ජිනීවාවලදී අතුරුදන්වූ මහින්දගේ ඇමතිකම


 

 

රටක් පාලනය කිරීමේ දී කැබිනට් අමාත්‍යාංශ ඉතා ප්‍රබල ස්ථානයක් ගන්නා බව සඳහන් කළ යුතුය. ආණ්ඩුකරණයේ දී ලෝකයේ රාජ්‍යයන් විවිධ ක්‍රම අනුගමනය කරන අතර ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ දී සමහර රටවල අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය රාජ්‍ය පාලනයේ වගකීම දරයි. විධායක ජනාධිපති ක්‍රමයේදීත් නාමික ජනාධිපති ක්‍රමයේ දී ගනු ලබන තීන්දු තීරණ ද කැබිනට් මණ්ඩලය හරහා ගැනීම සාමාන්‍ය ක්‍රමයයි. විධායක ජනාධිපති ක්‍රමයේ දී පමණක් සමහර තීරණ ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවත් ඒවාට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ. මේ අනුව බලන විට රාජ්‍ය පාලනයේ දී ඒ ඒ අංශයන් පිළිබඳ පූර්ණ වගකීමක් හා බලයක් කැබිනට් ඇමැතිවරුන්ට හා ඔවුන්ගේ අමාත්‍යාංශවලට හිමිවේ. 


ඒ නිසාම බොහෝ අමාත්‍යවරුන් “හොඳ හොඳ අමාත්‍යාංශ” ලබාගැනීමට වැඩි කැමැත්තක් දක්වන අතර කෙසේහෝ එය ලබාගැනීමට රාජ්‍ය නායකයාට බලපෑම් කිරීම ද සාමාන්‍ය ස්වභාවයකි. රාජ්‍ය නායකයෝ ද සුදුසුකම්වලටත් වඩා තමන් සමග ඇති හිතවත්කම් හා ළබැඳියාව මත බොහෝමයක් අමාත්‍යාංශ වෙන් කරදීමට ක්‍රියා කරති. අමාත්‍යාංශ බෙදා වෙන් කිරීමේ දී බොහෝ විට සමහර අය දන්නා විෂයයන් වෙනුවට නොදන්නා විෂයයන් ලබාදීම ද දක්නට ලැබේ. මේ අතර තවත් සමහර අයට ඕනෑම අමාත්‍යාංශයක් භාරගෙන වැඩ කිරීමට හැකියාව ද තිබේ. කෙසේ වෙතත් මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමාගේ කාලයේ අමාත්‍යාංශ 14ක් පමණක් තිබූ අතර දැන් එය පනහකට පමණ ආසන්න වී තිබේ. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රමාණය අනුව බලන විට ප්‍රමාණය සියය ඉක්මවීමට ආසන්නය. වරින් වර මේ පිළිබඳව විවිධ යෝජනා හා අදහස් ඉදිරිපත් වුවද විද්‍යාත්මකව ඇමති මණ්ඩලයක් මෙතෙක් පත්කර ගැනීමට නොහැකි වීම කෙතරම් අභාග්‍යයක් ද?


මෙම පසුබිම යටතේ සාකච්ඡා කරන විට 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ රජයේ අමාත්‍යාංශ වෙන් කිරීමේ දී මහින්ද රාජපක්‍ෂ මහතාට මුලින්ම ලබාදුන්නේ කම්කරු අමාත්‍යාංශයයි. ඊට කලින් පැවති එක්සත් ජාතික පක්‍ෂ රජය සමයේ විපක්‍ෂයේ සිටි මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂ ඡායා කැබිනට්ටුවේ කටයුතු කළේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පිළිබඳවයි. ඒ අනුව පොදු පෙරමුණු රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය මහින්ද රාජපක්‍ෂ මහතාට ලැබිය යුතුව තිබුණත් ලැබුණේ කම්කරු ඇමතිකමයි. මැතිවරණයෙන් ජයග්‍රහණය කළ විගස නව කැබිනට්ටුව තේරූ චන්ද්‍රිකා ජනාධිපතිනිය මහින්ද රාජපක්‍ෂ මහතා තම නිවසේ දී මුණගැසුණු විට ඔහුගෙන් කිසිවක් නොවිමසාම තමන්ගේ තීරණය පරිදි ප්‍රකාශ කළේ “මහින්ද ඔයා කම්කරු ඇමතිකමට යෝජනා කළ” බවයි. මහින්ද මහතා ගත් කටටම කීවේ “රටට ගොඩක් වැඩ කරන්න මෙයිට වඩා වෙනත් අමාත්‍යාංශයක් නැද්ද?” කියලයි. ඔහු පොදු පෙරමුණ බලයට පත් කිරීමට විශාල කැපකිරීමකින් ක්‍රියා කළ පුද්ගලයෙකු වශයෙන් එසේ බලාපොරොත්තුවීම පුදුමයක් නොවේ.


එසේ වුව ද ජනාධිපතිනිය කීවේ “කම්කරු ඇමතිකම හොඳයි. ඔයාට කම්කරුවො වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන්” කියලයි. පක්‍ෂ නායකත්වයටත් ජනාධිපති පදවියටත් ගරු කරමින් රාජපක්‍ෂ මහතා ඕනෑම තත්ත්වයකට මුහුණ දීම තම ප්‍රතිපත්තිය බැවින් එයට කැමැත්ත පළ කළේය. මහින්ද රාජපක්‍ෂ මහතා කල්පනා කළේ වෙනත් අමාත්‍යාංශයක් ලැබුණේ නම් වඩාත් හොඳ බව වුවත් කම්කරු ජනතාවත් වාමවාදී බලවේගත් නිරතුරුවම තමන් සමග සම්බන්ධව සිටින නිසා එසේ කම්කරු අමාත්‍යංශය භාර ගැනීම එක් අතකින් සුදුසු බවයි. “පෙරළුණු අත හොඳයි” කියන්නාක් මෙන් මහින්ද රාජපක්‍ෂ මහතා තම රජයේම මුල්ම කැපිල්ලට අධිෂ්ඨානශීලීව එසේ මුහුණ දුන්නේය. එය එසේ වුවත් ඇත්ත වශයෙන්ම කම්කරු අමාත්‍යාංශය විශාල වැඩ කොටසක් කළ හැකි වැදගත් අමාත්‍යාංශයකි. මා ද සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ වගකිව යුතු තනතුරක් දැරූ අයෙකු වශයෙන් කම්කරුවන් සේවකයින් සමග ඔවුන් වෙනුවෙන් වැඩ කිරීම කෙතරම් ආස්වාදජනක ද යන්න පිළිබඳව අවබෝධයක් තිබේ. රාජපක්‍ෂ මහතාට කම්කරු ඇමතිකම ලැබීම ගැන ශ්‍රී ලංකාවාසී සමස්ත කම්කරු ජනතාව සතුටින් ඉපිල ගිය ආකාරය එතුමා වැඩ භාරගත් දිනයේ නාරාහේන්පිට කම්කරු ලේකම් කාර්යාල භූමිය අතුරු සිදුරු නැතුව පිරී ගිය ආකාරයෙන් පෙනෙන්නට තිබුණි.


කම්කරු අමාත්‍යංශයේ වැඩ භාරගත් ඔහු මුලින්ම කිරීමට පටන්ගත්තේ එකල ජනතාව තුළින් මහ හඬ නැගුණු “කම්කරු ප්‍රඥප්තිය” සකස් කරවීමේ කාර්යයයි. ඒ සඳහා අත ගසමින් කම්කරුවන් වෙනුවෙන් අවංකවම විවිධ ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටිය දී ආණ්ඩුවේම ප්‍රබලයින් ඒවා ආපස්සට හැරවීමට ක්‍රියා කරමින් සිටි බව පෙනෙන්නට තිබුණි. එය වඩාත් පැහැදිලි වූයේ එකල කම්කරු උපදේශක සභාවේ කටයුතු කළ වාමාංශික දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ වාසුදේව නානායක්කාර මහතා එකල ප්‍රකාශ කළ පරිදි “අපේම ආණ්ඩුව ධනපති අවශ්‍යතා ඉටුකිරීමට නැඹුරු වී ඇති බවයි” යන ප්‍රකාශයයි. ඒ අනුව වාසුදේව නානායක්කාර මහතාත් සම්බන්ධ කරගෙන මහින්ද රාජපක්‍ෂ ඇමතිවරයාට සිදුවූයේ අණ්ඩුවේම “ජුන්ටාවක්” සමග ගැටීමටයි. එහි මූලික අවස්ථාවක් වශයෙන් සඳහන් කළ හැක්කේ රජයේ ප්‍රථම අයවැය පිළිබඳව වූ ආණ්ඩුපක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී එවක මුදල් අමාත්‍යවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඉදිරිපත් කළ ඩීසල් වාහනවලට බදු පැනවීමේ යෝජනාවයි. එම යෝජනාවෙන් සාමාන්‍ය මහජනතාවට පහර වදින බව පෙන්වාදුන් මහින්ද මහතා මුදල් අමාත්‍යාංශය සමග ගැටී කෙසේ හෝ එය නතර කර ගත්තේය. එසේ වුවද ජනාධිපතිනිය ඇසුරේ සිටි සමහර ඇමතිවරුන් හා නිලධාරීන් පෙර පැවති යූ.එන්.පී. පාලකයින් අනුගමනය කළ ධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නොයෙක් ආකාරයෙන් වෙහෙසුණු අයුරු පෙනෙන්නට තිබුණි.


මතු සම්බන්ධයි.