ජවිපෙ මුල්ම සාකච්ඡාව


ජවිපෙ ආරම්භක සාමාජිකයකුගේ මතක සටහන්

02 වැනි කොටස

අම්බලන්ගොඩ ගුස්තික්‍ඳ්ක්‍ඳවඩු පියසිරි ගුණරත්න ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකි. ඒ ඉපැරණි මතකය සිහිපත් කරමින් ඔහු “මගේ මතක සටහන්” (ජනතා විමුක්ති පෙරමුණ සහ අප්‍රේල් කැරැල්ල) නමින් කෘතියක් පසුගියදා එළිදැක්විණි. මේ ඒ කෘතියෙන් උපුටාගත් කොටසකි.

පූර්ණ කාලීනයකු ලෙස පත්ව සිටියත් ඔහු ද පත්තර විකිණීම වැනි කටයුතුවල යෙදෙනවා විනා ජනතාව අතරට ගොස් පක්ෂ සාමාජිකත්වය වර්ධනය කර ගැනීමට කිසිත් නොකරන බවත් කීවේය. පොළොන්නරුවේ කුලරත්න වැනි සහෝදරවරුන් කිහිපදෙනෙකු ඔවුන්ගේ වුවමනාවට ජනතාව අතර කටයුතු කරතත් පක්ෂයේ වර්ධනයක් නොවන බවත් ඔහු එදා මා සමග කීවේය. අප වුණත් පක්ෂ කටයුතු ලෙස කළේ රැස්වීම්වලට සහභාගි වීම හා කාර්යාලයේ කතා කරමින් සිටීම නේද කියා මටත් තේරුම් යන්නට විය. පක්ෂයේ වර්ධනය සඳහා අපෙන් වැඩ ගැනීම පිණිස ක්‍රමවේදයක් පක්ෂයට නොමැති බව මට එම සාකච්ඡාවෙන් තේරුම් ගියේය.


මීට අමතරව ඔහු, සනත් හා දහනායක සමගත් වෙන වෙනම කතා කර තිබුණි. පසුව තිදෙනාම එකතු කර සාකච්ඡා කිරීම සඳහා දිනයක් හා ස්ථානයක් ලෑස්ති කර ඔහුට දන්වන ලෙස ඔහු මට කීවේය. ඒ අනුව පසුව දිනයක් යොදා ඒ සඳහා අපේ ගෙදර යොදා ගතිමි. මෙය 1965 මාර්තු මාසයේ වන අතර නිශ්චිත දිනය අමතක වී ගොසිනි.


මෙදින සනත්, දහනායක, විජේවීර යන තිදෙනා අපේ ගෙදරට පැමිණියහ. අපේ ගෙදර අලුත්වැඩියාවක් හේතුවෙන් සාකච්ඡාව පැවැත්වීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවූ නිසා පන්සලේ ලොකු හාමුදුරුවන් වන ‘ගරු පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී හිමියන්ට’ දන්වා මම පන්සලේ සාකච්ඡා කිරීමට අවසර ලබා ගතිමි. ඒ අනුව අපි ධර්ම ශාලාවට වඩා ආවරණ ඇති ස්ථානයක් වූ බුදු ගේ ඉදිරිපස කොටසේ වාඩි වී සාකච්ඡා කළෙමු.
පළමුව විජේවීර සහෝදරයා පක්ෂයේ අද පවතින තත්ත්වය පිළිබඳ විස්තර කරන ලදී. අද පක්ෂය විප්ලවවාදී පක්ෂයක් ලෙස කටයුතු නොකරන බවත්, පක්ෂය ජනතාව තුළට විප්ලවවාදී අදහස් ඇති කිරීම සඳහා කිසිදු කටයුත්තක් නොකරන බවත්, අඩුම තරමින් පක්ෂය යටතේ වන වෘත්තීය සමිතිවල කම්කරු සහෝදරයින්ට දේශපාලන දැනුම ලබා දීමටවත් වැඩපිළිවෙළක් නොමැති බවත් පැවසීය.


තවද මේ සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ක්‍රියාකාරී සහෝදරවරුන් යෝජනා කළත් ඒවා ගණන් නොගන්නා බවත් එසේ අදහස් ඉදිරිපත් කරන සහෝදරයින් ගැන සැක කර ඔවුන් ගැන සොයා බැලීම කරන බවත් පැවසීය. පක්ෂය ප්‍රජාව සංවිධානය කිරීමේ දී අවශ්‍ය පරිදි උනන්දුවෙන් ක්‍රියා නොකිරීම ගැන දහනායක සහෝදරයා හා මම කරුණු ඉදිරිපත් කළෙමු. පක්ෂයේ ඇති අඩු පාඩු සකසා පක්ෂය විප්ලවවාදී මාවතට ගැනීම සඳහා අප පෙරමුණ ගත යුතු බව සනත් සහෝදරයාගේ මතය විය. 


දවල් ආහාරය අප නිවසෙන් ගෙන නැවත පන්සලට පැමිණ සාකච්ඡා කළෙමු. දැනට විජේවීර සහෝදරයා පක්ෂයේ තරුණ සමිති කටයුතු සඳහා පූර්ණ කාලීනයෙකු ලෙස සේවය කරන නිසා අලුතෙන් සාමාජිකයන් බඳවා ගෙන අලුතෙන් තරුණ සමිති ආරම්භ කිරීමට තීරණය කරන ලදී. මේ අතරම පක්ෂය ගැන කලකිරී සිටින සහෝදරයින් ද දැනුවත් කර මේ සඳහා ඔවුන්ගේ සහයෝගය ද ලබා ගැනීමට තීරණය කරන ලදී. ක්‍රියාශීලීව පක්ෂයේ කටයුතු කරන සහෝදරයින් උනන්දුවෙන් වැඩ කරන විට ඒ අය දිරිමත් කිරීම නොව ඔවුන් අධෛර්යමත් කිරීම ෂන්මුගදාසන් සහෝදරයාගේ ක්‍රියා කලාපය බව දහනායක හා සනත් සහෝදරවරු පවසා සිටියහ. විජේවීර සහෝදරයා කියා සිටියේ මෙවැනි තත්ත්වයක් ඇති වේය යන්න ගැන සිතා අලුතෙන් සම්බන්ධ වන සහෝදරයින් සමග වෙනම සම්බන්ධකම් තබා ගැනීම සුදුසු බවයි. අපව පක්ෂයෙන් නෙරපා හැරීමක් සිදුවුවහොත් අප අලුතෙන් සම්බන්ධ කර ගන්නා සහෝදරයින් හා පක්ෂය ගැන කලකිරී සිටින දැනට අප සමඟ සම්බන්ධව සිටින සහෝදරයින් ද සමඟ අප වෙනමම කටයුතු කිරීම සුදුසු බවට තීරණය කරන ලදී. අපට පක්ෂයෙන් බාධා කිරීම් ඇතිවන තුරු හෝ පක්ෂයෙන් නෙරපා හරින තුරු පක්ෂයේ රැඳී සිටිමින් පක්ෂයට අදාළ සංවිධාන කටයුතු හා තරුණ සමිති කටයුතු වෙනදාටත් වඩා හොඳින් කරමින් හැකිතාක් සහෝදරවරුන් අප වෙත දිනා ගැනීමට කටයුතු කළ යුතු බව තීරණය කරන ලදී.


අනතුරුව සනත් සහෝදරයා කියා සිටියේ තවමත් පක්ෂයේ සිටින ඉතා ක්‍රියාශීලීව පක්ෂ කටයුතු තමාට හැකි උපරිම මට්ටමින් සිදු කරන එහෙත් පක්ෂය ගැන කලකිරී සිටින මාක්ස්වාදය ගැන හා රටේ ආර්ථික හා සමාජ ප්‍රශ්න ගැන හසළ දැනුමක් ඇති විදුහල්පතිවරයකු ලෙස සේවය කළ පියසේන සහෝදරයාට අපගේ මෙම සාකච්ඡාව ගැන දන්වා ඔහුගේ අදහස් ලබා ගැනීම සුදුසු බවයි. මෙය හොඳ අදහසක් බව අප තීරණය කළෙමු. ගෙදරට ගොස් රාත්‍රී කාලයේ තවදුරටත් සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.


අපගේ ගෙදරින් රාත්‍රී ආහාරය ද රැගෙන අපි පියසේන සහෝදරයාගේ ගෙදරට ගියෙමු. එවකට ඔහු පදිංචිව සිටියේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල කියන ගමේ ඇල්පිටිය පාරට මුහුණලා තිබූ නිවසකය. 


පියසේන සහෝදරයාගේ බිරිඳ ද ඉතා සුහදශීලී කාන්තාවක් වූ ඇන්ටිනෝනා මහත්මියයි. ඇය ද ගුරුවරියක් වූ අතර මේ වන විටත් මා හා සනත් ඇය දැන හඳුනාගෙන තිබුණි. පියසේන සහෝදරයා සනත් සහෝදරයාට තිරාණගම දී උගන්වා තිබුණි. ටික වේලාවක් කතා කර කර සිට පියසේන සහෝදරයාට අපි ආ කාරණය කීවෙමු. පසුව පැදුරු කිහිපයක් ගෙන ගෙයි ඉදිරිපස කොටසට පැමිණ දොර වසා ගෙන නිදා ගන්නා ලෙස ඔහු බිරිඳට හා දරුවන්ට කීවේය. අප එදා එළිවන තුරුම සාකච්ඡා කළෙමු. එහිදී අපි එදින උදයේ කරන ලද සාකච්ඡාව පිළිබඳ ඔහුට කීවෙමු. අද රටේ තත්ත්වය හා ලංකාවේ වාමාංශික පක්ෂ ක්‍රියාකරන ආකාරය ගැන හොඳ විස්තරයක් ඔහු ඉදිරිපත් කළේය. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සිට චීන පිලට ආවේත් එම පක්ෂය විප්ලවවාදී ලෙස කටයුතු කරනු ඇතියි යන බලාපොරොත්තුවෙන් බවත් කීවේය. ශන්මුගදාසන් සහෝදරයාත් පක්ෂය විප්ලවවාදී ලෙස සංවිධානය කරන බවක් නොපෙනෙන නිසා කලකිරීමෙන් සිටින බව ඔහු කීවේය. දොස්තර වික්‍රමසිංහ සහෝදරයා නායකයා වූ කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිල) ක්‍රියාකරන ආකාරය ගැන ද ඔහු හොඳ විස්තරයක් කළේය. ඔවුන් ධනේශ්වර පාර්ලිමේන්තු ක්‍රමය කෙරෙහි පමණක් බලා ගෙන වැඩ කරන බවත් නිර්ධන පන්තිය දැනුවත් කර පක්ෂය ගොඩනැඟීමට උනන්දුවක් නොමැති බවත් කී ඔහු ශන්මුගදාසන් සහෝදරයා නායකත්වය දරන චීන පිලත් එම ක්‍රියා මාර්ගයටම වැටී ඇති බවත් කීවේය. ඒ ඒ රටවල විප්ලවය සිදු වූ ආකාරය ද ඒ ඒ රටවල එවකට තිබූ සමාජ ආර්ථික තත්ත්වයන් ද පියසේන සහෝදරයා විස්තර කළේය. බටහිර යුරෝපයේ, මැදපෙරදිග, අග්නිදිග ආසියාවේ හා ඉන්දියාවේ කොමියුනිස්ට් පක්ෂවල තත්ත්වය හා කොංගෝවේ ලුමුම්බා සහෝදරයාට වූ දෙයත් එම පැහැදිලි කිරීම්වලට ඇතුළත් විය. අද රටේ පවතින තත්ත්වය අනුව පවතින ධනපති ක්‍රමය විනාශ කර සමාජවාදය ගොඩ නැඟීම සඳහා වන පක්ෂයක් සඳහා සමාජයේ හිඩැසක් පවතින බවත් ඔහු අපට වටහා දුන්නේය. පසුව අපි උදේ සාකච්ඡා කරගත් නිගමන ඔහුට කීවෙමු.


අනතුරුව අපි වෙනම කණ්ඩායමක් වශයෙන් පක්ෂය තුළ සිටිමින් පක්ෂය විප්ලවවාදී ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා උත්සාහ කිරීමට තීරණයක් ගත්තෙමු. එසේ පක්ෂය විවේචනය කරමින් කටයුතු කරන විට අපේ මතයට සහයෝගය දෙන සහෝදරයින් හඳුනා ගෙන ඔවුන් සමග සම්බන්ධකම් පවත්වමින්, ඔවුන් සමග සාකච්ඡා කර, ඒ අය ද සමග එක්වී හැකි නම් පක්ෂය නිවැරදි කර ගැනීමට උත්සාහ කරමින් පක්ෂය තුළ වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානගතව කටයුතු කිරීම අපේ තීරණය විය.


විජේවීර සහෝදරයා මේ වන විටත් පක්ෂයේ තරුණ සමිති සම්මේලනයේ පූර්ණකාලීනයකු ලෙස සේවය කරන නිසා ප්‍රාදේශීය වශයෙන් ද මෙම කටයුතු කිරීමට ඔහුට හැකියාව තිබුණි. තවද මට විශේෂ වැඩක් භාර විය. ශන්මුගදාසන් සහෝදරයාට තව තවත් ළංවී පක්ෂයේ අභ්‍යන්තර කටයුතු සොයා බැලීමට මට උපදෙස් ලැබුණි.


මෙම තීරණයන් අසා සිටි පියසේන සහෝදරයා මේවා ක්‍රියාත්මක කිරීමට අදාළව උපදෙස් දුන්නේය. වෘත්තීය සමිති තුළ හා තරුණ සමිති තුළ විශේෂත්වයක් දී කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙම සමිතිවල සාමාජික සහෝදරයින් සමඟ වෙනම සාකච්ඡා කර ඔවුන් ලවා සමිති තුළ විවේචනයන් ඇති කරන ලෙසටත් උපදෙස් දුන්නේය. පියසේන සහෝදරයාගෙන් ලැබූ උපදෙස් අප ව්‍යාපාරයේ මුල් කාලයේ කටයුතුවලට බොහෝ උපකාර විය. පසු දින උදේ අපි විසිර ගියෙමු.


මෙසේ එදා අම්බලන්ගොඩ කළුඩුමුල්ලේ ශ්‍රී විජයාරාමයේ දී පවත්වන ලද ව්‍යාපාරයේ මුල් සාකච්ඡාව සඳහා සහභාගි වූයේ රුසියාවේ ලුලුම්බා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටියදී ආපසු රුසියාවට යාමට වීසා නුදුන් නිසා ඉගෙනීම අතර මග නතර කිරීමට සිදු වූ නන්දසිරි විජේවීර නොහොත් රෝහණ විජේවීර, රජයේ පුහුණු ගුරුවරයෙකු වූ විජේසේන ජී. විතාන නොහොත් සනත් බොරළුකැටිය, ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුරකරුවකු ලෙස සේවය කළ එල්. එම්. දිනෝරිස් නොහොත්

 


සිරිල් දහනායක හා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්යාල ඔවර්සියර්වරයෙකු ලෙස සේවය කළ ජී. ඩබ්ලිව්. පියසිරි ගුණරත්න නොහොත් සරත් ගුණදාස නොහොත් අනුරාධපුර අතුල වන මාත්ය.


ඉන්පසු කාලයේත් විජේවීර සහෝදරයා මා සමඟම දුම්රියේ පැමිණ පියසේන සහෝදරයාගේ ගෙදරට ගොස් රාත්‍රී 10, 11 පමණ වන තුරු සාකච්ඡා කරමින් සිටීමට පුරුදු විය. සාකච්ඡාවලින් පසු මම රාත්‍රියේම ගෙදර ගියෙමි. අප නිවස පිහිටා තිබුණේ පියසේන සහෝදරයාගේ නිවසේ සිට හැතැප්මක් පමණ දුරිනි. විජේවීර සහෝදරයා උදයෙන්ම නැගිට පිටත්ව යයි. විශේෂයෙන් අප හිතවත් සහෝදරයින් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙන් ඉවත් කිරීම සිදුවන අවස්ථාවල දී ඔහු මෙසේ සාකච්ඡා කිරීම පිණිස පැමිණියේය.

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි.