ගම් උදාවේ යටගියාව - 05
බොහෝ විටම ආවරණ සඳහා භාවිත කෙරුණේ තුනී ලෑලි. ඒ වගේම රිජිෆෝම්, වර්ණ ගැන්වුණේ ලෑලිවල ආලේප කරන නොයෙක් වර්ණවල තීන්තෙන්. ඒ වගේම ‘ගම්ටේප්’ හා විවිධ ගම්වර්ගත් විවිධ ප්‍රමාණයේ ඇණත් මහා පරිමාණයෙන් භාවිතයට ගැනුණා. ඒවා කොතරම් භාවිත වුණා දැයි පැහැදිලිව දැන ගත හැකි වුණේ අදාළ ප්‍රදේශයේ ‘හාඞ්වෙයාර් කඩ සාප්පුවල විකිණීමට තිබූ තුනී ලෑලි, රිජිෆෝම් ආදිය එහෙම පිටින්ම විකිණී අවසාන වී තිබීමෙන්. තුනී ලෑලි දෙකක් එකට යාකොට ඒ ඉතා සියුම් හිඩැස වැසුණේ ගම් තැවරූ කඩදාසි පටිවලින්. පසුව ඒවා මතින් ද තුනීලෑලිවල ආලේප කළ තීන්ත ආලේප කළා. එසේ කළ විට ලෑලිදාර යාවී බිත්ති සේ දිස්වන්නට වුණා. මෙබඳු ‘උප්පරවැට්ටි’ කිරීමට යෝජනා කළේ නිවාස සංවර්ධන අධිකාරියේ සේවයට පැමිණි ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජැක් කුලසිංහයි. ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සේවයට පැමිණි අන්දම මේ ලියුම්කරු දන්නේ මේ ලියුම්කරුත් ඒ අවස්ථාවට සම්බන්ධ වූ බැවින්. ඒ මෙසේයි.
එවක සභාපතිවරයා වුණේ සුසිල් සිරිවර්ධන මහතායි. ඔහු එක්තරා සවස්වරුවක ලියුම්කරු ස්වකීය කාමරයට කැඳවනවා. කැඳවා මෙබන්දක් කියනවා.
“අපිත් එක්ක වැඩ කරන්න හොඳ පේන්ටර් කෙනෙක් එනවා.
මිනිහා හිටියෙ බල්ගේරියාවෙ. ශිෂ්‍යත්වයක් ලබා ගිහින්. ජැක් කුලසිංහ සරත් සුරසේන ළඟ වැඩ කරපු කෙනෙක්. සරතුත් හොඳ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වගේම පේන්ටර් කෙනෙක්. ඔබ ගිහින් ඔහුට උදව් කරන්න”
මේ ලියුම්කරු ද චිත්‍ර ශිල්පියකු ලෙස ඒ යුගයේ නිවාස අධිකාරියේම සේවය කළ බැවින් සිරිවර්ධන මහතාට ඕනෑ කළේ ඒ විශිෂ්ටයා සමග එක් වී අලුත් නිර්මාණ කටයුතුවලට අත ගසනු ඇතැයි කියාය.
ඊට සතියකට පමණ පසු ජැක් කුලසිංහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති සිරිවර්ධන මහතා හමුවිය. ඒ හමුවීම දිනයේ ද ලියුම්කරුට ද සභාපතිවරයාගේ කැඳවීමක් ලැබී තිබිණ.
“මේ ඉන්නෙ මම අර කියපු පේන්ටර් ජැක්. ඔහුට අවශ්‍ය සහයෝගය දෙන්න”
එය නියෝගයක් නොවිණ, හුදු කාරුණික ඉල්ලීමක්ම විය. අතට අතදී හමුවීමේ සතුට බෙදාගත් ලියුම්කරු ඒ කාමරයෙන් පිටතට පැමිණ කතා කළේ අවශ්‍ය දේ මොනවාද යන්නය. බල්ගේරියාවේ සරසවියකින් වැඩිදුර අධ්‍යාපනය ලැබ ලංකාවට පැමිණ සිටි ජැක් කුලසිංහට ලංකාවේ සිත්තම්කරණයට අදාළ මෙවලම් මිලදී ගත හැක්කේ කොහෙන්ද? ඒවායේ මිල ගණන් කොපමණ වේද? ආදී ප්‍රශ්න ජැක් කුලසිංහ වටකරගත්තේය. ලියුම්කරු සභාපතිවරයාගේ ඉල්ලීම බිඳකින්වත් කඩ නොකිරීමට සිතාගෙන ජැක්ගේ අවශ්‍යතා එකින් එක විසඳන්නට වූයේය.
පෝස්ටර් තීන්ත බෝතල්, ‘ඩ්‍රෝවින් බෝඞ්’, රොට්රින් වර්ගයේ පෑන් සහ පැන්සල්, විහිත චතුරස්‍ර, පින්සල් වර්ග මිලදී ගත හැකි තැන් පෙන්වූවා පමණක් නොව ඒ ඒ ස්ථාන වෙත ඔහු සමගම ගොස් මිලදී ගැනීම් ද කෙරුණේ ඔහුගෙන් ගත හැකි නිර්මාණ පාර්ශ්වයට ලොබ බැඳි බැවිනි.
ඔහු කී දෙයක් තවමත් සිහිපත් වෙයි. “බල්ගේරියාවේ නම් චිත්‍ර ශිල්පීන් නොවන කාටවත් සාප්පුවලින් පාට මිලදී ගන්න බැහැ. ඔවුන්ට ඕනෑනම් චිත්‍රශිල්පියකු ලවා අනුමැතියක් නිර්දේශයක් අවශ්‍ය වෙනවා”
ඊළඟට ජැක්ට අවශ්‍ය වුණේ මිලදී ගැනුණු සිත්තම්කරණයට අවශ්‍ය කරන උපකරණ ගබඩා කර ගැනීමට තැනකි. කබඞ් එකකි. හිඳ ගැනීමට කාර්යාල පරිශ්‍රයේ තැනකි. මේසයක් හා පුටුවකි. ගොඩනැගිල්ලේ සිවුවැනි මහලට කැඳවාගෙන ගිය ඔහුට ලියුම්කරු සියලු පහසුකම් ලබාගැනීමට පූර්ණ සහය ලබා දුන්නේ ඉහළ තැන්වල අනුමැතිය ඇතිවයි.
එකල මාධ්‍යය යන වචනය සමාජගත වී නොතිබුණු අතර නිවාස සංවර්ධන අධිකාරියේ තිබුණේ තොරතුරු හා ප්‍රචාරක අංශය නමින් වූ ඒකකයක්.
ජැක් කුලසිංහගේ සම්ප්‍රාප්තියත් සමග වෙනම චිත්‍ර ශිල්පී ඒකකයක් ස්ථාපනය වුණා. ඔහුගේ සහයට තොරතුරු හා ප්‍රචාරක අංශයට අනුබද්ධ වී සිටි දෙතුන් දෙනෙක් පැමිණියා. ඒ වාගේම නිවාස හා දේපළ අංශයේ සේවය කළ ඉන්දුසේන ගමගේත් චිත්‍ර ශිල්පියකු ලෙස ජැක් කුලසිංහගේ සිත්තම්කරණ අංශයට එක් වුණා. ගම්උදාවක් ආසන්නයේ මේ අංශයට ‘කප්පරක් වැඩ’ පැවරුණා.
සුදත් සමරසේකර, සුජීව ජයසේන, ඉන්දුසේන ගමගේ, මේ ලියුම්කරු චිත්‍ර ශිල්පීන් ලෙසත් චිත්‍රා රණසිංහ සැලසුම් නිලධාරිණිය ලෙසත් වැඩ කරන්නට වුණේ ජැක් කුලසිංහගේ යටතේ, ඔහුගේ උපදෙස් අනුවයි.
ඔහුගේ එක් පුරුද්දක් වුණේ යමක් ඇඳීමෙන් පමණක් නොව කුඩා මොඩලයක් මගින් විදහාපෙන්වීම ඔහුගේ වචනවලින්ම කිවහොත්,
“ඕනෑම ප්‍රදර්ශනයක තියෙනවා තේමාවක්. ඒ තේමාව මොඩලයක් මාර්ගයෙන් පෙන්විය යුතුයි. ඊට තේමා කුලුනක්, තොරණක්, සුවිශේෂ ප්‍රවේශ දොරටුවක් යොදා ගන්න පුළුවනි.”
චිත්‍ර ශිල්පී අංශය ඔහු විසින් ඇඳදෙනු ලබන සැලසුම අංශයේ සාමාජිකයන් මොඩලයක් බවට පත් කරන්නේ නියම අනුපාතයටයි.
බොහෝ විට ඉන්දුසේන මේ වැඬේට අතගසනවා. ඔහු එකමත එක අලවා වියැළෙන්නට හැරලූ ඝනකම් කාඞ්බෝඞ් වර්ගයක් යොදා ගත්තේ අවශ්‍යතාව අනුව සිහින් තීරු ද කඩදාසි කපන පිහියෙන් කපාගෙනයි. ඇලවීම සිදු කෙරෙන්නේ ක්‍ෂණිකව ඇලවෙන සුදු පැහැති ගම්වර්ගයකින්.
තේමා කුලුනුත්, තේමා ප්‍රදර්ශන රථවල ආකෘතිත් දැනුණේ එසේයි. එය ඕනෑම කෙනෙකුගේ සිත් ඇද බැඳ තබාගැනීමේ හැකියාවෙන් යුතු වුණා. වර්ණයෙන් විචිත්‍ර වුණා. අපූරුවට ඒ ප්‍රදර්ශන රථවල අමුතු හැඩතල මැවුණා.
ඒවා ජැක් කුලසිංහගේ නිර්මාණ බව බැලූ බැල්මටම පේන්නට ඔහු වග බලා ගත්තේ පෙට්ටි හැඩයක් ඒ මත මහත සහ සිහින් රේඛාවක් මාර්ගයෙන් ප්‍රදර්ශන කුටිය ඇතුළතත් ඒ සිහින් සහ මහත රේඛා යුගලය බොහෝ විට දක්නට ලැබුණේ නිල් සහ අළු පැහැයෙන්.
ප්‍රදර්ශන රථවල ආකෘති බැලීමට සෑම මසකම ප්‍රගති සමාලෝචන රැස්වීමට එන රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ඇත්තේ දැඩි උනන්දුවක්. ඒ ආකෘතිය ළඟටම ගෙන්වා බලන ඔහු එයින් තෘප්තිමත් නම් “මේකට කීයක් යනවාද අයිසේ” යනුවෙන් ප්‍රශ්න කරනවා. එක් එවැනි මොහොතක ලියුම්කරුට මතක් වන්නේ මිල ගණනක් අනුමත කළ සැටියි. එය ප්‍රදර්ශන රථයක් නිර්මාණයට කෙරුණු ආකෘතියකි. පිරිවැය ලක්ෂ 20ක් විය. එය ප්‍රේමදාස ජනාධිපතිවරයා අනුමත කළේය. එවැනි ප්‍රදර්ශන රථ සෑම අමාත්‍යාංශයකින්ම නිර්මාණය කොට ගම්උදා පෙරහරට එක් කළ යුතු වූයේ අනිවාර්යයෙනි. ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණේ වැයවන මුදල කෙසේ වුවත් ‘වැඩය’ අත්‍යලංකාර වීමය. එසේම පැහැදිලිව ‘නිමා’ වීමය.
ජැක් කුලසිංහ නිවාස සංවර්ධන අධිකාරියට නවතම ලාංඡනයක් නිර්මාණය කළේ සේවයට පැමිණ ටික දවසකිනි. එම ලාංඡනය නිවාස සතරකින් යුත් ජ්‍යාමිතික හැඩයේ (සම චතුස්‍රාකාර) අර්ථවත් එකකි. සමස්ත නිවාස වැඩසටහනේ තේමාවට ද අනුකූල විය. නමුත් රජය පෙරැළීමත් සමග කාලයාගේ ඇවෑමෙන් ඒ ලාංඡනය අහෝසි වී ගියේය.
නිවාස සංවර්ධනයේ නිර්මාණ කටයුතු දැකීමෙන් වෙනත් ආයතනවලින් ද ඉල්ලීම් ඉදිරිපත් වන්නට විය. එයින් එක් ආයතනයක් වූයේ තැපැල් දෙපාර්තමේන්තුවයි. තැපැල් දෙපාර්තමේන්තුවේ ලාංඡනය ලිපියක් රැගෙන යන කුරුල්ලා නිර්මාණය වූයේ ජැක් කුලසිංහගේ උපදෙස් මත නිවාස අධිකාරියේ චිත්‍ර අංශයෙනි.
ජගත් රණතුංග