ජනරජ ව්‍යවස්ථාවේ ජරමර


1970 මැයි මස 27 වැනි දින පවත්වන්නට යෙදුන ශ්‍රී ලංකාවේ හත්වැනි මහා මැතිවරණයෙන් පසුව සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී අතුරු මැතිවරණයකට ඉදිරිපත් වූ දෙවැනි දේශපාලන පක්‍ෂ නායකයා හැටියට, ෆෙඩරල් පක්‍ෂයේ නායක අංක 46 කන්කසන්තුරේ මන්ත්‍රී රාජ නීතිඥ ඇස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ නම පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂයෙන් සටහන් වී තිබේ. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී කන්කසන්තුරේ ආසනයට ‘යතුර’ සලකුණ යටතේ තරග කළ ඔහු ඡන්ද 12,126ක් ලබාගෙන වැඩි ඡන්ද 6966න් එම ආසනයේ මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය. ඔහු වෙතින් මුල් වරට පරාජයට පත්වූයේ පී. නාගලිංගම් (අත- 5160) සහ ඇස්. නටේසන් (තරාදිය- 4605) යන අපේක්‍ෂකයන් දෙදෙනාය.


එතැන් සිට 1956, 1960 මාර්තු සහ ජූලි, 1965, 1970 සහ 1977 මැතිවරණවලදී ඔහු කන්කසන්තුරේ ආසනය ජයගත්තේය. චෙල්වනායගම් මහතාගේ දේශපාලන ගමන් මඟ තුළ පරාජයට පත් වූ එකම අවස්ථාව ලෙස සටහන් වනුයේ 1952 මහා මැතිවරණයයි. 1947 මැතිවරණයේදී කන්කසන්තුරේ ආසනයට තරග කර තුන්වැනි ස්ථානයට පත් වූ ඇස්. නටේසන් මහතා වෙතින් 1952 මැතිවරණයේදී චෙල්වනායගම් මහතා පරාජයට පත් වූයේ වැඩි ඡන්ද 3766කිනි. එවර ඔහුට ලබාගත හැකි වූයේ ඡන්ද 11,571කි. ඇස්. නටේසන් මහතාට ඡන්ද 15,337ක් හිමි වී තිබුණි. ඇස්. නටේසන් මහතා ද උතුරේ සිටි කීර්තිමත් ඉතිහාසයක් තිබූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු විය. 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී අංක:- 30- කයිට්ස්, අංක: 31- කන්කසන්තුරේ, අංක 32- යාපනය සහ අංක: 33- පේදුරුතුඩුව යන ආසන සඳහා කිසිදු ද්‍රවිඩ අපේක්‍ෂකයෙකු තරග නොකළ නමුත්, 1934 ජූලි මාසයේදී පවත්වන්නට යෙදුන අතුරු මැතිවරණවලදී කන්කසන්තුරේ ආසනයට ඉදිරිපත් වූ ඇස්. නටේසන් මහතා ඡන්ද 8946ක් ලබා ගෙන ප්‍රතිවාදී අපේක්‍ෂක එන්. සර්වනමුත්තු මහතා (5260) පරදවා වැඩි ඡන්ද 3680න් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්ව සිටියේය. 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ද එම ආසනයට තරග කළ ඔහු වැඩි ඡන්ද 7022කින් තේරී පත්වූයේ ඒ. පොන්නයියා මහතා (6391) පරාජයට පත් කොට මුළු ඡන්ද 14,829ක් ලබා ගනිමිනි. එතෙකුදු වූවත්, 1956 මැතිවරණයේ දී ඔහු වැඩි ඡන්ද 6667න් චෙල්වනායගම් මහතාට පරාජය විය. එවර ඔහුගේ ඡන්ද සංඛ්‍යාව 8188ක් වූ අතර, ජයග්‍රාහී චෙල්වනායගම් මහතා ඡන්ද 14,855ක් ලබාගෙන තිබුණේය.


1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් ඇස්. ජේ.වී. චෙල්වනායගම් මහතා ජාතික රාජ්‍ය සභාවෙන් ඉල්ලා අස්වෙන විට හෙතෙම හයවැනි වරටත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ 1970 මැතිවරණයේ, කන්කසන්තුරේ ආසනයේ සම්පූර්ණ ඡන්ද ප්‍රතිඵලය මෙසේය:- ඇස්. ජේ. වී චෙල්වනායගම් (ෆෙ:ප: ගෙය) 13,520, වී. පොන්නම්බලම් (කො:ප: තරුව) 8164, සී. සුන්දරලිංගම් (ස්වාධීන-කුකුළා) 5788, ටී. තිරුණාවුකරසු (ද්‍ර-සං. බයිසිකලය) 3051, වැඩි ඡන්ද සංඛ්‍යාව 5356, ප්‍රතික්‍ෂේපිත ඡන්ද පත්‍රිකා ගණන 140, ඡන්දය දුන් මුළු ගණන: 30,663, ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව 37,804. 1972 මැයි මස 22 වැනි දින මධ්‍යාහ්න 12.43ට යෙදුන සුභ මොහොතින් නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතා අත්සන් තබා සහතික කිරීමෙන් ඉක්බිතිව ශ්‍රී ලංකාව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් බවට ප්‍රකාශයට පත් විය.


මේ සමගම දේශපාලනමය සහ පරිපාලනමය වෙනස්කම් කීපයක්ම සනිටුහන් විය. එංගලන්තයේ මහ රැජිනට වගකියන ඇයගේ නියෝජිතයා වශයෙන් පෙනී සිටි අග්‍රාණ්ඩුකාරවරයාගේ ධූරය අහෝසි වී ජනාධිපති පදවිය ස්ථාපිත කෙරිණ. අවසාන අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව උතුමාණෝ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත්වූහ. නියෝජිත මන්ත්‍රී මණ්ඩලය නැතහොත් පාර්ලිමේන්තුව ‘ජාතික රාජ්‍ය සභාව’ බවට පත්විය. මන්ත්‍රීවරුන් මහජන මන්ත්‍රීවරුන් ලෙස හැඳින්වීම ආරම්භ කෙරිණි.


කෙසේ වෙතත් උතුරේ සහ නැගෙනහිර ප්‍රදේශවල ද්‍රවිඩ කණ්ඩායම් මුල සිටම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය දක්වමින් සිටියහ. මෙහි පළමුවැනි වෙඩි මුරය මුදා හැරියේ හිටපු ඇමතිවරයෙකු හා වවුනියාව හිටපු මන්ත්‍රී (1947-1960) සී. සුන්දරලිංගම් මහතාය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසිකොට, ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීම සඳහා තවදුරටත් නිසි පියවර ගැනීම තහනම් කරමින් අග්‍රාණ්ඩුකාරවරයා සහ අගමැතිනිය වෙත තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. අග්‍රාණ්ඩුකාර විලියම් ගොපල්ලව, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක සහ නීතිපතිවරයා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස දක්වා තිබිණි. ලංකාව ජනරජයක් බවට පත් කිරීමෙන් තමාටත් දෙමළ ජනතාවටත් සරිකළ නොහැකි තරම් පාඩුවක් ද පුරවැසි හිමිකම් අහිමි කිරීමක් ද සිදුවන බව හේතු වශයෙන් දක්වා තිබුණි. 1972.05.17 දින ඒ.සී අලස්, එච්. දෙහෙරගොඩ සහ ටී. ඩබ්ලිව්. රාජරත්නම් යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලුණි. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වීම ගැන පෙත්සම්කාර සී. සුන්දරලිංගම් මහතාට ස්තුතිය පළ කළ විනිසුරු මඬුල්ල 1972-05-19 දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙත්සම නිෂ්ප්‍රභා කළේය.


මේ අතර දෙමළ මන්ත්‍රීවරු ජාතික රාජ්‍ය සභාවේ අසුන් ගැනීම වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් ද දියත් කළහ. ඔවුන් ජාතික රාජ්‍ය සභාවේ අසුන් ගත යුතුද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීමට උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්ද කොට්ඨාසයන්හි රැස්වීම් මාලාවක් පැවැත්වීමට තීරණය වී තිබුණි. මෙම තීරණයට එළඹියේ ද්‍ර.වි.එ.පෙ නායක ඇස්. ජේ. වී. චෙල්වනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනයේ ද්‍රවිඩ සංගම් කාර්යාලයේ පැවති රැස්වීමකදීය. මෙහිදී ඇතැම් ද්‍රවිඩ කණ්ඩායම් මන්ත්‍රීවරුන්ට සිය ආසනවලින් ඉල්ලා අස් වෙන ලෙසට බලකර සිටි බව ද වාර්තා විය. කෙසේ වෙතත් මාස දෙකකට වැඩි කාලයක් පැවති ජාතික රාජ්‍ය සභාව වර්ජනය කිරීමේ තීරණය 1972 ජූනි මස අගභාගය වනවිට අවසන් කෙරිණි. මෙයට තුඩු දුන් සැඟවුණ හේතුව වූයේ 1972 අගෝස්තු මස 22 දිනට පෙර දිවුරුම් නොදුනහොත් නිවාඩු නොලබා එක දිගට තුන්මාසයක් ජාතික රාජ්‍ය සභාවට නොපැමිණීමෙන් මන්ත්‍රීධුර අහෝසිවීමය. පසුව ගන්නා ලද තීරණයකට අනුව, 1972 ජූලි මස 04 වැනිදා ද්‍රවිඩ මන්ත්‍රීවරු ජාතික රාජ්‍ය සභාවේදී දිවුරුම් දුන්හ. එදින දිවුරුම් දුන්නේ ඇස්. ජේ. වී. චෙල්වනායගම් (කන්කසන්තුරේ), වී. ධර්මලිංගම් (උඩුවිල්), කේ. පී. රත්නම් (කයිට්ස්), කේ. ජෙයකොඩි (උඩුප්පිඩි), කේ. තුරෙයිරත්නම් (පේදුරුතුඩුව), වී. ඇන්. නවරත්නම් (චාවාකච්චෙරි), ඒ. තංගතුරෙයි (මුතූර්- දෙවැනි මන්ත්‍රී), බී. නේමියානාදන් (ත්‍රිකුණාමලය), සී. රාජදුරෙයි (මඩකලපුව දෙවැනි මන්ත්‍රී), වී. ආනන්දසංගරී (කිලිනොච්චිය) යන මහත්වරුන්ය. එක්ස්. එම්. සෙල්ලතම්බු (වවුනියාව), වී. ඒ. අලගකෝන් (මන්නාරම) හා එන්. කදිරවෙළුපිල්ලෙයි (කෝපායි) යන මන්ත්‍රීවරු එදින පැමිණ සිටියේ නැත.

 

 

මතු සම්බන්ධයි....

 

 

 

 

 

 

ජී. ආර්. ඩී. බණ්ඩාර