ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්


 


අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසක්.


1939 නොවැම්බර් 07 වැනි දින උපන් ගුස්තික්‍ඳ්ක්‍ඳ වඩු පියසිරි ගුණරත්න වන මම අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ අටවැනි පන්තිය දක්වා ඉගෙනීම කළෙමි. පවුලේ අයහපත් ආර්ථික තත්ත්වය නිසා තවදුරටත් මගේ ඉගෙනීමේ කටයුතු සඳහා පියාගේ නැඟණියගේ පුත් දුම්රිය ස්ථානාධිපතිවරයකු වන ජයවීර ගුණසේකර අයියා මගේ ඉගෙනීමට උදව් කිරීමට කැමති විය. ඒ අනුව ඔහු මගේ අධ්‍යාපන වගකීම භාරගෙන, ඔහු එවකට පදිංචිව සිටි අනුරාධපුරයට මා ගෙන්වා ගත්තේය. 1956 ජනවාරි මාසයේ මම අනුරාධපුර පදිංචියට පැමිණියෙමි.


අනුරාධපුරයේ දුම්රිය ස්ථානාධිපතිවරයකු ලෙස රාජකාරී කිරීම නිසා ඡේතවනාරාම චෛත්‍යය පිටුපස ගෙයක් බද්දට ගත් අයියා සමඟ මම ද එහි පදිංචි විමි. අයියා විවාහ වී සිටියේ ඩිලානි විජේගුණවර්ධන මහත්මිය සමඟයි. ඇයට අනුරාධපුරයට මාරුවීම සාදා ගැනීමට බැරිවීම් නිසා ඇය නිවාඩු කාලයට පමණක් අනුරාධපුරයට පැමිණියාය. මේ කාලයේදී මම අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වූවෙමි.


ඉන්පසු අනුරාධපුර අභයගිරි පාරේ ගරු සෝමසිරි ස්වාමින් වහන්සේගේ පන්සල අසල ‘ගල්ගමුවලව්ව’ නමැති නිවසේ කොටසක් බද්දට ගෙන එහි පදිංචි වීමු. අයියාගේ බිරිඳ ද මේ කාලයේ අප හා පදිංචියට ආවාය. ඇයට අනුරාධපුර මධ්‍ය මහා විදුහලට පත්වීමක් ලැබුණි. මේ කාලයේදී නංගිලා දෙදෙනා සහ අම්මා ද අම්බලන්ගොඩ සිට අනුරාධපුරයට ගෙන්වා ගතිමි. නංගිලා දෙදෙනාද අනුරාධපුර මධ්‍ය මහා විදුහලට ඇතුළු කර ගැනීමට හැකි විය.


මා කුඩා කාලයේදීම මාගේ මව මිය යාම නිසා මා එදා සිට හදාවඩා ගත්තේ මගේ පියාගේ නැඟණිය වන විමලාවතී ගුණසේකර මහත්මියයි. මම ‘අම්මා’ කියා බහ තේරුවේ ඇයටයි. ඇයගේ දරුවකු මෙන් මා හදාවඩා ගෙන අයියාගේ උදවුවෙන් මගේ ඉගෙනීමට උදවු කළාය. අයියා සහ අක්කා මගේ ඉගෙනීමට උදවු කළහ. මගේ සියලුම කටයුතු සිදු වූයේ ඔවුන්ගේ උදවු නිසාය එසේ නොවන්නට අද මට මෙවැනි තත්ත්වයකට පැමිණිය නොහැකි බව මම දනිමි. සේපාලිකා ගුණසේකර, මල්ලිකා ගුණසේකර යන නංගිලා ද සමඟ මම මගේ අධ්‍යාපන කටයුතු කර ගනිමින් සිටියෙමි.


මාගේ පවුලේ දේශපාලන පසුබිම වූයේ මාගේ පියා සහාය දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනයයි. පක්ෂ කටයුතු සඳහා ක්‍රියාශීලිව කටයුතු නොකළ ඔහු මැතිවරණවලදී සහාය දැක්වූයේ එක්සත් ජාතික පක්ෂයටය.
පාසලේ හය හත පන්තිවල ඉගෙනීම ලබන කාලයේ පාසල් කාලයෙන් පසු වැඩිපුර කාලයක් ගත කළේ ගමේ පන්සල වූ අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ශ්‍රී විජයාරාමයේය. පන්සලේ දහම් පාසලට අමතරව අප පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වූ පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී නායක ස්වාමීන් වහන්සේ ‘විජය ළමා සමාජය’ නමින් සමිතියක් ආරම්භ කර ළමයින්ට සෙල්ලම් කිරීම සඳහා අවශ්‍ය බැට්, බෝල හා විකට් කූරු ආදී දෑ ලබාදී අප උනන්දු කරවූහ. මේ කාලයේ විජය ළමා සමාජයේ ක්‍රිකට් කණ්ඩායම නමින් ක්‍රිකට් කණ්ඩායමක්ද තිබිණ. අප පන්සල සමඟ දැඩි සම්බන්ධතාවක් ඇති වීමට මෙයද හේතුවක් විය.


අප පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ගමේ සෑම පොදු කටයුත්තකදීම නායකත්වය ගෙන කටයුතු කළහ. අම්බලන්ගොඩ නගර සභා මැතිවරණවලදී කළුඩුමුල්ලේ ආසනයට සභිකයෙකු තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ පිල සංවිධානය කළේ අපේ නායක ස්වාමීන් වහන්සේය. දේශපාලනය තුළින් මුදල් ඉපයීමෙන්, අන් අයට අපහාසවන ආකාරයේ කථා පැවැත්වීමෙන් වැළකී සිටියහ.


අම්බලන්ගොඩ වාමාංශික දේශපාලඥයන් වූ පී. එච්. විලියම්ද සිල්වා, ඇල්. සී. ද සිල්වා, විල්ෆ්‍රඞ් ද සිල්වා යන මහත්වරුන් නිතර අපේ පන්සලට පැමිණ නායක ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කිරීම සුලබ දසුනක් විය.
මෙම ආදර්ශමත් නායක ස්වාමීන් වහන්සේගේ ඇසුර නිසාම අප ද වාමාංශික අදහස් දරන්නන් බවට පත්විය. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේදී අපට ඉගැන්වූ ගුරුවරු බොහොමයක් වාමාංශික අදහස් දරන්නන් වීම, අපගේ වාමාංශික නැඹුරුව තහවුරු කිරීමට හේතු විය.


මෙසේ මා තුළ ඇතිව තිබූ වාමාංශික අදහස් නිසා අනුරාධපුරයට ගිය පසු ඒ ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබූ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට මාගේ අවධානය යොමුවිය.


මම අනුරාධපුරයේ ඉගෙනුම ලබමින් සිටියදී නව නගරයේ ජාතික නිවාසවල තිබූ ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ගොස් එහි පොත්පත් කියවීමට පුරුදුව සිටියෙමි. ඒ සමඟම මාක්ස්වාදය පිළිබඳ දේශනවලට සහභාගී වීමටත් පුරුදු වූයෙමි. අනුරාධපුර කොමියුනිස්ට් පක්ෂයේ දිස්ත්‍රික් ලේකම් ලෙස ආරියවංශ ගුණසේකර සහෝදරයා පූර්ණ කාලීනව සේවය කළේය.


මුලින්ම මම කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව රජරට ශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු ලෙස බැඳී එහි අනුරාධපුර ශාඛාවේ ලේකම් ලෙස පත් වුණෙමි. පසුව කොමියුනිස්ට් පක්ෂ තරුණ සමිතියට බැඳුණෙමි. තරුණ සමිතියේ අනුරාධපුර ලේකම් ලෙස පත් වුණෙමි. පසුව ලංකා චීන මිත්‍ර සංගමයේ හා සෝවියට් මිත්‍ර සංගමයේ සාමාජිකයකු වීමි. පසුව මා අපේක්ෂක පක්ෂ සාමාජිකයකු ලෙස බඳවා ගන්නා ලදී. සැලකිය යුතු කලකට පසුව පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීමට මට හැකි විය.


මේ කාලයේදී රජයේ සේවකයන්ට දේශපාලනය තහනම් වූ නිසා මා එම කටයුතුවලට බඳවා ගත්තේ ‘සරත් ගුණදාස’ නමැති නමිනි. මින් පසු පක්ෂයේ සියලුම කටයුතුවලදී මගේ නම සරත් ගුණදාස විය. 1961.04.15 දින සිට මම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තු කාර්යාල කාර්යාධිකාරී ලෙස පත්වී කොළඹ සේවයට පැමිණියෙමි. මාස හයකින් පමණ පසු දඹුල්ලේ කන්දලම අංශයේ ද අනතුරුව හුරුලුවැව ලී මෝලේ ද සේවය කළ මම ඉන් මාස කිහිපයකට පසු අනුරාධපුර නව නගරය අංශයටත් මාරු වී පැමිණියෙමි. මම නැවතත් අනුරාධපුර කොමියුනිස්ට් පක්ෂ සගයන් සමග එක් වුණෙමි.


අනුරාධපුරයට මාරු වී පැමිණි හික්කඩුව පතන ප්‍රදේශයේ පාසල් ගුරුවරයකු වූ ‘විජේසේන ජී. විතාන’ (සනත් බොරළුකැටිය) සහ ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙහි (ඉ.සං.දෙ) සේවය කළ දිනෝරිස් (සිරිල් දහනායක) ද මේ කාලයේ පක්ෂ කටයුතු සඳහා සහභාගි වූහ.


1963 දී සම සමාජ, කොමියුනිස්ට සහ මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ එකතු වී සාදාගත් වාමාංශික එක්සත් පෙරමුණ යෝධ මැයි පෙළපාළියක් පැවැත්වීමට සමත් විය. මේ කාලයේම බොරැල්ල අතුරු මැතිවරණයෙන් යූ.ඇන්.පී. ශ්‍රී ලංකා අපේක්ෂකයින් දෙදෙනාම පරදවා වාමාංශික අපේක්ෂිකාව වූ විවියන් සහෝදරිය ජයගැනීමට සමත් වූවාය. මේ නිසා අපි බෙහෙවින් උද්දාමයට පත්වී සිටියෙමු. සමසමාජය, ආණ්ඩුවට යෑමට උත්සාහ කිරීමත් කොමියුනිස්ට් කඳවුරේ මොස්කව් පීකිං භේදයත් නිසා වාමාංශික එක්සත් පෙරමුණ අවාසනාවට මෙන් කැඩී බිඳී ගියේය. ඒ සමඟම සම සමාජය හා කොමියුනිස්ට් පක්ෂ පුපුරා ගොස් විප්ලවවාදීන් හා සංශෝධනවාදීන් ලෙස වෙන්විය. චීනයේ මතය පිළිගත් කොමියුනිස්ට් පක්ෂය චීන පිල හෙවත් පීකිං පිල නමින් හැඳින්වුණු අතර එහි නායකයා වූයේ එන්. ශන්මුගදාසන් සහෝදරයාය. කොමියුනිස්ට් පක්ෂය දෙකඩ වීමේදී පොළොන්නරුවේ කුලරත්න, ආරියවංශ ගුණසේකර, සනත් බොරළුකැටිය, සිරිල් දහනායක ඇතුළු තවත් පිරිසක් සමඟ මම ද කොමියුනිස්ට් පක්ෂ චීන පිල සමඟ එක් වුණෙමි.


1964 මා ඉ.සං.දෙ කාර්යාල කාර්යාධිකාරී සංගමයේ ලේකම් ලෙස පත්වී නැවත කොළඹ කිරුළපන ඉ.සං.දෙ. ප්‍රවාහන අංශයේ කාර්යාලයට මාරුවී පැමිණියෙමි. මේ කාලයේ කොමියුනිස්ට් පක්ෂයේ (චීන පිල) කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කළෙමි. මාගේ දෙපාර්තමේන්තුවේ රාජකාරී ලෙස මට ලැබී තිබුණේ වාහන අළුත්වැඩියා කිරීමට අවශ්‍ය කොටස් කොළඹ ගොස් මිලදී ගැනීමටය. මේ සඳහා දෙදෙනෙකු සේවයේ යොදවා තිබූ අතර දෙදෙනාට එක වාහනයක් ලබාදීමට ක්‍රියා කරන ලදී. 


දෙදෙනා විසින් වෙන වෙනම රැස්කර ගතයුතු වාහන කොටස් එක් අයකු ගොස් එකතු කර ගන්නා අතර අනිකාට වාහනයෙන් මඟදී බැස තමාගේ වෙනත් කටයුතු සඳහා යෑමට හැකි විය. මෙවැනි අවස්ථාවලදී මම වාහනයෙන් බැස අප සමිතියේ හා පක්ෂයේ කටයුතු සඳහා යෑමට පුරුදු වී සිටියෙමි. වැඩ කටයුතු අවසන් වූ පසු නැවත කිරුළපන හයිලෙවෙල් පාරේ පාලම ළඟට පැමිණ දෙදෙනාම වාහනයට නැගී කාර්යාලයට යාම අපගේ සිරිත විය. මෙම බඩු එකතු කිරීමට යාමට යොදවා සිටියේ මා සහ මා පක්ෂයේ කටයුතුවල නිරතවීම ගැන සහය දැක් වූ බෝටින් නම් මහතෙක් පමණි. මේ නිසා මට අප සමිතියේ කටයුතු මෙන්ම පක්ෂයේ කටයුතුද රාජකාරි වේලාව තුළම, රාජකාරී ඉටු කිරීමට අමතරව සිදු කිරීමට හැකිවිය.


මෙම කාලයේ මම සේවයට දිනපතා අම්බලන්ගොඩ සිට දුම්රියෙන් ගමන් කළෙමි. පස්වරුවේ කිරුළපන දෙපාර්තමේන්තු කාර්යාලයේ සිට කොම්පඤ්ඤවීදියට පැමිණ පක්ෂ මූලස්ථානයට ගොස් ආපසු අම්බලන්ගොඩට යෑමට මම පුරුද්දක් කර ගත්තෙමි.


චිත්‍රපට පෙන්වීම සඳහා කුඩා ප්‍රොජෙක්ටරයක් පක්ෂයට තිබිණි. මම අපේ ගමේ පන්සලේ දී පක්ෂයේ සහයෝගයෙන් ‘අම්මා’ චිත්‍රපටය පෙන්වීමට කටයුතු කළෙමි. මෙය නැරඹීමට ගමේ බොහෝ දෙනෙක් පැමිණ සිටියහ. මේ කාලයේ දී පක්ෂයට දන්වා කථිකයෙකු ලබාගෙන අපගේ නිවසේ දේශපාලන දේශනයක් පැවැත්වීමි. මෙම දේශනයට ගමේ තරුණයන් වූ දයාවංශ, ධනසිරි, සුමනසිරි, ආරියසිරි යන අය ද ධර්මාශෝක හා දේවානන්ද විද්‍යාලවල ශිෂ්‍යයන් කිහිපදෙනෙක් ද සහභාගි වූ බව මතක තිබේ. මෙම දේශනය පැවැත්වූයේ ගාමිණි යාපා සහෝදරයායි.


පක්ෂයේ පුවත්පත වූ ‘කම්කරුවා’ පත්‍රය අම්බලන්ගොඩ නගරයේ අපගේ හිතවතුන්ට අලෙවි කිරීමට අප ක්‍රියා කළ අතර මොස්කව් හිතවාදී කොමියුනිස්ට් පක්ෂයේ පුවත් පත වූ මව්බිම පත්‍රයට වඩා වැඩි ඉල්ලුමක් ‘කම්කරුවා’ පත්‍රයට එකල අම්බලන්ගොඩ තිබිණි. මේ චිත්‍රපටය පෙන්වීම, දේශනය පැවැත්වීම හා ‘කම්කරුවා’ පත්‍රය අලෙවි කිරීම පක්ෂය වෙනුවෙන් සම්බන්ධීකරණය කළේ පාසල් ගුරුවරයෙකු වූ පියසේන සහෝදරයාය.
මේ කාලයේ මට කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පක්ෂ මූලස්ථානයේ කටයුතුවලට සහභාගි වීමට හැකියාව ලැබුණි. නිතර නිතර පක්ෂ කාර්යාලයට ගොස් එහි කටයුතුවලට සහභාගි වූයෙමි. මේ කාලයේ දී පක්ෂයේ තවත් සහෝදරයින් හඳුනා ගැනීමට හැකි විය. පියාගේ අසනීප තත්ත්වයක් නිසා මේ දිනවල රුසියාවෙන් ලංකාවට පැමිණ සිටි විජේවීර සහෝදරයා ද ඒ අතර විය. ඔහු ඒ කාලයේ දී පක්ෂ කාර්යාලයට පැමිණීමට පුරුදුව සිටියේය. මොහුට රුසියාවට නැවත යාමට වීසා නොදුන් නිසා. ලංකාවේ නැවතුණ බව දැනගන්නට ලැබුණි. අනතුරුව ඔහු පක්ෂයේ පූර්ණ කාලීනයකු ලෙස සේවය කරන්නට පටන් ගත්තේය. මට විජේවීර සහෝදරයා කොම්පඤ්ඤවීදියේ තිබූ පක්ෂ කාර්යාලයේ දී නිතර හමුවිය. නිරතුරුව හමුවීම නිසාත් පක්ෂයේ කටයුතුවල දී ඔහු දැක්වූ උනන්දුව නිසාත් ඔහු 1950 දශකයේ අග භාගයේ අම්බලන්ගොඩ මහ පන්සල පාරේ නැවත ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබා තිබූ අයෙකු වූ නිසාත් ඔහු සමග කිට්ටු සුහද බවක් ද ඇති විය.


සිරිල් දහනායක සහෝදරයා ද කොළඹට මාරු වී පැමිණීම නිසා ඔහු ද පක්ෂ කාර්යාලයේ දී හමුවන්නට ලැබුණි. සනත් සහෝදරයා පක්ෂ කටයුතු සඳහා කොළඹ පැමිණි අවස්ථාවන් හිදී ඔහු ද හමුවන්නට ලැබුණි. එමෙන්ම පක්ෂයේ තරුණ සමිති, ගොවි සමිතිවලට සහභාගි වීමේදීත් අපට මෙසේ හමුවන්නට අවස්ථාව ලැබුණි. එවැනි අවස්ථාවන්හි දී විජේවීර සහෝදරයා අපට හමුවිය.


1964 දී කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල වශයෙන් අපි තනිව ඩිමෙල් පාක් හි දැවැන්ත මැයි රැලියක් පැවැත්වූයෙමු. පැරණි කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරීහූ, තරුණයෝ විශාල පිරිසක් මෙයට සහභාගි වූහ.
1964 වර්ෂයේ අග භාගයේ දිනයක දී විජේවීර සහෝදරයා මා හට කතා කර ටිකක් සාකච්ඡා කිරීමට වුවමනා බව කීවේය. එදින අපි දෙදෙනා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ බංකුවක වාඩි වී සාකච්ඡා කළෙමු. අපි තත්කාලීන දේශපාලන තත්ත්වය හා පක්ෂයේ කටයුතු ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. ඔහු පූර්ණ කාලීනයකු ලෙස තරුණ සමිතියේ කටයුතුවල යෙදී සිටි නිසාත් පිට ප්‍රදේශවලට යාමට අවස්ථා ලැබෙන නිසාත් පවතින සමහර තත්ත්වයන් විස්තර කළ ඔහු ඒ සඳහා පක්ෂයේ ක්‍රියා පිළිවෙළක් නොමැති බවත් කීවේය. 


තවත් කොටසක් ලබන සතියට.

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.