දි වංගත ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එකොළොස් අවුරුදු පාලන කාලපරිච්ඡෙදය සිද්ධීන් රාශියකින් ගහණ වූ කාල වකවානුවක් විය. ශ්‍රී ලංකාව ලෝක ආර්ථිකයට විවෘත වූ මෙකල නව සංවර්ධන ව්‍යාපාර රැසක් ආරම්භ වීම පමණක් නොව 83 ජූලි කලබල, 87 ඉන්දු - ලංකා ගිවිසුම පළාත් සභා ක්‍රමය, සංවර්ධන සභා ක්‍රමය, ජේ.වී.පී. දෙවැනි කැරැල්ල ආදී ප්‍රශ්නගත සිදුවීම් රැසක් ඇතිවීම ද ඉතිහාසගතව ඇති අතර, ඒවා අපේ රටේ අතීත දේශපාලන ක්‍රියාකාරකම් සමග ඉතා ගැඹුරින් බැඳී පවතී.
1983 ජූලි කලබල සමග පටන්ගත් සිංහල හා දමිළ කොටි ත්‍රස්තවාදීන්ගේ ගැටුම් දිනෙන් දින උග්‍ර වූ අතර, ඒවා මැඩපැවැත්වීමට රජය විවිධ ක්‍රම අනුගමනය කළේය. එම කාලය තුළ රටේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ආරක්ෂක අමාත්‍යාංශය, අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශය ආදී වශයෙන් ආරක්ෂක කටයුතු සම්බන්ධිකරණයට අංශ ගණනාවක් බිහි වූ අතර, ඒකාබද්ධ හමුදා අණදෙන මූලස්ථානයක් ද ස්ථාපිත කර තිබුණි.
නිල වශයෙන්ම ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ආරක්ෂක ඇමැති වූ අතර, විශේෂයෙන් ඇති කළ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ අමාත්‍යවරයා වූයේ දිවංගත ලලිත් ඇතුළත්මුදලි මහතාය. වරින්වර ඇති වූ කොටි ත්‍රස්තවාදී කටයුතු හමුවේ ක්‍රියාත්මක වූ රජයට ඒ සමග හෙමින් හෙමින් ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණේ යම් යම් කලබලකාරී නොසන්සුන්කාරී කටයුතුවලට ද මුහුණ දෙන්නට සිදුවිය. කෙසේ වෙත් 1987 ජූලි 27 වැනි දින ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මහතා සමග ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේ දමිළ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් වශයෙන් පළාත් සභා ක්‍රමය ඇති කිරීමටත්, ඉන්දීය සාම සාධක හමුදා ගෙන්වා කොටි ත්‍රස්තවාදීන් සමග සටන් කොට ජයග්‍රහණය ලබා ගැනීමටත්ය. සාමය උදාකිරීමටත්ය. රට පුරා කොටි ත්‍රස්තවාදීන් ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළත් ඉන්දීය හමුදාව ගෙන්වීමට හා පළාත් සභා ඇති කිරීමට ආණ්ඩුවේම සමහර මැති ඇමැතිවරු පවා දැක්වූයේ විරෝධතාකල්පයකි. රට පුරාද ඒ ගැන ඇතිවූයේ විරෝධයකි. ඒ නිසා තැනින් තැන ප්‍රශ්න ඇති කරමින් සිටි ජ.වි.පෙ. කැරැලිකරුවන්ට ද යම් උත්තේජනයක් ඇති වූ අතර, ඔවුහු ද විප්ලවීය කටයුතු දැඩි සේ මෙහෙය වන්නට පටන් ගත්හ.
කෙසේ වෙතත් විශාල විරෝධතාවක් මැද්දේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ දවසේ පටන් වර්ධනය වූ කලබල අස්සක් මුල්ලක් නෑර තීව්‍ර වූයේය. ගිවිසුම අත්සන් කළ දිනයේ රට පුරා ඇතිවූ මහා කලකෝලාහලවලට ගිනිතැබීම්, මංකොල්ලකෑම්, මිනීමැරුම්, කඩ සාප්පු විනාශ කිරීම්, රජයේ කාර්යාල ගිනි තැබීම් ආදී සිද්ධීන් රාශියක්ම ඇතුළත් වූ අතර, මුළු රටම ගිනි ගෙන දැවෙන්නට විය. රටම යුද පිටියක් බවට පත්වූ අතර, සාමාන්‍ය ජනතාව ද සමග මෙයට නායකත්වය දුන් ජ.වි.පෙ. කොටස් රටේ ඇති කළ විනාශය සුළු පටු නොවේ.
පාර්ලිමේන්තුවේ බෝම්බ ගැසීම්, ගිවිසුම අත්සන් කර දින දෙකකට පසු තංගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතා බරවකුඹුක (තම ආසනයේ) ගමේදී මහ මග ඝාතනය කිරීම ආදී සිදුවීම්වල නිමක් නැති විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය දැක්වූ අතර, ජේවීපී සාමාජිකයන් එම අවස්ථාවෙන් ලබාගත් ඉඩකඩ තුළින් රට පුරා ඇති කළ ත්‍රස්තවාදී ක්‍රියා නිමක් නැති විය. රට පුරා සිදුවූ මනුෂ්‍ය ඝාතන සීමාවක් නැති තරම්ය. ගම්වල වෙනත් පාක්ෂිකයන් අමු අමුවේ ඝාතනය කළ අතර, රජය ද ඉතා තදින් ක්‍රියාත්මක විය. රට පුරා නාඳුනන කල්ලි කණ්ඩායම් ද බිහි විය. පැවැති භීෂණය හා මිනීමැරුම් පැහැදිලි කළ හොත් අතිරේකයේ පිටු මදි වනු ඇත. රට පුරා ඇති වූ මෙම භයානක මහා භීෂණකාරී තත්ත්වය එකල අග්‍රාමාත්‍ය දිවංගත ආර්. ප්‍රේමදාස මහතා හැඳින්වූයේ දෙපැත්තම ඇවිළෙන විලක්කුවක් ලෙසිනි.
88 ජනාධිපතිවරණයේ දී එතුමා හැම රැස්වීමකම කීවේ එම කතාවයි. කොටි ත්‍රස්ත ක්‍රියා, ජේවීපී ත්‍රස්ත ක්‍රියා යන දෙකටම මුහුණ දීමට සිදුවූ ආකාරය එයින් මනාව පෙන්නුම් කරයි.
කෙසේ වුවද මෙම දරුණු භීෂණය හමුවේ කෙතරම් ක්‍රම සහ විධි යෙදුව ද ත්‍රස්ත ක්‍රියා අඩුවක් නොවූ නිසා භීෂණය තදින් පැතිරී තිබුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ එවක දිසා ඇමැති දොස්තර පී. එම්. බී. සිරිල් මහතා තවත් මන්ත්‍රීවරු කීප පලක් හා මා කැඳවූ ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා, “මුන්නැහැලා ඔහොම ඉඳල හරියන්නෙ නෑ. හම්බන්තොට ජනතාවගේ බිය නැති වෙන්නත්, පවතින තත්ත්වය ජනතාවට අවබෝධ කර දෙන්නත් රැස්වීමක් කැඳවන්න” කියල කීවා. එම වෙලාවේ හැටියට රැස්වීමකටවත් සෙනඟ ගෙන්වා ගන්න අමාරු බවත් රැස්වීමට පැමිණෙන අයට ත්‍රස්තවාදීන් කරදර කරන බවත් මරණය පවා හිමි කරන බවත් අපි හොඳ හැටි දැනගෙන හිටියෙමු. නමුත් කුමක් කරන්නද? “ජනාධිපතිතුගේ ඉල්ලීම කෙසේ හෝ ඉටු කරන්න ඕනෑ’ මම හා සිරිල් මහත්මා සාකච්ඡා කළෙමු. ඒ අනුව අපි පොලිසියත් විශේෂයෙන් පළාතේ ආරක්ෂාව සඳහා පිහිටුවා තිබූ හමුදා සම්බන්ධිකරණ කාර්යාලයත් සමග කතා කර 1987 ඔක්තෝබර් මාසයේ 06 වැනිදා හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයට ජනාධිපතිතුමා ගෙන්වන්න ක්‍රියා කළෙමු. අපි ප්‍රදේශයේ පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් ප්‍රධාන පෙළේ ආගමික නායකයන්, සමිති සමාගම්වල ප්‍රධානීන් හා ඒ ඒ ගම් නියෝජනය කරන ග්‍රාම නිලධාරීන්, සාම කමිටු සාමාජිකයන් ආදී විශාල පිරිසක් හම්බන්තොට ප්‍රාථමික විද්‍යාලයට කැඳෙව්වෙමු. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පෙ.ව. 9.30 වන විට හෙලිකොප්ටර් යානයෙන් විද්‍යාලයට පැමිණියේය. භීෂණය මධ්‍යයේ වුවද අපි රැස්වීම මැනවින් සංවිධානය කළෙමු. දිස්ත්‍රික්කයේ ඇතිවී තිබෙන භීෂණය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමෙන් පසු ජනාධිපතිවරයාගේ කතා වාරයට එළඹුණි. රැස්වීම ඉදිරිපස එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ එනම් තංගල්ල පොලිස් අධිකාරි බල ප්‍රදේශයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කළ පොලිස් අධිකාරි උඩුගම්පල මහතා සිටියේය. ප්‍රේමදාස උඩුගම්පල මහතා එකල ප්‍රසිද්ධ පොලිස් නිලධාරියකු වූ අතර රැස්වීම ඉදිරිපස සිටි ඔහු දෙස බැලූ ජයවර්ධන ජනාධිපතිවරයා ඉතා කෙටි කතාවක් කළේය. “මොනවද මේ මහලොකුවට කෝට් යුනිෆෝම් ඇඳගෙන ඉන්නෙ? ලැජ්ජා නැන්ද? හැම තැනම භීෂණය පැතිරිලා. අහිංසක මිනිස්සු මැරෙනවා. මුන්ව ඉවර කරල දාන්න” ජනාධිපතිතුමා ඉතා තදින් අවධාරණයෙන් ඒ විධියට කෙටියෙන්ම කීවේය. එය එතුමා ප්‍රසිද්ධියේම ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට එළිපිට දුන් නියෝගයක්. ඉන් පසුව එදින පටන්ම හම්බන්තොට ප්‍රදේශයේ ත්‍රස්තවාදීන්, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවත් ඉතා සැරට ඇවුළුණි. 1989 අවසානයේ ජේවීපී ත්‍රස්තවාදය අවසන් වන තෙක්ම දෙපැත්තේම ගැටුම් අඩුවක් නැති විය.