දිගු කලක් වාමාංශික දේශපාලන ව්‍යාපාරයට සෙවණ බලය සහ රැකවරණය දුන් දැවැන්ත රුකක් බඳු වූ ප්‍රවීණ දේශපාලනඥයකුගේ අභාවය 2018.12.10 ලන්ඩන් නුවරදී සිදුවිණ. කිසිදා ජනතාවට අමතක නොවන මානව හිතවාදී මෙම මිනිසා අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකරය.
එම නාමය අද පරපුරට අසා නොපුරුදු වුවද 60 - 70 දශකයේත් 88 - 89 භීෂණ යුගයේදීත් දේශපාලන ලෝකය කැලඹූ මානව හිමිකම් වෙනුවෙන් නිර්ව්‍යාජව පෙනී සිට තම වාග් කෞශල්‍යයෙන් සටන් වැදුණු වීරෝදාර චරිතයකි. දක්ෂිණාංශික පක්‍ෂ ප්‍රින්ස් සමග සංහිඳියාවෙන් කටයුතු කිරීමට මෙතෙක් උත්සහ ගත්තද තම ස්වාධීන මතවාදය කිසි විටෙක පාවා නොදී ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කළ බැවින් ඔහුට උරුම වූයේ සිපිරිගෙයයි.
දකුණේ අහංගම කතළුවේ මධ්‍යම පාන්තික පවුලක උපත ලද ප්‍රින්ස් කතළුව රජයේ පිරිමි පාසලින් මූලික අධ්‍යාපනය ලබා අනතුරුව වැලිමඩ ශ්‍රී සුමංගල විදුහලෙන් හා කොළඹ ආනන්ද විදුහලෙන් උසස් අධ්‍යාපනය හදාරා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු නීති විද්‍යාලයට ඇතුළත්ව 1955 දී අධිනීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය.
1945 දී පමණ ප්‍රගතිශීලි භික්‍ෂූන් වහනසේලා සමාජවාදී කඳවුර සමග ඒකරාශි වී ගෙනගිය ධනේශ්වරවාදයට එරෙහි සටන් ව්‍යාපාරයේ බල කඳවුරක්ව පැවතියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනයි. සිංහල පමණක් උගත් නව පරපුර ඉංග්‍රීසි අධ්‍යාපනය හදාරන්නට වරම් ලබාදුන්නේ මෙම සටන තවත් මුවහත්කර අධිරාජ්‍යවාදී පාලන රටාවෙන් මෙරට නිදහස් කර ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනි.
මෙරට දරු පරපුර ජාත්‍යන්තර තලයට ඔසවාලීමේ අරමුණෙන් විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධිත ශ්‍රී ධර්මාලෝක විදුහල ආරම්භ කරන ලදී. එහි විදුහල්පතිවරයා වූයේ පසුව ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාලයන්ය. එහි ආචාර්ය මණ්ඩලය නියෝජනය කළ තිස් ගණනක් වූ ගිහි පැවිදි පිරිසට ප්‍රවීණ දේශපාලනඥයකු හා පුවත්පත් කලාවේදියකු වූ දිවංගත රත්නදේශප්‍රිය සේනානායක හා දිවංගත ප්‍රින්ස් ගුණසේකරයෝද ඇතුළත් වූහ.
පාලක එක්සත් ජාතික පක්‍ෂයේ අධිරාජ්‍ය ගැති ධනේෂ්වර ප්‍රතිපත්තියට එරෙහිව අදහස් ප්‍රකාශ කළ විද්‍යාලංකාර පිරිවෙනේ මහාචාර්ය වල්පොල රාහුල, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, කොටහේනේ පඤ්ඤාකිත්ති වැනි හිමිවරුන් කෙරෙහි නොපැහැදුණු පාලක පිරිස සමස්ත භික්‍ෂූන්ට එරෙහිව තර්ජන ගර්ජන එල්ල කරන්නට වූහ.
“දේශපාලනය භික්‍ෂූන්ට එකහෙළාම නුසුදුසු යැයි ආඥා පනවන්නට තරම් පාලකයෝ දරුණු වූහ. විද්‍යාලංකාර දායක සභාවද මේ නිසා කැලඹීමට පත්වූහ. මෙම අර්බුදයේදී විද්‍යාලංකාර භික්‍ෂූන්ගේ පාර්ශ්වය ගත් ඩී. බී. ධනපාල සූරීහු විදුහල්පතිධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඊට එකඟතාව පළකර ප්‍රින්ස් ගුණසේකර සහ රත්නදේශප්‍රිය ආදී ගුරු මණ්ඩලයම ඉන් ඉවත් වූහ.
අනතුරුව 1947 දී ඩී. බී. ධනපාලයන් ටයිම්ස් මන්දිරය කේන්ද්‍රකර ලංකාදීප පුවත්පත ආරම්භ කළ අතර එම කර්තෘ මණ්ඩලයට ප්‍රින්ස් ගුණසේකර ද එක්විය. ඔහු නීති විද්‍යාලයට ගියේ මෙම වකවානුවේදීමය. අනතුරුව වමේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධනයන් සමග දේශපාලනයට එක්වූ ඔහු මහජන එක්සත් පෙරමුණේ සම ලේකම් ධුරයට පත් විය. 1956 බලපෙරළිය සඳහා ප්‍රින්ස් දායකනත්වය දුන්නේ එම ශක්තිය තුළිනි.
ප්‍රිනිස් 1960 මාර්තු මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් කළ සටනේදී ජය හිමිකරගත් නමුත් 1960 ජූලි මහ මැතිවරණයේදී පරාජයට පත්විය. ඒ රාජාසන කතාවේදී පිලිප් ගුණවර්ධනයන්ගේ නායකත්වය ගනු ලැබූ තීරණයකට එරෙහිව ගත් පියවරක් නිසාය.
ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස 1965 දී ප්‍රින්ස් තම ආසනය වන හබරාදූව අසුන ඉතා තියුණු සටනකින් ජයගත්තේ ප්‍රධාන පක්‍ෂ දෙකම පරාජයට පත් කරමිනි. 1970 දී ඔහු නියෝජනය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. යළි හබරාදූව මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පිවිසි ප්‍රින්ස් තුළ කවදත් රැඳී සිටි විප්ලවවාදී අදහස් ඔහුගේ යටිහිතට බලපෑම් කරන්නට වූවේය.
ඊට හේතුව වූයේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකට අභියෝග කරමින් බිහිවුණු ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති සමග ඔහු තුළ තිබූ එකඟතාවයි. ඔහු දිගු කලක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරයන් සමග සබඳතා පවත්වා තිබිණ.
1971 දී රජය ජවිපෙ මර්දනය කිරීමට ගත් පියවරවලට එරෙහිව ඔහු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සටන් මෙහෙයවිය. ජවිපෙ කැරැල්ල ක්‍රියාකාරීව සහය දුන් තරුණයන්ට එරෙහි නඩු විභාගවලදී ඔවුන්ගේ නිදහස වෙනුවෙන් නීතිමය ආධාර ලබා දීමට ඔහු ඉදිරිපත් විය. පක්‍ෂ දේශපාලන සටන අත්හැර දැමූ ප්‍රින්ස් දිගින් දිගටම සටන්කාමීන්ට තම සහයෝගය ලබා දුන්නේය.
1971 දී අරගලකාරී පරිසරය මැද මෙහි පැමිණි බි්‍රතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ ඇවරිබරි සාමිවරයා සමග එක් වූ ප්‍රින්ස් ගුණසේකරයෝ දකුණේ ප්‍රදේශවල සංචාරයක් කරමින් රටේ තතු එතුමාට පැහැදිලි කළේය. ජවිපෙ සමග තදනත්තර සබඳතාවකට පත් ප්‍රින්ස් ටිකෙන් ටික පක්‍ෂ දේශපාලනයෙන් ඈත් විය.
1978 දී රටපුරා පැතිරුණු ජාතිවාදී රැල්ලේදී ඊට එරෙහිව ජාතික සංහිඳියාව වෙනුවෙන් ජවිපෙ මගින් සංවිධානය කළ රැලිමාලාවේ ප්‍රධාන කථිකයා වූයේ ප්‍රින්ස් ගුණසේකරය.
රෝහණ විජේවීරයන්ගේ නීති උපදේශක ලෙස කටයුතු කළ ප්‍රින්ස් ගුණසේකරයන් 1982 දෙසැම්බරයේ පැවති ජනමත විචාරණයට එරෙහිව ජවිපෙ පැවරූ නඩුවට පෙනී සිට විශාල භූමිකාවක් ඉටු කරමින් එම නඩුව වෙනුවෙන් ශ්‍රීලනිපයේ පතාක යෝධයකු බඳු වූ නීතිවේදී ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකයන් සම්බන්ධකර දුන්නේය.
ඊට ප්‍රතිචාරයක් වශයෙන් 1983 දී පැවැති හබරාදූව අතුරු මැතිවරණයට ප්‍රින්ස් ස්වාධීනව තරග කරන විට ජවිපෙ තම පක්‍ෂයෙන් කිසිවකු ඉදිරිපත් නොකළේය. එජාප රජය ගෙන ගිය මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව ප්‍රින්ස් ගුණසේකරයන් විසින් මහත් මෙහෙවරක් ඉටු කෙරිණි.
පසුව මානව හිමිකම් නඩුවලට පෙනී සිටි නීතිඥයන් එකිනෙකා ඝාතනය කිරීමේ රැල්ලක් නිර්මාණය වූ අතර ඊළඟ මොහොතේ ප්‍රින්ස් වෙතද රාජ්‍ය ත්‍රස්තවාදය එල්ලවන ලකුණු පහළවන්නට විය. එජාප ආණ්ඩු සමයේ බිහි වූ කහ බළල්ලු, කළු බළල්ලු, කොළ කොටි, ප්‍රා උකුස්සෝ වැනි විවිධ කණ්ඩායම් තැන්තැන්වල ප්‍රගතිශීලීන් ඝාතනය කර දැමුවේ තිරස්චීන අයුරිනි.
එක පැත්තකින් දහස් ගණන් තරුණ තරුණියෝ අතුරුදන්වීම්, පහරදීම්, මරාදැමීම්වලට ගොදුරු වෙද්දී අනෙක් පසින් ඔවුන් බේරා ගැනීමට ක්‍රියාකාරී වූ මාධ්‍යකරුවන්, ප්‍රභූවරුන් දේශපාලනඥයන්, නීතිඥයන් හා ඔවුන්ගේ ඥාති මිත්‍රාදිය නිර්දය ලෙස ඝාතනය කෙරිණ.
එබැවින් අනුන්ගේ පණ බේරීමට පෙර තමන්ගේ පණනළ ආරක්ෂා කර ගැනීමට මෙම පිරිසට සැඟැවී සිටීමටත් විදෙස්ගත වීමටත් සිදුවිණ. ප්‍රින්ස් තම සද් ව්‍යාපාරය ප්‍රසිද්ධියේ කරගෙන ගියේය.
1989 අගෝස්තු මස 29 වැනිදා දහවල් නාරාහේන්පිට ඇන්ඩර්සන් මහල් නිවාස සංකීර්ණයේ නිවෙසක් තුළින් මහ හඬින් නිකුත් වූ වෙඩි උණ්ඩ පෙළකින් නීතිඥ කාංචන අභයපාල නමැති මානව හිතවාදී ක්‍රියාකරිකයා සදහටම නිහඬ කෙරිණි. මේ ගැන වාර්තා කිරීමට පවා මාධ්‍ය බිය වූයේ ඊළඟ ගොදුර තමන් විය හැකි බැවිනි.
එබැවින් භීෂණ යුගයේ ක්‍රියාත්මක වූ නිරුපද්‍රිත මාධ්‍ය රජයේ මාධ්‍ය පමණක් විය. තාක්‍ෂණය නොතිබූ එම යුගයේ කාගේත් උකුසු ඇසින් කාංචනගේ ඝාතකයා පලාගියේය. නීතිඥ කාංචන අභයපාලගේ මව වනාහි ප්‍රින්ස් ගුණසේකරයන්ගේ නැගණිය වන මාග්‍රට් ගුණසේකරය. පියා වූයේ පල්ලගේ දයානන්ද අභයපාලය.
මෙම කුරිරු සිද්ධියෙන් කම්පනයට පත් ප්‍රින්ස් ගුණසේකරයන්ගේ ඥාතීහු ඔහු ආරක්‍ෂාකාරීව සඟවා තබා පසුව රටින් පිටකිරීමට තීරණය කළහ. විශේෂයෙන් බි්‍රතාන්‍ය සහ ඇමරිකන් ලංකා තානාපතිවරු ඊට කටයුතු සම්පාදනය කළහ. කාංචනගේ ඝාතනය සිදුවූ රැයේ ඔහු ලන්ඩනය බලා පිටත් විය.
ලන්ඩන් ගුවන්තොටුපොළේදී ඔහු පිළිගනු ලැබුවේ මෙරටට පැමිණ මිතුරු දමින් බැඳුණු ඇවබරි සාමිවරයා විසිනි. ඔහු ලොව මානව හිතවාදීන් අතර ප්‍රබලයකු වූ අතර මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨයෙකි. තමන්ට හා බිරිඳට කොටස් තබාගෙන තම නිවසේ විශාලම කොටස ප්‍රිනිස් හා ඔවුන්ගේ පවුලට පරිත්‍යාග කිරීමට ඇවබරි සාමි කටයුතු කළේ එබැවිනි.
ඇවබරි සාමි පිළිබඳ පවතින විශේෂතාවක් ලෙස මහාචාර්ය වල්පොල රාහුල හිමියන් දක්වා ඇත්තේ ඔහු බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ සිටින එකම බෞද්ධ මන්ත්‍රීවරයා බවය.
බෞද්ධ දර්ශනය පිළිබඳ එතුමා සතු දැනුම විශිෂ්ට බව උන්වහන්සේ පවසා ඇත.
ප්‍රින්ස් ගුණසේකරයන්ට සියරට පැමිණීම බි්‍රතාන්‍ය රජය තහනම් කර තිබූ අතර සරණාගත තත්ත්වයෙන් එරට තුළ රැඳී සිටියදී මානව අයිතීන් පිළිබඳ කාරණාවලදී ලෝකයේ ඕනෑම රටකට යාමට අවසර දී තිබිණි. පුරාවසර 29 ක් තුළ ප්‍රින්ස් ගුණසේකර අතින් එම කොන්දේසි නොපිරිහෙළා ඉෂ්ට විය.
මෙරට සිටියදී සිදුවූ ‘කළු ජූලිය’ භීෂණ වකවානුවේදී ජේ. ආර්. ජයවර්ධන රජය මගින් ප්‍රින්ස් ගුණසේකරයන් අත්අඩංගුවට ගැනිණි.
ඔහු කොළඹ මහලේකම් කාර්යාලයේ 01 වන මහලේ අඳුරු කුටියක සිරකර තැබූ අතර ඔහුට එරෙහිව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කිරීමට නීති බලධාරින් අපොහොසත් වීම නිසා නිදහස් කෙරිණි. එළියට පැමිණි වහාම ප්‍රින්ස් ගුණසේකරයන් ජේ. ආර්. ජයවර්ධන පාලනයට එරෙහිව සටන් ප්‍රකාශ කළේය.
ප්‍රින්ස් ගුණසේකර මෙරටින් පලා ගියේ මෙවැනි වාතාවරණයකදීය. ලන්ඩනයේ විසූ 29 වසර තුළ මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ඉල්ලීම පරිදි එම පවුලේ වගකීම බි්‍රතාන්‍ය රජය මත පැවරිණ.
ප්‍රින්ස්ගේ බිරිඳ වෛද්‍යවරියක වන අතර ඇයට එම වෘත්තිය ලන්ඩන්හි රෝහලක කරගෙන යාමටත් නීතිය හදාරා බැරිස්ටර්වරයකු බවට පත්ව සිටි ප්‍රින්ස්ට එම කටයුතු කරගෙන යාමටත් රජය පහසුකම් සලසාදී තිබිණ. ප්‍රින්ස් ගුණසේකරයන් දිවියෙන් සමුගන්නා විට 91 වියේ පසුවිය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය : අන්තර්ජාලයෙනි