද වංක වී ඇත. ඡන්දදායකයාද වංක වී ඇත. අවංකභාවය ගිලිහී ගොස් ආත්මාර්ථකාමීත්වය මතුවී කෙසේ හෝ තම වැඩය කරගැනීමට පෙළඹී ඇත. මේ නිසා කෙතරම් අඩුපාඩු තිබුණද දේශපාලඥයින් ළඟ හැමදාම සෙනඟය. කාලයෙන් කාලයට පත්වන නියෝජිතයින් ළඟ සෙනඟ නිරතුරුව සිටින්නේ යථා තත්ත්වය දැන දැනත් කෙසේ හෝ තම අදහස ඉටුකර ගැනීමට ඡන්දදායකයාට දැඩි අවශ්‍යතාවයක් ඇති බැවිනි. දේශපාලඥයාද බොරුවෙන් බොරුව ගොතමින් ප්‍රෝඩාකාරී වංචාකාරී ක්‍රියාවල නිරතවෙමින් පොදුජනතාව මුලා කරමින් ක්‍රියා කරනුයේ කෙසේ හෝ තමන්ගේ නිලය බලය, වරප්‍රසාද වරදාන ආරක්ෂා කරගෙන මහජනතාවගේ කරපිට හිඳගෙනම තම බඩගෝස්තරය රැකගැනීමටය.


මෙම අදහස් සමග මාගේ මතකයට නැංවෙන, එක්තරා අමතක නොවන අවස්ථාවක් මෙහිලා ගෙන හැර දැක්වීමට අදහස් කළෙමි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ පාලන තන්ත්‍රය පැවති කාලපරිච්ඡෙදයේ එනම් 2004 වර්ෂයේ මැයි මාසයේදී එක්දිනක මගේ අවශ්‍යතාවයක් සඳහා එතුමිය හමුවීමට දිනයක් ඉල්ලා ජනාධිපති කාර්යාලයට ලිපියක් යොමු කළෙමි. එම ලිපිය යොමු කොට දින 20 ක් පමණ ගතවූ පසු මාහට එම කාර්යාලයෙන් පිළිතුරු ලිපියක් ලැබුණි. එහි සඳහන් වූයේ 2004 මැයි 27 දින පෙ.ව. 10.30 ට අතිගරු ජනාධිපතිතුමිය හමුවීමට හැකි බවත් ඒ සඳහා පෙ.ව. 10.00 වන විට කොටුවේ ජනාධිපති මන්දිරයට පැමිණෙන ලෙසත්ය.


මාගේ අවශ්‍යතාවය ඉටුකර ගැනීමට එතුමිය හමුවීමට දිනයක් ලැබීම ගැන සතුටට පත්වූ මම ඒ සඳහා සූදානම් වුණෙමි. ඒ අනුව මාගේ හිතවත් ඥාතියෙකුට කථා කළ මා මෙම සිද්ධිය ප්‍රකාශ කොට ඔහුගේ වාහනයෙන් ජනාධිපතිතුමිය හමුවීමට යාමට කටයුතු යොදාගත්තෙමි. මැයි 27 වැනිදා උදේවරුවේ 10.00 ට පැමිණ සිටින ලෙස දන්වා තිබුණත් ඊටත් පැය භාගයකට කලින් එනම් පෙරවරු 9.30 වන විට ජනාධිපති මන්දිරයට පැමිණියෙමි. මාගේ ඥාතියා වාහනය සමග මන්දිරයට එහා වාහන නවත්වන ස්ථානයේ නවතා මා මන්දිරය ඇතුළට ගියේ දවල් 12.00 ට පෙර එන්නට හැකි බවත් ඒ අනුව රැඳී සිටින ලෙසත් ඥාතියාට උපදෙස් ලබාදීමෙන් පසුවය. මන්දිරයට ඇතුළුවනවාත් සමග සාමාන්‍ය පරික්ෂාවකට ලක්වූ මා අත තිබූ දුරකථනය රඳවා ගත්තේ සාමාන්‍ය වශයෙන් එහි සිදුකෙරෙන රාජකාරී පිළිවෙත අනුවය. ඒ අනුව දුරකථනයද නොමැතිව ඇතුළට ගිය මා පළමුකොට සාමාන්‍ය අමුත්තන් රඳවන ස්ථානයේ වාඩි කරවීය. ඒ අවස්ථාවේ ඒ වනවිට 15 දෙනෙක් පමණ ජනපතිතුමිය මුණගැසීමට පැමිණ සිටි බව මතකය. සුප්‍රකට ස්වාමීන් වහන්සේ නමක් වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණන්ද එහි වැඩ සිටියේ ජනපතිතුමිය හමුවීමේ අපේක්ෂාවෙනි. කෙසේ වුවද 9.30 සිට 10.30 වනතෙක් රැඳී සිටි අප කිසිවෙකුට ජනාධිපතිනිය හමුවීමට නොහැකි වූ අතර හමුවීමට හැකි වේලාවක සේයාවක්වත් හිතා ගැනීමට නොහැකි වූයේ මට පෙර පැමිණි සිටි සියලුදෙනාගෙන් එක් අයෙකුටවත් ඒ මොහොත වන විටත් හමුවීමට අවස්ථාවක් නොලැබූ බැවිනි.


ඒ අතර තේ හා කෙටි කෑම සංග්‍රහයක් ලැබුණු අතර ඒවාද භුක්ති විඳ වාඩිවී සිටියෙමි. මේ අතර වැඩ සිටි ඇල්ලේ ගුණවංශ හිමිපාණන්ටද ජනාධිපතිනිය හමුවීමට නොහැකි වූයෙන් උන්වහන්සේ දානය ලබාගැනීමේ වේලාව පැමිණි නිසා ජනාධිපති මන්දිරයෙන් පිටට වැඩම කළහ. මා කල්පනා කළේ කෙසේ හෝ කීයට හෝ එතුමිය හමුවී මාගේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමටයි. දැන් වේලාව සවස 3.00 පමණ විය. පැමිණි සිටි අයගෙන් වැඩි පිරිසක් ජනපතිනිය හමුනොවී තව පැය ගණනාවක් සිටීම ඉතා අපහසු නිසා පිටවී ගියහ. මම බුදුදහමේ ඉවසීමේ ගුණය ගැන කල්පනා කළෙමි. මෙසේ සෑහෙන වේලාවක් සිටීමෙන් ඉවසීමේ ගුණය හොඳටම ප්‍රවර්ධනය වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගේ විමසීමක් කළ විට කීවේ තවත් පැය 1/2 කින් පමණ හමුවීමට අවස්ථාවක් ලැබෙන බවයි. කෙසේ වුවද දැන් වෙලාව සවස 4.00 පමණ වෙයි. ඒ අවස්ථාවේ නැවත වැඩම කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ ජනාධිපතිනිය හමුවීමට නොහැකි වූයෙන් මාහට කීවේ ‘මහත්තයා මට නම් ඔය වැඬේ කරන්න බැහැ. මෙච්චර රස්තියාදු වෙන්න මට බැහැ’ කියා පිටතට වැඩම කළහ. මම සිටියෙමි. රෑ 7.00 ට පමණ මට නැවතත් තේ ලැබුණි. මාව සිටි ස්ථානයෙන් තවත් ස්ථානයකට යොමු කෙරිණි. එයින් අදහස් කළේ දැන් ජනපතිනිය හමුවන්නට ආසන්නයි කියන එකයි. කෙසේ නමුත් රාත්‍රී 11.00 පමණ වන තෙක් මා කල්පනා කර කර සිටියෙමි. රාත්‍රී 11.10 ට පමණ ජනාධිපතිනිය අමුත්තන් හමුවන කාමරයට පැමිණියාය. මා එතුමිය හමුවුණෙමි. එතුමිය මාත් සමග පැයක් පමණ සාකච්ඡා කළාය. මාගේ ප්‍රශ්න කිහිපය ඉදිරිපත් කළෙමි. ඒවාට විසඳුම් ලබාදෙන බව කීවාය.


ඉන් පසුව ඇගේ පාලන කාලය අවසන් වන තෙක්ම ඒවාට විසඳුමක් නම් ලැබුණේ නැත. කොහොම හෝ වේවා පැය 14 ක් පමණ මා ජනාධිපතිනිය හමුවීමට ජනාධිපති මන්දිරයට වී සිටීම මාගේ ජීවිතයේ අමතක නොවන සිදුවීමකි. එකල සමාජයේ බොහෝ තැන්වල කථාබස් වූයේ ජනාධිපතිතුමිය පරක්කු වී රැස්වීම්වලට පැමිණෙන බවයි. ඒ කථාව හා මගේ කථාව අතර සම්බන්ධයක් තිබේදැයි මම එකල කල්පනා කළෙමි. 


සමහර විට එතුමියට වෙනත් සාකච්ඡා හා සම්මන්ත්‍රණ තිබෙන්නට ඇත. මට දැන්වූ වේලාව අනුව මුණගැසෙන්නට ගියත් සිදුවූයේ පුදුම සහගත අයුරින් පැය ගණනාවක් ගත කිරීමට සිදුවීම හා මා සමග ගිය ඥාතියාට ජනාධිපති මන්දිරය අසල පාරට වී මා ගත කළ වෙලාවම ඔහුටත් රස්තියාදු වී සිටීමටයි. මහ රෑ නැවත පිටත්වනවිට ඔහුත් මාහට කීවේ මෙපමණ වෙලාවක් ගත කිරීම කිසිදා අමතක නොවන සිදුවීමක් බවයි. උදේ සිට මැදියම් රෑ වනතෙක් මා කොයි වේලේ එයිදෝයි සිටි ඔහු දැඩි වෙහෙසට පත්වී සිටි බව පෙනුණි. මෙම සත්‍ය කථාව ශ්‍රී ලංකා දේශපාලනයේ එක් පැතිකඩක් මැනවින් පෙන්නුම් කරන්නක් බව කාට නම් නොවැටහේද?