ජාතික ගී අර්බුදයට මැදි වූ කලාකරුවා


සුදු අධිරදවාදීන්ගේ ග‍්‍රහණයෙන් ඔද්දල් වූ ජනතා සන්තානය නිදහස් සටනට මෙහෙය වූ කලාකරුවන් අතර ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.


ජාතිය උදෙසා තේමා ගීයක් නිර්මාණය කිරීමේ භාග්‍යය හිමිවන්නේ පුණ්‍යවන්තම කලාකරුවකුටය. එම ගීතය තුළින් සංගීත රසයත් දේශ වාත්සල්‍යයත්, පෞරුෂයත් සංවර්ධන අරමුණු කරා දැය මෙහෙයවීමත් යන කරුණු ඉටුවිය යුතු බැවිනි.එදා රාජ්‍ය අනුග‍්‍රහයක් තාක්ෂණ දියුණුවක් නොලැබුණු සමයක තම හදපත්ලෙන් උපන් ජාතික හැඟීම හා නොකැළැල් සංගීත ඥානය සහෝදර ජනතාව වෙත බෙදා දුන් සමරකෝන්ගේ කුසලතාව ඉඳහිට ඇසෙන රසවත් ගීතාවලියෙන් අපට සිහි ගැන්වේ.


1911 ජනවාරි 13 වැනිදා වටරැුක ලියන්වල නම් සුන්දර ගම් පියසේ සැමුවෙල් සමරකෝන් හා ඩොමින්ගා පිරීස් යුවතිපතීන්ගේ දෙවැනි දරුවා ලෙස කිතුනු පවුලක උපත ලත් එගොඩගේ ජෝර්ජ් විල්ෆ‍්‍රඞ් අල්විස් සමරකෝන් පිළියන්දල වෑවල රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා කෝට්ටේ කිතුනු පාසලෙන් ද්වීතික අධ්‍යාපනය 1929 දී ලැබීය.


මව ඉගැන්වූ පාසලේ අධ්‍යාපන තරගයට ඔහු ලියූ එක මවකගෙ දරුවෝ ගීතය සඳහා පළමු ස්ථානය ලබා රිදී කුසලානය හිමිකර දුන්නේය. තමා උගත් විදුහලේම චිත‍්‍ර හා සංගීත ගුරුවරයා ලෙස පත්වීම ලද සමරකෝන් 1934 මැයි 09 වැනිදා ලක්දිවට පැමිණි ඉන්දීය මහා සංගීතඥ රවින්ද්‍රනාත් තාගෝරයන් ඇතුළු පිරිසේ විස්කම් දැක ප‍්‍රබෝධයට පත් විය.


එම සිහිනය සැබෑ කර ගැන්මට ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී ශෘන්ති දේව් ඝෝෂ් යටතේ සංගීතය ද නන්දලාල් ඝෝෂ් යටතේ චිත‍්‍ර ශිල්පය ද හදාරා යළි මව්බිමට පැමිණියේ සහමුලින්ම බටහිර පන්නය අත්හළ දේශ පුත‍්‍රයකු ලෙසිනි.

ආනන්ද සමරකෝන්ගේ අත්අකුරු

 

එතෙක් පැවැති කිතුනු ඉංගී‍්‍රසි නාමය අත්හැර ජාතික ඇඳුමට බට ඔහු ආනන්ද සමරකෝන් යනුවෙන් නව සංගීත රටාවක ආරම්භය ඇති කළේය. තම රසිකාවියක වූ පන්නිපිටියේ චන්ද්‍රා සෙනෙවිරත්න මෙනවිය සමග විවාහ  දිවියට පත්ව ගාල්ල මහින්ද විදුහලේ සෞන්දර්ය ගුරු පත්වීම් ලද්දේය.

ආනන්ද සමරකෝන්ගේ පළමු පැතුම බිඳ වැටුණේ දෙවැනි යුග දිවියේ අග‍්‍රඵලය වූ රංජිත් අරුණ ප‍්‍රදීප් පුත‍්‍රයාගේ අකල් වියෝවින්. එම පීඩනයෙන් මිදෙන්නට යළි ආසියාවේ සංචාරයකට ගිය ඔහු විශිෂ්ට ගණයේ චිත‍්‍ර ප‍්‍රදර්ශන රැුසක් පවත්වා උපන් බිමට කීර්තිය ගෙන ආවේය.

1948 ජනවාරියේදී නිදහස උදාවන ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාතික ගීයක් නිර්මාණය කිරීම සඳහා සංගීතඥයන් අතර තරගයක් පැවැත්විණි. එහෙත් ජාතික ගීයට තරම් වූ අභිමානවත් නිර්මාණයක් එම තරගයට ඉදිරිපත් නොවූ නිසා තරග විනිශ්චය මණ්ඩලයේ සුපතළ විද්වතෙකු වූ ගම්පොල පී. බී. ඉලංගසිංහ නොතාරිස් රාලහාමි ලියා ලයනල් එදිරිසිංහ සංගීතවත් කළ ‘ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා’ ගීතය තෝරාගත් අතර 1948 පෙරබවාරි 4 වැනි දින පළමු නිදහස් දිනයේදී ගුවන් විදුලිය ඔස්සේ එම ගීතය ප‍්‍රචාරය කරන ලදී.

 

 

සමරකෝන් පවුල : වමේ සිට ආනන්ද සමරකෝන්, සැමුවෙල් සමරකෝන් (පියා*, ඩොමින්ගා පීරිස් (මව*, සිරිල් සමරකෝන් (වැඩිමල් සොහොයුරා*, පිටුපස සිටගෙන : බර්ටි සමරකෝන් (බාල සොහොයුරා*, බිම වාඩි වී සිටින්නේ එවකට නිවසෙහි සේවය කළ සේවකයා සහ සේවිකාව.

 

 

ආනන්ද සමරකෝන් සහ බිරිඳ කරලැයින් සමරකෝන්

 

සමරකෝන්ගේ පළමු බිරිඳ චන්ද්‍රා සමග සංගීත වැඩසටහන
ශාන්ති නිකේතනයේ කේ. එස්. ඬේ. මහතා ද මෙහි වෙයි.

 

නමුත් පසුව රජය වෙත ඉදිරිපත් වූ වැරදි තොරතුරු මත එම ගීය ඉවත්කොට තෝරාගනු ලැබුවේ ආනන්ද සමරකෝන්ගේ ”නමෝ නමෝ මාතා...” යන නිර්මාණයයි. එහෙත් මේ ගැන කාලය ඇවෑමෙන් නොයෙකුත් මතවාද එල්ල විය.


හින්දුස්ථානි සංගීතයෙන් බටහිර සංගීතයේ සරල නිදහස් රීතියෙන් පෝෂණය වූ රවින්ද්‍රනාත් ගෙන් සංගීතය ද එහා ගිය ස්වනිර්මාණයක් ලෙස මෙය හැඳින්විණි. මෙය ශ්‍රී ලංකාවේ ජාතික ගීය විය යුතු යැයි මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන ගෙනා යෝජනාවක් අනුව 1951 නොවැම්බර් මස 22 කැබිනට් මණ්ඩලය තීරණය කළේය. මව්බිමට නිදහස ලැබෙන විට සමරකෝනුන් සිටියේ එතරය. ඔහු එතෙර සිටියදී උගතුන් දෙතුන් පිලකට බෙදී ”නමෝ නමෝ මාතා” ගීතයට ප‍්‍රහාර එල්ල කරමින් සිටියේය.


”නමෝ නමෝ” යන ආරම්භය අපාය අක්ෂරයක් වන ”ක” යන්නෙන් ඇරඹීම නිසා රටට විපතක් උදාවන බව ඇතැම්හු කීහ. එය බෞද්ධ ගී ආරක් නොව කිතුණු ගී ආරක් සිහිගන්වන බවට ද මත පළ විය. ජාතික ගී කරච්චලය මැයින් ලියූ විචාරකයෙක් පැවසුවේ ජාතික  ව්‍යසනයට මුල තීවේ වචනවලවත් තනුවේවත් වරදක් නොව පාලකයන් සමරකෝන් වැනි කලාකරුවකුට දක්වන නොසැලකිල්ල නිසා ඇතිවූ ශාපයක් බවයි.


අගමැති ඞී. ඇස්. සේනානායකගේ අකල් වියෝවත්, ඩඞ්ලි සේනානායකගේ සුව නොවන උදාරාබාධයත් කොතලාවල මහතා බලයෙන් පහවීමත් මේ කාලයේ සිදුවිය. 1960 ගණන්වලදී මහ මැතිවරණයට ඉදිරිපත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප‍්‍රතිවාදියා වූයේ යූඇන්පී නායක ඩඞ්ලි සේනානායක. ආනන්ද සමරකෝන් ඔහු වෙනුවෙන් කවි ලිවීය. රට බෙදීම වැළැක්වීමට ඩඞ්ලිට ඡුන්දය දෙන ලෙසය.

 

බණ්ඩාරනායක මැතිනියට එරෙහිව ද ඔහු කවි ලිවීය.

පෙර වූ විපත් යළි ලක සිදු නොම වෙන්ට

පෙඩරල් කොමියුනිස්ට් බල කළ මැඩලන්ට

සිරිමගෙ හවුල් කැඳ හැලියම වනසන්ට

දෙනු මැන වරම් පුළුවන් දෙව්ඳුනි අපට

 

මෙවැනි දේශපාලන කවි නිසා සමරකෝන් වෙත ගල්මුගුරු එල්ල වෙන්නට විය. පුවත්පත්වලත් ගුවන් විදුලියෙත් ජාතික ගී වාදය උග‍්‍ර විය. මහනුවරින් සකස් වූ ජාතික ගීත විරෝධී පෙත්සම රජය ද කැළඹීය. පණ්ඩිත් අමරදේවයන් පැවසුවේ වරද නම් ඉන්දීය සම්භාව්‍ය සංගීතයෙන් බැහැර වීම නොව දුර්වල පද රචනය හා තනුව බවය. මර්සලින් ජයකොඩි පියතුමා පැවසුවේ එය වන්දේ මාතරම් ගීයේ පරිවර්තනයක් පමණක් බවත් වදන් සාවද්‍ය බවත්ය. කෙසේ වෙතත් රජයෙන් පත්කළ විද්වත් මණ්ඩලයේ අවසාන තීරණය වූයේ ”නමෝ නමෝ” වෙනුවට මුල් ජාතික ගීයේ වූ ”ශ්‍රී ලංකා මාතා” යනුවෙන් ”ජය” ගණයෙන් ජාතික ගීය ඇරඹිය යුතු බවයි. මේ වනවිට ආනන්ද සමරකෝන්ට ගුවන් විදුලියේත් සංස්කෘතික දෙපාර්තමේන්තුවේත් දොරටු වැසෙන තත්ත්වයක් උදා වී තිබිණ. පුතුගේ වියෝවින් කම්පිත වූ ඔහුට දෙවැනි බිරිඳගෙන් ද දික්කසාද වීමට සිදුවිය.


ආර්ථික හා සමාජීය වශයෙන් කඩා වැටුණු මනසකින් යුත් සමරකෝන් වෙත තවත් වියවුලක් කඩා පාත්විය. ඒ 1951 දී යළි මව්බිමට පැමිණි විටය. එනම් ජාතික ගීතය ඇතුළත් කුමුදුනි සඟරාවේ ප‍්‍රකාශකයා තම මූල්‍යමය අයිතිය ඉල්ලා සිටීම නිසා. එබැවින් ඔහුට ජාතික ගීය වෙනුවෙන් පිරිනැමුණු රු. 2500ම ප‍්‍රකාශකයාට පුද කිරීමට සිදුවිය. සමරකෝන්ගේ විශිෂ්ටතම නිර්මාණය මෙසේ අඩු තක්සේරුවට ලක් වෙද්දී ඔහුගේ අනිකුත් ගී නිර්මාණ මහත් ප‍්‍රසාදයට පත්විණ. 1956 දී දිනමිණ සිනමා තරගයේදී ඡුන්ද 81,000ක් ලබා වසරේ හොඳම ගීතය බවට පත්වූයේ සුජාතා චිත‍්‍රපටයට ලියූ ”මනරංජන දර්ශනීය ලංකා” ගීතයයි.


”නමෝ නමෝ මාතා” ‘මර’ ගණයේ ගීතයක් වුවත් එහි නිර්මාතෘවරයා අකල් මරණයකට පත් වුවත් නිදහස ලබා 60 වසරක් ගතව ඇති අද පවා ඔහුගේ ජීවයෙන් පණගැන්වුණු අපේ ජාතික ගීතයට අභියෝග කිරීමට කිසිදු ගීයක් යෝජනා වී නොමැති වීම ඔහුගේ අනන්‍යතාව ලොවටම විදහාපායි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි