1971 අප්‍රේල් අරගලයට පසුගිය 5 වැනිදාට වසර 47 කි. මෙරට දේශපාලනයටත් 71 අප්‍රේල් අරගලය තරම් ගුණාත්මක බලපෑමක් ඇති කළ වෙනත් සිදුවීමක් නොමැති තරම්ය. එහෙත් 71 අප්‍රේල් අරගලය සම්බන්ධයෙන් විවිධ මතවාද පවතී. එය එසේ වුවද වඩාත් වැදගත් වන්නේ 71 අරගලයේ සැබෑ හිමිකරුවා වන ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරණ මතය වේ. ජනතා විමුක්ති පෙරමුණ විසින් 2012 වසරේදී ප්‍රකාශයට පත් කළ පක්ෂයේ ඉතිහාසය 1965 - 1994 කෘතියෙහි. අප්‍රේල් අරගලයට සම්බන්ධ මෙම උපුටනය ඒ නිල මතය අවධාරණය කරනු පිණිසය.
පක්ෂ පහේ එක්සත් ක්‍රියාමාර්ගය එලෙස අවසන් වුවද එය ආරම්භ කිරීම නිසා ජ.වි.පෙ. වමේ පක්ෂ අතර ප්‍රධානියා බවට පිළිගැනිණි. එසේම ජ.වි.පෙ. දේශපාලනයේදී ජනතා අවශ්‍යතාව වෙනුවෙන් උපක්‍රම තේරීමට හා ඒවා ක්‍රියාත්මක කිරීමට තරම් පරිණත පක්ෂයක් බවද තහවුරු විය. මෙම උද්ඝෝෂණ නිසා ජයවර්ධන පාලනය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකළද, පසු කලෙක කොටි හා සමාන සංවිධාන තහනම් කිරීමේ පනත අහෝසි කළේය. කෙසේ වුවත් ජ.වි.පෙ. ට කිසියම් දේශපාලන වාසියක් අත්පත් කර දෙමින් පක්ෂ පහේ එක්සත් ක්‍රියාමාර්ගය එසේ අතරමඟ නතර විය.
1976 න් ඇරඹි දේශපාලන ගමන ආරම්භයේදී සිටම පක්ෂය තුළ යළිත් විටින් විට අභ්‍යන්තර ප්‍රශ්න හා විනය ප්‍රශ්න මතුවිය. අතීත අත්දැකීම් මත පිහිටා කටයුතු කළ පක්ෂය ඒවා ආරම්භක මොහොතේම ඒවාට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සමත් විය. ඉන් එක් අවස්ථාවක් වූයේ 1978 පක්ෂ සමුළුවේදී පක්ෂයේ බලය ඇල්ලීමට එවකට තාවකාලික මධ්‍යම කාරක සභාවේ සිටි හතරදෙනෙක් කුමන්ත්‍රණය කිරීමය.
78 සමුළුවට පෙරම මෙම කුමන්ත්‍රණය හෙළි වූ අතර ඊට සම්බන්ධ හතරදෙනාම වහාම පක්ෂයෙන් නෙරපා හරිනු ලැබූහ. මෙය එතරම් ප්‍රසිද්ධියට පත් වූ කරුණක් නොවූ අතර පක්ෂ අභ්‍යන්තරයේ මේ පිරිස හැඳින්වූයේ, හතරදෙනාගේ කල්ලිය ලෙසය. එලෙස පක්ෂයේ බලය ඇල්ලීමට කුමන්ත්‍රණය කිරීම නිසා පක්ෂයෙන් නෙරපා දැමූ හතරදෙනා වූයේ, පියදාස මදරසිංහ, කැප්ටන් කුලරත්න, රොස්මඞ් නිමල් හා රොබට් ජයසේකරය. රොබට් ජයසේකර 1977 මැතිවරණයේදී ජ.වි.පෙ.න් හක්මනට තරඟ කළ අපේක්ෂකයාද විය.
මීළඟට 1979 වන විට එවකට දේශපාලන මණ්ඩල සභිකයෙක්ව සිටි කෙලී සේනානායකට එරෙහිව විනය පියවර ගැනීමට පක්ෂයට සිදුවිය. ඒ සුනිලා අබේසේකර සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යාමත් එය පක්ෂයට වසන් කිරීමට උත්සාහ දැරීමත් හේතුවෙනි. සුනිලා අබේසේකර ඒ වන විටත් විවාහක කාන්තාවක් වූ අතර සිය සැමියාගෙන් නීත්‍යානුකූල ලෙස වෙන්වී සිටියේද නැත. කෙසේ වෙතත් කෙලී සේනානායකට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමේදී අංක එකට පක්ෂය සලකා බැලුවේ ඔහු පක්ෂයට අවංක නොවීම පිළිබඳවය. මේ කරුණු මත කෙලී සේනානායක 1979 කාලයේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන් ඉවත් කළ අතර ඔහු පූර්ණකාලීනයෙක් ලෙස ටික කලක් කටයුතු කොට පසුව ක්‍රමානුකූලව පක්ෂයෙන් ඈත් විය. ඒ මත සුනිලා අබේසේකරද පක්ෂයෙන් ඉවත් වූවාය. පසුකලෙක කෙලී සේනානායක පක්ෂයට බරපතළ ද්‍රෝහිකම් කළ අතර සුනිලාද පක්ෂයට එරෙහිව කටයුතු කළාය.
1965 සිට පක්ෂයේ ප්‍රධාන ලේකම් වූයේ රෝහණ විජේවීර සහෝදරයාය. එහෙත් 71 අරගලයෙන් පසු තාවකාලික මධ්‍යම කමිටුව පිහිටුවා 76 දී රටේ ප්‍රසිදධියේ වැඩ ආරම්භ කරන විට වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පත්වූයේ, උපතිස්ස ගමනායක සහෝදරයාය. එහෙත් 1978 සමුළුවෙන් පසු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට දයා වන්නිආරච්චි පත්විය. පසුව 1980 පමණ සිට 1983 පක්ෂ තහනම තෙක් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ලයනල් බෝපගේය.
1980 ජුලි වර්ජනය කම්කරු ව්‍යාපාරය පැත්තෙන් මෙන්ම ජ.වි.පෙ. පැත්තෙන්ද බලන විට ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය. එය එක් අතකින් පැරණි වමේ ව්‍යාපාරය විසින් කැඳවනු ලැබූ අවසන් සමස්ත මහා වැඩ වර්ජනය විය. එසේම වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ පැරණි වමේ අවස්ථාවාදය හොඳින්ම පිළිබිඹු වූ හා පැරණි වම සතුව තිබූ වෘත්තීය සමිති ‘අධිරාජ්‍යයේ’ බිඳවැටීම ආරම්භ වූ තීරණාත්මක සටනද විය. අනෙක් අතට කම්කරු පංති ව්‍යාපාරය තුළ, වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ මාක්ස් - ලෙනින්වාදී උගැන්වීම්වලට අනුව හා විප්ලවවාදී ආකාරයෙන් ජ.වි.පෙ ව්‍යාප්ත වීම වේගවත් කළ සටනද විය.
1976 න් පසු සෑම ක්ෂේත්‍රයකම වැඩකටයුතු වේගවත් කළ ජ.වි.පෙ. කම්කරු පංති ව්‍යාපාරය තුළ තම දේශපාලන කටයුතු වේගවත් කිරීමට විශේෂ බරක් තබා කටයුතු කළේය. මේ වන විට පැරණි වමේ පක්ෂ ජ.වි.පෙ. ට එරෙහිව නැගූ එක් අවලාදයක් වූයේ ජ.වි.පෙ කම්කරු පංති පක්ෂයක් නොව තරුණයන්ගේ හා ශිෂ්‍යන්ගේ සුළු ධනේශ්වර පක්ෂයක් බවය. ඊට ඔවුන් උදාහරණ ගත්තේ ජ.වි.පෙ. සතුව වෘත්තීය සමිති නැත යන කරුණය. මන්ද ඒ වන විට ජ.වි.පෙ. වෘත්තීය සමිති ගොඩනගා නොතිබීමය. මෙයට කදිම පිළිතුරක් දුන් රෝහණ විජේවීර සහෝදරයා වරක් පැවැසුවේ කිසියම් පක්ෂයක් නිර්ධන පංති පක්ෂයක්ද නැද්ද යන්න තීරණය කරන්නේ ඔවුන් සතු වෘත්තීය සමති ප්‍රමාණයෙන් නම් ඒ වන විට ලංකාවේ ලොකුම කම්කරු පංති පක්ෂය එක්සත් ජාතික පක්ෂය විය යුතු බවය. ඒ 1977 න් පසු රාජ්‍ය බලය යොදවමින් ඔවුන් ජාතික සේවක සංගම පුළුල් කරමින් තිබීමත් ඒ තුළ සැලකිය යුතු සාමාජික ප්‍රමාණයක් සිටීමත් අනුවය. කෙසේ වෙතත් ජ.වි.පෙ. කම්කරු පංති ව්‍යාපාරයට ප්‍රවේශ වූයේ, වෘත්තීය සමිතිවාදී අර්ථයකින් නොව මාක්ස්-ලෙනින්වාදී මූලධර්මවලට අනුව කම්කරු පංති දේශපාලනයේ ස්ථාවරය මත පිහිටාය.
කම්කරු පංති ව්‍යාපාරය පිළිබඳ ලෙනින්වාදී උගැන්වීම් ජ.වි.පෙ. ස්ථාවරය විය. ඒ අනුව ජ.වි.පෙ. අරමුණ වූයේ, කම්කරු පංතිය ‘වෘත්තීය සමිති දේශපාලනයෙන්’ මුදවා ඔවුන් ‘කම්කරු පංති දේශපාලනයට’ ගෙන ඒමය. ඒ සඳහා කුඩා කුඩා වෘත්තීය සමිති රැසකට බෙදී අසමගි වී සිටින කම්කරු පංතිය සමගි කළ යුතුවිය. ඒ අනුව ජ.වි.පෙ. සටන් පාඨය වූයේ ‘වෘත්තීයට සමිතියක්. කම්කරු පංතියට මූලස්ථානයක්’ යන්නය.
1956 බණ්ඩාරනායක පාලනය විසින් සාමාජිකත්වය 07 දෙනෙකුගේ වෘත්තීය සමිතියක් වුවද ලියාපදිංචි කළ හැකිවන සේ ගෙන ආ නීතියත් සමග රට තුළ වෘත්තීය සමිති රැසක් බිහි වී තිබුණි.
ලංකාවේ වමේ ව්‍යාපාරයේ හැම බෙදීමකදීම ඊට අනුව වෘත්තීය සමිතිද බෙදුණි. එකම වෘත්තිය වෙනුවෙන් සමිති රැසක් විය. සමහර සමිති දේශපාලන පක්ෂවලට අයත් වූ අතර සමහර සමිති ‘ස්වාධීන’ විය. මෙලෙස කම්කරු පංතිය පක්ෂවලට බෙදී අසමගි වී සිටීම පංතියේ විමුක්තිය සඳහා වූ අරගලයේදී බරපතළ අවාසියක් විය. ඒ නිසාම පංතිය තව තවත් බෙදනවා වෙනුවට බෙදුණු පංතිය සමඟි කිරීම ජ.වි.පෙ. ඉදිරියේ පැවැති අභියෝගයක් විය. ජ.වි.පෙ. වෘත්තීය සමිති ව්‍යාපාරයට අවතීර්ණ වූයේ මේ අභියෝගය දරාගෙනය.
මේ අනුව ජ.වි.පෙ. ආරම්භක ප්‍රතිපත්තිය වූයේ අලුතින් වෘත්තීය සමිති පිහිටුවීමෙන් වැළකීමය. ඒ බෙදී තිබෙන කම්කරු පංතිය තව තවත් බෙදිය යුතු නැති බැවිනි. එබැවින් ජ.වි.පෙ. වෘත්තීය සමිති හදනවා වෙනුවට සමාජවාදී කම්කරු සංගමය ගොඩනැඟීය. කම්කරු සංගමය යනු වෘත්තීය සමිතියක් නොව කම්කරු පංතිය තුළ පංති දේශපාලනය තහවුරු කරමින් ඊට නායකත්වය දෙන පක්ෂයේ පාක්ෂික බහු සංවිධානය විය. සමාජවාදී කම්කරු සංගමය ගොඩනගා එහි මංගල සමුළුව පැවැත්වූ පක්ෂය සමාජවාදී කම්කරු සංගමයේ ලේකම් ධුරයට උපතිස්ස ගමනායක සහෝදරයා පත් කළේය. ඒ අනුව සමාජවාදී කම්කරු සංගමය ගමනායක සහෝදරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක විය.
‘වෘත්තීයට සමිතියක්, කම්කරු පංතියට මූලස්ථානයක්’ යන සටන් පාඨය ජයග්‍රහණය කරවීම සඳහා පක්ෂය අනුගමනය කළ උපක්‍රමය වූයේ, අලුතින් සමිති හදනවා වෙනුවට දැනට තිබෙන සමිතිවල බලය ඇල්ලීමය. කම්කරු සංගමයට සම්බන්ධ සටන්කාමී තරුණ පිරිස් ක්‍රියාත්මක වෙමින් එක් එක් වෘත්තීය සමිතිවල නායකත්වයට පත්වන්නට වූහ.
පැරණි වමේ ව්‍යාපාරය සිය වෘත්තීය සමිති ගොඩනගා පවත්වාගෙන ගියේ ඒවායේ බලය හැමදාම තමන් අත තබාගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රම මගිනි. එසේ තිබියදීම, එම බාධා මැඩ ගනිමින් බොහෝ සමිති තුළ ක්‍රියාකාරීත්වය හේතුවෙන් බලවත් වීමට ජ.වි.පෙ. කම්කරු සංගම් සාමාජිකයන්ට හැකිවිය. මෙහිදී පෞද්ගලික අංශයේ සමිති තුළ මෙය වඩා සාර්ථක විය. ඒ වන විට ලංකාවේ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිතිවල වැඩි බලය පවත්වාගෙන ගියේ බාලා තම්පෝගේ වෙළඳ සේවක සංගමය විසිනි. වෙළඳ සේවක සංගමයට අයත් ආයතන රැසක තම බලය තහවුරු කර ගැනීමට ජ.වි.පෙ. සමත් වූ අතර කොළඹ අලියා බීම සමාගමේ තිබූ වෘත්තීය සමිතිය ඊට හොඳම නිදසුන විය.
සකස් කළේ :
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්