අධිරාජ්‍යවාදී පාලකයෝ තමන්ගේ යටත් විජිත පාලනය පහසුවෙන්, දිගුකලක් පත්වාගෙන යනු සඳහා ඒ ඒ රටවල ජාතීන් භේද කරවා අර්බුද නිර්මාණය කිරීම පුරුද්දක් වශයෙන් පවත්වාගෙන ගියහ. මෙයට හොඳම උදාහරණය ඉන්දියාවයි. එදා ඔවුන් විසින් අවුළුවන ලද හින්දු - මුස්ලිම් ගැටුම මහා භාරතය බෙදා රටවල් දෙකක් නිර්මාණය කිරීම දක්වා ඔවුහු ක්‍රියා කළහ.
නිදහස ලබා වසර හැත්තෑවක් ගතවුවද මෙම ගිනි ජාලාව නිවී ගොස් නැත. ඕනෑම මොහොතක ළැව් ගින්නක් මතුවිය හැකි ආකාරයේ අළුයට ගිනි පුපුරු තැන්පත්වී ඇත. මෙම භේදය නිසා වගුරන ලද රුධිරය ගංගා, යමුනා මහා ගංඟා දෙකට වඩා වැඩි බව සත්‍යයකැයි ඉන්දියානු නිදහස් උළෙලේදී ශ්‍රී නේරු ප්‍රකාශ කළේය. එසේ නම් නිදහසෙන් පසු මෙම ජාතිවාදය වෙනුවෙන් වැගිරූ ලෝහිතය බ්‍රහ්මපුත්‍ර සහ අචිරවතී ගංගාවන්ගේ ජලයට වඩා වැඩි යයි යමෙකු පැවසුවහොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් වන්නේ නැත. ඉතා කුඩා දූපත් රාජ්‍යයක් වුවද බි්‍රතාන්‍යයන් ශ්‍රී ලංකාවේදී කටයුතු කළේ ද ඒ ආකාරයෙනි.
ශ්‍රී ලංකා රාජ්‍යය උඩරට ජන ප්‍රධානීන් විසින් බි්‍රතාන්‍ය කිරීටයට පවරා දීමේදී 1815 වසරේ මාර්තු දෙවැනිදා මහනුවර මඟුල් මඩුවේදී අත්සන් තබන ලද ගිවිසුමේ පස්වැනි වගන්තිය අනුව මෙරට ජනතාවගේ ආගම රැකබලා ගන්නා බවටත් ආරක්ෂා කරන බවටත් ලිඛිතව පොරොන්දු වී සපථකොට තිබුණි. එම වගන්තිය මෙසේ විය. “මෙකී රටවල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නාවූ බුද්ධ ශාසනයද, දේව ආගමද කඩ කළ නොහැකිව පවත්වන්නට ඕනෑ සහ එකී කටයුතු ද සංඝයාද, විහාරස්ථානද, දේවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්ඩත් ඕනෑය.”
බි්‍රතාන්‍යයෝ ටික කලක් මේ ගිවිසුමට අනුව කටයුතු කළහ. එහෙත් නොබෝ දිනයකින්ම එය කඩ කිරීමට පටන් ගත්හ. විසිවැනි සියවසේ මුල් දශකය වන විට මෙවැනි හිරිහැර නිසා ජනතාවත් ඔවුන්ගේ නායකයෝත් සිටියේ අසහනයෙනි. මෙවැනි අසතුටුදායක තත්ත්වයක් පවතිද්දී 1915 මැයි මස 28 වැනි දිනට යෙදී තිබුණු වෙසක් පුර පසළොස්වක දින සිංහල - මුස්ලිම් දෙපක්ෂය අතර මහනුවරදී ඇති වුණු ආරාවුලක්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කළ මංකොල්ල කාරයන් හා කට කතා පතුරුවන්නන් නිසාත් සුදු පාලකයාගේ කූට උපක්‍රම නිසාත් දුරදිගගොස් මහා ජාතිවාදී ගිනි ජාලාවක් බවට පත් විය.
මීට කලකට පෙර ගම්පොළ වල්ලහගොඩ දේවාලයේ ඇසළ පෙරහර පැවැත්වීමට අවහිර කිරීම සම්බන්ධව දෙපාර්ශවය අතර පැවති මතභේදයක් ද මෙයට මූලික ලෙස බලපෑ බව කියනු ලැබේ.
කෙසේ හෝ මෙම අර්බුදය රට පුරා ව්‍යාප්තව ගියේ අදහාගත නොහැකි කඩිනමකිනි. මේ වන විට පළමු ලෝක මහා සංග්‍රාමය ද ආරම්භව පැවති නිසා ආණ්ඩුකාර රොබට් චාමස් අදහස් කළේ මෙය රටට ඇතුළු වූ ජර්මන් ඔත්තුකරුවන් රටේ පාලනය අවුල් කිරීමට සිදු කළ කුමන්ත්‍රණයක් ලෙසය. මේ වැරදි අවබෝධය සහ ඒ මත පදනම් වූ කෘර පළිගැනීමේ චේතනාව නිසා 1915 ජුනි මස දෙවැනිදා බි්‍රතාන්‍ය පාලකයා යුද්ධ නීතිය හෙවත් “මාර්ෂල් ලෝ” පැනවීය. එමෙන්ම ඉන්දියාවෙන් මරාති, ෂික් සහ ගුර්කා ආදී ආරක්ෂක සේනාවන් ගෙන්වීය. එවකට මෙරට සිටි මහ ලේකම්වරයා හා පොලිස්පති ඩව්බිගින්ගේ දැඩි ක්‍රියාමාර්ග මඟින් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර කරන ලද අතර සිංහලයන් මර්දනය කිරීමත් ඔවුන්ගේ නායකයන් සිරභාරයට ගැනීමත් දිගින් දිගටම පැතිර ගියේය. ඇෆ්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, දොස්තර ඩබ්ලිව්. ඒ. ද සිල්වා, ඩී. බී. ජයතිලක, දොස්තර සී. ඒ. හේවාවිතාරණ, ආතර් වී දියෙස්, පියදාස සිරිසේන, නීතිඥ ජෝන් ද සිල්වා, රිචඞ් සල්ගාදු, පී. ඩී. එච්. දියෙස් සහ හෙන්රි පේද්‍රිස් යන බෞද්ධ නායකයෝ අරගලය ආරම්භ වූ මුල් දිනවලම අත්අඩංගුවට පත් වූහ. එමෙන්ම තවත් ප්‍රාදේශීය නායකයන් බොහෝ දෙනෙක්ද අත්අඩංගුවට ගෙන රඳවා තබන ලදී.
මෙයින් පෙර නම සඳහන් වූ හෙන්රි පේද්‍රිස් මහතා සුවිශේෂී පුද්ගලයෙක් වූවේය.
අපේ කතාව යොමුවන්නේ හෙන්රි පේද්‍රිස් මහතා කෙරෙහි වන බැවින් අපි එතුමාගේ තොරතුරු සවිස්තරව හඳුනා ගනිමු. ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙකු වූ ඩී. ඊ. පේද්‍රිස් මහතාට පුත්ව මහා සාර පවුලක උරුමය ඇතිව උපත ලද්දේය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මෙම දරුවා තම පියාගේ විශාල ව්‍යාපාර පාලනය කරන අතරම හමුදා සේවයට බැඳීමටද ප්‍රිය කළේය. මෙම කාලයේ සුද්දන්ම විනා දේශීය ජනතාව හමුදාවට බඳවා ගැනීම නොකළ නිසා එය ඉතා දුෂ්කර කාර්යයක් වූවේය. දිනකට තෙවරක් මල් පහන් පුදා තෙරුවන් නමදින බෞද්ධ වත්පිළිවෙත් ඉතසිතින් ගරු කරන පවුලක සාමාජිකයෙකු වූ හෙන්රි පේද්‍රිස් තරුණයා තමාගේ දැඩි ආශාව සහ උත්සාහය නිසාම කොළඹ නගරාරක්ෂක බළකායට බැඳුණා වුවද එය නගරයේ වාසය කළ සහ හමුදාවේ කටයුතු කළ සුද්දන්ගේ මහත් වූ කෝපයට හේතු විය. හදෙහි වූ දේශප්‍රේමී අදහස් නිසාත් තම රට යටත් කරගෙන පීඩාවට පත් කරන නිසාත් සුද්දන්ගෙන් කෙරෙහි මෙම තරුණයා කෙරෙහි ප්‍රසාදයක් තිබුණේ නැත.
එමෙන්ම පියා සතු ධන සම්පත්තියේ බලයෙන් ඉතා වටිනා අශ්වයන් රැසක් මෙම තරුණයා සතුව සිටියේය. මෝටර් රථ සුලභ නොවූ මෙම වකවානුවේ බොහෝ සුද්දන් පයින් ගාටද්දී හෙන්රි අභිමානයෙන් යුතුව අසුන් පිට ගමන් කිරීම ඔවුන්ගේ දැඩි ඊර්ෂියාවට හේතුවක් විය. දේශීය තරුණයෙකු හමුදාවට බඳවා නොගන්නා යුගයක මොහු නගරාරක්ෂක බළකායට බඳවා ගත්තා පමණක් නොව එහි කපිතාන් ධුරයක්ද පිරිනැමුණු නිසා සුද්දන්ගේ වෛරය දෙගුණ තෙගුණ විය. අවස්ථාවක් ලැබෙන කුමන මොහොතක හෝ පළිගැනීමේ චේතනාවෙන් යුතුව ඔවුහු වෛරයෙන් දැවි දැවී සිටියහ.
ජාතිවාදී අරගලය නැගී ආවේ මේ අතරවාරයේදීය. මහනුවර සිදුවීම් කට කතා මඟින් ලුණු ඇඹුල් එක්වෙමින් කොළඹට පැතිර ආවේ කපුටු පිහාටුවක් ළඟ ඔක්කාරය වීම කපුටන් හත් දෙනෙකු වමනය කළ බව පැතිර ගිය ආරංචිය මෙනි. මෙයින් කලබලයට පත් කැලණිය, වනවාසල ආදී පෙදෙස්වල දෑහිතකාමී සිංහලයෝ ගනුදෙනු බේරා ගැනීම සඳහා කොළඹට පැමිණෙමින් සිටියහ. පිටකොටුවේ තවත් ජන කොටසකගේ පිරිසක් රැස්වන බව පේද්‍රිස් මහතාට ආරංචි විය. ඒ අනුව නිල ඇඳුමින් යුතුව අසු පිට නැගී පිටකොටුවට ගිය පේද්‍රිස් මහතා කරුණු වටහා දී රටේ කිසිදු තැනක කුමන හෝ ජන කොටසක් මේ ප්‍රචාරය වෙමින් පවතින ලෙස ඝාතනය කර නැති බව පැහැදිලි කර ඔවුන් විසුරුවා හැරීමට ක්‍රියා කළේය. පසුව සිංහල පිරිස සොයා යද්දී මෙම අය පෑලියගොඩ වික්ටෝරියා පාලම මතදී මුණගැසුණු අතර ඔවුනටද කරුණු වටහා දී ආපසු යැවීමට ඒ මහතා සමත් විය. එහෙත් සතුරෝ මෙම කරුණු විකෘති කර රොබට් චාමස් ආණ්ඩුකාරවරයාට වාර්තා කළහ. භීෂණ වකවානුවකදී නිසැකවම සිදුවන අයුරින් පාවා දෙන්නන්ට අවස්ථාව සැලසුණි. රටේ යුද්ධ නීතිය පනවා තිබුණු වාතාවරණය හමුවේ හෙන්රි පේද්‍රිස් තරුණයා අත්අඩංගුවට ගන්නා ලදී. එසේම යුද්ධාධිකරණය හමුවට පමුණවන ලදී. අත්අඩංගුවට ගත් දහස් ගණනකගේ නඩු විමසීමට සුදුසුකම් ඇති විනිසුරුවරු මෙරට නොසිටියහ. එනිසා නඩු ඇසීමේ බලය උඩරට වතුකරයේ තේ වතු පාලනය කළ සුද්දන්ට සහ කොළඹ රජයේ කාර්යාලවල රැකියාවන්හි නියුක්ත සුදු ජාතිකයන්ට පවරා දෙනු ලැබීය. ඒ යුද්ධ නීතියේ බලය පිටය. ආණ්ඩුකාරවරයාගේ අභිමතය ඉටුකිරීමට ඔවුහු බැඳී සිටියහ. එයින් සිදු වූයේ බොහෝ දෙනා නිකරුණේ මරණ දණ්ඩනයට නියම වීමය. මේ සමහරු වැලිකඩ බන්ධනාගාරයෙහි ගාල් කර සිටියහ. සේනානායක සහෝදරවරු හේවාවිතාරණ සහෝදරවරු සහ අනෙකුත් ජාතික නායකයන්ද සිටියේ මේ ආකාරයෙනි.
ඉතිරි කොටස ලබන සතියට...
සෝමසිරි වික්‍රමසිංහ