‘පෙරේරාවරුන් දෙන්නෙක් ඉදිරිපත් කොරොනොවා. හොඳ කෙනා තෝරා එවන්න’යි ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා කීය. යටියන්තොට ජනතාව හොඳ පෙරේරා තෝරාගත්තේ එක් දහස් නවසිය තිස් ගණන්වල සිට පත්වූ තුන් කෝරලයේ දේශපාලන දැවැන්තයා දේශපාලන ලෝකයෙන්ම බිමට පෙරළමිනි. ඒ තෝරාගත් “හොඳ පෙරේරා”, එනම් වින්සන්ට් පෙරේරා මහත්මා අභාවයට පත් වී මේ නොවැම්බර් මාසයට අවුරුදු නවයකි.
මගේ මතකයට එන එක් සිදුවීමක් 1989 වර්ෂයේ රටේ භීෂණකාරී තත්ත්වයක් තිබූ කාලයේ සිදුවිය. යටියන්තොට මධ්‍ය විද්‍යාලයට විදුහල්පතිවරයෙක් අවශ්‍යව තිබියදී, එවක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂව සිටි මගේ මිතුරෙක්, ‘මිනිස්ටර්ට උඹව දැකගන්න ඕනැලු. වරෙං මාත් එක්ක අමාත්‍යාංශයට යන්ඩ’ යි කීය. ඒ වන විටත් බලයේ සිටි අය කීප දෙනෙකුට මම තිත්ත වී තිබූ හෙයින් මම ‘බැහැ’ යි කීමි. කෙසේ හෝ මිතුරා මා කැටුව ගියේය.
පියගැටපේළි කීපයක්ම කැරකි කැරකී නැගී ඉහළම මාලයට ගිය විට එවේලේ එහි සිටියේ එතුමාගේ පෞද්ගලික ලේකම්වරිය වූ එතුමාගේ දියණියත්, එතුමාත් පමණි.
‘මෙන්න අර කියූ මිනිහාව එක්ක ආවා’යි අධ්‍යක්‍ෂතුමා කීය.
‘කවුද? මොකටද?’ යි එතුමා ඇසීය.
‘සෙන්ට්‍රල් එකට’ උත්තරය ද කෙටි විය.
‘වින්සන්ට් මහත්තයා’ මා දිහා එක එල්ලේ බලා සිටියේය. මම ද මද ආඩම්බර සිනහවකින් සිටියෙමි. තත්පර කිහිපයක් එසේ බලා සිටින්නට ඇත.
‘අයි.... සේ, අයි ලයික් යූ.... මම දන්නවා උඹ කොමියුනිස්ට් කාරයෙක් බව. ඒත් කොලේජ් එක බාර අරගෙන හොඳින් කරපන්....’ ඒ තමයි ‘මහත්තයා’ගේ පළමු වචන කීපය, හොඳ ව්‍යක්ත ඉංග්‍රීසියෙන්.
එතැන් සිට මම සේවයෙන් විශ්‍රාම ගන්නා තෙක් දස වසරකට ආසන්න කාලයක්, මට හැකි හොඳින් එහි සේවය කළෙමි. ‘උඹට නම් එයාත් එක්ක ආමරු වෙයි’ කියා කීප දෙනෙක්ම කීහ. ඒත් ඒ දස වසරටම එතුමා විදුහලට ආවේ එක් වතාවක පමණි. ඒ සබරගමු පළාත් අමාත්‍යාංශය මගින් පවත්වන ලද ජංගම සේවා උත්සවයකට සහභාගි වන්නට. ඒ හැරෙන්නට විදුහලේ රැස්වීම් ශාලාවට සැපපහසු පුටු සැපයීමේ සිට ‘හිඟයි’ කියූ සැණෙකින්ම අදාළ තැන්වලට කතාකොට ගුරුභවතුන් සපයා දීම, ගොඩනැගිලි කීපයකටම තම ප්‍රතිපාදනවලින් මුදල් වෙන් කොට දීම ඇතුළුව දුන් සහයෝගය මගේ දුරකථන ඇමතුමකට හෝ ලිපියකට අනුව එතුමා කෙළේය. මට කිසි දිනෙක, එතුමාගෙන්, අර පෙර කිව් ‘අමාරුව’ අත්වූයේ නැත.
කෙනෙකුගේ සිත දිනා ගැනීමට ‘වින්සන්ට් මහත්මයා’ ට තිබුණේ පුදුම හැකියාවකි. මේ මා කියන්නට යන සිද්ධියෙන් එය අපූරුවට පෙනෙයි. ඒ, එතුමාගේ පුතණුවන්ගේ විවාහ මංගල උත්සව දිනයයි. මුළු විදුහලෙන්ම ආරාධනා කර තිබුණේ මට පමණය. නිවස ඉදිරිපිට මහ පාර වසා මඟුල් මඩුව ඉදිකර තිබුණේය. මම මගේ තනියට විදුහලේ තවත් මිතුරු උපගුරු මහතෙක් කැඳවා ගෙන ගියෙමි. රෑ බෝ වී ගෙන එන අවස්ථාවේ කමින්, බොමින් ප්‍රීති වන අය තුන් - හාරසියයක් පමණ එවේලේත් සිටියහ.
එතුමාගේ නිවසට ගොඩවන පියගැට පෙළ නැග මම ආලින්දයට පා තබන විට මහ සැප පුටු තුනක අතිශය වැදගත් යැයි සිතිය හැකි මහත්වරු දෙදෙනෙක් දෙපස හිඳුවාගෙන යම් බීම වීදුරුවක් අත ඇතිව එතුමා සිටියේය.
මා දුටු හැටියේම එතුමා කළේ ‘හලෝ... සිරිල්’ යි කියාගෙන, හිඳගෙන සිටි පුටුවෙන් නැඟී, එතුමා අතේ තිබූ බීම වීදුරුව මට දී, මගේ දෙවුරෙන් අල්ලා, අර එතුමා හිඳගෙන සිටි පුටුවේ මා වාඩි කරවා, අර දෙදෙනාට මා හඳුන්වා දීමය.
හඳුන්වා දීමට භාවිත කළ වචන මම මෙවේලේ නොකියන්නේ එය කටමැත දෙඩීමක් ලෙස ඔබ සිතන්නට ඉඩ ඇති හෙයිනි. ඉතින් එතුමාට එවේලේ එතැන සිටි සේවකයා ලවා තව පුටුවක් සහ වීදුරුවක් ගෙන්වා මට දෙන්නට ඕනෑතරම් ඉඩ තිබිණි. නමුත් කෙනෙකුට උපරිම ගෞරවය දක්වා ඔහුගේ සිත දිනාගැනීමේ හැකියාව එතුමාට සහජයෙන්ම පිහිටා තිබිණ. අභාවයට පත්වන තෙක්ම ප්‍රදේශයේ මන්ත්‍රී ධුරය එතුමාට රැකදීමට ජනයා සූදානම්ව සිටීම අරුමයක් ද?
තවත් එක් කරුණක් සිහිපත් වෙයි. ඒ 1989 කලබල කාලය ගැනය. විදුහලේ යම් කටයුත්තක් සඳහා මම ද එතුමාගේ නිවසට ගොස් සිටියෙමි. අතුරුදහන් වූ තම දරුවන් සොයා දෙන්නැයි කියා අඳෝනා කියමින් බොහෝදෙනා පැමිණ සිටියහ. එතැන සිටි එතුමාගේ ලේකම්වරයාට අදාළ අයගේ නම් ලියාගන්නට කියා ‘හැබැයි ටිකක් ප්‍රමාද වෙයි.’ යනුවෙන් පොරොන්දුවක් ද දී පිටත් කර යවා, එක් අයෙකුට නවතින්නට කීය.
‘මට පුතා ගැන යමක් කියන්නට අමාරුයි’ යනුවෙන් පැවසීය. හැම දරුවෙක්ම වාගේ ආපසු පැමිණි බව ගැනත් ‘මහත්මයා’ගේ අවංකකම ගැනත් මම තව වරක් වටහා ගතිමි.
ටකරම් මඩු කීපයකින් සමන්විත වූ ‘මගේ විද්‍යාලය’ එතුමා මුල් වී තැනුණු දෙමහල්, තෙමහල් ගොඩනැගිලි කීපයක් නිසා මහේශාක්‍ය පෙනුමක් ලැබීය. විද්‍යාලීය මැද මිදුල අලංකාර වූ අතර, එළිමහන් පන්ති කීපයක් ද නිර්මාණය වුනි.
විසිවැනි සියවසේ මුල් භාගයේ වතු සංස්කෘතියේ වෙළෙඳපොලක පෙනුම ගත් යටියන්තොට නගරය ඊට ඇතුළුවීමේ දී හමුවන මහ පාලමත් සමග අද තත්ත්වයට නවීකරණය වූයේ එතුමාගේ ආරම්භක අනුග්‍රහයෙනි. ‘මහත්තයා’යි ආදර වදනින් සියලු දෙනා එතුමා ගැන සඳහන් කරති. අභාවයට පත්ව වසර නවයක් අවසන් වන මේ අවස්ථාවේ, මෙවන් හෘදයාංගම මහා ආත්මයෙක් ප්‍රදේශයට ලබාදීම පිළිබඳ මා ස්තුති කරන්නේ එතුමාගේ මියගිය දෙමාපියන්ටය.
සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන
ඡායාරූප අන්තර්ජාලයෙනි