ජීවිත පූජාවෙන් ජයගත් විමුක්ති අරගලය


 

 

1963 ජුනි 11 වැනි දිනය සමස්ත ලෝකයම සෙල වූ සංවේදී දිනයක් විය. වියට්නාම් ජාතික ත්හිච් ක්වාං ඩක් නමැති 73 හැවිරිදි භික්ෂූන් වහන්සේ සිය දේශයට ආගමට ජාතියට නිදහස පතා තම සිරුරට ගිනි තබාගනිමින් ආත්ම පූජාවක යෙදුණේ එදිනය.


ඒකාධිපති පාලකයෙකු වූ ඩින් ඩියම් රාජ්‍ය පාලනය කළේ දැඩි මර්දනයකට ජනතාව බිලි කරමිනි. විශේෂයෙන්ම බෞද්ධයින්වය. වියට්නාම් ජනතාවගෙන් සියයට අසූවක් පමණ වෙන බෞද්ධයින් හට එල්ල කරන ලද හිරිහැර නිමක් නොවිණ.


හමුදාවෝ අත්අඩංගුවට ගන්නා ලද වියට්නාම් වැසියන්ගේ අඟ පසඟ කපා දැමූහ. තියුණු අවි යොදා ගනිමින් බඩවැල් පළා දැමූහ. අවසානයේදී සමූහ ඝාතනයකි. ඇමරිකන් හිතවාදියෙකුවූ ඩින් ඩියම් ගේ පාලනය ආරක්ෂාකර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ඒ නිසා ඇමරිකානු හමුදා සිය දහස් ගණනින් වියට්නාමයේ කඳවුරු බැඳ ගත්හ. ආසියාවට ළඟා වෙමින් තිබූ සෝවියට් දේශයේ සමාජවාදී නව රැල්ල නවතා දැමීම හා පරාජය කිරීම ඇමරිකාවේ අදහස විය. එම අදහස ක්‍රියාවට නැංවීම සඳහා ගෙනගිය පියවරයන් පසුකාලීනව හමුදා ආක්‍රමණයක් ලෙස හැඳින්විය හැකි අයුරින් පුළුල් විය.


ඩින් සියම්ට හා ඇමරිකන් හමුදාවට එරෙහිව ජනතාවෝ පෙළ ගැසුණහ. වියට්කොන් ගරිල්ලන් හා ජාතික විමුක්ති පෙරමුණ වටා ගොනු වූහ. උතුරු වියට්නාම් නායක හෝ චිං මිං ගේ සහයද සමාජවාදී කඳවුරේ වක්‍ර සහයද ලබාගත්හ. නාපාම් නමැති බෝම්බ හෙළා වියට්නාමයේ ගම්මාන, වනාන්තර විනාශ කරද්දී විමුක්තිකාමීන් සතුව තිබුණේ ප්‍රාථමික යුද උපක්‍රම හා උපකරණ පමණි. ඉන් මහඟු ප්‍රතිඵල විමුක්තිකාමීහු ලබාගත්හ.


1963 වෙසක් දින බෞද්ධ පෙරහරක් සයිගොන් නුවර වීථි සංචාරය කළේ ප්‍රධාන ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමිනි.


● බෞද්ධ කොඩි තහනම් කිරීමේ නියෝගය අවලංගු කිරීම.
● කතෝලිකයින්ට දී ඇති අයිතිවාසිකම් බෞද්ධයින්ට ලබාදීම.
● හියු නුවරදී සිදුවන බෞද්ධයින් අත්අඩංගුවට ගැනීම් හා අයුතු බලපෑම් නැවැත්වීම.
● ආගම් ඇදහීම් අයිතිය හා ආගම ප්‍රචාරයට අයිතිය ලබාදීම
● හියු නුවර සිදුවුණ ඝාතනවලදී මියගිය අයගේ පවුල්වලට වන්දි ගෙවීම.


වෙසක් දින බෞද්ධ කොඩි එසවීම හා පෙරහර පැවැත්වීම තහනම් කරමින් ඩින් ඩියම් රජය තහනම් නියෝගයක් නිකුත් කර තිබුණි. එම නීතිය නොතකමින් හියු නුවර බෞද්ධයෝ වෙසක් පෙරහරක් පැවැත්වූහ. ජනාධිපති ඩින් ඩියම්ගේ අයියා වන කුක් නමැත්තා එම ප්‍රදේශයේ ආච් බිෂොප් හෙවත් අග්‍ර රාජගුරු ප්‍රසාදිවරයාය.


මේ අතර නිවේදනයක් නිකුත් කළ වියට්නාම් කාන්තා සංවිධානයේ නායිකාව යැයි හඳුන්වාගත් නෝ ඩිං ඤ්්‍යු මහත්මිය බෞද්ධ උද්ඝෝෂණ මැඩලීමට දැඩි පියවර රජය විසින් ගතයුතු බව ඉල්ලා සිටියාය. ඤ්්‍යු මහත්මිය ඩින් ඩියම්ගේ නෑනාය. ඇය පාලක මණ්ඩලයට පවා උපදෙස් ලබාදෙන්නීය. ඤ්්‍යුගේ හඬට ඩින් ඩියම් සවන් දෙන බවද පැවසෙයි.
ඩින් ඩියම් පෙරහර තහනම් කරන ලදී. තහනම නොතකා වෙසක් පෙරහර ඉල්ලීම් පහ ප්‍රදර්ශනය කරමින් හා හඬ නගමින් වීථි සංචාරය කළහ. පොලිසිය හා හමුදාව පෙරහර වටකර පහර දෙන්නට වූහ. පෙරහරේ ගමන් කළ පිරිස ගල් මුගුරුවලින් හා අතට හසුවෙන සෑම දෙයකින්ම පෙරළා පහර දුන්හ. අහසට වෙඩි තබමින් සිටි හමුදාව පිරිස වෙතට තම ගිනි අවි එල්ල කර වෙඩි තැබූහ. වෙඩි වැදීමෙන් බෞද්ධයින් 12 දෙනෙක් මරණයට පත්වූහ.


මේ සිදුවීමෙන් පසු වියට්නාමයේ නගර හා ගම්බිම්වල ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් ඇතිවිය. ඩින් ඩියම් රජය ආරක්ෂක විධිවිධාන තර කරන ලදී. විහාරාරාමයන් වටා කටු කම්බි හා ලීවැටවල් ගසා සමාජයීය සබඳතාවලින් ඈත් කිරීමට ගත් පියවරයන් ජනතාවගේ ආණ්ඩු විරෝධය හමුවේ සාර්ථක වූයේ නැත. මේ සියල්ල සිදුවූයේ වියට්කොන් ගරිල්ලා පහරවලට අමතරවය. ගරිල්ලාවරුන්ගේ පහරදීම් වැඩි වශයෙන් යොමු වූයේ ඇමරිකන් හමුදා ඉලක්ක කර ගනිමිනි.

 

 


ඩින් ඩියම් පාලනයට හා ඇමරිකන් හමුදා ක්‍රියා මාර්ගයන්ට ලොව පුරා විරෝධතා ඇතිවුවත් ඒ පිළිබඳව පාලකයින් කිසිදු සැලකිලිමත් බවක් දැක්වූයේ නැත.


1963 ජූනි 11 වැනි දින සයිගොන් නුවර සාලොයි නම් මහා විහාරස්ථානයට භික්ෂු භික්ෂුණීන් 500 ක් පමණ හා සිය දහස් ගණන් බොදු බැතිමත්හු රැස්වූහ. වෙසක් දින බෞද්ධයින් 12 දෙනාගේ ඝාතනය වෙනුවෙන් පුණ්‍යානුමෝදනාවක් පැවැත්වීම එහි අරමුණ විය. පසුව භික්ෂු භික්ෂුණීන්ගේ ප්‍රධානත්වයෙන් ධජ පතාකයෙන් සැදුණු පෙරහැරක් සේ මාර්ගයට අවතීර්ණ විණ. බෞද්ධ ඉල්ලීම් පහ මෙම පෙරහරේ ඉදිරියෙන්ම ප්‍රදර්ශනය කළේය. බොදු අයිතිවාසිකම් වෙනුවෙන් ගෙන යන සටන මේ වනවිට උත්සන්න වෙමින් පැවතිණි.
සයිගොන් ප්‍රධාන මාර්ගයට පෙරහර ළඟාවෙත්දී පෙරහර සමග මෝටර් රථයක් පිරිස පීරාගෙන ඉදිරියට ගෙන පාර මැද නවතන ලදී. රියෙන් පැමිණි භික්ෂු පිරිසක් කඩිමුඩියේ පාරට අවතීර්ණ වූහ. ඒ අතරින් එක් භික්ෂු නමක් ඉදිරියට පැමිණ පාර මැද එරමිණියා ගොතාගෙන වාඩි වූහ. වාහනයේ තිබූ ප්ලාස්ටික් බඳුනක් රැගෙන පැමිණි දෙවෙනි භික්ෂුව වාඩිගත් හිමිනම තෙමී යන ලෙස එහිවූ දියරය සිරුරට වත් කරන ලදී. ඒ දියරය පැට්රල්ය.


ක්වාං චක් හිමියෝ ගිනිකූරක් දල්වා ගනිමින් තම සිරුරට ගිනි දල්වා ගත්හ. ගිනි දල්වා ගැනීම වැළැක්වීමට හා ගින්න නිවා දැමීම සඳහා මැදිහත්වීමට පොලිසිය ගත් උත්සාහය නිරර්ථක විය. ගිනි තබා ගැනීම සංවිධානය කර තිබුණේ ඉතා සියුම්ව හා වේගවත්ව වීම එයට හේතුවයි. මේ ක්‍රියා මාර්ගය ඔත්තු කරුවන්ගෙන් හෝ රජය දැන සිටියේ නැත. පොලිසියට කළ හැකිවූයේ නරඹන්නන් මෙන් බලා සිටීම පමණි. වටවී සිටි භික්ෂු භික්ෂුණීහු ගාථා පාඨ හා පිරිත්  ගායනා කිරීම වේගවත්  කළහ.
බද්ධ පර්යංකයෙන් වාඩිවී සිටි ක්වාං ඩක් හිමි එකම ගිනි ජාලාවක් බවට පත්විය. දෙපතුලේ සිට හිස දක්වා බුරබුරා ගිනිදැල් නගිද්දීත් වචනයකුදු නොදොඩා, බිඳකුදු නොසෙල්වී සිටි බව සඳහන්ය. මොහොතකින් දැවී අඟුරුවූ සිරුර කසාවන් චීවරයෙන් ඔතන ලදී. ඉන්පසු සයිගොන් නුවර කාම්බෝජ තානාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි සාලොයි මහා විහාරය කරා පෙරහැරින් ගෙන ගියහ. එම පෙරහැර ඉදිරියෙන්ම බෞද්ධ ඉල්ලීම් පහ වෙනුවෙන් භික්ෂු නමක් ජීවිත දානයේ යෙදුණහ යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කෙරිණ.


මේ මොහොතේ ජනාධිපති ඩින් ඩියම් හා රජයේ උසස් නිලධාරීහු ඒ අසල කතෝලික දේවස්ථානයක පැවති දුක් ගායනා පූජාවකට සහභාගි වෙමින් සිටියහ. ඒ මියගිය 23 වැනි ජුවාම් පාප්තුමා වෙනුවෙන් පැවති දුක් ගායනා පූජාවකටය. සාලොයි විහාරස්ථානයේදී ක්වාං ඩක් හිමියන්ගේ දැවී ගිය සිරුරට ආගමික වතාවත් ඉටුකරන ලදී. සිරුර ගෙන එත්දී පවා අවිගත් යුද හමුදා කණ්ඩායම් කිහිපයක්ම නගරයේ මාර්ග හා ගොඩනැගිලි මුර කිරීමට යොදවා තිබුණි.


ක්වාං ඩක් හිමිගේ ආත්ම පූජාවෙන් පසු වියට්නාමයේ අරගලය උත්සන්න විය. අවසන් කටයුතු සිදු කිරීමට නියමිතව තිබුණේ කොලොන් නම් ප්‍රදේශයේදීය. පෙරහැර තහනම් කරන ලදී. විහාරාරාම හා ජනතාව අතර පවතින සම්බන්ධතාව ඈත් කිරීම සඳහා පංසල් වටා කටු කම්බි ගසා වෙන් කරන ලදී. ගිනි තබාගෙන එක් මිනිහෙක් මිය ගිය බවට ඩින් ඩියම් කළ ප්‍රකාශය ජනතාව තරයේ හෙළා දුටුවෝය. පෙරහැර තහනම් කළද තහනම නොතකා ක්වාං ඩක් හිමිගේ අවසන් ගමන පෙරහැරකින් ගෙන යා යුතු යැයි තීරණය කළහ. මේ තත්ත්වයන් පිළිබඳව වියට්නාම් බෞද්ධ නායක තිව් තිය බියෙන් හිමි දෙදිනක් තිස්සේ ඩින් ඩියම් සමග සාකච්ඡා කරන ලදී.

 

ක්වාං ඩක් හිමිගේ ජීවිත පූජාවේ අවස්ථා.

 

 


ක්වාන් ඩක් හිමිගේ අවසන් කටයුතු සඳහා දේහය පෙරටු කරගත් පෙරහැර සාලොයි විහාරස්ථානයේ සිට කොලොන් ප්‍රදේශයට යන ගමන ඇරඹිණ. පාර දෙපස දහස් ගණනක ජන ගඟක් විය. බලාපොරොත්තුවූ අයුරින් රජයේ හමුදා හා ජනතාව අතර ගැටුම ඇරඹුණි.


ක්වාන් ඩක් හිමිගේ ආත්ම පූජාව හා ඉන්පසු සිදුවීම් ජාත්‍යන්තර ගත විය. ලොව බොහෝ රටවල් මෙන්ම ඇමරිකාව තුළද වියට්නාමයේ ඇමරිකා මැදිහත්වීම හෙළා දකිමින් විරෝධතා ඇතිවුණි. 1975 අප්‍රියෙල් මාසයේදී වියට්නාමයේ විමුක්ති සටන ජනතා ජයග්‍රහණයෙන් කෙළවර විය.

 

 


ගණේමුල්ල - බුද්ධි බොල්ලත
නීතිඥ සඳමුතු ශර්මි ශ්‍රී බුද්ධික