1971 අප්‍රේල් අරගලයට පසුගිය 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.
1980 වනවිට වැඩෙමින් ආ මෙම තත්ත්වය පැරණි වමට නොසලකා සිටිය නොහැකි විය. තම වෘත්තීය සමිති “අධිරාජ්‍යය” අහිමිවීමේ අනතුර අබියස ඒවා විප්ලවවාදි තරුණ කම්කරුවන් විසින් කම්කරු සංගමයේ නායකත්වය යටතේ ආක්‍රමණය කර අත්පත් කරගනිමින් සිටීමේ අනතුර අබියස, පරාජය බාරගෙන බලාසිටීමට පැරණි වමට නොහැකි විය. එය වැළැක්වීම සඳහා සටන් කළ යුතු විය. ඒ සඳහා පැරණි වමට තිබූ එකම උපක්‍රමය වූයේ, කම්කරු පංතිය සූදානම්ව නොසිටි අවස්ථාවක අවාසිදායක සටනකට ඔවුන් ඇද දමා ඒ තුළ ක්‍රියාත්මක වෙමින් සිටින සටන්කාමී හා විප්ලවවාදී කණ්ඩායම් මර්දනයට බිලිදීමය. එමඟින් තමන්ගේ වෘත්තීය සමිතිවල තම හිමිකම රැක ගැනීමටය. 80 ජූලි වර්ජනයට බලපෑ විෂය මූලික කාරණා පෙළ ගැසුණේ, පැරණි වමේ ඉහත වුවමනාව පැවතිය දී ය.
1977 බලයට පත් එ.ජා.ප. ආණ්ඩුව විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වාදෙමින් කම්කරු පංති අයිතීන් සීමා කරමින්, අහෝසි කරමින් ගෙනගිය මර්දනකාරී කටයුතු නිසාත්, පැවැති ආර්ථීක අමාරුකම් තුළ කම්කරු පංතිය මුහුණුදුන් ගැටලු නිසාත් ආණ්ඩුවට එරෙහි අරගල මතුවන්නට විය. මුලදී ඒවා විවිධ සරල හා හුදකලා සටන්වලට සීමා වුවද කම්කරු පංතියේ සාමාන්‍ය උද්ඝෝෂණවලට පවා එ.ජා.ප. ආණ්ඩුව පිළිතුරු දුන්නේ මර්දන මඟිනි. එහි එක් උච්ච අවස්ථාවක් වූයේ, කම්කරු උද්ඝෝෂණයකදී සෝමපාල නම් සහෝදරයා එ.ජා.ප. මැරයන් අතින් මැරුම්කෑමය. මේ සමග කම්කරු පංතිය තුළ සටන් කිරීමේ අභිලාෂය තවත් උග්‍ර වූ අතර එය යටපත් කිරීමටද පැරණි වමට පහසු නොවීය. පැරණි වමේ සියලු පක්‍ෂ එක්වී 80 ජූලි වර්ජනය සඳහා තීරණය ගනු ලැබුවේ මෙවැනි තත්ත්වයක් තුළය.
“වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය” ලෙස එක්ව සිටි පැරණි වම මහා වැඩවර්ජන තීරණය ගත්තේ, කම්කරු පංතිය එවැනි විශාල සටනකට සූදානම්කර නොවේ. ඒ සඳහා වන පංතියේ හැකියාව හා සූදානම පරීක්‍ෂා කර බැලීමෙන් පසුවද නොවේ. ඔවුන් විසින් ගනු ලැබුවේ වැනෙනසුලු දියාරු තීන්දුවකි. වර්ජනය එක් දිනයකදී කැඳවනවා වෙනුවට දින කිහිපයක් තුළ තමන් කැමැති කැමැති ලෙස වර්ජනයට එක්වීමට වෘත්තීය සමිතිවලට ඉඩ තැබිණි.
පැරණි වම මෙම අරගලය පාවා දෙන්නේය යන විශ්වාසය තදින් දැරූ ජ.වි.පෙ. ඒ පිළිබඳව කම්කරු පංතියට අනතුරු ඇඟවීය. අරගලය මහහැර යාමට හෝ පාවාදීමට නායකයන්ට ඉඩ නොදෙන මෙන් සාමාජිකන්ගෙන් ඉල්ලීම් කළේය. එසේම සමස්ත මහා වර්ජනයකට කම්කරු පංතියේ සූදානම ගැන පරීක්‍ෂා කර බැලීම සඳහා දිනක සංකේත වර්ජනයක් කැඳවන ලෙස ජ.වි.පෙ. පැරණි වමේ නායකයන්ට අභියෝග කළේය. ඒ කිසිවක් නොසැලකූ ඔවුන් වර්ජනය සඳහා ගත් දුර්වල තීරණය හා අතරමගදී සටන් පාවාදීම නිසාත් එ.ජා.ප. ආණ්ඩුව හදිසි නීතිය යොදා, මැර කණ්ඩායම් යොදා, සන්නද්ධ හමුදා යොදා වර්ජනය මැඩලීමට ගත් ක්‍රියාමාර්ග නිසාත් වර්ජනය පරාජයෙන් කෙළවර විය. ලක්‍ෂයකට වැඩි පිරිසක් “සේවය අත්හැර ගිය අය” ලෙස සලකා රැකියාවලින් නෙරපා දමන ලද අතර සමහරු අවාසිදායක කොන්දේසි මත යළි රැකියාවලට යාමට තීරණය කළහ. සමහරු දිවි නසා ගත්හ. සටන්කාමී පිරිස අවසානයේ එළියට වැටිණි.
වර්ජනය අසාර්ථක වූ වහාම පැරණි වම ඒ පිළිබඳව චෝදනා කළේ ජ.වි.පෙ.ටය. ජ.වි.පෙ. වර්ජනය පාවා දුන් බවට ඔවුහු දැවැන්ත ප්‍රචාරයක් කළහ. එහෙත් මෙහි පුදුමය වූයේ, ජ.වි.පෙ. ට වෘත්තීය සමිති නැති බවත් වෘත්තීය සමිති තිබෙන්නේ තමන් සතුව බවත් දිගටම ප්‍රකාශ කරමින් සිටියේ ඔවුන්ම වීමය. කෙසේ වුවත් ජ.වි.පෙ. ට මෙම පාවාදීමේ චෝදනාව නැගීමට ඔවුන්ට එක කරුණක් හේතුවිය. ඒ ලංකා ගුරු සංගමය වර්ජනයේදී ක්‍රියා කළ ආකාරයයි.
80 ජූලි වර්ජනයේ අවස්ථාව වනවිට ලංකා ගුරු සංගමය ජ.වි.පෙ. දේශපාලන නායකත්වය පිළිගනිමින් ජ.වි.පෙ. ත් සමග එක්ව කටයුතු කරමින් සිටියේය. ඒ වනවිට ලංකා ගුරු සංගමය ගුරු සේවයේ ශක්තිමත් හා සටන්කාමීම වෘත්තීය සමිතිය විය. එච්. එන්. ප්‍රනාන්දු එහි සභාපතිවරයා වූ අතර ලේකම්වරයා වූයේ චිත්‍රලාල් පෙරේරාය එච්. එන්. ප්‍රනාන්දු 1969 වකවානුවේදීම ජ.වි.පෙ. ට සම්බන්ධ වූ අයෙකි. 1980 කාලය වන විට ඔහු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයෙකු වූ අතර රෝහණ විජේවීර සහෝදරයා විවාහ වූයේද ඔහුගේ බාල සහෝදරියක් සමගය. චිත්‍රලාල් පෙරේරා කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධව සිටි අතර පසු කලෙක ජ.වි.පෙ. සමග එකඟතාවයෙන් වැඩ කළේය.
ලංකා ගුරු සංගමය තුළ ජ.වි.පෙ. ක්‍රියාකාරීත්වය 1974 වකවානුවේ සිට පැවති අතර 1976 පමණ වන විට එම බලපෑම වැඩිවිය. 1976න් පසු ජ.වි.පෙ. ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණීමත් සමග ලංකා ගුරු සංගමය ජ.වි.පෙ. හා එක්ව කටයුතු කළේය. ගුරු සංගමය සවිමත් වීමට ජ.වි.පෙ. දේශපාලන හා සංවිධාන බලපෑම හේතු වූ අතර ජ.වි.පෙ. දේශපාලන කටයුතුවලට ලංකා ගුරු සංගමයද විශාල මෙහෙයක් කළේය. කෙසේ වෙතත් 80 ජූලි වර්ජනයේදී ජ.වි.පෙ. ගත් උපක්‍රමික ස්ථාවරය නොසලකා කටයුතු කිරීමට ගුරු සංගමය සූදානම් විය. ජ.වි.පෙ. ස්ථාවරය වූයේ මෙම සටන පැරණි වම විසින් පාවාදීමේ අනතුර තිබෙන නිසා හුදෙකලාව සටන් වදිනවා වෙනුවට අනෙකුත් සමිතිද එකතු කරගනිමින් සටන් වැදිය යුතු බවය. විප්ලවවාදී ව්‍යාපාරය සටනකදී තෝරන උපක්‍රමික ස්ථාවර හැමවිටම සරල හා පහසු වන්නේ නැත. ඒවා වටහා ගැනීමට මෙන්ම ඊට අනුව කටයුතු කිරීමටද පංති හැඟීමට එහා ගිය පංති විඤ්ඤාණය හෙවත් දේශපාලන දැනුම හා අත්දැකීම්ද අවශ්‍යය. ජූලි වර්ජනයේදී ජ.වි.පෙ. ගත් ඉතා නිවැරදි ස්ථාවරය වටහා ගැනීමට අසමත් වීම හා ගුරු සංගමයේ සමහර කොටස් තුළ පැවැති අවස්ථාවාදය යළි මතුවීම නිසා ගුරු සංගමය ජ.වි.පෙ. මතයට එරෙහිව කටයුතු කිරීමට තීරණය කළ අතර ජ.වි.පෙ. විරෝධී ස්ථාවරයකටද තල්ලු විය. වහාම පැරණි වම හා එක්ව ජ.වි.පෙ. වර්ජනය පාවා දුන්නේ යයි අවලාද නැගීමටද එය පටන් ගත්තේය.
මෙම කටයුත්තේදී පෙරමුණ ගත්තේ, චිත්‍රලාල් පෙරේරාය. එච්. එන්. ප්‍රනාන්දු චිත්‍රලාල් පෙරේරාට අනුව ක්‍රියා කළේය. ලංකා ගුරු සංගමය තුළ එතෙක් හිස සඟවාගෙන සිටි අවස්ථාවාදීහු මෙහිදී ජ.වි.පෙ. ට එරෙහිව හැසිරෙන්නට වූහ. ගුරු සංගමය ජ.වි.පෙ. ස්ථාවරයට එරෙහිවීම හුදු අහම්බයක් හෝ අනවබෝධය නිසා ඇති වුවක් නොව ඒ තුළ සිටි අවස්ථාවාදීන් තීරණාත්මක මොහොතේදී කළ ද්‍රෝහිකමක් වන්නේ ඒ නිසාය. මේ සමග ලංකා ගුරු සංගමය තුළ සිටි බොහෝ දිසා ලේකම්ලා ඇතුළු ජ.වි.පෙ. මතය පිළිගන්නා පිරිස් ලංකා ගුරු සංගමයෙන් ඉවත් වූ අතර අලුත් ගුරු වෘත්තීය සමිතියක් ද පිහිටුවා ගත්හ.
ජූලි වර්ජනය පාවා දී එම ද්‍රෝහිකම වසා ගැනීම සඳහා ජ.වි.පෙ. ට අවලාද නගමින් සිටි පැරණි වමට ලංකා ගුරු සංගමයේ ක්‍රියාමාර්ග මහා ආශිර්වාදයක් විය. එය ජ.වි.පෙ. ට බරපතළ හානි කරන තත්ත්වයක් වුවත් ජ.වි.පෙ. සිය නිවැරදි ස්ථාවරය වෙනස් කර ගත්තේ හෝ එම අවාසිදායක තත්ත්වයට බිය වූයේ නැත. ඒ වෙනුවට තම මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිමින් පැරණි වමේ පාවාදීම තර්කානුකූලව කම්කරු පංතිය තුළ හෙළිදරව් කිරීමට කටයුතු කළේය. සමහර තියුණු දේශපාලන උපක්‍රම නිශ්චිත මොහොතකදී විප්ලවවාදී ව්‍යාපාරයන්ට හානි ගෙන දුන්නද ඒවා නිවැරදි නම් අනිවාර්ය ලෙසම හොඳ ප්‍රතිඵල ගෙනෙන බව පසුව ඇති වූ තත්ත්වයන් විසින් සනාථ කරනු ලැබිණි.
මතු සම්බන්ධයි.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්