ජේ.ආර්.ගේ පින් ඇමැතිවරු


පින් ඇමතිලාගේ පුරාණය - 02

පක්‍ෂ නායක ඇස්. ජේ. වී. චෙල්වනායගම්, මහ ලේකම් දොස්තර ඊ. ඇම්. වී. නාගනාදන්, උපසභාපති ඒ. අමිර්තලිංගම් ආදීහු ඒ අතර වූහ. ඒනිසා ෆෙඩරල් පක්‍ෂය නියෝජනය කරමින් රජය තුළ කටයුතු කළේ උත්තර මන්ත්‍රී ඇම්. තිරුචෙල්වම් මහතාය. එමෙන්ම අධිකරණ ඇමති ඒ. ඇෆ්. විජේමාන්න සහ උත්තර මන්ත්‍රී ඇම්. පී. පී. පීරිස් මහතා ද ජනතා ඡන්දයෙන් මැති සබයට පත්වූවෝ නොවූහ.


හැත්තෑවේ මැතිවරණයේදී අතිවිශාල බලයකින් ආණ්ඩුව ලබා ගත් සමගි පෙරමුණු ආණ්ඩුවේ අධිකරණ ඇමති ධුරය ලැබුවේ ජේ. ඇම්. ජයමාන්න මහතාය. තැපැල් ඇමතිවරයා වූයේ සී. කුමාරසූරියර් මහතාය. මේ දෙදෙනාම උත්තර මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ අය වූහ. එමෙන්ම අධ්‍යාපන ඇමති බද්යුද්දීන් මහමුද්, සංස්කෘතික ඇමති ඇස්. ඇස්. කුලතිලක යන මහත්වරු පත්කළ මන්ත්‍රීන් වූහ. එම රජය උත්තර මන්ත්‍රී මණ්ඩලය අහෝසි කළ නිසා එතෙක් එම සභාව නියෝජනය කරමින් ව්‍යවස්ථාදායකයට පත්වීම නතර වූවේය.


අතිවිශාල බහුතර බලයක් සහිතව 1977 දී ජේ. ආර්. ජයවර්ධන රජය  බිහිවිය. එහි තීරණයක් අනුව සමානුපාතික  ඡන්ද ක්‍රමයක් විධායක ජනාධිපති ධුරයක් ආදී බරපතළ වෙනස්කම් සහිතව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් 1978 පෙබරවාරි 04 වැනිදා සිට ක්‍රියාත්මක කරන ලදී. විධායක ජනාධිපතිවරයා ජනතා වරමින් පත්විය යුතු විය. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දෙද්දීම ජාතික ලැයිස්තුව නම් වූ ක්‍රමවේදය ද එයට සමගාමීව ඇතිවිය. මැතිවරණ කොට්ඨාසවල ඡන්ද අනුපාතය අනුව ව්‍යවස්ථාවේ නිගමනය කර ඇති පරිදි මන්ත්‍රීන් 196 දෙනෙක් තෝරා ගැනීමටත් ජාතික ඡන්ද අනුපාතය අනුව එයට තවත් සියයට පහළොවක් එනම් මන්ත්‍රී ධුර 29 ක් එකතු කිරීමටත්  එම  ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලස්වන ලදි. මේ අනුව බලය ලැබෙන  පක්‍ෂයට වැඩි ස්ථාවරයක් දී ජාතික මට්ටමින් නායකත්වයක් සැපයීමටත් අවශ්‍ය වූ විට සුළුතර හා වාර්ගික නියෝජිතත්වයක් ලැබිය යුතු වෙනත් ජන කොටස් වේනම් ඒ අයටද අවස්ථාව සැලසෙන පරිදි  කටයුතු කිරීම සඳහාත් මෙම අතිරේක  මන්ත්‍රීන් පත්කිරීමේ වැඩ පිළිවෙළ යොදා ගැනීමට තීරණය විය. ජාතික ලැයිස්තුව යනුවෙන් නම් කර ක්‍රියාත්මක වීම ආරම්භ වූවේ මෙම මන්ත්‍රී ධුර 29 යයි. ඡන්දයෙන්  මන්ත්‍රී ආසන දිනාගැනීමට ඉදිරිපත් නොවන එහෙත් යම් යම් ක්‍ෂේත්‍රවල ප්‍රවීණයන්ගේ සහාය තවත් අපේක්‍ෂාවෙක් විය. 1989 මහා මැතිවරණයේ සිට  ක්‍රියාත්මක වූ මෙම ක්‍රමය අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර ලබා මැතිසබයට පැමිණ ඇමැති ධුර ලැබීමට  සමත් වූයේ මෙම පිරිසය. රන්ජන් විජේරත්න (විදේශ), ඒ. ආර්. මන්සූර් (වෙළඳ හා නාවුක),  එස්. තොන්ඩමන් (පේෂ කර්මාන්ත සහ ග්‍රාමීය කටයුතු), ඒ. එච්. ඇම්. අස්වර් (මුස්ලිම් ආගමික කටයුතු),  ඇම්. ඒ. ටී. ගුණතිලක (පේෂ කර්මාන්ත - කැබිනට් නොවන),  ඒ. ජේ. රණසිංහ (ප්‍රවෘත්ති - රාජ්‍ය ඇමති) වශයෙනි. පසුව ජාතික ලැයිස්තු මන්ත්‍රී කේ. ඇන්. චොක්සි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇමති පදවියත් කලක් මුදල් ඇමති ධුරයත් දැරීය.


මෙරටේ පැවති බෙදුම්වාදී යුද්ධයේ උච්චතම අවස්ථාවක් සටහන් කරමින් 1993 මැයි පළමුවැනි දින මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වූ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය. මෙම භයානක අවස්ථාවේදී රාජ්‍යය අරාජික වීම වැළැක්වීමේ පියවරක් වශයෙන් එවකට  අගමැතිව සිටි ඩී. බී. විජේතුංග මහතා ජනාධිපති ධුරයට පත්කර ගන්නා ලදී. ජනතා වරමකින් තොරව මෙරට ජනාධිපති ධුරයට පත්වූ එකම නායකයා ලෙස ඔහු ඉතිහාසයට එක්විය. ව්‍යවස්ථාව අකුරටම පිළිපදිමින් ඉතා අර්බුදකාරි කාල වකවානුවක රාජ්‍ය පාලනය මෙහෙයවීමට විජේතුංග මහතා සමත්විය. 


දේශපාලන බිමේ ස්ථිර සතුරන් හෝ මිතුරන් නොමැති බවට කියමනක් තිබේ. නිරන්තරයෙන් පාහේ එම කියමන තහවුරු කරන සිදුවීම් අපට දක්නට ලැබේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘවරයා සහ පසුව නායකත්වයට පත් අගමැතිනියගේද පුත්‍රයා වූ අනුර බණ්ඩාරනායක මහතා පක්‍ෂය සමග ඇතිකර ගත් මතභේදයක් නිසා පක්‍ෂයෙන්  සහ තම පාර්ලිමේන්තු ආසනයෙන්ද ඉවත්ව එක්සත් ජාතික පක්‍ෂයට බැඳුණේය. එහිදී ඔහු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට  පත්කොට ගෙන උසස්  අධ්‍යාපන ඇමති ධුරය පිරිනැමීමට ඩී. බී. විජේතුංග ජනාධිපති තුමා කටයුතු කළේය. එම සිදුවීම මෙරට දේශපාලන වංශ කතාවේ සුවිශේෂී සිදුවීමක් ලෙස සටහන් වී තිබේ.


1994 මහා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසයේ ගමන් මග වෙනස් කළ අවස්ථාවක්  විය. දහහත් වසරක් නොකඩවා රට පාලනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුව පරාජයට පත් කරමින් පොදු ජන එක්සත් පෙරමුණේ ආණ්ඩුවක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාවාසීහු  ඡන්දය  ප්‍රකාශ කළහ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වයෙන් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන බලවේගය විය. එම පක්‍ෂයේ නායිකාව වූ සිරිමාවෝ  බණ්ඩාරනායක මැතිනිය ඒ වනවිට  වයෝවෘද්ධව සිටි නිසා ආසනයක් තරග කළේ නැත. ඇය ජාතික ලැයිස්තුව සඳහා නම් කර සිටි අතර මැතිවරණය අවසන් වූ පසු එම පක්‍ෂය වෙනුවෙන්  ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස නම් කරනු ලැබුවාය. එම පදනම මත ඇය කාර්ය නියමයක් නොමැති අමාත්‍යවරිය ලෙස දිවුරුම්  දුන්නාය. 


එපමණක් නොව එම ලැයිස්තුවේ නම් සඳහන් වූ ලක්‍ෂ්මන් කදිරගාමර් මහතා විදේශ කටයුතු ඇමතිවරයා ලෙසත් ජී. ඈල්. පීරිස් මහතා අධිකරණ, විදේශ වෙළඳ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමති වශයෙන්ද ධර්මසිරි සේනානායක මහතා සංචාරක හා ගුවන් සේවා ඇමතිවශයෙන්ද පත්කර ගන්නා ලදහ. එයටම අඩංගු වූ නම් අතර විශ්ව වර්ණපාල, බැටී වීරකෝන්, රවී කරුණායක යන මහත්වරුද පසුව වරින්වර අමාත්‍ය ධුරවලට පත්වූහ.


එමෙන්ම මුස්ලිම් කොන්ග්‍රසයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක් ලැබූ  රාවුෆ් හකීම් මහතා ද පසුව  අමාත්‍ය ධුරයකට පත්වූ බව අපි  දනිමු. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අලෙවි මව්ලානා මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා වූ අතර පසුව ඔහුද අමාත්‍ය  පදවියක් ලැබූ බව සඳහන්ය.


කාලය වේගයෙන් ගෙවී ගියේය. විසි වසරක් ආණ්ඩු බලය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ පොදු පෙරමුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක  කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ යන ජනාධිපති දෙදෙනා යටතේ පාලන බලය ගෙන ගියේය. නුදුරු අතීතයේ සිදුවීම් නිසා එකල ඇමතිවරුන් ගැන මෙහිලා සඳහන් කිරීමට උත්සුක නෙවෙමි. 


අර්බුදය පැන නැගී ඇත්තේ වර්තමාන ජාතික ලැයිස්තු මන්ත්‍රීන්ට අදාළවය. 2015 අගෝස්තු 17 වැනිදා පැවති. මැතිවරණයේ ප්‍රතිඵලවලට සමගාමීව ජාතික ලැයිස්තුවෙන් පත්කර ගත් මන්ත්‍රීවරුන් රැසක් එම මැතිවරණයේදී අදාළ දිස්ත්‍රික්කවලින් පරාජයට පත්වූවන් බව කියවේ. එම මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනැමීමද සිදුවිය. එය දේශපාලන වශයෙන් සදාචාරාත්මක නොවන බව ඇතමෙකුගේ මතය වී තිබේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කරළියට ඒමත්  ඒ පිළිබඳව අදහස් උදහස් පැවසීමත් නිසා මෙම පිං ඇමතිවරු යන මතවාදය සමාජගතව ඇත. 


එහෙත් ජනතා වරමින් තොරව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් අතීතයේ කටයුතු කළ ඇමතිවරුන් පිළිබඳ මෙම සටහන නිමා කිරීමට පෙර  කිව යුතු එක් කරුණක්ද වේ. 2015 ජනවාරි 08 වැනිදා “වෙනසක්”  අපේක්‍ෂාවෙන් සම්මුති රජයක් සඳහා ඡන්දය දුන් හැට දෙලක්‍ෂයක් ජනයාගේ අපේක්‍ෂාවන් අද වනවිට විශාල සුළි සුළඟකට අසුවී ඇති ආකාරයක් අපට දක්නට ලැබේ. සම්මුති රජයේ සභාග පාර්ශව දෙක එකිනෙකාට නගා ගනු ලබන චෝදනා සහ ප්‍රතිචෝදනාවලින් එය මනාව පෙන්නුම් කෙරේ. අවසාන වශයෙන් කාටත් කියන්නට සිදුවන්නේ මෙම ලිපිය  ආරම්භයේදී සටහන් කළාක් මෙන්ම ‘සිතුදේ නොමවේ. නොසිතු දෙයක් වේ - ලෝ දම් කැරකෙනවා’ යන්න පමණි.

 

 

 


සෝමසිරි වික්‍රමසිංහ