ගිරාඹේ ආනන්ද නාහිමි-කතා පෙළ- 03
ගිරාඹේ ආනන්ද හිමියෝ 1950 දසකයේ අග වන විට ඩඞ්ලි සේනානායක මහතා ඇතුළු නායකයින් සමග ඉතා පැහැදීමෙන් වැඩ කළහ. 1964 මුඛවාඩම් පනත නම් පුවත්පත් පනත ඉදිරිපත්වීමත් සමග ඊට රට තුළ විරෝධතා පැන නැගුණේය. ලේක්හවුස් ආයතනය ජන සතු කරන කතාව නිසා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට එරෙහිව අරගල කැරිණි.
වෙසෙසින් මහ සඟරුවන ඊට එරෙහිව පෙළ ගැසුණි. එවිට ගිරාඹේ හිමියන් වයස 20 ඉක්ම වූ තරුණ භික්ෂුවකි. උන් වහන්සේ ඇතුළු පිරිසක් සිරිකොත හා සමීපව කටයුතු කළහ. ඒ අතර භික්ෂූන් වහන්සේ පන්දහසක් වැඩම කර වූ හමුවක් කොළඹ නගර සභා පිටියේදී පැවැත්විණි. ඒ මුඛවාඩම් පනතට එරෙහිවය. මීටියාගොඩ ගුණරතන, මැදගොඩ ධම්මජෝති, මිරිස්සේ චන්ද්‍ර ජෝති, හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි ආදි මහ සඟරුවන එහි ප්‍රධානත්වය ගත්හ. එයට සහාය දුන් ඇමති සී. පී. ද සිල්වා මහතා නිවසේ සිට රැස්වීමට සවන් දුන්නේය. එම රැස්වීම අසා සිටි ඔහු පසු දින ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයට එක්විය.
ඒ අතර 65 මහ මැතිවරණය එළඹුණේය. ගිරාඹේ හිමි සිරිකොත හා තවත් ළං වූහ. පුවත්පත්වලට ලිපි ලිවීම, කවි ලිවීම ආදී විනෝදාංශ ද උන්වහන්සේ සතුවිය. මේ අතර නැවත භික්ෂු සංවිධානය ස්ථාපිත කරමින් මාලේවන ඤාණීස්සර, මැදගොඩ ධම්ම ජෝති, රඹුක්වැල්ලේ සෝභිත හා පලීපාන චන්ද්‍රානන්ද, සියඹලන්ගමුවේ ගුණරතන ආදී ප්‍රධාන පෙළේ භික්ෂූන්ද එක් වෙමින් එජාපයේ සංඝ සභාවක් පැවැත්විණි. සෑම හිමි නමක්ම මැතිවරණ ආසන 5 බැගින් බෙදාගෙන භික්ෂූන් වහන්සේලා සංවිධාන කිරීමට එහිදී තීරණය විය. භික්ෂු සංවිධානයේ සභාපති ලෙස කටයුතු කළේ හේම බස්නායක මහතායි.
ඔහු හිටපු අගවිනිසුරුවරයෙකි. මේ අතර ගිරාඹේ හිමියන්ට සිරිකොතින් ආරාධනයක් ලැබිණි. පුංචිහේවා නමැති මහතෙකු හිමියන් සොයා රාත්‍රි කාලේ සාරානන්ද විහාරයට පැමිණියේ ය. ගිරාඹේ හිමියන් ඔහුට මුණගැසුණත් හිමියන්ගේ ගුරු හාමුදුරුවන් නොසිටියෙන් උන් වහන්සේ වැඩමකර සිටි කෑගල්ලේ කොබ්බෑවල විහාරයට යාමට සිදුවිය. පුංචිහේවා මහතා හා ගිරාඹේ හිමියන් එහි යන විට රාත්‍රි 2 පමණ විය.
එවකට දේශපාලනයේ දැවැන්ත චරිතයක් වූ ටී. බී. ඉලංගරත්න මහතාගෙන් කරදර වෙතැයි සිතා ගුරු හාමුදුරුවෝ ඒ ගමනට අකැමැත්ත පළ කළෝය. එහෙත් ගිරාඹේ හිමියන්ගේ දැඩි කැමැත්ත නිසා පසුදා සිරිකොතට වැඩම කරන්නට සිදුවිය.
උන් වහන්සේට ද ආසන 5ක සංවිධාන කටයුතු භාර කෙරිණි.
ඒ සෙංකඩගල, මහනුවර, තෙල්දෙනිය, ගලගෙදර හා වත්තේගම ආසනයි. ගිරාඹේ ආනන්ද හිමියන්ට ඒ ආසන 5 සංවිධානයට ගියේ සති දෙකක් පමණි. උන් වහන්සේ පන්සල් ගානේ ගමන්කර භික්ෂූන් හමුවී සාර්ථකව සිය ව්‍යාපාරය නිමා කළ සේක. එම වාර්තාව හේම බස්නායක අතට ද මුලින්ම පත්විය.
‘පොඩි හාමුදුරුවනේ මේ වෙනකල් කවුරුවත් තාම වාර්තාවල් භාර දීලා නෑ’ යි කියමින් හේම බස්නායක මවිතය පළ කළේය.
පසුව උන් වහන්සේට මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 14න් 9ක්ම භාර කෙරිනි. ඒ හැම ආසනයකම භික්ෂු සංවිධාන පිහිටුවමින් ඒවා ද සංවිධානය කරනු ලැබිණි. හේවාහැට දී හිමියන්ට මරණ තර්ජන එල්ල විය. එම ආසනයට නොයන ලෙස ද හාමුදුරුවන්ට පණිවුඩ ආවේය.
තක්කාලි, කුණු බිත්තර ආදියෙන් ගසා දමන බවට විරුද්ධවාදීහූ පණිවුඩ එවූහ. හේවාහැටේදී කුරේ නම් සහකාර පොලිස් අධිකාරීවරයා හිමියන්ට ආ එම තර්ජනවලින් හිමියන් බේරාගත්තේය.
එවකට ගලගෙදර ආසනයට තරග කළේ ඉලංගරත්න මහතාගේ බිරිය තමරා කුමාරීය.
කොත්මලේ ආසනය ද ගිරාඹේ හිමියන්ට භාර විය. එම ආසනයට අලුතින් පත් කළ සී. බී. රණතුංග නම් තරුණයාට උදව් කරන ලෙස ද හේම බස්නායක මහතා ඉල්ලීමක් කළේය. හිමියන් ඔහු සොයාගෙන නාවලපිටියේ චන්ද්‍රා කරුණාරත්න මහතාගේ පියාගේ වෙළඳසැලට ගියේය. රණතුංග එහි යනෙන බවට ලද ආරංචියක් අනුව ගියත් එම ව්‍යාපාරිකයා රණතුංග නම් අයෙක් නොදන්නා බව කීය. සුළු මොහොතකින් එතැනට ආ තරුණයෙකු රණතුංග තමා බව කීවේය. දැනහඳුනා ගැනීම්වලින් පසුව ඔහු සමග හිමියෝ සිය වාහනයේම කොත්මලේට අයත් පන්සල් 39කට ගමන්කර සංවිධානය කළෝය.
එහි ගංකේවල නම් ගමක් ඇත. එය එළිමහන් රංග පීඨයක් මෙනි. වටේම කඳුය. මැද නිවාස ය. සියල්ලෝම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝය.
ඒ ගමට ගියේ අන්තිමට ය. හවස 6 වන විට බිංකළුවර වැටෙමින් පැවතිණි. හාමුදුරුවන් එන තුරු මග රැකගෙන හිටි විරුද්ධවාදී ගම්වැසියෝ එක හූවකින් ගමම එකතු කළෝය. පන්සල ඉදිරිපිට බණ්ඩාරනායක මහතා දුම්බොන පයිප්පය කටේ ගසාගත් අභිමානවත් දැවැන්ත ඡායාරූපය එල්ලා ඇත. විහාරස්ථානයට ගොඩවැදි හිමියන් දුටු විහාරාධිපති හිමියන් සතුටු වුණේ තමාද අමතක නොකර භික්ෂු සංවිධානය පැමිණීම ගැනය. එහෙත් සිදුවන්නට යන කලබලය ගැන උන්වහන්සේ ද බිය විය. ගිලන්පසද පිළිගැන්විණි. ඒ අතර පන්සලේ ඝාන්ඨාරය දිගටම වනු ඇසිණි.
ඒ හඬත් සමග වටේ ඇති කඳුවළල්ල සිව් දෙසින්ම කෑගහගෙන හුළු අතු, පොලු මුගුරු, කැති, පොරෝ රැගත් පිරිසක් පංසල් වත්ත වටකර ගත්හ. සිය දෙනෙක් පමණ දොර ළඟ වට වූහ. හිමියන්ට අසන්නට බැරි තරම් අසභ්‍ය වචනයෙන් ඔවුහු බැණ වැදුණහ. ඔවුන්ට බැණ වැදීමට පැය කාලක් පමණ ඉඩ දෙනු ලැබීය. අනතුරුව එතැන සිටි කොත්මලේ කඩදොර නමැති හිමිනම ඔවුන් බැණපු වචන වලින්ම පෙරළා පහර ගැසූහ.
‘ඈ බොලව් රට විනාශ වෙන්ඩ යනවා. තොපි සිංහලයෝද? දුටුගැමුණු රජ්ජුරුවෝ රැකලා දීපු රට තොපි විනාශ කරන්ඩ යන්නේ. තොපි පරදේසක්කාරයෝට ජාතක එවුන් හින්දද? බැහැපියව් එළියට යනුවෙන් බැණ වැදුණු ඒ හිමියන්ට බියේ පිරිස පසුබැස්සහ. ඒ අතර කලබලය සැලවී එක්තරා පුද්ගලයෙකු පංසලට දිව ආවේය.’ මොකද හාමුදුරුවනේ’ යි ඔහු විමතියෙන් විමසීය.
එවිට රැස්ව සිටි පිරිස හීහීකඩ දුවන්නට වූහ. ඒ පැමිණියේ ගමේ ආරච්චිය. ඔබ වහන්සේ බය නැතුව වාහනේම යන්න යි හේ කීය.
කොත්මලේ දිනා මිස ආපසු නොයන බවට එහිදී අධිෂ්ඨාන කරගත් හිමියෝ පසුව රණතුංග දිනවීමට නම් මුදල් අවශ්‍ය බවත් ඉලංගරත්නට මෙන් ඔහුට මුදල් නැති බවත් පෙන්වා දී සිරිකොතට ලියුමක් ලිවූහ. උපනායක ලෙස පක්ෂයේ සංවිධාන කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන මහතා වෝඞ් ප්ලේස් හිදී හමුවන ලෙස හිමියන්ට දැන්වීය. හිමියෝ ජේ. ආර් ට විස්තරය කීහ. මහනුවර ආසන 14න් 12ක් දිනන බව හිමියෝ කීහ. උපහාසයෙන් හිනාවුණු ජේ. ආර්. එහෙමත් දිනනවා නම් ලංකාවේ විපක්ෂයක් ඉතුරු නොවන බව කිවේය. ලාච්චුවට අත දමා ලිපිගොනුව ගත් ඔහු “මහනුවර, සෙංකඩගල, වත්තේගම, තෙල්දෙනිය, අකුරණ, ගලගෙදර කියන ආසන හය විතරයි දිනන්නේ පොඩි හාමුදුරුවනේ” යැයි කීවේය.
‘ඇයි අනෙක් ඒවා බැරි? හිමියෝ ප්‍රශ්න කළෝය.
“තරහ වෙන්න එපා තමුන්නැහේ කොළඹ සීත කාමරේ ඉඳලා සැලසුම් හදලා ඔහොම කියන්න එපා.
මම ගමක් ගමක් ගානේ ඇවිදලා අත්දැකීමෙන් මේ කතාව කියන්නේ. මහනුවරින් ආසන 12ක් අපි දිනනවා. නැතිවුණොත් මම සිවුර ගලවලා ගෙදර යනවා” යි හිමියෝ කීහ.
මොනවා කළත් කොත්මලේ නොදිනන බව ජේ. ආර්. කීය.
“මෙදා ඡන්දේ අත ද අලිය ද කියලා මිනිස්සු ඡන්දය දෙන්නේ, පුද්ගලයා බලලා නොවේ.” යැයි හිමියෝ කීහ.
‘ඒක කීයටවත් වෙන්නේ නෑ’ ජේ. ආර්. කීය.
‘කොත්මලේ පැරදුණොත් දකුණු කොළඹ නිතරගයෙන් පත්වෙච්චි තමුන්ටත් මන්ත්‍රීකම නෑ කියලා හිතාගන්න ඇමති තුමෝ’ කියා ගිරාඹේ පොඩි හාමුදුරුවෝ අභියෝග කළහ.
පසුව පොඩි හාමුදුරුවන්ගේ අභියෝගය දිනුවේය. ඒ ගැන විස්තරය ලබන සතියේ දී...
අනුරාධපුර - සරත් මනුල වික්‍රම