ජාතික සමගියේ නොමැකෙන ඡායාව ටී. බී. ජායා


 

ටී. බී. ජායා නමින් හැඳින්වෙන්නේ කවරෙක්ද? ඔහු නමින් අගනුවර එක් ප්‍රසිද්ධ මහා මාර්ගයක් නම්කර තිබෙන්නේ මන්ද? එම නමින්ම සමරු මුද්දරයක් ද නිකුත් කර ඇත්තේ කවරවූ වටිනාකමක් හේතුවෙන්ද?


පසුගිය පෙබරවාරි 4 වැනිදා නිදහසේ 69 වැනි සංවත්සරය සැමරීමේදී සඳහන් කෙරුණු 1948 නිදහස් සටනේ ජාතික විරුවන් අතර ටී. බී. ජායා නාමයද අන්තර්ගත වුණේ කවර අර්ථයකින්ද? ස්වකීය ජන්මයෙන් වසර 127ක් තරම් දිගු කාල පරාසයක් ගතව තිබියදී එළැඹි 2017 වසරේදී පවා ටී. බී. ජායා නාමය සිහිපත් කර මැලේවරු විසින් තම කෘතඥතාවය පුද කරනු ලබන්නට තරම් එම පුද්ගලයා තම වර්ගයාට, රටේ ජනතාවට ඉටුකර ඇත්තේ කවර වූ සේවාවක්ද? වැනි ප්‍රශ්නාවලියක් ජනසමාජය තුළ ගතවූ ජනවාරි හා ගෙවෙමින් පවත්නා පෙබරවාරි මස තුළ ඉස්මතුව දැක්වෙන බවත් කථාබහට ලක්වෙන ආකාරයෙන් දක්නට ඇත. ඒ මන්දැයි විමසා ඊට අදාළ හේතු සොයන ලිපියකි මේ. 


ටී. බී. ජායා යනු ප්‍රථමයෙන්ම තම නිසඟ, ශූර බුද්ධියෙන් සහ කාර්යක්ෂම වූ ක්‍රියා පිළිවෙතකින් අධ්‍යාපනයේ ප්‍රගමනය උදෙසා 20 වැනි ශතවර්ෂයේ මුල් දශක පහ තුළ දැඩි කැපවීමකින් කටයුතු කළ අධ්‍යාපනඥයකු වේ. ඉනික්බිතිව හෙතෙම තම වර්ගයාගේ, තම ආත්මය හැඩ ගස්වා ගත් දැනුම අගයනු ජනතාවගේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ එපමණකට සීමා නොවෙමින් සමස්ත ජනතාවගේ අභිවෘද්ධිය පිණිස නිරන්තරයෙන් ක්‍රියාත්මක වූ පරමාදර්ශී දේශපාලනඥයෙකි. යථෝක්ත ද්විත්ව චරිතයන්හි ක්‍රියාකාරිත්වය ජනතා සුබසිද්ධිය පිණිස බලපෑ ආකාරය විමසනු වටී. 


ටී. බී. ජායා ගලගෙදර නම්වූ කන්ද උඩරට ග්‍රාමයේ දරුවන් සිව් දෙනකුගෙන් යුත් පවුලක දෙවැනි දරුවා ලෙස මෙලොව එළිය දකින්නේ 19 වැනි ශතවර්ෂයේදීය. එසේම ඔහුගේ ජනහිතකාමී අනගි චර්යාව තම සමාජය හමුවේ ක්‍රියාත්මක වන්නේ 20 වැනි ශත වර්ෂයේ ප්‍රථම දශක 6 පුරාය. 


මැලේ ජාතික පොලිස් නිලධාරියකුගේ සහ මැලේ ගෘහණියකගේ අතිජාත පුත්‍රයකු ලෙස හැදුණු වැඩුණු කුඩා ජායා ග්‍රාමීය ප්‍රදේශයන්හිදී ලැබූ ප්‍රාථමික අධ්‍යාපනය වසර තුනකට පමණක් සීමාවිය. එම සුළු කාල සීමාව තුළ පවා කුඩා දරුවකු වූ ජායා තුළින් ප්‍රකට වූයේ ඉගෙනීම උදෙසා ඔහු සතුවූ නිසඟ එමෙන්ම අසාමාන්‍ය දක්ෂතාවයි. තුන්වැනි ශ්‍රේණියේදී මෙන්ම හයවැනි ශ්‍රේණියේදී ද ද්විත්ව සාමාර්ථයන් දෙවරක්ම දිනාගැනීමෙන්ම ඔහු බාලවියේ පටන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ප්‍රකට කළ දක්ෂතාවයේ තරම පැහැදිලි වන්නේය. 


කුඩා අවධියේදී තම නිවසේදීම දක්ෂ ගුරුවරයකු මගින් ඉගෙනුම ඇරඹීම සේම ඉස්ලාම් ගුරුවරයකු වෙතින් අල් -  කුර්හන් ග්‍රන්ථය හැදෑරීමේ ඇරඹුම ඔහු අධ්‍යාපනය විෂයෙහිලා ප්‍රකට කළ සාමාර්ථයට පදනම ලෙස සැලකීම නිරවද්‍යය. ප්‍රාථමික අධ්‍යාපනයෙන් පසු ශිෂ්‍යත්වයක් ලැබ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වීමේ වරම ලැබූ ජායා 1906 දී කේම්බි්‍රජ් කනිෂ්ඨ විභාගයෙන් ද 1907 දී කේම්බි්‍රජ් ජ්‍යෙෂ්ඨ විභාගයෙන්ද සමත්වීම ඔහුගේ අධ්‍යාපනයේ ශක්තිමත් අඩිතාලම වූයේය. තම පාසලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ ජායා ගණිතය, ලතින් භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය යන විෂයයන් උදෙසා ත්‍යාග දිනා ගත්තේ මේ අවධියේදීය. 


ප්‍රාථමික අධ්‍යාපනයකින් අනතුරුව තරුණ ජායා විසින් තම ප්‍රථම රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරා ගනු ලබන්නේ 1910 වසරේදීය. ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ උප ගුරුවරයෙකු ලෙස ගුරු සේවය අරඹමිනි. එම වසරේදීම මොරටුවේ වේල්ස් කුමාර විද්‍යාලයේ ගුරුවරයකු ලෙස පත්වීමක් ලැබ ඔහු අගනුවරට පිවිසෙන්නේ එම විදුහලේ  බටහිර සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ගුරුවරයා ලෙස ඉගැන්වීම උදෙසාය. මෙසේ ගුරු වෘත්තියේ යෙදෙමින්ම තම උසස් අධ්‍යාපනය වෙතද යොමුවූ තරුණ ජායා 1913  වසරේදී ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක භාෂා සහ ඉතිහාසය, ගණිතය විෂයයන් ගෙන් ලන්ඩන් අන්තර්කාලීන විභාගයෙන් සමත් වූයේය. ඉන් ලද උත්තේජනයෙන් උසස් අධ්‍යාපනය උදෙසා තවදුරටත් යොමුවූ ජායා ලතින්, ග්‍රීක භාෂා සහ ඉතිහාසය පිළිබඳ විෂයයන් ගෙන් ලන්ඩන් බී. ඒ. උපාධිය සමත් වූයේ 1916 දීය. 1917 දී හේ බටහිර සාහිත්‍ය හා ඉතිහාසය භාර ගුරුවරයෙකු ලෙස කොළඹ ආනන්ද විද්‍යාලයේ සේවයට අවතීර්ණ වීම ඉතා වැදගත් සංසිද්ධියක් වන්නේ පසුකලෙක දිවයිනේ විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ තම නාමයත් ප්‍රකට කළ ඉතා අගනා ගෝල පිරිසක් බිහිකිරීමට එහිදී ඔහුට හැකිවූ බැවිනි. ශ්‍රී ලංකාවේ  වාමාංශික දේශපාලනයේ 20 වැනි ශත වර්ෂයේ පෙරළිකාර චරිතයක් වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, රොබට් ගුණවර්ධන ඔහුගේ ආනන්දයීය ශිෂ්‍යයෝ වූහ. එසේම කලක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක ධුරය දැරූ බකීර් මාකර්ද ඔහුගේ සමීපතම සිසුවකු විය. පුවත්පත් ලෝකය බැබළවූ දැවැන්ත පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාල, ප්‍රකට අධ්‍යාපන අමාත්‍යරයකු වූ බදියුද්දීන් මහමූද්, වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ අලවි මව්ලානා, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ඉස්මතු වූ ප්‍රබල සිසු පරපුරක් ඔහු වෙතින් අධ්‍යාපනය ලබන්නේ ආනන්ද විදුහල් සෙවණේදීය. 

1921 දී ජායා කොළඹ සහිරා විද්‍යාලයේ  විදුහල්පති ධුරය භාර ගත්තේ යහපත් මැලේ සහ යෝනක සිසු පරපුරක් බිහි කිරීමේ අදිටනිනි. එම අදිටන අනුව කටයුතු කිරීමට පෙරාතුව ඔහුට සිදුවූයේ ඊට හාත්පසින්ම වෙනස් වගකීමක් සඳහා උරදෙන්නටය. ඒ වනවිට ඉතා ශෝචනීය තත්ත්වයක පැවති  සහිරා විදුහල නගාසිටුවීම එම කාර්යභාරයයි. ඔහු එම විදුහල භාර ගනිද්දී එහිවූ සිසුන් සංඛ්‍යාව 59කට සීමාවී තිබූ අතර ගුරුවරු සංඛ්‍යාව 6 දෙනකු විය. පරණ ගොඩනැගිල්ලකට  පමණක් සීමා වූ  විදුහල සතුව ප්‍රමාණවත් ඩෙස්, බංකු හා අවශ්‍ය අනෙකුත් උපකරණයන්ද නොවීය. ජායා විදුහල්පතිවරයාගේ මගපෙන්වීමෙන් සහ ඇප කැප වීමෙන් නොබෝ කලකින්ම සහිරා විදුහල ශීඝ්‍ර දියණුවක් ලැබූ අතර ඔහු එහි විදුහල් ධුරයෙන්  ඉවත් වෙද්දී එහි සිසුන් ප්‍රමාණය 3500ක් වූ අතර ගුරුවරු 100ක් එම විද්‍යාලයේ සේවය කළෝය. සහිරා සිසුන් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙත යොමු කොට විවිධ ක්‍රීඩාවන්හි නිපුණ සිසු පරපුරක් බිහි කිරීමටද දායක වූ ජායා කොළඹ සහිරාවේ රාත්‍රී පාසලක් ආරම්භ කිරීමේ සුවිශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකාවේ ප්‍රථම රාත්‍රී පාසල වීමේ හේතුවෙනි. සහිරා විදුහලේ සේවයට අමතරව කොළඹ හමීඩියා විද්‍යාලයේ භාරකාරත්වයද ඉසුලූ ජායා කොළඹ කයිරියා බාලිකා පාසල ඇරඹීම සඳහා ද  තම දායකත්වය සැපයීය. කොළඹ වෙන්හාඞ් ඉංග්‍රීසි පාසලේ භාරකාරත්වය දැරුවේද ටී. බී. ජායා මැතිතුමන් විසිනි.  දෙවැනි ලෝක මහා සංග්‍රාම සමයේ සහිරා සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීමේ අවදානම කල්තබා තේරුම් ගනිමින් අලුත්ගම, ගම්පොළ, මාතලේ, පුත්තලම සහ වෑකන්ද සහිරා විද්‍යාල අරඹා ඒවාහිදී අධ්‍යාපනය ලැබීමට එම දරුවන්ට අවකාශ සලසාදීමට මුල් වූයේද ජායා මැතිදුන්ය. අලුත්ගම සහ අඞ්ඩාලචේන මුස්ලිම් ගුරු අභ්‍යාස විද්‍යාල ඇරඹීම සඳහා කටයුතු කළේද එතුමාය. 


1924 දී ටී. බී. ජායා මැතිතුමන් සෘජුවම දේශපාලනයට පිවිසුණේ ව්‍යවස්ථාදායක සභාවේ මන්ත්‍රීධුරයක් ලබමිනි. 1924 සිට 1930 දක්වා දෙවරක් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කළ එතුමා 1936  සිට 1947  දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකත්වය දැරීය. 1947දී ශ්‍රී ලංකාවට ස්වාධීනත්වය ලබා ගැනීම සඳහා වූ අරගලයේදී පෙරමුණ ගත් ඩී. බී. ජයතිලක, එෆ්. ආර්. සේනානායක, ඩී. එස්. සේනානායක, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ඊ. ඩබ්ලිව්. පෙරේරා, පොන්නම්බලම් අරුණාචලම්,  පොන්නම්බලම් රාමනාදන් යන දේශමාකක ශ්‍රී ලාංකිකයන් අතර ටී. බී. ජායා ද ප්‍රමුඛතාව දැරූ මැලේ නියමුවකු විය. හේ ශ්‍රී ලංකාවේ ස්වාධීන්තවය සඳහා ඇප කැපවූයේ මැලේ මෙන්ම යෝනක ජාතිකයන්ගෙන් සමන්විත මුසිලිම් පරපුර නියෝජනය කරමිනි. මුස්ලිම්වරු තම දැවෙන ප්‍රශ්න මදකට පසෙකලා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවන බව හෙතෙම අභීතව ප්‍රකාශ කළේ සමස්ත  ප්‍රජාවගේම ගෞරවයට පාත්‍ර වෙමිනි. 


1947 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම අමාත්‍ය මණ්ඩලයේ කම්කරු සහ සමාජ සේවා අමාත්‍යධුරය සඳහා පත්කරන ලද්දේ ටී. බී. ජායා මැතිතුමන්ය. එසේම ශ්‍රී ලංකාව උදෙසා ජාතික කොඩියක් නිර්මාණය කරනු පිණිස පත්කළ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩරනායක මැතිඳුන්ගේ සභාපතිත්වයෙන් මෙන්ම සුප්‍රකට පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතානයන්ගේ ලේඛකාධිකාරි ධුරයෙන් යුක්ත කමිටුව නියෝජනය කිරීම උදෙසා එතුමා පත් කරන ලද්දේ අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායකයන් විසිනි. 


එහෙත් අභාග්‍යයකට මෙන් මතුවූ දේශපාලන ලෝකයේ අතිවූ නූල් සූත්තරකාරයන් දෝ 1950 දී ඔහුට 1947 සිට දැරූ කැබිනට් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදිය. ඒ සමගම හෙතෙම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට පත් කරන ලද්දේය. ඒ 1952 දක්වා ඔහුට තම අමාත්‍යධුරය හෙබවීමේ අවකාශ පවතිද්දීය. 1951 දී පන්ජාබ්  විශ්වවිද්‍යාලය මගින් ජායා මැතිඳුන් හට සාහිත්‍යය පිළිබඳ ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලද අතර පාකිස්තානයේ සිටින විදේශ තානාපතිවරුන්ගේ සභාපතිවරයා  ලෙස හේ පත්විය. පාකිස්තානයේ සම්මාන  පුරවැසිභාවයෙන්ද  මෙම වකවානුනේදී ජායා මහතා පිදුම් ලැබූ නමුත් හේ කාරුණිකව  එය ප්‍රතික්ෂේප කළේය. ජායා මැතිඳුන්ට තම ආදරණීය බිරිඳ 1954 දී අහිමි වන්නේ  පාකිස්තානයේ කරච්චි නුවරදී ඇය හදිසියේ අභාවප්‍රාප්ත වීම හේතුවෙනි.


1960 වසරේ පැවැති මහ මැතිවරණයේදී නැවතත් මන්ත්‍රී ධුරයකට පත්වූ ජායා 1960 මැයි මාසයේදී හජ් වන්දනාවක් සඳහා  පිටත් විය. මක්කමදී ශ්‍රී ලාංකික මුස්ලිම් වන්දනාකරුවන් උදෙසා නේවාසිකාගාරයක් ඉදිකිරීම මෙහෙයවමින් සිටියදී හදිසියේ රෝගාතුර වූ ටී. බී. ජායා 1960 මැයි මස 31 දින මක්කමදී  අභාවප්‍රාප්ත වූයේය. ඔහුගේ දේහය මදීනා නගරයේ ජන්තුල්ඛාත්හිදී නබිනායකතුමාගේ සොහොන පිහිටි පරිශ්‍රයේදීම මිහිදන් කරන ලද්දේ පාකිස්තානයේ සහ සෞදි අරාබියේ  නායකයන්ගේ බුහුමන් මධ්‍යයේය. 


ගුරවරයක, විදුහල්පතිවරයකු, පුළුල් අධ්‍යාපනඥයකු හා පරමාදර්ශී දේශපාලනඥයකු ලෙස මැලේ ජාතියට, ඉස්ලාම් ධර්මයට, සමස්ත ලාංකීය ප්‍රජාවට අනුපමේය සේවයක් කළ ටී. බී. ජායා මැතිතුමන්  එතැන් පිටන් වසර අර්ධ ශතකයක් ඉක්මවා තිබියදී  පවා කෘතවේදී ජනතාවගේ ගරු බුහුමනට පාත්‍ර වන්නේ ඔහු විසින් ඉටු කරන ලද අමිල සේවය හේතුවෙනි.

එඞ්වඞ් චන්ද්‍රසිරි