ජේ.ආර්.ගේ නිවෙස වට කළ රුක්මන්ගේ මිනිස්සු


 

තුන් වරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරය ඉසිලූ එජාප නායක ඩඞ්ලි සේනානායක මහතා 1973 අප්‍රේල් මස 13 වැනිදා කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය. ඒ අනුව එතුමා මන්ත්‍රී ධූරය දැරූ දැදිගම ආසනය හිස් වූ අතර ඒ සඳහා අනුප්‍රාප්තිකයෙකු තෝරා පත්කර ගැනීම පිණිස අතුරු මැතිවරණයක් පැවැත්වීමට එවකට පැවැති සමගි පෙරමුණු ආණ්ඩුවට සිදුවී තිබුණේය.

1970 මහ මැතිවරණයෙන් පරාජයට පත්ව සිටි එජාපයේ හිටපු ප්‍රබලයන් කීපදෙනෙකුම දැදිගම ආසනයට තරඟ කිරීම සඳහා ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටිය ද එජාපය ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව ලබාදුන්නේ අභාවප්‍රාප්ත ඩඞ්ලි සේනානායක මහතාගේ සොහොයුරාගේ පුත්‍රයෙකු වූ රුක්මන් සේනානායකටය. විශේෂයෙන්ම පක්ෂයට එවැනි තීරණයක් ගැනීමට සිදුවූයේ “අපට ඕනෑ රුක්මන් හාමුම තමයි.” කියමින් එම ප්‍රදේශයේ එජාප හිතවතුන් තදින්ම ඔහු ඉල්ලා සිටි බැවිනි.


ඩඞ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු එජාප නායකත්වයට පත්ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා මුලින් අදහස් කළේ දැදිගම අතුරු මැතිවරණයට පක්ෂයේ වෙනත් ප්‍රබලයෙකු ඉදිරිපත් කිරීමටය. විශේෂයෙන්ම රුක්මන් වැනි තරුණයෙකු දැදිගම අසුන සඳහා තරඟ කිරීමට පත්කරනවාට වඩා එම අවස්ථාව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකුට ලබාදෙනු ලැබුවහොත් වඩාත් වාසිදායක විය හැකි යැයි ජේ. ආර්. ජයවර්ධන මහතා මුලින් සිතුවද ප්‍රදේශයේ එජාප හිතවතුන්ගේ ඉල්ලීමට කන් නොදී සිටීමට ඔහුට නොහැකි විය.


ඒ අනුව රුක්මන් සේනානායකට එජාපයේ නාම යෝජනා ලැබුණු අතර ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ ධර්මසිරි සේනානායක මහතා පරාජය කරමින්  වැඩි ඡන්ද 4508 කින් ජය ගැනීමට හෙතෙම සමත් වූවේය. කෙසේ වෙතත් 1973 ජූලි මස 9 වැනිදා පැවැති දැදිගම අතුරු මැතිවරණයෙන් ජයගෙන ජාතික රාජ්‍ය සභාවට තේරී පත්වූ රුක්මන් සේනානායකගේ ගති පැවතුම් එජාප නායකයාට රිස්සුම් නොදුන්නේය. ඊට හේතුවූයේ ඔහු මන්ත්‍රී ධූරයට පත්වූදා සිටම පක්ෂය තුළ වෙනම ගමනක් යාමට පටන්ගෙන ඇතැයි ජේ. ආර්.ට පෙනී ගිය බැවිනි. විශේෂයෙන්ම ඔහුගේ සිතට එවැනි විෂම අදහස් ඇතුළු කරවනු ලැබුවේද තමන් වටා සිටි අන්නේවාසිකයන් පිරිස විසිනි.


“සර් රුක්මන් හදන්නේ පක්ෂය ඇතුළේ එයාගේ බලය ඉස්මතු කරගන්නයි. විශේෂයෙන්ම එයා ඩී. එස්. සේනානායක අගමැතිතුමාගේ මුනුපුරෙක් නිසා ගම් මට්ටමේ සමහරු සර්ට වඩා එයාට කැමතියි.” කියමින් ඇතැමුන් විසින් දෙන ලද ලණුව ජේ. ආර්. පැනපු ගමන් ගිල දැමුවේ සේනානායක පරපුරත් සමග ඔහුටද යම් කෝන්තරයක් තිබීමේ හේතුව මතය.


මේ අතර තවත් පිරිසක් ජේ. ආර්. පිළිබඳව රුක්මන්ට ද ගතු කියා තිබුණහ.


‘ලොක්කට සේනානායකවරු නයාට අඳුකොළ වගෙයි. සර්ට නොමිනේෂන් දුන්නෙත් නොදී බැරිකමට’ යි කී එම පිරිස රුක්මන්ගේ සිතට සැකයේ විෂ බීජ ඇතුළු කර තිබුණේ ඉතා සූක්ෂම අයුරිනි.


එම කාලය තුළ මන්නාරම, උතුරු කොළඹ කලාවැව සහ කටාන වැනි ආසන සඳහා අතුරු මැතිවරණ පැවැති අතර ඒ හැම ආසනයක්ම එජාපය විසින් ජයගෙන තිබුණේය. මේ අතර තමන් 1975 වසරේදී ජනතාවට මහ මැතිවරණයක් ලබාදෙන බවට ප්‍රතිඥාවක්දී තිබූ ජේ. ආර්. ජයවර්ධන මහතාට එම පොරොන්දුව ඉටු කිරීමට නොහැකි විය. එහිදී තමන්ගේ දකුණු කොළඹ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ ඔහු යළිත් එම අසුනටම තරග කිරීම සඳහා නාම යෝජනා භාරදෙන ලද්දේ තම ඡන්දදායකයන්ට ලබාදුන් පොරොන්දුව තමන් විසින් හෝ ඉටුකිරීමේ අදහසිනි.


ජේ. ආර්. ගේ ඔය විහිළුවලට සම්බන්ධ වෙන්න අපට වැඩක් නෑ.. යි කී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය දකුණු කොළඹ අතුරු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු පවා ඉදිරිපත් නොකළාය. ඒ අනුව එජාප නායකයාට තරඟ කිරීමට සිදුවූයේ කලක් එජාපයේ හිතවතෙකුව සිටි ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතා සමගය. ඔහු එවර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටියේ ලොක්කාට හොඳ පාඩමක් ඉගැන්වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් අන්තිමේදී ඡන්ද 11,113 ක් පමණක් ලැබූ සූරියප්පෙරුම මහතාට සිදුවූයේ අවාසනාවන්ත ලෙස පරාජය වැලඳ ගැනීමටය. ජේ. ආර්. වැඩි ඡන්ද 25,806 කින් තම අසුන යළි හිමිකර ගත්තේය.
එම අතුරු මැතිවරණයේදී එවකට එජාපයේ සිටි හැම මන්ත්‍රීවරයෙකුම පාහේ ලොක්කාට බැඳගෙන වැඩ කළ ද දැදිගම මන්ත්‍රී රුක්මන් සේනානායක මහතාගෙන් ලැබුණේ දියාරු සහයෝගයකි. මේ අතර තවත් සමහරු රුක්මන් ජේ. ආර්. ගෙන් ඈත් කරවීමට ද එය කදිම අවස්ථාවක් කර ගෙන තිබුණහ.


“රුක්මන් මධ්‍යස්ථව ඉන්නවයි කිව්වට සූරියප්පෙරුමගේ පිටිපස්සෙන් ඉන්නෙ එයා තමයි” කියමින් ලොක්කාට ගතු කී එම පිරිසගේ ඒකමතික තීරණය වූයේ සූරියප්පෙරුමට මුදලින් ආධාර කිරීමට පවා ඔහු කටයුතු කර තිබෙන බවය. ජේ. ආර්. ඒ කතාව ද ඉස්මුදුනින් පිළිගෙන තිබුණේය.


දකුණු කොළඹ අතුරු මැතිවරණයෙන් තමන්ගේ බලය තහවුරු කරගත් ජේ. ආර්. ජයවර්ධන මහතා එජාපයේ සිටින අදෘෂ්‍යමාන ප්‍රතිමල්ලවයන් මැඩලීමට ඉන් අනතුරුව සූදානම් වූවේ පක්ෂ විනය ඉදිරියට දමමිනි. ඒ අනුව රුක්මන් සේනානායක ඇතුළු එජාපයේ ප්‍රබලයන් 23 දෙනෙකුට එරෙහිව විනය චෝදනා ඉදිරිපත් කළ හෙතෙම ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව තහනම් කළේය. ඔවුන්ට එරෙහිව ඉදිරිපත් වූ චෝදනා එකින් එක විමසා බැලූ එජාපයේ විනය කමිටුවේ අවසන් තීරණය වූයේ රුක්මන් සේනානායක මහතා ඇතුළු පක්ෂ සාමාජිකයන් 23 දෙනාම එම චෝදනාවලට වැරදිකරුවන් වී ඇති බවයි. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ඔවුන් සියලුම දෙනා පක්ෂයෙන් නෙරපා හැරීමට එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීන්දු කිරීමයි.


එහෙත් පක්ෂයේ එම තීන්දුවට එරෙහිව දැදිගම ප්‍රදේශයේ විසූ එජාප ආධාරකරුවෝ විරෝධය පළ කරමින් කොල්ලුපිටියේ පිහිටි එජාප මූලස්ථානයට විදුලි පුවත් ලක්ෂයක් එවූහ. එලෙස එවන ලද විදුලි පුවත් එජාප මූලස්ථානය වෙත ප්‍රවාහනය කිරීම සඳහා වෑන් රථයක් යොදා ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට සිදුවූ බව දිනමිණ පුවත්පත මුල් පිටුවේම පළකර තිබුණේය.” මේ අතර ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මුළු රටේම වෙසෙන එක්සත් ජාතික පාක්ෂිකයන් එලෙස ජේ. ආර්.ට එරෙහිව සිරිකොතට විදුලි පුවත් එවීමට පියවර ගනු ලැබුවහොත් එමගින් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම බලා සිටියදීම ඉහළ යන බවය.


මේ වන විට රුක්මන් සේනානායක මහතා පෞද්ගලික නිවාඩුවක් ගත කිරීම සඳහා විදේශගතව සිටියේය. 

 

ඒ අතර දැදිගම එජාප බලමණ්ඩලය තවත් පිම්මක් පැනීමට සැරසෙමින් සිටියේය. එනම් බස් රථ විසිපහකින් හෝ තිහකින් ගොස් කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි ජේ. ආර්. ගේ බ්‍රෙමාර් මන්දිරය වටලා තම මන්ත්‍රීවරයාට කළ අසාධාරණයට විරෝධය පෑමටය.


එකල අද මෙන් පෞද්ගලික බස්රථ නොතිබුණෙන් ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඒ සඳහා බස්රථ කුලියට ගෙන තිබුණේ දුර ප්‍රමාණය අනුව මුදල් ගෙවමිනි. දැදිගම එජාප බල මණ්ඩලයේ ප්‍රධානීන් කීපදෙනෙකු ලංගම බස්රථ 25 ක් කුලියට ගැනීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අත්තිකාරම් මුදල් ගෙවා ගේට්ටුවෙන් එළියට යාමටත් පෙර එම ආරංචිය කොල්ලුපිටියේ පිහිටි සිරිකොත මැදුරට ලැබී තිබුණේ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් කීපදෙනෙකු වෙතිනි. එජාප නායක ජේ. ආර්. ජයවර්ධන මහතා එකල ජාතික සේවක සංගමයේ සභාපති වශයෙන් කටයුතු කළේය.


තවත් විනාඩි දහයක් ගතවීමටත් මත්තෙන් එම ආරංචිය ජේ. ආර්.ගේ කනට ද වැටී තිබුණේය.


ආ.. ඒකත් එහෙමද.. යි ඇසූ ජේ. ආර්. ජයවර්ධන ඊළඟට කළේ එකල බාන්ස් පෙදෙසේ විසූ තමා අතිශය විශ්වාසවන්තයෙකු මෙන්ම හිටපු මන්ත්‍රීවරයෙකුද වූ සිරිල් මැතිව් මහතාට ඒ බව සැලකිරීමය. ලොක්කා කතා කරන විටත් සිරිල් මැතිව්ට එම ආරංචිය ලැබී තිබුණේය. ඒ අනුව ඔහු ඊට පසුදා දැදිගම සිට කොළඹ වෝඞ් පෙදෙසේ පිහිටි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ නිවස වටලෑමට පැමිණෙන තම පාක්ෂිකයන් පිළිගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය.


“මට මතකයි අපේ තාත්තා පිළියන්දල පැත්තෙ කෙනෙකුටත් ඒ ගැන කියලා කට්ටිය ගෙන්නා ගත්තා. කැලණිය පැත්තෙනුත් තව කට්ටියක් ආවා. මමත් ඉතින් ඒ දවස්වල අවුරුදු විස්සක්වත් නැති කොල්ලනේ. අපි උදේ 8.00 විතර වෙනකොට යාළුවො තුන්හතර දෙනෙකුත් එක්ක බොරැල්ල පැත්තට යනකොටත් තුන් හාර සීයක විතර පිරිසක් ලොක්කගෙ ගෙදර ඉස්සරහ රැස්වෙලා හිටියා. ඒ සේරමලා වගේ හයයි හතරේ සයිස් එකේ ජවසම්පන්න මිනිස්සු. ඔන්න උදේ 9.30 නැත්තම් 10.00ට විතර වෙනකොට ලංගම බස් පෝලිමක් ඇවිත් වෝඞ් ප්ලේස් පාරේ නතර කෙරුවා. මගදිගට කෑකෝ ගහගෙන ලොක්කගෙ ගෙදර මහ පොළොවටම සමතලා කර දමන්න වගේ ආපු ඒ සෙනඟට ලොක්කගේ ගෙදර ගේට්ටුව ළඟට එන්නවත් ඉඩක් නොදී වටකර ගෙන හිටපු අපේ කට්ටිය අර ආපු සෙනඟට මදිය නොකියන්න ගැහුවා. කොහොම හරි අන්තිමට ආපු බස් කීපයක් මේ කලබලේ දැකලා ආපහු හරවගෙන යනවත් මම දැක්කා.” යි එම සිද්ධිය තම දෑසින් දුටු සිරිල් මැතිව් මහතාගේ පුත් නන්ද මැතිව් සිහිපත් කරන්නේ ඊට පසුදා නිකුත්වූ හැම පුවත්පතකම ඒ ගැන මාගල් තරමේ ඡායාරූප සහ ප්‍රවෘත්ති පළකර තිබූ බවය. එම සිද්ධියේ ඊළඟ ප්‍රතිඵලය වූයේ එජාපයෙන් නෙරපා හරිනු ලැබූ රුක්මන් ඇතුළු ඔහුගේ අනුගාමිකයන් පිරිස ඩඞ්ලි පෙරමුණ නමින් සංවිධානය වී ජේ. ආර්. ට පහර පිට පහර ගැසීමය.
හැබැයි ඉතින් ඩඞ්ලි පෙරමුණ ඒ මොන දෙයක් කෙරුවත් එජාපය 1977 මහ මැතිවරණයෙන් 5/6 ක බලයක් ලබා ගැනීම නම් කොහොමටවත් නතර කරන්න බැරිවුණායි කියන සිරිල් මැතිව්ගේ පුත් නන්ද මැතිව් වැඩිදුරටත් සඳහන් කරන්නේ ජේ. ආර්. බලයේ සිටින තාක්කල් රුක්මන් යළි එජාපයට වැද්ද නොගත් බවය.

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර